ශ ලංකාවේ තත්ත්වය හොඳ අතට හැරෙනවා වෙනුවට දවසින් දවස නරක අතට හැරෙමින් තිබෙන බව පෙනේ. අපට ආධාර කළ රටවල් සමග අනවශ්‍ය ගැටුම් ඇති කරගනිමින් සිය ප්‍රතිරූපය පළුදු කරගනිමින් සිටින බව ද පෙනේ.
කොළඹ ලොජ්වල ජීවත් වන දෙමළ ජනයා බලහත්කාරයෙන් උතුරට යවන පිළිවෙත වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද අතුරු තහනමින් පසු ඒ ක්රියාවේ වරද බාර ගනිමින් ආණ්ඩුව වෙනුවෙන් අගමැතිවරයා දෙමළ ජනයාට සිය කණගාටුව ප්‍රකාශ කළේ ය. දැන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා කියන්නේ අගමැතිවරයාගේ එම ප්‍රකාශයෙන් ආරක්ෂක හමුදාවලට හානියක් සිදුවී ඇති බැවින්, අගමැතිවරයා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බව ය.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ලොජ්වල සිටි දෙමළ ජනයා උතුරට යැවීමට ගනු ලැබූ තීරණය වරදක් නොවන බව ප්‍රකාශ කර තිබුණි. ඔහු එහිදී තර්ක කර තිබුණේ කොළඹ ජීවත්වීමට සාධාරණ හේතුවක් නැති අය රඳවා තබා ගැනීමේ හැකියාවක් තිබියදී ඔවුන් ඔවුන්ගේ ගෙවල් දොරවල්වලට යැවීම අසාධාරණයක් වන්නේ කෙසේද කියා ය.
එහෙත් බලහත්කාරයෙන් පිටමං කළ සියලු දෙනා හොඳින් කරුණු පරීක්ෂා කර බැලීමෙන් පසු තෝරාගත් පිරිසක් නොවී ය. ඔවුන් අතර පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීම පිණිස කොළඹ පැමිණි කිහිප දෙනෙක් ද සිටියහ. ඉදිරි දින කිහිපයකදී කොළඹදී විවාහ වීමට අපේක්ෂා කළ මනාලියක් ද ඔවුන් අතර වූවා. ඇගේ විවාහ මංගල්‍යය සඳහා හෝටලයක් ද ඇණවුම් කර තිබුණි.
එල්ටීටීඊයට සම්බන්ධ දෙමළ මිනිසුන් හා එල්ටීටීඊ නොවන දෙමළ මිනිසුන් වර්ග කිරීම පහසු නැතත්, ආරක්ෂාව සඳහා හෝ ඔවුන් උතුරු නැගෙනහිරට යවන ප්‍රතිපත්තියක් දෙමළ නිජබිම් සංකල්පය සේ ම දෙමළ රාජ්‍යයක් සඳහා කරන ඉල්ලීම ද යුක්තිසහගත කරයි. එල්ටීටීඊ අණසක පිළිගැනීමට සූදානම් නැති දෙමළ මිනිසුන් ජීවත් විය යුත්තේ කොහේ ද?
ආරක්ෂක ලේකම්වරයා රොයිටර් සේවය සමග කරන ලද එම සම්මුඛ සාකච්ඡාවේදී බටහිර රටවල් ද විවේචනය කර තිබුණි. ශ්‍රී ලංකාව පීඩාවට පත් කිරීමට ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා යුරෝපා සංගමය වැනි බටහිර රටවලට අවශ්‍ය වී තිබෙන බව ප්‍රකාශ කරමින් තමන්ට කැමති දෙයක් ඔවුන්ට කළ හැකි බවත්, ශ්‍රී ලංකාව ඔවුන්ගෙන් නොයැපෙන බවත් අපට සාක් රටවල් සිටින බවත් ප්‍රකාශ කර තිබුණි.
මේ ආකාරයට අනවශ්‍ය ලෙස දිගින් දිගට බටහිර ලෝකය සමග රණ්ඩු කරන්නට යෑම රටේ යහපතට හේතුවන්නේ නැත. සාක් රටවලදී වැදගත් වනුයේ ඉන්දියාව හා පාකිස්තානය පමණය. කලාපීය බලවතා වශයෙන් ඉන්දියාව සිටින්නේ ද ශ්‍රී ලංකාව පිළිබඳ විමතියකිනි. කොළඹ ලොජ්වල දෙමළ ජනයා පිටමං කිරීමේ ප්රශ්නයේදී ඉන්දියානු අගමැතිවරයා ද සිය කණස්සල්ල පළ කළේය.
අප තනිවී කොන්වන තැනකට පත්වුවහොත් අවශ්‍ය නම් ලෝකයට අප පීඩාවට පත් කිරීමේ හැකියාවක් ඇති බව අප අමතක නො කළ යුතු ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපට එරෙහිව සම්බාධක පනවන තැනකට ගියහොත් දුක් විඳින්නට වෙන්නේ රටේ ජනතාවටය. එවැනි තැනකට අප සිය කැමැත්තෙන් තල්ලුවිය යුත්තේ ඇයි? •
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා න්ජීඕ පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් පොලිසියේ දූෂණ පිළිබඳව කරන ලද අධ්‍යයනයක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනය 2001 වසරේ කරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ සියලු ආයතන අතරින් වැඩියෙන්ම දූෂිත ආයතනය වූයේ පොලිසියයි. දැන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ විමර්ශනයට ලක්ව ඇත්තේ පොලිසියේ පවතින දූෂිත තත්ත්වයට බලපා තිබෙන හේතු සොයා බැලීම පිණිස පොලිසියේ ද නිල අනුග්‍රහය ඇතිව 2004දී කරන ලද අධ්‍යයනයකි. මෙම අධ්‍යයනය භාරව ක්‍රියා කළේ පොලිස් සේවයේ ගෞරවයට හේතුවූ විශ්රාමලාභී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු වූ ටාසි සෙනෙවිරත්න හා අසේල දිසානායකය. අධ්‍යයනය සිදු කෙරුණේ පොලිස්පතිගේ හා පොලිස් කොමිසමේ ද නිල අනුග්‍රහය ඇතිවය. වසර දෙකහමාරක් තිස්සේ කරන ලද මෙම අධ්‍යයනයට අවශ්‍ය මුදල් ආධාර ලබාදී ඇත්තේ නෝරාඩ් සංවිධානයයි.
මෙම අධ්‍යයනය පිළිබඳව තේරීම් කාරක සභාවේ අවධානයට යොමුවී තිබෙන ප්‍රධාන ප්‍රශ්න බවට පත්ව ඇත්තේ පොලිස් ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන ලද්දේ කුමන බලයක් මතද, මුදල් ආධාර ලබාගැනීම සඳහා නොරාඩ් සංවිධානය තෝරා ගත්තේ ඇයි හා පොලිසියට ආවේණික සංවේදී තොරතුරු නෝර්වේ රාජ්‍යයට ලබාදුන්නේ ද යන කාරණාය.
රාජ්‍ය ආයතනවල අරක් ගෙන තිබෙන අකාර්යක්ෂමතාව, දූෂණය වැනි ප්‍රශ්න නිරන්තරයෙන් සොයා බලන ක්‍රමයක් තිබීම අවශ්‍ය වුවත්, ඒ සඳහා වන ආයතන ක්‍රමයක් අපේ රටේ නොපවතී. එවැනි ආයතන ක්‍රමයක් තිබියදී වුවත්, එවැනි ආයතනවල ක්‍රියාකාරීත්වය සොයා බැලීමේ අයිතියක් පුරවැසි සංවිධාන සතුය. එවැනි අධ්‍යයනයක් නිසා එවැනි ආයතන මුහුණ දී තිබෙන ප්‍රශ්න හඳුනා ගනිමින් ඒවා ජයගැනීමට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමට පිටු බලයක් ලැබෙන්නේය.
පාර්ලිමේන්තුව එවැනි ක්‍රියාකාරකම් ධෛර්යයමත් කරනවා මිස, අධෛර්යයමත් කළ යුතු නැත. මෙවැනි අධ්‍යයන මහජනතාවට තොරතුරු ලැබෙන වැදගත් උල්පත් වන අතර, එවැනි උල්පත් වසා දැමීම මහජනතාවට තොරතුරු ලබාගැනීමට තිබෙන අයිතියට අනිසි ලෙස ඇඟිලි ගැසීමකි. මහජන ආයතන පරීක්ෂාවට ලක් කිරීමේ අයිතිය ඇත්තේ පාර්ලිමේන්තුවට පමණක් යැයි පාර්ලිමේන්තුව කල්පනා නොකළ යුතුය. අනෙක් අතට මහජනතාවට ප්‍රයෝජනවත් මෙවැනි අධ්‍යයනයක් අධෛර්යමත් කරනවා වෙනුවට පාර්ලිමේන්තුව කළයුතු වන්නේ මෙවැනි අධ්‍යයන වාර්තා ප්‍රකාශ වූ පසු ඒවා පාර්ලිමේන්තුවේ සංවාදයට ලක් කිරීම මගින් එවැනි ආයතනවල සිදුවන වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය මගපෙන්වීමක් ලබාදීමය. එහෙත් අවාසනාවකට පොලිසිය හා අධිකරණය වැනි ආයතන ගැන පමණක් නොව, අධ්‍යාපනය, ගමනාගමනය, මහජන සෞඛ්‍යය, බලශක්ති වැනි අංශ ගැන පළවන අධ්‍යයන වාර්තා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක්වන්නේම නැති තරම්ය.
අන්තර්ජාතික නීතිඥ සංගමය ශ්‍රී ලංකාවේ අධිකරණය ගැන 2001 වසරේදී විශේෂ වාර්තාවක් පළ කළේය. ඉන්පසු මාර්ග ආයතනය අධිකරණයේ දූෂණ පිළිබඳව සමීක්ෂණ වාර්තාවක් පළ කළේය. මේ කිසිදු අධ්‍යයන වාර්තාවක් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක්වී නැත.
අනෙක් අතට පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී පාර්ලිමේන්තු කාරක සභාවල දොරවල් ජනමාධ්‍යවේදීන්ට වසා තැබීම යහපත් තත්ත්වයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරුම් ගත යුතුය. මහජනතාවට වඩා වැදගත් වන්නේ මහා සභා රැස්වීම් නොව කාරක සභා රැස්වීම්ය. අසල්වැසි ඉන්දියාව ඇතුළු ලෝකයේ ශිෂ්ටසම්පන්න හැම රටක්ම පාහේ පාර්ලිමේන්තු කාරක සභා ජනමාධ්‍යවේදීන්ට විවෘත කර ඇතත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තවමත් ජීවත් වන්නේ වැඩවසම් අතීතයකය. ඒ අයිතිය දිනාගැනීමේ උනන්දුවක් ජනමාධ්‍යවලට ජනමාධ්‍යවේදීන්ට හෝ ජනමාධ්‍ය අයිතීන් වෙනුවෙන් සටන් කරන සංවිධානවලට පවා තිබෙන බවක් පෙනෙන්නට නැත. •