ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන රාවයට දෙන ලද සම්මුඛ සාකච්ඡාවකදී පළකර තිබූ මට වැරදි අදහසක් ලෙස පෙනුණු කරුණක් මම ඊළඟ රාවයෙන් ප්‍රශ්න කිරීමකට ලක් කළෙමි. එසේ කරන ලද්දේ ඔහු දුෂ්කර තත්ත්වයකට පත්කිරීමේ අරමුණෙන් නොව ඔහු පළකර තිබෙන අදහස කියවන්නා තුළ වැරදි මතයක් ඇති කිරීමට හේතුවේයැ”යි සලකා එය ප්‍රශ්න කිරීමකට ලක් කළයුතුයැ”යි විශ්වාස කළ නිසාය. මා එවැනි ප්‍රශ්න කිරීම් කොතෙකුත් කර තිබෙන අතර සමහර ප්‍රශ්න කිරීම් උණුසුම් වාද විවාදවලට හේතුවී ඒවා සමාජ දේශපාලන චින්තනය පෝෂණය කිරීමට හේතුවීයැ”යි ද කිව හැකිය.
සුනිල් විජේසිරිවර්ධන ශාස්ත්රාලයීය උගතෙකි. භාවනාවටද සිත යොමු කර තිබෙන උගතෙකි. මම ශාස්ත්රාලයීය උගතෙක් නොවෙමි. ශ්‍රී ලංකා සමාජය හා එම සමාජයට ප්‍රශ්න තේරුම් ගැනීමට උනන්දුවක් ඇති ඒ විෂය අතපතගාමින් හදාරන පුද්ගලයෙක් පමණක් වෙමි. මාගේ ප්‍රශ්න කිරීමට සුනිල් නිසැකවම පිළිතුරු දෙනු ඇති බවද මම විශ්වාස කළෙමි. ඒ පිළිතුර අපේ දේශපාලනය සංවාදය ප්‍රඥාවෙන් හා ශාන්තියෙන් පෝෂණය කරන පිළිතුරක් වනු ඇතැ”යිද මම විශ්වාස කළෙමි. දීර්ඝ පිළිතුරක් එවා ඇති බව දැනගත් විට මා ඇති කරගෙන තිබූ ඒ අපේක්ෂාව තවදුරටත් වර්ධනය කිරීමට හේතුවිය. එහෙත් පිළිතුර කියවූ විට මා තුළ ඇතිවූයේ විශාල අපේක්ෂා භංගත්වයක් පමණය.
මගේ ප්‍රශ්න කිරීම ඉතාමත් සරල වූ අතර ද්වේෂයෙන් තොරවිය. පළකළ මතය වැරදියි කියනවා හා ඒ බව සනාථ කිරීම පිණිස කරුණු දක්වනවා හැර ඒ මතය ආශ්රයෙන් සුනිල් විජේසිරිවර්ධන පිළිබඳව විවරණයක් කිරීමට උත්සාහ කර නැත. ලේබල් ඇලවීමක් හෝ හංවඩු ගැසීමක්ද කර නැත. මා එහි කියා ඇත්තේ එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීම පිළිබඳව පළකර තිබෙන මතය වැරදි බව පමණය. ඒ බව සනාථ කිරීම සඳහා මම කෙටියෙන් හා සැකෙවින් කරුණු ඉදිරිපත් කළෙමි.
මා පිළිතුරු දී ඇත්තේ යුද්ධය වෙනුවට තෝරා ගැනීමට නොයෙකුත් මාර්ග තිබියදී එසේ නොකොට ප්රශ්නය දිග්ගැස්සෙන්නට ඉඩ හැර අවසානයේ එය ඉතා ප්රචණ්ඩ ආකාරයකින් පරාජය කිරීම සම්බන්ධයෙන් දකුණේ රජය පමණක් නොව දකුණේ ජනතාවද වගකිවයුතුය කියන ඔහුගේ මතයටයි. මාගේ පිළිතුර වූයේ සීමාසහිතකම් තිබියදීත් මේ ප්රශ්නය සාකච්ඡා මගින් විසඳා ගැනීමට විවිධ රජයන් උත්සාහ කර ඇති අතර ඉන් සමහර උත්සාහයන් ඉතාමත් විප්ලවකාරී උත්සාහයක් ලෙස සැලකිය හැකි වුවත් ප්රභාකරන් සිටියේ ඊලමෙන් මෙපිට කිසිවක් භාර නොගත යුතුයි කියන දැඩි ස්ථාවරයේ නිසා ඒ හැම උත්සාහයක්ම අසාර්ථක වූ බව හා ප්රභාකරන්ගේ හිත වෙනස්වන තෙක් ඔවුන් කැමති තරම් මිනිසුන් මරන්නට හා දේපළ විනාශ කරන්නට ඉඩදී බලා සිටින ප්රතිපත්තියකට වඩා ඔහු යුදමය ක්‍රියාමාර්ගයක් මගින් පරාජය කිරීම යුක්තිසහගත බවය.
මා ඊළඟට පිළිතුරු දුන්නේ දෙමළ ජනතාවගේ හා ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසයට හේතුවන විසඳුමක් ඉදිරිපත් කිරීමට සමත් වී නම් ප්රභාකරන් දේශපාලන වශයෙන් තනි කොට පරාජය කරන්නට ඉඩ තිබුණේයැ”යි කියන මතයටය. ඊට මා දෙන ලද පිළිතුර වූයේ දෙමළ ජනතාව කෙරෙහි වන ආධිපත්‍යයේදී ප්රභාකරන්ට පරම බලයක් නොතිබුණු කාලයේදී එවැනි දෙයක් කිරීමේ හැකියාව තිබුණද එම විෂයේදී ප්රභාකරන් තමන් වෙත පරම බලය හිමිකර ගැනීමෙන් පසු එවැනි ක්‍රියාමාර්ගයකට කිසිදු ඉඩක් නොතිබුණු බවය.
මා මාගේ ලිපිය අවසන් කළේ බීපන් චන්ද්‍ර මහත්මා ගාන්ධි සම්බන්ධයෙන් පළකර තිබෙන නිරීක්ෂණයකිනි. ඒ ආශ්රයෙන් මා කීවේ මහත්මා ගාන්ධි අතින් සිදුවූ වරද අප නොකළ යුතු බවය. එනම් මහ ජාතියේ වර්ගවාදයට විරුද්ධ වීම අවශ්‍ය වුවත් ඒ තරමටම සුළු ජාතීන් කෙරෙන් පළවන බෙදුම්වාදී වර්ගවාදයන්ටද විරුද්ධ වීම අවශ්‍ය බවය. සැබෑ ජාතික සමගියක් ඇති කරගත හැකිවනු ඇත්තේ එවිට පමණක් බවත්ය.
සුනිල් විජේසිරිවර්ධන මා නගන එම මූලික ප්‍රශ්න දෙකටම පිළිතුරු දෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ දාර්ශනික මහේශාක්යබවක් ආරෝපණය කරගනිමින් අනං මනං කතා කිරීමය.
ඔහු පිළිතුරු දෙන මනස සන්සුන්බවෙන් තොරය. තැන්පත්කමින් හා නිහතමානීබවෙන්ද තොරය. ඔහු වාද කරන්නේ භාවනාව ප්‍රගුණ කළ උගතකු ලෙස නොව වී.අයි. ලෙනින්ගේ අවතාරයක් ලෙසය. එතෙක් ආගමික ලෝකයට සීමාවී තිබූ වාදවලදී මිනිසුන් හංවඩු ගැසීමේ ක්‍රමය බලවත් ආකාරයකින් දේශපාලන ලෝකයට යොදාගන්නා ලද පුද්ගලයා වී.අයි. ලෙනින් ලෙස සැලකිය හැකිය. ඔහු කෞට්ස්කි, බර්න්ස්ටයින් පමණක් නොව රොසා ලක්සම්බර්ග් මතද ද්‍රෝහී ලේබලය ඇලවීය. ලෙනින් තමන්ගේ මතය නොපිළිගන්නා ඊට එරෙහිව මතවාදීමය වශයෙන් තර්ක කරන්නන් සැලකුවේ ද්‍රෝහීන් ලෙසය. ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමටද මැලි නොවීය. සුනිල් විජේසිරිවර්ධන ලෙනින් මෙන් ඍජු ලෙස හංවඩු තබන්නේ නැත. ඔහු එය කරන්නේ අනියම් ආකාරයකටය. ආධ්‍යාත්මික පාරිශුද්ධභාවය අත්පත් කරගත් මුනිවරයකුගේ පෙනුමද තමන් වෙත ආරෝපණය කරගෙනය.
ඔහු මා හඳුන්වා ඇත්තේ තමන්ගේ දැනුම තර්ක බුද්ධියට සීමා කරගත් නූතනවාදියකු ලෙසය. ඔහු තමා පද්ධති න්‍යාය පිළිගන්නා සාකල්යවාදියකු ලෙස හඳුන්වා ගනී. ඒ මගින් ඔහු අපට කියන්නේ ඔහු තර්කානුකූල බුද්ධියට පමණක් සීමා නොවූ ආධ්‍යාත්මික ශක්තියක්ද හිමි කරගත් සුවිශේෂ පුද්ගලයකු බවය. ඒ සඳහා ඔහු බුදුන් වහන්සේ ද තමන්ගේ ගුරු කුලයේ කෙනකු බවට පත්කර ගනී. ඔහු බුදුන් වහන්සේගෙන් වෙනස්වන්නේ එක කරුණකදී පමණක් බවද ඔහුම අපට අනියම් ලෙස කියන්නේය. බුදුන්වහන්සේ එම මාර්ගය දුක හඳුනාගන්නා හා එය ජයගන්නා මාර්ගයක් ලෙස යොදාගන්නා විට සුනිල් විජේසිරිවර්ධන ඒ වෙනුවට එය සමාජ විමුක්තිය දිනාගන්නා මාර්ගයක් බවට හරවා ගැනීමේදීය.
තර්කානුසාරී හා විශ්ලේෂණාත්මක ක්‍රමවේදයන්ගෙන් තේරුම්ගත නොහැකි ප්‍රශ්න ඇති බව මමද පිළිගනිමි. එහෙත් තිබෙන සියලු ප්‍රශ්න තර්කානුසාරී හා විශ්ලේෂණාත්මක ක්‍රමයකින් තේරුම්ගත නොහැකි ඒවා වන්නේ නැත. තිබෙන ලෞකික ප්‍රශ්න බොහොමයක් තර්කානුකූල හා විශ්ලේෂණාත්මක ක්‍රමයකින් තේරුම්ගත හැකි ඒවාය. බුදුන් වහන්සේ තමන් සොයාගත් විමුක්ති මාර්ගය තමන්ට පමණක් සීමා කරගත්තේ නැත. එය ලෝකයාට කියා දෙන්නටද උත්සාහ කළේය. එහිදී එතුමාද තර්කානුසාරී හා විශ්ලේෂණාත්මක ක්‍රමය, කරුණු පහදාදීම සඳහා යොදා ගත්තේය. ඒ ක්‍රමය වලංගු නොවන බව උන්වහන්සේ කීවේ සමහර ප්‍රශ්න සඳහා මිස සියලු ප්‍රශ්න සඳහා නොවේ. මා සුනිල් විජේසිරිවර්ධන වෙත ඉදිරිපත් කර තිබෙන ප්‍රශ්න කිහිපය තර්කානුසාරී විශ්ලේෂණාත්මක නුවණින් පිළිතුරු දිය හැකි ප්‍රශ්න ගණයෙහිලා සැලකිය හැකිය. එහෙත් ඊට සාධාරණ පිළිතුරක් දෙන්නට බැරිකම නිසා ඔහු කරන්නේ ඒ සරල ප්‍රශ්න කිහිපය තර්කානුසාරී හෝ විශ්ලේෂණාත්මක දැනුමෙන් පිළිතුරු දිය නොහැකි මහා ප්‍රශ්නයක් බවට හරවා ගැනීමය.
ඔහු ලිපිය ආරම්භයේදී පුන පුනා කියන්නේ ඔහුගේ ලිපිය මගේ ප්‍රශ්න කිරීමට පිළිතුරක් හෝ ප්‍රතිචාරයක් නොවන බවය. ඔහු මහත් ඕනෑකමින් කියන්නේ එය ඊට වඩා වැඩි දෙයක් බවය. එහෙත් ඔහුගේ මුළු දිගු ලිපිය පුරාම උත්සාහ කර ඇත්තේ ඊට වැඩි මහා ලොකු දෙයක් කියන්ට නොව මට පිළිතුරු දෙන්නටය. එහෙත් අවසානයේදී ඔහු මා නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේවත් ඉන් එහා ගිය ලොකු දෙයක් කියන්නේවත් නැත. “කොහේද යන්නේ” කියා අසන ප්‍රශ්නයට ඔහු දාර්ශනික භාෂාවකින් දී තිබෙන උත්තරය වී ඇත්තේ “මල්ලේ පොල්” යන්නය.
ඔහු රටේ පවතින අර්බුදය අර්ථදක්වන්නේ සදාචාරමය අර්බුදයක් ලෙසය. මා එය අර්ථ දක්වන්නේද සදාචාරමය අර්බුදයක් ලෙසය. ඔහු එහිදී එම සදාචාරයමය අර්බුදය තුළ සිටින ශීලාචාර මිනිසා ලෙස පෙනී සිටින මුත් කරුණු දක්වන හා විග්රහ කරන ආකාරය අශීලාචාරය.
මේ ඔහුගෙන් ලබාගත් උපුටා ගැනීමකි.
“මුලින් ඔහු භාවිත කරන සංකල්ප වර්ග කිහිපයක් දෙස නොහොත් ඔහුගේ භාෂාව දෙස බලමු. සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම සහභාගි වන ජාතික ප්රශ්නය ඔහු නම් කරන්නේ “දෙමළ” ප්රශ්නය යනුවෙනි. ඒ නාමකරණය විසින්ම ඔහු සිංහල සමාජය එයින් අයින් කරයි. ඉන් ඇඟවෙන්නේ සිංහල සමාජය දෙමළ ජනයාගේ ගැටලුවට සම්බන්ධයක් නැති බවය. එය ඊට අදාළ නැති බවය. එය දෙමළ සමාජය තුළින් ඒකාංගිකව ඉපදී වැඩෙන යමක් බවය. එසේ නම් එම ගැටලුව විසඳීමටද සිංහල සමාජයට වගකීමක් පැවරෙන්නේ නැත. දෙමළ ප්රශ්නය යන්න තුළ අඩංගුව ඇති සදාචාර භංගය මෙතනදී කෙනකුට පැහැදිලි විය යුතුය. අයිවන්ගේ සුළු ජනවර්ගවාදය යන්නද එබඳුම සංකල්පයකි. ඔහු එය භාවිත කරන අන්දමින් ඇඟවෙන්නේ එය සිංහල ජාතිවාදයේ සහභාගිත්වයෙන් තොරව ඉපදී ස්වායත්තව වැඩෙමින් පවතින බවයි.”
මෙසේ තර්ක කරන සුනිල් විජේසිරිවර්ධන වාර්ගික ප්රශ්නය මා දෙමළ ප්රශ්නය ලෙස මගේ ලිපියේ නම් කරන විට ඔහු තම සම්මුඛ සාකච්ඡාවේදී එම ප්රශ්නය නම්කර ඇත්තේ “දෙමළ ජනතාවගේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ ප්රශ්නය” ලෙසය. මා කර ඇත්තේ ඔහුගේ සඳහන තවත් කෙටි කිරීම පමණය. එසේ කිරීමෙන් ඇත්තටම මා සුනිල් විජේසිරිවර්ධන අදහස් කරන ආකාරයේ පටු වර්ගවාදී අදහසකින් ඉදිරිපත් කළේද? මා යුද්ධයට පෙර ලියා තිබෙන දේවල් මොහොතකට අමතක කරන්න. යුද්ධ කාලයේදී හා යුද්ධයෙන් පසුව මෙම විෂය ගැන ලියන ලද බොහෝ ලිපිවලදී සිංහල ජනයා අතින් දෙමළ ජනතාවට ලොකු අසාධාරණයක් වූ බව ලියා තිබෙනවා පමණක් නොව, ඒ අසාධාරණයන් මොනවාද යන්න ගැනද පැහැදිලිව දක්වා තිබේ. බෙදුම්වාදී වර්ගවාදය විශාල ප්‍රමාණයකට සිංහල වර්ගවාදයට ප්‍රතිචාරයක් ලෙස වර්ධනය වූ දෙයක් බව ඒ ලිපිවල පැහැදිලිව සඳහන් කර තිබේ. ඒ සමග සිංහලයන් අතින් සිදුවූ අසාධාරණයට දෙමළ දේශපාලකයන් ප්‍රතිචාර දක්වන ලද මෝඩ හා සාහසික ආකාරය මෙම අර්බුදය විසඳා ගැනීමට තිබෙන හැකියාව වඩා දුෂ්කර කළ බවද මම ඒවාහි කියා ඇත්තෙමි. බොහෝවිට මා ඒ සඳහා නිදර්ශනය කොටගත්තේ ඇමරිකාවේ කළු ජාතිකයන්ය. කළු ජාතිකයන්ට ඇමරිකානුන් අතින් සිදුවී තිබූ අසාධාරණකම්වල තරම ඉතා විශාල වුවත් ඔවුන් තමන් පීඩාවට පත් කරන මිනිසුන් ඝාතනය කරන තැනකට ගියේ නැති බවත් ඔවුන්ගේ ආදරණීය නායකයා මාටින් ලුතර් කිං ඝාතනය කිරීමෙන් පසුවත් ඔවුන් ප්රචණ්ඩ මාවත තෝරාගත්තේ නැති බවත්, එහෙත් දෙමළ නායකයන් තමන්ට සිදුවී තිබුණු අසාධාරණය ජයගැනීම සඳහා තෝරාගත් මාර්ගය සාහසික හා අශීලාචාර වූ බවත් ඒ නිසා විසඳාගත හැකිව තිබුණු ප්‍රශ්නයක් විසඳා ගැනීමට පහසු නැති ලොකු ප්‍රශ්නයක් බවට වර්ධනය වූ බවත් මම ඒවාහි කියා ඇත්තෙමි.
එහෙත් සුනිල් විජේසිරිවර්ධන තර්ක කරන්නේ උසාවියක් ඉදිරියේ තර්ක කරන නීතිඥයකුගේ විලාසයෙනි. ඔහුගේ ලෝකයේ නරකාදියේ සිිටිය යුතු අශීලාචාරම මිනිසා සිංහල ජාතිවාදියාය. ඔහු ඔහුගේ ස්වර්ග රාජ්‍යයේ සඳළුතලයේ සිට තර්ක කරන්නේ මා එම නරකාදියට යැවිය යුතු පුද්ගලයකු බවය. ඔහුට අනුව මා සිටිය යුත්තේ ඒ ගොඩේය.
ඔහුගේ නොසන්සුන් අහංකාර ආකල්පය විසින් මේ විවාදයේදී ඔහු කොතරම් අන්තවාදී තැනකට තල්ලු කරන්නේද කිවහොත් ඔහු ප්රභාකරන් ඊලාම් රාජ්‍යයක් කෙරෙහි විශ්වාසය නොතැබූ පුද්ගලයකු ලෙසද අලුතෙන් අභිෂේක කරන්නේය.
ඒ ගැන කියා ඇත්තේ මෙසේය.
“බොහෝදෙනා කෙසේ සිතුවත් ඔහුට වුවමනා වූ ඊලමක් නැත. ඊලම ඔහුට දෙමළ සමාජය තුළ නිතරග ආධිපත්‍යය සඳහා භාවිත කළ හැකි හොඳ සටන් පාඨයක් පමණක් විය. රට තුළ සාධක, ඉන්දීය හා ජාත්‍යන්තර සාධක මැද ඊලම දිනාගත නොහැකි දෙයක් බව ඔහුට වඩා හොඳින් දැන සිටියකු එල්ටීටීඊ සංවිධානය තුළ නොසිටින්නට ඇත.”
ගාන්ධි හා මැන්ඩෙලා ඔවුන්ගේ පරිකල්පනය හා නිර්මාණශීලීත්වය මගින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හා දකුණු අප්‍රිකාවේ සුදු ආධිපත්‍යය බරපතළ සදාචාර අර්බුදයකට හසුකළ බව සුනිල් කියයි. ඔහු සත්‍යය දකින්නට උත්සාහ කරන්නේ කනපිට හරවාය. ගාන්ධිගේ හා මැන්ඩෙලාගේ තර්කය මාද නිතර නිතර පාවිච්චි කරන තර්කයකි. එහෙත් මා එය පාවිච්චි කර ඇත්තේ සුනිල් පාවිච්චි කරන අතට නොව අනෙක් අතටය. ගාන්ධි හෝ මැන්ඩෙලා රඟපෑවේ පීඩකයාගේ භූමිකාවක් නොව පීඩිතයාගේ භූමිකාවකි. ශ්‍රී ලංකාවේ ආණ්ඩු පීඩකයාගේ භූමිකාව රඟපාන විට පීඩිතයාගේ භූමිකාව රඟපෑවේ ප්රභාකරන්ය. නැත්නම් දෙමළ දේශපාලන දේශපාලකයෝය. මා හැමදාමත් තර්ක කළේ පීඩකයා සදාචාර අර්බුදයට තල්ලු කිරීමේ වගකීම ඇත්තේ පීඩිතයාට බවය. ගාන්ධි, මාර්ටින් ලුතර් කිං, මැන්ඩෙලා වැනි පීඩිත නායකයන් ඒ දේ සාර්ථක ලෙස කිරීමට සමත් වුවත් ප්රභාකරන් හෝ දෙමළ නායකයන් එසේ කිරීමට සමත් නොවූ බවය. නපුරට එරෙහිව වඩා නපුරු ලෙස සටන් කරන මාර්ගයක් තෝරාගැනීම ඊට හේතුවූ බවද මම කියා ඇත්තෙමි. එහෙත් සුනිල් විජේසිරිවර්ධනගේ පරිකල්පනයට ඒ සරල දේවත් වැටහෙන්නේ නැත.
සුනිල් විජේසිරිවර්ධනගේ මෙම පිළිතුරු ලිපිය බුද්ධිමතකුගේ අහංකාරභාවයේ හා අවංකබවේ සීමා මායිම් පෙන්නුම් කරන ලියවිල්ලක් ලෙස සැලකිය හැකිය.
##