පාර්ලිමේන්තු මැතිවරණයක් අවසන් කොට පළාත් සභා මැතිවරණයක් ද අවසන් කිරීමට හැකි වී තිබේ. ඒ සමග අනෙක් පළාත් සභා මැතිවරණ ද එක විට හෝ කඩින් කඩ එහෙත් ඉක්මනින් පැවැත්වීමට නියමිත ය.
මෙම මැතිවරණ දෙක වෙනදා පැවැත්වෙන මැතිවරණ මෙන් නො ව, නිදහස් හා සාධාරණ වූවා සේ ම අකුරට ම නීතිය ක්‍රියාත්මකවීමක් ද සිදුවි ය. ඒ ඇතිවූ පරිවර්තනයේ ගෞරවය හිමිවිය යුත්තේ පොලිස් කොමිසමට හා මැතිවරණ කොමිසමට ය.
මැතිවරණ කොමිසමේ සියලු බලතල මැතිවරණ කොමසාරිස්වරයාට ලැබී ඇතත්, වසර දෙකකට වැඩි කාලයක් ගෙවී ඇතත්, අද දක්වා මැතිවරණ කොමිසම පිහිටුවා නැත. ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසම සඳහා ඉදිරිපත් කළ නාමලේඛනයට ඇතුළත් එක් පුද්ගලයෙකුට ජනාධිපතිනිය විරුද්ධවීම නිසා ඒ විරුද්ධතාවට පදනම් වූ හේතු සොයා බලන තැනකට යන්නට ව්‍යවස්ථා සභාවට සිදුවූයේ ය. ඒ ගැන පවත්වන ලද පරීක්ෂණයකින් පසු ව ජනාධිපතිනියගේ විරෝධයට හේතු වූ පුද්ගලයාට එල්ල වූ විවේචනය සාධාරණ නො වන බව තීරණය කොට, ව්‍යවස්ථා සභාව යළි එම නාමලේඛනය ජනාධිපතිනිය වෙත යැව්ව ද ජනාධිපතිනිය ඉන් පසු ද ඒ නම අනුමත කළේ නැත. මැතිවරණ කොමිසමට සාමාජිකයන් පත් කිරීම මේ දක්වා ප්‍රමාද වී ඇත්තේ එම අවුලේ ප්‍රතිඵලයක් වශයෙනි.
එහෙත් මෙවැනි ප්‍රශ්නවල අවසානයක් තිබිය යුතු ය. මැතිවරණ කොමිසමක් රටට අවශ්‍ය බැවින් තවදුරටත් ප්‍රමාද නො කොට මැතිවරණ කොමිසම ඇති කිරීම ව්‍යවස්ථා සභාවේ ද ජනාධිපතිනියගේ ද වගකීමකි.
17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කිරීමේ ක්‍රියාවලියේ දී එයට එවකට පොදු පෙරමුණේ එකගත්වය ලබාගැනීම සඳහා ක්‍රියා කළේ ජනතා විමුක්ති පෙරමුණය. දැන් ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ විරුද්ධ පක්ෂයේ නො ව, ආණ්ඩු පක්ෂයේ ය. සන්ධාන ආණ්ඩුවේ බලවත් ම කොටස්කරුවා ලෙස ය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ යහපත් ආණ්ඩුකරණයක් සඳහා අවශ්‍ය විධිවිධාන ඇති කිරීම වන නිසා ම, එම සංශෝධනයේ ඇති අඩුපාඩුකම් දුරලා එම ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය ශක්තිමත් කිරීමේ වගකීමක් ජනතා විමුක්ති පෙරමුණට ද ඇති බව කිව යුතු ය. විශේෂයෙන් ම ව්‍යවස්ථා සභාව යටතේ ඇති අල්ලස් හෝ දූෂණ කොමිසම් සභා පනතේ ඇති විෂමතා ඉවත් කොට එය ස්වාධීනව හා ශක්තිමත්ව ක්‍රියා කරන තැනකට ගත හැකි නම්, දේශපාලන ලෝකයේ සිදුවන අල්ලස් හා දූෂණ වැරදි පාලනය කරන තැනකට ගෙනා හැකි ය.
තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරිමෙන් පාලන ක්‍රියාවලිය විනිවිදව පෙනෙන තැනකට ගෙනා හැකි ය. පසුගිය ආණ්ඩු පාලනය තුළ කෙටුම් පත් කොට කැබිනට් මණ්ඩලය පමණක් නො ව, ජනාධිපතිනිය ද අනුමත කළ තොරතුරු පනත වහා නීතිගත කිරීම මගින් තොරතුරු ලබාගැනීමට මහජනයාට ඇති අයිතිය තහවුරු කළ හැකි ය.