අවුරුදු පහකටත් වැඩි කාලයක් ගතවීමෙන් පසුව අධිකරණ සේවා කොමිසම මහේස්ත්රාත් ලෙනින් රත්නායක අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
පසුගිය කාලය පුරාම අධිකරණ සේවා කොමිසම සෘජු ලෙස හෝ අනියම් ලෙස මේ දූෂිත මහේස්ත්රාත්වරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේ ඒ පුද්ගලයාට එරෙහිව ඉතාමත් බරපතල චෝදනා එල්ල වී තිබුණු තත්ත්වයක් ඉදිරියේ ය. අධිකරණ සේවා කොමිසම විසින් ම පත් කරන ලද අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල පරික්ෂණ කමිටුවක් විසින් මෙම මහේස්ත්රාත්වරයාට එරෙහිව එල්ල වී තිබුණු ඉතාමත් බරපතළ චෝදනා හතරකට වරදකරු කිරිමෙන් පසුත්, අධිකරණ සේවා කොමිසම මෙම මහේස්ත්රාත්වරයාට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කළේ නැත. සියලු පිළිගත් නීති රිතිවලට පටහැනිව මේ මස 4 වැනිදා දක්වා ම ගෙදර ඉඳිමින් වැඩ නොකොට පඩි ලබාගත හැකි ආකාරයට ඔහු අනිවාර්ය නිවාඩු යැව්වේ ය.
ඔහු අංක එකේ තක්කඩියෙකු බව අපි කරුණු සහිතව පෙන්වා දුන්නෙමු. අධිකරණ සේවයට එන්නට ප්රථම රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවයේ යෙදි සිටියදි මුදල් වංචා කිරිමේ චෝදනාවක් මත ඔහු සංස්ථා සේවයෙන් නෙරපා හැර තිබුණේ ය. ඔහු අධිකරණ සේවයට එකතු වී තිබුණේ තමන්ගේ ඒ ගඳ ගහන අතීතය අධිකරණ සේවා කොමිසමට වසන් කොට ය. අධිකරණ සේවයට පැමිණීමෙන් පසුව දහමට බර නඩුකාරයෙකු ලෙස පෙනී සිටිමින් සියලු තක්කඩිකම් කළේ ය. තමන් ඉදිරියේ ඇසෙමින් තිබූ නඩු දෙකකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු අවස්ථා දෙකකදි දූෂණය කිරිමේ චෝදනා ඔහුට එල්ල වී තිබුණි. ඒ සියලු චෝදනා ඉදිරියේ අධිකරණ සේවා කොමිසම දිගින් දිගට මේ තක්කඩි මහේස්ත්රාත්වරයා ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්රියා කළේය. එයින් සමස්ත අධිකරණ සේවයට සිදුවී තිබෙන අවමානය සුළු පටු නැත.
අගවිනිසුරුවරයා පාදක කොටගෙන අධිකරණයේ මතුවී තිබෙන අර්බුදයේ මුල පටන් ගත්තේ ද ලෙනින් රත්නායකගෙනි. මුදල් වංචා චෝදනාවක් මත රක්ෂණ සංස්ථාවෙන් පලවා හරිනු ලැබූ තක්කඩියකුට අධිකරණයට සම්බන්ධ බලවත් පුද්ගලයන්ගේ ආධාර ඇතිව අධිකරණ සේවයට සම්බන්ධවීමට ලැබුණු පුලුවන්කමෙන් පෙන්නුම් කෙරෙන්නේ අධිකරණ සේවය සඳහා ගරු කටයුතු පුද්ගලයින් තෝරාගන්නා ක්රමයක් නැති බවය. ඉන්පසු මේ දූෂිත මහේස්ත්රාත්වරයාට එරෙහිව ඉතාමත් බරපතළ චෝදනා එල්ලවෙමින් තිබූ තත්ත්වයක් ඉදිරියේ අධිකරණ සේවයේ බලධාරින් ඇස් වසාගෙන සිටින ප්රතිපත්තියක් අනුගමනය කිරිමෙන් පෙන්නුම් කෙරෙන්නේ ද අධිකරණ සේවයේ ගෞරවය පිළිබඳ හැගීමක් අධිකරණ සේවා කොමිසමට ද නොතිබුණු බව ය. ඉන්පසුව ලෙනින් රත්නායක මොහොතකටවත් අධිකරණ සේවයේ තබා නොගත යුතු තරම් අධම පුද්ගලයෙකු බව පරික්ෂණ වලින් අනාවරණය වූ පසුත් එවකට නීතිපති ධුරය දැරූ සරත් නන්ද සිල්වා මහතා විසින් කොන්දේසි විරහිතව මෙම අධම පුද්ගලයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරිමෙන් පෙනෙන්නේ ද අධිකරණයේ මුදුන් කණු කුණුවී තිබෙන තරමේ ප්රමාණයයි.
මේ අයහපත් තත්ත්වයේ මූලික වෙනසක් ඇති කරගැනීම සඳහා ක්රියාකිරීම ප්රජාතන්ත්රවාදි නිදහස ගැන උනන්දුවක් දක්වන සියලු දෙනාගේ වගකීමකි. සමස්ත ක්රමයේ වෙනසක් ඇති කිරීමට දරන ඕනෑම ප්රතිසංස්කරණයක් ආරම්භ විය යුත්තේ අධිකරණයෙනි. අධිකරණය පටු දේශපාලන අරමුණුවලින් තොරව ස්වාධීනව ක්රියාකරන මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ආයතනයක් බවට පත් කරගත යුතු ය. ඉතා බරපතළ චෝදනා එල්ල වී තිබෙන සරත් නන්ද සිල්වා මහතා එම තනතුරෙන් ඉවත් කිරීම අත්යවශ්ය කොන්දේසියක් වන අතර, ඒ මහතා එම තනතුරෙන් ඉවත් කිරිමෙන් පමණක්, ස්වාධීන අධිකරණයක් ඇති නොවන බැවින් ඉන් ඔබ්බට යන ප්රතිසංස්කරණ වැඩපිළිවෙළකට යොමුවිය යුතු ය. ඉතාමත් වැදගත් දේ ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ අධිකරණයේ කාර්ය භාරය කුමක් විය යුතු ද යන්න හඳුනා ගැනීමයි. ඒ වුවමනාවන්ට ගැලපෙන ලෙස අධිකරණය ප්රතිසංස්කරණ කරන්නේ කෙසේ ද යන ප්රශ්නයට ඊළගට ප්රායෝගික විසඳුමක් සොයා ගත යුතු ය.