ජීනීවාහි පැවති සාම සාකච්ඡාවලට යවන කණ්ඩායමට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයකු ඇතුළත් නොවුණ ද එම සාකච්ඡා වැඩපිළිවෙළට ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය වැනි සිංහල දැඩි මතධාරි ව්‍යාපාරයන්ගේ උපරිම දායකත්වය හා ආශිර්වාදය ලබාගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් විය. නියෝජිත පිරිස තෝරා ගැනීමේදි පවා මෙම බලවේග දෙකේ අභිලාෂයන් සැලකිල්ලට ගෙන තිබුණි. ජනාධිපති නීතීඥ එච්.එල්. ද සිල්වා මහතා ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින මතධාරියෙකි. ඔහු දෙමළ ජාතිය, දෙමළ නිජබිම හෝ ස්වයං නිර්ණ අයිතිය පිළිගන්නේ නැත. ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයකට ද සපුරා විරුද්ධය. නියෝජිත කණ්ඩායමට ඇතුළත්ව සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයා ශ්‍රී මහතා ද ජවිපෙ හා හෙළ උරුමයේ විශ්වාසයට හා ගෞරවයට හේතුවී සිටින පුද්ගලයෙකි. ඔහු 56 බණ්ඩාරනායකගේ ජයග්‍රහණය කෙරෙහි තීරණාත්මක සාධකයක් ලෙස බලපෑ බෞද්ධ කොමිෂන් සභා ව්‍යාපාරයේ නිර්මාතෘ එන්.කිව්. දියෙස් මහතාගේ පුතා ය.
තමන් බලයට පත් කිරීමට දායක වූ ජවිපෙ හෙළ උරුමය වැනි බලවේගයන්ට බලයට පත්වූ වහාම කොකා නොපෙන්වා උපරිම ලෙස ඔවුන් ද සම්බන්ධ කරගනිමින් ඉදිරියට යන්නට දරන ලද මනා උත්සායක් ලෙස මෙම සාකච්ඡා වැඩපිළිවෙළ හැඳින්විය හැකිය. සාම සාකච්ඡා සඳහා තෝරා ගත් කණ්ඩායම ජිනීවා ගිය පසු එහි කෙරෙන සාකච්ඡා අරලියගහ මන්දිරයේ සිට විමර්ශනය කෙරෙන, ඒ සාකච්ඡාකරුවන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙන මෙහෙයුම් මණ්ඩලයක් ද ඇති කර තිබුණි. ඊට සෝමවංශ අමරසිංහ, විමල් වීරවංශ වැනි ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සේ ම චම්පික රණවක වැනි හෙළ උරුමයේ නායකයින් ද සම්බන්ධ කරගෙන තිබුණි. ඒ සියලු දෙනා සාම සාකච්ඡා ක්‍රියාවලියේ ඍජු හෝ අනියම් කොටස්කරුවන් බවට පත් කිරීම ජනාධිපතිවරයාගේ උපාය මාර්ගය වූ බව ද පෙනෙන්නට තිබේ.
සටන් විරාම ගිවිසුම රටේ පවතින නීතියට අනුකූල ලියවිල්ලක් නොවන බව සනාථ කිරීම සඳහා ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා මහතා විශේෂ කෙටුම්පතක් සකස් කර තිබුණු අතර, සටන් විරාම ගිවිසුමට ඇතුළත් රටේ නීතියට අනුකූල නොවන කොටස් ඉවත් කොට සටන් විරාම ගිවිසුම සංශෝධනය කිරීම එහි අරමුණ විය.
ආණ්ඩුව සාම සාකච්ඡා සඳහා යවන ලද නියෝජිත කණ්ඩායමට වඩා පළපුරුදු කණ්ඩායමක් ලෙස සැලකිය හැකි එල්ටීටීඊ නියෝජිත කණ්ඩායම ආණ්ඩුවේ උපාය මාර්ගික වැඩපිළිවෙළට මුහුණදිම සඳහා හොඳ සූදානමකින් යුතුව එහි පැමිණි බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
තමන් රටේ නීතිය පිළිනොගන්නා බවත්, තමන් මෙතෙක් කරන ලද කරමින් සිටින සියලු දේ කරමින් සිටින්නේ ද රටේ පවතින නීතිය පිළිනොගන්නා තත්ත්වයක පිහිටා බැවින් පවතින නීතිය තුළ දේවල් බලන්නට හෝ සාකච්ඡා කරන්නට තමන් සූදානම් නැති බව එල්ටීටීඊ නියෝජිත කණ්ඩායමේ නායකයා තරයේ ප්‍රකාශ කර සිටියේය.
එල්ටීටීඊ සංවිධානයේ නීති විරෝධී ක්‍රියාකාරකම් අළලා පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා විසින් කරන ලද දිර්ඝ කරුණු දැක්වීමට ද ඇන්ටන් බාලසිංහම් මහතා ප්‍රතිචාර දක්වන ලද්දේ දැඩි ස්වරයකිනි.
රාජ්‍ය මර්දනයේ ප්‍රතිඵලයක් ලෙස තමන් ගොඩනගා ගත් කුඩා සංවිධානයේ එක් අරමුණක් වන්නේ රජයේ හමුදා සෙබළුන් මරා දැමීම බවත්, තම සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවේ මිනිසුන් මරා දමා ඇති බව ප්‍රතික්ෂේප නොකරන බවත් වර්ග සංහාරයකට මුහුණ දිමෙන් පසු එසේ කිරීමට තම සංවිධානයට බලකර ඇති බවත් දේවල් මුළු එකක් වශයෙන් නොගෙන තැනින් තැනින් අහුලාගත් කතාවලට ඇහුම්කන්දිමට තමන් සූදානම් නැති බවත් දෙපාර්ශ්වයටම සාකච්ඡා කරන තැනට එන්නට සිදුවී තිබෙන්නේ ද ඝාතන හා ප්‍රති ඝාතන නිසා බවත් ප්‍රකාශ කරමින් මෙම සාකච්ඡා සභාව පොලිස් ස්ථානයක් ලෙස සලකා ක්‍රියා නොකරන ලෙස ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
පවතින නීතිමය රාමුව තුළ පිහිටා මෙම අර්බුදය විග්රහ කරන්නට හෝ විසඳන්නට හැකියාවක් නැත. එල්ටීටීඊය, පවතින රාජ්‍ය සිංහල රාජ්‍යයක් ලෙස සලකා එහි සුජාතභාවය ප්‍රතික්ෂේප කරයි. පවතින අර්බුදයේ අරටුව තිබෙන්නේ එතැනය. රටේ පවතින නීතිය අනුව පවතින රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධ කැරලි ගැසීම නීති විරෝධීය. එහෙත් ඔවුහු ඒ බව නොසලකා දිග්ගැස්සුණු සන්නද්ධ අරගලයක නිරත වී සිටිති. තමන්ගේම වන පාලන ප්‍රදේශයක් ඔවුන් ඇති කොටගෙන තිබෙන අතර, තමන්ගේම වන ත්‍රිවිධ හමුදාවක්, පොලිසියක්, උසාවි ක්‍රමයක්, පරිපාලන ආයතන ක්‍රමයක් ද ඇති කරගෙන ඇත්තේය. එය පවතින රජයේ ආධිපත්‍යය පිළිනොගන්නා තවත් රාජ්‍යයක පැවැත්මට සමානය. රටේ පවතින නීතියට පටහැනිව ගොඩනැගී තිබෙන එම හිතුවක්කාරී රාජ්‍යය යුදමය වශයෙන් විනාශ කිරීම සඳහා රාජ්‍යය උපරිම මට්ටමින් උත්සාහයන් ගණනාවක යෙදුණ ද, ඒ අරමුණ සපුරා ගැනීමට රාජ්‍ය සමත් වූයේ නැත. දැන් පවතින රාජ්‍යයට ගොඩනැගී තිබෙන හිතුවක්කාරී රාජ්‍යය සමග සාකච්ඡා කරන්නට අවශ්‍ය වී තිබෙන්නේ වෙනත් ආකාරයකින් හෝ ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහාය. රාජ්‍යයට ඒ අරමුණ ජයගත හැකිවනු ඇත්තේ දෙමළ ජනතාවගේ අභිලාෂයන්ට ගැළපෙන ලෙස එම රාජ්‍යය රාජ්‍යයට අන්තර්ග්‍රහණය කරගැනීමෙන් හෝ තිබෙන රාජ්‍ය දෙක වෙනුවට නව රාජ්‍යයක් ප්‍රති නිර්මාණය කරගැනීමෙනි.
රටේ පවතින නීතිය තුළ ප්‍රශ්න විසඳ ගැනීමට නම් එක්කෝ එල්ටීටීඊය ආයුධ බිම තබා රාජ්‍යයේ සුජාතභාවය පිළිගත යුතුය. නැතිනම් රාජ්‍ය ඔවුන්ට එරෙහිව කරන යුද්ධයක් මගින් ඔවුන්ගේ රාජ්‍ය අහෝසි කළ යුතුය.
සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳ ගන්නා තැනකට යන්නට සිදුවී තිබෙන්නේ එල්ටීටීඊය ද ස්වකැමැත්තෙන් යටත් වන ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන නිසාත්, යුදමය වැඩපිළිවෙළක් මගින් ඔවුන් යටපත් කිරීමට අසමත් වී තිබෙන නිසාත්ය. ඒ නිසා එච්.එල්. ද සිල්වා මහතාගේ නෛතික ප්‍රවේශයෙන් මේ ආරාවුල විසඳ ගැනීමට හැකිවන්නේ නැත.
සාකච්ඡා මේසයේදි එල්ටීටීඊයට ආණ්ඩුවේ ප්‍රවේශය පරාජය කිරීමට හැකිවූයේ ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රවේශය යථාර්ථවාදි නොවූ නිසාය.
තමන් සටන් විරාම ගිවිසුම වෙනස් කිරීමේ අරමුණින් කෙරෙන සාකච්ඡාවකට එකග නොවන බවත්, ගිවිසුම අනුව එය වෙනස් කරනවා නම් කළ හැක්කේ දෙපාර්ශ්වයේම එකගත්වයකින් පමණක් බවත්, ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ ඒකපාර්ශ්විකව සටන් විරාම ගිවිසුම වෙනස් කිරීමට නම් තමන් තවදුරටත් සාකච්ඡා නොකරන බවත්, දෙපාර්ශ්වය අතර ඇති කරගත් ගිවිසුම අවසන් වූ බව ඉන් අදහස් වන බවත්, ඉන්පසු නැවත යුද්ධයෙන් ප්‍රශ්න බේරාගන්නා තැනකට යා හැකි බවත් ඇන්ටන් බාලසිංහම් තිර ලෙස ප්‍රකාශ කළේය.
එල්ටීටීඊය ඉදිරියේ දින විය යුතු නැති බවට සැකයක් තිබිය නොහැකිය. එහෙත් සටන් විරාම ගිවිසුම එල්ටීටීඊයේ එකගත්වය නැතිව වෙනස් කළ නොහැකිය. ආණ්ඩුවේ නියෝජිත පිරිස සාකච්ඡා සඳහා සිය ප්‍රවේශය ගොඩනගා ගත යුතුව තිබුණේ එම යථාර්ථයට ගැළපෙන ලෙසය. එම මූලික යථාර්ථය නොසලකා ක්‍රියාකරන පිළිවෙතක් තුළ ආරම්භයේදි ඉදිරියට ගෙනා සටන්කාමී පිළිවෙත අත්හරින තැනකට යන්නට ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමට සිදුවිය.
දැන් දෙපාර්ශ්වය ඇති කරගෙන තිබෙන එකගත්වය අනුව එල්ටීටීඊය ළමා සොල්දාදුවන් බඳවා ගැනීම අත්හළ යුතුය. බඳවාගෙන සිටින ළමා සොල්දාදුවන් ඔවුන්ගේ දෙමව්පියන්ට හෝ භාරකරුවන්ට භාර දිය යුතුය. අනෙක් අතට ශ්‍රී ලංකා ආණ්ඩුව එල්ටීටීඊ විරෝධී අතුරු හමුදා (කරුණා පාර්ශ්වය) නිරායුධ කළ යුතුය.
සාම සාකච්ඡාවල දෙවැනි වටය ජිනීවාවල පවත්වන්නට යොදාගෙන ඇත්තේ අප්‍රේල් 19-21 යන දිනවලය. ඒ සඳහා ඇති කාලය මාස දෙකකි. එම මාස දෙකක කාලය තුළ එකග වී ඇති නියමයන් දෙපාර්ශ්වයම සම්පූර්ණ කළ යුතුය. දෙවැනි වටයේ සාම සාකච්ඡා සාර්ථක වනු ඇත්තේ දෙපාර්ශ්වයම ඇති කරගෙන තිබෙන කොන්දේසි සම්පූර්ණ කරන්නේ නම් පමණය.
දෙපාර්ශ්වය අවසානයේ ඇති කරගෙන තිබෙන එකගත්වයට ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය යන ව්‍යාපාර විරෝධය පළකර තිබේ. සියලු කටයුතු ආරම්භයේදි පිළිගත හැකි තත්ත්වයකින් සිදුවුවත් අවසාන මොහොතේදි ආණ්ඩුවේ නියෝජිත පිරිස එල්ටීටීඊයට යටවී ඇති බවත්, ඒකාබද්ධ නිවේදනය තමන්ට පිළිගත නොහැකි බවත් ජවිපෙ ප්‍රකාශ කරයි. හෙළ උරුමය සිය විරෝධය පළකර තිබෙන්නේ ඊට වඩා තද ස්වරූපයකිනි. ජවිපෙ විරෝධය කෙරෙහි හෙළ උරුමයේ දැඩි ස්ථාවරය බලපා තිබෙන බව ද පෙනේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙම ප්‍රශ්නයේදි ජවිපෙ හා හෙළ උරුමය සමග යා හැකි දුරෙහි සීමාවක් පවතී. අකමැත්තෙන් හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඔවුන් ද ඔවුන්ට ජනාධිපති රාජපක්ෂ මහතා ද ඉක්මනින් හෝ තරමක් ප්‍රමාද වී අත්හරින්නට සිදුවනු ඇත්තේය. ඒ සමග රටේ දේශපාලන පෙළගැස්වීම් වල ද නව වෙනස්කම් රැසක් ඇතිවනු ඇත්තේය.