රතු කුරුස සංගමයේ ස්වෙච්ඡා සේවකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සාහසික සිද්ධිය දේශීය වශයෙන් පමණක් නො ව, ජාත්‍යන්තර වශයෙන් ද මහත් අවධානයක් දිනා ගත් සිද්ධියක් බවට පත්වී තිබේ.
විරුද්ධ පක්ෂය ඒ ගැන ආණ්ඩුවට චෝදනා කරන විට, ආණ්ඩුව කියන්නේ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට දින නියම කරගෙන තිබෙන අවස්ථාවක ආණ්ඩුව අපකීර්තියට පත් කරනු පිණිස එය කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් කර තිබෙන බව ය.
සිද්ධියට වගකිවයුතු අය කවුරුන් වුවත්, රටේ පවතින මෙම පරිසරය කෙරෙහි බලපා තිබෙන්නේ යුද හමුදාව හා එල්ටීටීඊය අතර පවතින යුද ගැටුම් ය. ත්‍රස්තවාදය පරාජය කිරීම අත්‍යවශ්‍ය වුවත්, ඒ සඳහා තෝරාගෙන තිබෙන්නේ හොඳම මාර්ගය ද යන්න ගැන නැවත සලකා බැලිය යුතු ය.
ත්‍රස්තවාදී අභියෝගය හා ජනවාර්ගික ප්‍රශ්නය අතර තිබෙන අන්තර් සම්බන්ධය මුළුමණින් නො සලකා මෙම අර්බුදය ජයගැනීමේ හැකියාවක් නො පවතී. එල්ටීටීඊයට වෙනම රාජ්‍යයක් පිළිබඳ සිය අරමුණු ජයගැනීමේ හැකියාවක් නැතත්, රට අස්ථාවර කිරීමේ හැකියාව ඔවුන්ට ඇත්තේ ය. වාර්ගික අර්බුදයට සාධාරණ විසඳුමක් ලබාදීමෙන් තොරව එල්ටීටීඊයට එරෙහිව කෙරෙන යුද්ධයක් දෙමළ ජනතාවට පෙනෙනු ඇත්තේ දෙමළ විරෝධී යුද්ධයක් ලෙස ය.
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් මිස, ජනවාර්ගික අර්බුදයක් නැතැයි කියන ප්‍රවේශය විනාශකාරී ය. ව්‍යවස්ථානුකූලව දෙමළ භාෂාවට ජාතික භාෂාවක තත්ත්වයක් ලබාදී ඇතත්, ඇත්ත භාවිතයේ දී දෙමළ ප්‍රදේශවලටත්, දෙමළ භාෂාව පරිපාලන භාෂාව බවට පත්වී නැත. රාජ්‍ය සේවයට කෙරෙන බඳවා ගැනීම්වලදී ද ඔවුන්ගේ ජනවාර්ගික අනුපාතිකයට ගැලපෙන තරමකටවත් දෙමළ ජනයා රාජ්‍ය සේවයට අවශෝෂණය කරගැනීමක් සිදුවන්නේ නැත. මෙවැනි ප්‍රශ්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව විසඳිය හැකි ප්‍රශ්න වන අතර, එම ප්‍රශ්න නො පමාව විසඳා දීමේ වගකීමක් රජයට ඇත්තේ ය.
මෙම ප්‍රශ්නය සාධාරණ ලෙස විසඳා ගැනීමට නම් පාර්ශ්ව දෙකම තමන් සිටින අන්තවාදී සීමා අත්හැරිය යුතු ය. දෙමළ ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවී ඇති බව ආණ්ඩුව පිළිගත යුතුව තිබෙන අතර, එම අසාධාරණය විසඳාදීමට තමන්ට ධෛර්යයක් ඇති බව පෙන්නුම් කළ යුතු ය.
ඒ සමග දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට තිබෙන උත්තරය වෙනම රාජ්‍යයක් නොවන බව දෙමළ ජනතාව ද තේරුම් ගනිමින් විසඳුමක් ඇති කර ගැනීමට පුළුවන්කමක් ලැබෙන ආකාරයට තමන් සිටින අන්තවාදී ස්ථාවරයෙන් අත්මිදීමට එල්ටීටීඊයට බල කළ යුතු ය. රටේ අවුල් ඇති කිරීම දෙමළ ජනතාව මුහුණ දී තිබෙන ගැටලුවලට විසඳුමක් නොවන බව එල්ටීටීඊය ද තේරුම් ගත යුතු ය. •