අධ්‍යාපන අර්බුදය හා දේශපාලන අර්බුදය

October 29, 2026
Publication:
The answer-script crisis has sharpened the crisis in schools and universities, and that crisis in turn sharpens the political one — the two feed each other. Ivan goes through the state of education, the cuts, the per-pupil spend, the teachers, the standard, primary schooling and the two public examinations, and shows that salaries plus textbooks and uniforms come to 95 per cent of recurrent spending, leaving laboratories and libraries the stepmother's share.

උසස් පෙළ විභාග උත්තර පත්‍ර අර්බුදය පාසල් අධ්‍යාපන ක්‍රමයේ හා විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ පවත්නා අර්බුදය තීව්‍ර කිරීමට හේතුවී තිබෙනවා සේ ම, අධ්‍යාපන ක්‍රමයේ වර්ධනය වන අර්බුදය දේශපාලන ක්‍රමයේ පවත්නා අර්බුදය ද තීව්‍ර කිරීමට හේතුවී තිබේ. අධ්‍යාපන ක්‍රමයේ පවතින අර්බුදය හා දේශපාලන ක්‍රමයේ පවතින අර්බුදය අතර, අන්‍යොන්‍ය සම්බන්ධයක් පවතී. මේ අර්බුද දෙක එකිනෙක කෙරෙහි රඳා පවතිනවා සේ ම ඒ දෙක අන්‍යොන්‍ය වශයෙන් පෝෂණය කරයි.

රටේ අනාගතය රඳා පවතින්නේ අධ්‍යාපනය මතය. දුප්පත්, පොහොසත්, උගත් නූගත් භේදයකින් තොරව රටේ ජනතාව අධ්‍යාපනය කෙරෙහි ඉතා සංවේදීය. බලවත් හෝ පොහොසත් මිනිසුන් තමන් හිමි කරගෙන සිටින උසස් සමාජ තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගැනීමට උත්සාහ කරන්නේ සිය දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමෙනි. අනෙක් අතට අවවරප්‍රසාදිත තත්ත්වයක සිටින ජනතාව ද එම අවාසනාවන්ත තත්ත්වය ජයගැනීමට උත්සාහ කරන්නේ සිය දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම මගිනි. අධ්‍යාපන ක්‍රමයේ පවතින අර්බුදය භේදයකින් තොරව ඒ සියලු ජනයාගේ අපේක්ෂා බොඳ කිරීමට හේතුවී තිබේ.

උත්තර පත්‍ර ප්‍රශ්නය

උසස් පෙළ උත්තර පත්තර ප්‍රශ්නය විසඳීමට දරන ලද හැම උත්සාහයක්මත් අසාර්ථක වී තිබේ. එම ප්‍රශ්නයට උත්තරයක් සොයන්නට අධ්‍යාපන ඇමති උත්සාහ කළේය. ජනාධිපති උත්සාහ කළේය. අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ද උත්සාහයක යෙදුණේය. එහෙත් ඒ කිසිවකුට එම ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් සොයාගැනීමට හැකිවූයේ නැත.

ගුරුවරුන්ගේ උත්සාහය අහිංසක ශිෂ්‍යයන්ගෙන් පළිගැනීමට දරන කෘෘර උත්සාහයක් ලෙස පෙනෙන්නට තිබුණත්, ගුරුවරුන්ගේ අපේක්ෂා අහිංසකය. ඔවුන් තමන්ගේ වැටුප් ආරාවුල විසඳා ගැනීමට අවුරුදු ගණනාවක් උත්සාහ කළේය. ඒ සඳහා දරන ලද හැම උත්සාහයක්ම අසාර්ථක වූ තැන ඉතාමත් සංවේදී නිලයක් අල්ලන තැනකට ඔවුන් යොමුවිය.

තමන්ගේ වැටුප් ප්‍රශ්නය තනි ප්‍රශ්නයක් වශයෙන් ගෙන විසඳන්නට ඉඩක් නැති බව ගුරුවරුන් තේරුම් ගැනීමට තව කලක් ගතවිය හැකිය. එසේම රාජ්‍ය සේවක වැටුප් ප්‍රශ්නය මුළු එකක් වශයෙන් ගෙන විසඳීමේ හැකියාවක් පවතින දේශපාලන ක්‍රමයට නැත.

පවතින දේශපාලන ක්‍රමය දූෂිත හා අකාර්යක්ෂම වනවා පමණක් නොව, එය නඩත්තු කිරීම සඳහා නොකඩවා ඉහළ යන අතිවිශාල මිලක් ගෙවීමට ද රටට සිදුවී තිබේ. ඒ සඳහා අත්‍යවශ්‍ය මහජන සේවා සඳහා කරන වියදම් නොකඩවා කපා හැරීමට සිදුවී තිබේ.

පවතින දේශපාලන ක්‍රමය තුළ රජයට ලැබිය යුතු ආදායම්වලින් විශාල පංගුවක් අයථා ලෙස දේශපාලකයන්ගේ සහ ඔවුන්ගේ ගජමිතුරන්ගේ සාක්කුවලට ගලා යන්නේය. ඊට අතිරේකව රජයට ලැබෙන ආදායමෙන් ද විශාල පංගුවක් මෙම දූෂිත හා අකාර්යක්ෂම දේශපාලන ක්‍රමය නඩත්තු කිරීම සඳහා වැය කිරීමට සිදුවී තිබෙන්නේය.

අර්බුදයට ගොස් තිබෙන මහජන සේවාවන් යථා තත්ත්වයට ගැනීම සඳහා අතිවිශාල අතිරේක වියදමක් අවශ්‍ය වන්නේය. එම අතිරේක වියදම ලබාගත හැකි අතිරේක මාර්ගයක් ඉතිරි වී නැත. එම අතිරේක වියදම සොයා ගැනීමට තිබෙන එකම ක්‍රමය දේශපාලකයන්ගේ හා ඔවුන්ගේ ගජමිතුරන්ගේ සාක්කුවලට අයථා ලෙස රජයට ලැබිය යුතු ආදායම් ගලායෑම වළකා අඩු වියදමින් නඩත්තු කළ හැකි කාර්යක්ෂම නව දේශපාලන ක්‍රමයක් ඇති කරගැනීමෙන් පමණය.

ගුරුවරුන් ඉල්ලා සිටින සහන ලබාදීමේ හැකියාවක් මෙම දේශපාලන ක්‍රමයට නැත. අනෙක් අතට ගුරුවරුන්ට පමණක් සහන ලබාදෙන ක්‍රමයක් මගින් වෙනත් රජයේ සේවකයන්ට වැටුප් විෂමතා ප්‍රශ්නයක් ඇති කරයි. අර්බුදය ගොඩ නැගී ඇත්තේ ප්‍රශ්න තනි තනිව ගෙන විසඳිය හැකි ආකාරයට නොව, මූලික ප්‍රශ්න එකට ගෙන විසඳිය යුතු ආකාරයටය.

ගුරුවරුන්ට හා රජයේ සේවකයන්ට පමණක් නොව, අධ්‍යාපනය කෙරෙහි බලාපොරොත්තු ඇති කරගෙන සිටින ශිෂ්‍ය ජනගහනයේ දෙමාපියන්ට ද ඔවුන්ගේ වැටුප් ප්‍රශ්න දිනා ගැනීම සඳහා පමණක් නොව අර්බුදයට ගොස් තිබෙන මහජන සේවාවන් ආරක්ෂා කරගැනීම සඳහා ද පාලක පක්ෂ වෙනස් කරන සුපුරුදු දේශපාලනයෙන් ඉවත් වී නව දේශපාලන ක්‍රමයක් දිනාගැනීම වෙනුවෙන් සටන් කරන තැනකට එන්නට සිදුවනු ඇත්තේය.

අධ්‍යාපනයේ යථා තත්ත්වය

1990 දශකයේ මුල දක්වා සංවර්ධනය වන සියලු රටවල් අතුරින් අධ්‍යාපනයේදී ශ්‍රී ලංකාව පෙරමුණේම සිටියේය. එහෙත් ඒ ජයග්‍රහණය පවතින දේශපාලන ක්‍රමයේ ප්‍රතිඵලයක් නොවේ. 1930 දශකයේ හා 1940 දශකයේ පාසල් යායුතු වයසේ ළමා ජනගහනයට මූලික අධ්‍යාපනයක් හා ද්විතීයික අධ්‍යාපනයක් ලබාදීම අරමුණු කොටගෙන ක්‍රියාත්මක වූ නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් වශයෙනි.

එකල අධ්‍යාපනයේදී රටට නිසි ඉදිරි දැක්මක් තිබුණා සේම, ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙලක් ද තිබුණි. නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙල අවශ්‍ය වෙනස්කම්වලට ලක්කිරීමකින් තොරව හැමදාමත් එක ලෙස ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙලක් නොවීය. ප්‍රාථමික අධ්‍යාපනයට සම්බන්ධ විය යුතු වයස් කාණ්ඩවලට අයත් සියලු ළමුන් (95% ක්) පාසල් අධ්‍යාපනයට සම්බන්ධවීමෙන් පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා වන නොමිලේ අධ්‍යාපනයක් සඳහා යන සියලු වියදම් දැරීමේ හැකියාවක් රජයට නොතිබුණි. අධ්‍යාපනයේ ගුණාත්මක බව ආරක්ෂා කරගනිමින් ඉදිරියට යෑම සඳහා ඒ සඳහා යන වියදමෙන් කිසියම් පංගුවක් මහජනයාගෙන් ලබාගැනීමේ ක්‍රමයක් ඇති කරගැනීම අවශ්‍ය වුවත්, එවැනි වෙනස්කම් ඇතිකර ගැනීමෙන් තොරව තවදුරටත් රජයේ තනි වියදමෙන් නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන තත්ත්වයක් තුළ අධ්‍යාපනයේ තිබිය යුතු ගුණාත්මක අගයේ විශාල පිරිහීමක් ඇතිවිය. 1977 දී පාලකයාට පරම බලය ලබාදෙන දේශපාලන ක්‍රමයක් ඇති කරගැනීමෙන් පසු දේශපාලන ක්‍රමය නඩත්තු කිරීම සඳහා ඉහළ යන වියදම් පියවා ගනු ලැබූයේ අධ්‍යාපනය, සෞඛ්‍යය, මගී ප්‍රවාහනය වැනි මහජන සේවාවන් සඳහා කරන වියදම් කපාහැරීමෙනි. ඒ සමග දේශපාලන ක්‍රමයට ආවේණික අධිකාරීවාදී ගති ලක්ෂණ ද දූෂණය හා අකාර්යක්ෂමතාව වැනි ගති ලක්ෂණ ද අධ්‍යාපන ක්‍රමයට එකතු විය.

මීට පෙර රජයේ වගකීම වූයේ රජයේ වියදමෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමය. පෙළපොත් සහ නිල ඇඳුම් මිලදී ගත්තේ දෙමාපියෝය.

අලුත් ක්‍රමය තුළ අධ්‍යාපනයේ ගුණාත්මක අගය පවත්වාගෙන යෑම වෙනුවෙන් කෙරෙන වියදම් කපා හැරෙන ආකාරයට ආණ්ඩුව ඒ වියදමෙන් පාසල් සිසුන්ට නොමිලේ පෙළපොත් හා නිල ඇඳුම් දෙන ක්‍රමයක් ඇති කළේය. දෙමාපියන්ගේ වගකීම රජයේ වගකීමක් බවටත්, රජයේ වගකීම දෙමාපියන්ගේ වගකීමක් බවටත් මාරුවිය. රජයේ නිල ඇඳුම් හා පෙළපොත් දෙන විට පාසලට අවශ්‍ය ඩෙස් බංකු ගෙන ගියේ දෙමාපියන්ය. පාසලට අවශ්‍ය අතිරේක වියදම් දැරිය යුතු වූයේ ද දෙමාපියන්ය. පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලිය දේශපාලන බලය හෝ මුදල් බලය මත ජයගත යුතු වියරු පොරයක් බවට හැරුණි. අධ්‍යාපනය, පරිපාලනය දේශපාලනකරණය වී අධ්‍යාපනය මෙහෙයවීමේ ක්‍රියාවලිය අධ්‍යාපනඥයන් වෙනුවට දේශපාලන ගැත්තන් අතින් සිදු කෙරෙන දෙයක් බවට පත්විය. පාසල් ක්‍රමයට පන්ති භේදයක් එකතු වී සුපිරි පාසල් ඉතිරි වී ගම්බද දුප්පත් පාසල් වැසී අතුගෑවී යන තත්ත්වයක් ඇතිවිය.

අධ්‍යාපන වියදම් කපා හැරීම

ඉන්දියාව සිය ජාතික ආදායමෙන් 4.1% ක් ද, මැලේසියාව 6.1% ක් ද, තායිලන්තය 5.4% ක් ද අධ්‍යාපනය සඳහා වැය කරන විට, ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා වැය කරන්නේ සිය ජාතික ආදායමෙන් 2.9% ක් පමණය.

රජයේ වියදම් පංගුවක් වශයෙන් අධ්‍යාපනය සඳහා කරන වියදමේ දී ද ශ්‍රී ලංකාව සිටින්නේ පහත්ම තත්ත්වයකය. තායිලන්තය ආණ්ඩුවේ මුළු වියදමෙන් 31% ක් ද, මැලේසියාව 26.7% ක් ද, පිලිපීනය 20.6% ක් ද, බංගලිදේශය 15.7 % ක් ද, ඉන්දියාව 12.7% ක් ද මාලදිවයින 11.2% ක් ද වැය කරන විට ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා වැය කරන්නේ ආණ්ඩුවේ මුළු වියදමෙන් 6.8% ක් පමණය.

ශ්‍රී ලංකාවේ වාර්ෂික අධ්‍යාපන වියදම රුපියල් මිලියන 40,000 කි. (ඇමරිකන් ඩොලර් මිලියන 415 කි.) මුළු වියදමෙන් පුනරාවර්තන වියදම 84% කි. ප්‍රාග්ධන වියදම 16% කි.

පුනරාවර්තන වියදමෙන් 85%ක් ම වැය කරන්නේ ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ හා නිලධාරීන්ගේ වැටුප් සඳහාය. පෙළපොත් හා නිල ඇඳුම් සඳහා කරන වියදම ඊළඟ විශාල වියදම වන අතර, මෙම වියදම් සංරචකයන් දෙකේ (වැටුප්, පෙළපොත් හා නිල ඇඳුම්) එකතුව මුළු පුනරාවර්තන වියදමෙන් 95% කි. ඉැන්වීම් උපකරණ, විද්‍යාගාර උපකරණ, පුස්තකාල ද්‍රව්‍ය සඳහා ලැබී ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි. තිබෙන අධ්‍යාපන ක්‍රමය ඔහේ ගැට ගසාගෙන යන්න දරන උත්සාහයෙන් ඔබ්බට ගිය දර්ශකයක් රටට නැති බව ඉන් පෙනී යයි.

අධ්‍යාපනය සඳහා කරන ප්‍රාග්ධන වියදම තුළම මෙම කාලකණ්ණි ලක්ෂණය දැකිය හැකිය. ප්‍රාග්ධන වියදම මුළු අධ්‍යාපන වියදමෙන් 16% කි. ප්‍රාග්ධන වියදම 1999 දී රජයේ මුළු වියදමෙන් 5% ක මට්ටමක තිබී, 2002 දී 2.5% ක මට්ටමකට පහත වැටුණි. ප්‍රාග්ධන වියදමෙන් ද 80% කට වැඩි කොටසක් වැය කෙරෙන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහාය. විද්‍යාගාර, තොරතුරු මධ්‍යස්ථාන, උපකරණ වැනි අධ්‍යාපනයේ ගුණාත්මක අවශ්‍යතාවන් සඳහා වැය කෙරෙන්නේ මුළු ප්‍රාග්ධන වියදමෙන් 20% ක් පමණය.

ඒක පුද්ගල වියදම

එක් ශිෂ්‍යයෙක්ගේ අධ්‍යාපනය සඳහා රජයේ වාර්ෂික වියදම 1996 මිල ගණන් අනුව 2002 වසරේදී රුපියල් 6032 කි. අධ්‍යාපනයේ වාර්ෂික ප්‍රාග්ධන වියදම එක් ශිෂ්‍යයකු සඳහා රුපියල් 987 කි.

ප්‍රාථමික අධ්‍යාපනය සඳහා එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් වියදම රුපියල් 6471 කි. ද්විතීයික අධ්‍යාපනය සඳහා එය රු. 7481 කි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු සඳහා රුපියල් 65697 කි.

ගුරුවරුන්

ගුරුවරුන් අතර නිසි පුහුණුවක් නොලැබූ අය සේම, අධ්‍යාපනික සුදුසුකම් රහිත කිසියම් විශාල පිරිසක් සිටිති. ඕනෑම අධ්‍යාපන ක්‍රමයක ගුරු බලකායේ ගුණාත්මක අගය එම අධ්‍යාපනයේ ගුණය කෙරෙහි බලපායි. ගුරුවරුන් සුදුසුකම් ඇති පුහුණු පිරිසක් විය යුතුවා සේ ම, ඇතිවන වෙනස්කම් නිරන්තරයෙන් ග්‍රහණය කරගන්නා පිරිසක් ද විය යුතුය. ගුරුවරුන්ගේ දැනුම නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමයක් අපේ රටේ නැත.

ගුරුවරුන් අතර තමන්ට ලැබෙන වැටුප් පිළිබඳව අතෘප්තියක් පවතී. නියම වටිනාකම අනුව දැන් ගුරුවරුන් උපයන වැටුප 1978 දී උපයන ලද වැටුපෙන්85% ක් බව ලෝක බැංකුවේ මතයයි.

අපේ රටේ ගුරුවරුන් නිවාඩු ලබාගන්නා අනුපාතිකය ලෝකයේ ඉහළම මට්ටමක පවතී. වසරකට දින මිලියන 07 ක් ගුරුවරුන් නිවාඩු ලබා ගනිති. අධ්‍යාපනික වසරක් සඳහා එක් ගුරුවරයෙක් ලබාගන්නා නිවාඩු සංඛ්‍යාව බස්නාහිර පළාත සඳහා දින 35 ක් ද, ඌව පළාත සඳහා දින 42 ක් ද, උතුරු මැද පළාත සඳහා දින 43 ක් ද වේ. ගුරුවරුන්ගේ නිවාඩු අනුපාතිකය 18% ක මට්ටමක පවතී.

ගුරුවරුන්ගේ පරිපාලනය පවතින්නේ ඉතාමත් අකාර්යක්ෂම තත්ත්වයකය. තමන්ට ලැබිය යුතු වැටුප් වර්ධකයක් වැටුප් ලේඛනයට ඇතුළත් කරගැනීම සඳහා සමහරවිට ගුරුවරුන්ට නිවාඩු දමා දින ගණනක් අධ්‍යාපන කාර්යාලයේ රස්තියාදුවීමට සිදුවී තිබේ. ගුරුවරුන්ගේ නිවාඩු අනුපාතිකයේ ඉහළ වර්ධනය කෙරෙහි පරිපාලනයේ පවත්නා අකාර්යක්ෂමතාව ද වැදගත් හේතුවක් ලෙස බලපා තිබේ.

අධ්‍යාපනයේ මට්ටම

සාක්ෂරතා ඥානයේදී රටක් වශයෙන් අප අත් පත් කරගෙන සිටින ඉහළ තැන ගැන උදම් අනන්නට අපි කැමැත්තෙමු. එහෙත් එහිදී පවා දැන් මාලදිවයින අපට වඩා ඉදිරියෙන් සිටින බව අපි අමතක නොකළ යුතුය.

සාක්ෂරතා ඥානයේදී අපි ඉහළ තත්ත්වයක සිටියදී පළමු වසරට ඇතුළු වන සිසුන්ගෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් දක්වා අධ්‍යාපනය ලබන්නන්ගේ අනුපාතිකයේදී අප ඉන්නේ පහළම තැනකය. ඉන්දියාවේ පළමු ශ්‍රේණියට ඇතුළු වන සිසුන්ගෙන් 8% ක් ද, කොරියාවේ 40% ක් ද, ජපානයේ 55% ක් ද, විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනයක් ලබන විට අපේ රටේ පළමු ශ්‍රේ්ණියට ඇතුළු වන සිසුන් 100 කගෙන් විශ්වවිද්‍යාලය දක්වා වන අධ්‍යාපනයක් ලබන්නේ 1.8% ක් පමණය.

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේදී අප සිටින්නේ බැලූ බැල්මට කාර්යක්ෂම තැනකය. නැවත රැඳෙන හා හැලෙන අයගේ අනුපාතිකය පිළිවෙළින් 2% ක් හා 7% ක් වේ. එහෙත් එම තත්ත්වයට හේතුව 1-11 චක්‍රය තුළ ඉහළ ශ්‍රේණියට මාරු කිරීම හා කැමැත්තෙන් රැඳී සිටීම හැර අසමත් කිරීමේ යාන්ත්‍රණයක් නැති නිසාය.

ප්‍රාථමික අධ්‍යාපනය

ප්‍රාථමික අධ්‍යාපනයේදී සිසුන්ගේ භාෂා හා සංඛ්‍යාන කුසලතා තිබෙන්නේ දුර්වල තත්ත්වයකය. ඔවුන්ගේ සංජානන සාධක පිළිබඳව තිබෙන පරීක්ෂණ අනුව මව්බසේ (සිංහල හෝ දෙමළ) ප්‍රගුණත්වය 37% කි. ලිවීම 28% කි. වාක්‍ය සංයෝජනය 30% කි. අවබෝධය 45% කි. වචන කුසලතාව 70% කි. හොඳ මට්ටමක් දක්නට ඇත්තේ වචන කුසලතාවේදී පමණය.

ඉංග්‍රීසි භාෂාවේදී ලිවීමේ කුසලතාව 1% කි. භාෂා අවබෝධය 16% කි. වාක්‍ය සංයෝජනය 20% කි. වචන කුසලතාව 35% කි. ඉංග්‍රීසි භාෂාවේදී සිටින තත්ත්වය ඉතාම දුර්වල බව ඉන් පෙනී යයි.

ගණිත විෂයයේදී සමස්ත ප්‍රගුණතාව 38% කි. සංකල්ප ප්‍රගුණතාව 45% කි. ක්‍රම 51% කි. ගැටලු විසඳීම 31% කි. ගණිතයේදී ද අත් පත් කරගෙන සිටින තැන ඉතාමත් දුප්පත්ය. ප්‍රාථමික අධ්‍යාපනය සමස්ත අධ්‍යාපනයේ අඩිතාලම ලෙස සලකතොත් එම අඩිතාලම ඉතා දුර්වල තත්ත්වයක පවත්නා බව ඉන් පෙනීයයි.

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ

ඉන්පසු දක්නට තිබෙන තත්ත්වය ද යහපත් නැත. අපොස සාමාන්‍ය පෙළ සමත්වන්නන්ගේ අනුපාතිකය 37% කි. සා. පෙළ ශිෂ්‍යයන්ගෙන් බහුතර පිරිසක් ගණිතය, ඉංග්‍රීසි භාෂාව, විද්‍යාව හා සමාජ විද්‍යාව යන විෂයයන්ගෙන් අසමත් වෙති. 8 වැනි ශ්‍රේණියේදී අධ්‍යාපනය අතහැර යන්නන්ගේ අනුපාතිකය 4.9% කි. 9 වැනි ශ්‍රේණියේදී එය 6.0% කි.

උසස් පෙළ අසමත්වන්නන්ගේ අනුපාතිකය 45% කි. පළමුවර විභාගයට පෙනී සිට නැවත දෙවැනි වර විභාගයට පෙනී සිටින්නන්ගේ අනුපාතිකය 36% කි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන ශිෂ්‍යයන් 121462 ක් (2007දී) අතුරින් විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමේ අවස්ථාව ලැබෙන්නේ 18634කට හෙවත් සමත්වූවන්ගෙන් 15% කට පමණය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සුදුසුකම් ලබන සියලු දෙනාට විශ්වවිද්‍යාල පහසුකම් ලබාදීමේ හැකියාවක් ආණ්ඩුවට නැත. ඒ පිරිසට පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රමයක් මගින් අධ්‍යාපනයක් ලබාදෙනවාට ද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තරයේ විරුද්ධය.

උසස් පෙළ උත්තර පත්‍ර අර්බුදය එකවිට පාසල් අධ්‍යාපනය සේ ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද අර්බුදයකට ඇද දමයි. උත්තර පත්‍ර ඇගයීම සුදුසුකම් නැති පිරිසක් ලවා පරීක්ෂා කිරීමේ හැකියාවක් ඇතත්, එවැනි විකල්පයක් අර්බුදය තව උග්‍ර කිරීමට හේතුවනවා මිස, සමනය කරන්නේ නැත. අලුත් නීති ඇති කිරීම මගින් උත්තර පත්‍ර පරීක්ෂාව ගුරුවරුන් සඳහා අනිවාර්ය කළ හැකි වුවත්, එවැනි බලහත්කාරී ක්‍රියාමාර්ගයක් ද ප්‍රශ්නය උග්‍ර කිරීමට හේතුවනවා මිස, සමනය කිරීමට හේතුවන්නේ නැත. මෙම ප්‍රශ්නයට පවතින දේශපාලන ක්‍රමය තුළ ලබාගත හැකි පිළිතුරක් නැත.