අගවිනිසුරු අත්අඩංගුවට ?

April 14, 2002
Publication:
Police are to reopen the Peradeniya botanical gardens murder investigation after revelations that the alleged mastermind, Rohana Kumara, was close to Chief Justice Sarath N. Silva and posed as his secretary. Ivan sets out the alleged plot with hotelier Lakshmi Kusumalatha against Ranjith Bandara Wijekoon, payments and bank deposits, links to police officers including Ranmal Kodituwakku, and evidence that could expose the Chief Justice to a charge of harbouring a wanted man.

පේරාදෙණිය උද්භිද උද්‍යාන මිනීමැරුම පිළිබඳව අලුතෙන් පරික්ෂණ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ තත්ත්වයට හේතුවී ඇත්තේ මෙම ඝාතනයේ මොළකාරයා ලෙස ක්‍රියාකර ඇති රටේ අගවිනිසුරුට තිබුණු සමීප සම්බන්ධය නිසාත්, පොලිසියේ සමහර උසස් නිලධාරින්ට තිබුණු සම්බන්ධකම් නිසාත් විධිමත් පරික්ෂණයකට යාමෙන් තොරව නඩු පවරන්නන් වාලේ නඩු පවරන ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බව හෙළිදරව් වීම නිසාය. මෙම සිද්ධිය පිළිබඳව අලුතෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව මධ්‍යම පළාතේ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා ද පිළිගත්තේය.

අලුතෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කළහොත් මෙම සිද්ධියට විවිධාකාරයෙන් පැටලී සිටින තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිදුවනු ඇති අතර, විවෘත වරෙන්තුකරුවකුට සැගවී සිටීමට ආධාර දිමේ චෝදනාව යටතේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ද අත්අඩංගුවට ගන්නා තත්ත්වයක් ඇතිවිය හැකිය.

දැනට හෙළිදරව් වී තිබෙන කරුණු අනුව රෝහණ කුමාර මෙම මනුෂ්‍ය ඝාතනයේදි රටේ අගවිනිසුරුවරයාට තමන්ට තිබූ ළග සම්බන්ධකමේ ශක්තිය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන තිබේ. අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා රෝහණ කුමාර ප්‍රමුඛ ගණයේ අපරාධකරුවකු බව දැන දැනම ඔහු සමග ළග ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙනවා පමණක් නොව, වෙන්වී සිටින අගවිනිසුරුවරයාගේ විවාහක බිරිඳ බිය ගැන්වීමේ ක්‍රියාවන් සඳහා ද මේ දරුණු අපරාධකරුවා යොදාගෙන තිබේ. පොලිස්පති ලකී කොඩිතුවක්කු මහතාගේ පුත් සහකාර පොලිස් අධිකාරි රන්මල් කොඩිතුවක්කු මහතා ද මේ අපරාධකරුවා සමග සමීප සම්බන්ධයක් පවත්වා ඇති අතර, මල්වත්ත ඝාතනය සිදුවූ දින එම ඝාතනය සිදුවූ පසුව කටුගස්තොට පොලිසියේ පොලිස් පරික්ෂක දිසානායක වෙතින් රෝහණ කුමාර 9.MM ප්‍රමාණයේ පිස්තෝල උණ්ඩ 6ක් ද ලබාගෙන තිබේ.

රෝහණ කුමාර මුලින් සැලසුම් කොට තිබී ඇත්තේ රංජිත් බණ්ඩාර විජේකෝන් ඝාතනය කිරීම නොව, ඔහු පරිහරණය කළ වාහනයට මත්ද්‍රව්‍ය දමා ඔහු අත්අඩංගුවට පත් කොට ඒ අත්අඩංගුවේ සිටින කාලය තුළ තමන්ට අධිකරණය සමග තිබූ සමීප සම්බන්ධකම් ප්‍රයෝජනයට ගෙන සියලු දේපළ නඩු ලක්ෂ්මි කුසුමලතාගේ වාසියට හේතුවන ලෙස තීන්දු ලබාදිමය.

මේ අදහස ඔහු මුලින්ම ලක්ෂ්මී කුසුමලතාට ඉදිරිපත් කර ඇත්තේ 2000 සැප්තැම්බර්වලදිය. ඒ සඳහා පැවති සාකච්ඡාවට රෝහණ කුමාර ලක්ෂ්මී කුසුමලතා, ලක්ෂ්මී කුසුමලතා පවත්වාගෙන ගිය කිංග්ස් පාර්ක් හෝටලයේ කළමනාකරු සහ එකල රෝහණ කුමාරගේ සමීප හිතවතෙකු වූ ප්‍රදේශයේ හිමිනමක් ද සහභාගී වී තිබේ. එකල රෝහණ කුමාරට ලක්ෂ්මී කුසුමලතා සමග සමීප සම්බන්ධකමක් තිබී නැත. ඔහු ඔවුන් ඉදිරියේ පෙනී සිට ඇත්තේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ ලේකම්වරයා ලෙසය. හෝටල් ව්‍යාපාරයට අයත් දේපළ ආශ්‍රයෙන් පැන නැගී තිබුණු ආරාවුලේ දි ලක්ෂ්මී කුසුමලතාගේ වෛරයට හේතුවී සිටි රංජිත් බණ්ඩාර විජේකෝන් යන පුද්ගලයා මත්ද්‍රව්‍ය වරදකට අත්අඩංගුවට පත් කොට ඉන්පසු සියලු නඩු ලක්ෂ්මී කුසුමලතාගේ වාසියට හේතුවන ලෙස තීන්දු ලබාදිම පිණිස ක්‍රියා කිරීමට ඔහු සහතික වී ඇති අතර, ඒ වැඩපිළිවෙල සාර්ථක වෙතොත් කිංග්ස් පාර්ක් හෝටල් ව්‍යාපාරය විකුණා හෝ තමාට ලක්ෂ 100ක් ලබාදිමට ලක්ෂ්මී කුසුමලතා එකග විය යුතු බව ප්‍රකාශ කර තිබේ. ලක්ෂ්මී කුසුමලතා රෝහණ කුමාර ඉදිරිපත් කළ කොන්දේසියට එකග වී ඇති අතර, අවශ්‍ය මූලික කටයුතු කරගෙන යාමට ලක්ෂ්මී කුසුමලතා එදින රෝහණ කුමාර වෙත ලක්ෂ හතර හමාරක අත්තිකාරකමක් ද ලබා දි තිබේ.

මේ එකගතාවයෙන් පසුව රෝහණ කුමාර නිතර කිංග්ස් පාර්ක් හෝටලයට ආව ගියේය. සමහර දිනවල රෝහණ මහනුවර අධිකරණයේ විනිශ්චයකරුවන් ද හෝටලයට ගෙන්වා ගනිමින් තමන්ට අධිකරණය සමග සමීප සම්බන්ධයක් ඇති බව ලක්ෂ්මී කුසුමලතාට පෙන්වන්නට සැලැස්සුවේය. අධිකරණයට සම්බන්ධ විවිධ සේවකයන් ද හෝටලයට ගෙන්වා ගත්තේය. මේ කාලය තුළ කිංග්ස් පාර්ක් හෝටලයට ආ ගිය විනිසුරුවරුන් කව්දැයි හෝටලයේ ආරක්ෂක අංශය සතුව ඇති යන එන වාහන සඳහා පවත්වාගෙන යන පොත පරික්ෂා කිරිමෙන් සොයා ගත හැකිය.

ලක්ෂ්මී කුසුමලතා සමග තිබෙන දැන හැඳුනුම්කම වැඩිවන විට රෝහණ කුමාර එම හෝටලය සිය ප්‍රධාන නැවතුම් පොළක් බවට පත් කර ගනිමින් ලක්ෂ්මී කුසුමලතා ද සිය අනියම් බිරියක් බවට පත් කරගත්තේය. ලක්ෂ්මී කුසුමලතා දේපළ නඩු විශාල ගණනකට පැටලී සිටි අතර, රෝහණ කුමාර තමන්ගේ කිට්ටු හිතමිතුරෙකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ලක්ෂ්මී කුසුමලතාට හඳුන්වා දෙමින් ඔහු ලක්ෂ්මී අගවිනිසුරු කුසුමලතාගේ සියලු නඩු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා බවට පත් කළේය. ඒ සඳහා පළමු නඩුවේදි ලක්ෂ්මී කුසුමලතා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාට ගෙවන ලද අත්තිකාරම් මුදල රුපියල් ලක්ෂයකි.

රංජිත් බණ්ඩාර විජේකෝන් ඝාතනය කරන තෙක් රෝහණ කුමාරගේ මූලික අවශ්‍යතාවන් සඳහා ලක්ෂ්මී කුසුමලතා විටින් විට රෝහණ කුමාරට ආසන්න වශයෙන් ලක්ෂ 20ක පමණ මුදලක් ලබාදි තිබේ. මුලදි විටින් විට රෝහණ කුමාරගේ අතට මුදල් දුන්නත් පසුව ඩබ්.ඩී. රෝහණ කුමාර නමින් වන බොරැල්ලේ කොමර්ෂල් බැංකුවේ පවත්වාගෙන ගිය අංක 8500000-296 දරන ගිනුමට මුදල් බැර කරන ක්‍රමයක් ක්‍රියාත්මක විය. ලක්ෂ්මී කුසුමලතා විසින් එම බැංකුවේ ගිනුමට බැර කර තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් 800,000කි.

තිබෙන තොරතුරු අනුව මුල් සැලැස්ම වෙනස් කොට රංජිත් බණ්ඩාර විජේකෝන් ඝාතනය කිරීම සඳහා සැලසුම් කොට ඇත්තේ 2001දිය. ඒ වෙනුවෙන් එම සිද්ධියේ ඝාතකයන් ලෙස ක්‍රියා කරන මුණසිංහ ආරච්චිලාගේ නුපුල් කුමාර හා ඕපාත කංකානම්ලාගේ අශෝකා යන දෙදෙනාට ගෙවීමට පොරොන්දු වී ඇති මිල රුපියල් ලක්ෂ 50කි.

රංජිත් බණ්ඩාර විජේකෝන් ගොඩගම ඝාතනය කිරීමට සැලසුම් කොට තිබුණේ පෙබරවාරි මස 05 වැනිදාටය. තමන් වෙනත් කාන්තාවක් සමග විවාහ වී සිටියදි හෝටලයට සම්බන්ධ කාර්ය මණ්ඩලයට පෙනෙන ලෙස ලක්ෂ්මී කුසුමලතා විවාහ කරගැනීමට රෝහණ කුමාරට අවශ්‍ය වූ අතර ඒ සඳහා වන විවාහ මංගල උත්සවය කිංග්ස් පාර්ක් හෝටලයේ පවත්වා ඇත්තේ පෙබරවාරි 01 වැනිදාය. උත්සවයට පැමිණි ආරාධිතයන් අතර උපාලි ජයසිංහ නමැති පුද්ගලයෙකු ද විය. මෙම විවාහ මංගල උත්සවයට රංජිත් බණ්ඩාර විජේකෝන්ගේ ඝාතකයන් දෙදෙනා ලෙස ක්‍රියා කළ පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙකු වන ඕ.කේ. අශෝකා ද සහභාගී වී තිබේ. ඔහු තමන්ට සමීප පුද්ගලයෙකු සම්බන්ධ මොරටුව උසාවියේ ඇසෙමින් පැවති නඩුවක විනිශ්චයකාරවරයා ලවා වාසිදායක තීන්දුවක් ලබාගැනීම සඳහා රෝහණ කුමාරට රුපියල් ලක්ෂයක කප්පමක් ගෙවා තිබුණි.

රංජිත් බණ්ඩාර විජේකෝන් ඝාතනය කිරිමෙන් පසුව රෝහණ කුමාර හා ලක්ෂ්මී අවස්ථා ගණනාවක නැවතුම් ගෙන සිටියේ පිළියන්දල උපාලි ජයසිංහගේ නිවසේය. රෝහණ කුමාරට එරෙහිව වරෙන්තුවක් නිකුත් කළ පසු ඔහුට සැගවී සිටීමට කැස්බෑවෙන් නිවසක් සොයා දි ඇත්තේ ද මේ උපාලි ජයසිංහය. මෙම මනුෂ්‍ය ඝාතනයේදි ඝාතකයන් ලෙස ක්‍රියා කළ නුපුල් කුමාර හා ඕ.කේ. අශෝකා යන අය අත්අඩංගුවට ගැනීමෙන් පසුව මාසිකව ඔවුන්ගේ පවුලේ අය සඳහා රුපියල් 25,000 බැගින් ගෙවන යැපීම් දිමනාව ඒ පවුලේ අය ලබාගෙන ඇත්තේ ද උපාලි ජයසිංහගෙනි.

රෝහණ කුමාර අගවිනිසුරුවරයා සමග සමීප සම්බන්ධකම් පවත්වමින් අගවිනිසුරුවරයාගේ ලේකම් ලෙස ලෝකයා ඉදිරියේ පෙනී සිටින විට මේ ඝාතන නඩුවේ තුන්වැනි සැකකාර ලක්ෂ්මී කුසුමලතා ද අවස්ථා ගණනාවකදි රෝහණ කුමාර සමග අගවිනිසුරුවරයාට හවුල්ව ඇති බවට පිළිගත හැකි සාක්ෂි පවතී.

ලක්ෂ්මී කුසුමලතා හෝටල් ව්‍යාපාරයේ ලේකම් වශයෙන් ක්‍රියා කරන රෝයි ගුණවර්ධන නමැති ගණකාධිකාරිවරයාට සිය පුත්‍රයා ඕස්ට්‍රේලියාවට යැවීමට අවශ්‍ය වීසා සඳහා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහා වන රෙකමදාරු ලිපිය ලබාගෙන ඇත්තේ අගවිනිසුරුවරයාගෙනි. ඒ අවස්ථාවට රෝයි ගුණවර්ධන සමග රෝහණ කුමාර හා ලක්ෂ්මී කුසුමලතා ද සහභාගී වී තිබේ.

රෝහණ කුමාර වරෙන්තු පිට සැගවී සිටීයදි අත්අඩංගුවට ගන්නා විට තමාට අගවිනිසුරුවරයාට කතා කිරීමට අවශ්‍ය බව එම පොලිස් කණ්ඩායම මෙහෙය වූ උප පොලිස් පරික්ෂක තෙන්නකෝන්ගෙන් රෝහණ කුමාර ඉල්ලා තිබුණ. ඊට අවසර නොලැබුණු විට ඒ අසළ සිටි ලක්ෂ්මී කුසුමලතා අගවිනිසුරුවරයාට කතා කොට රෝහණ කුමාර අත්අඩංගුවට ගන්නා ලද බව දැනුම් දුන් බව පොලිස් සටහන් පොත්වල සඳහන් වේ. ඉන්පසු ප්‍රශ්න කරන අවස්ථාවේදි වරෙන්තුවක් තිබියදි සැගවී සිටියේ ඇයි ද යන ප්‍රශ්නයට රෝහණ කුමාර දි තිබුණු පිළිතුර වී ඇත්තේ ද අගවිනිසුරුවරයාගෙන් ලැබුණු උපදෙස් මත තාවකාලික වශයෙන් සැගවී සිටි බවය.

රෝහණ කුමාර අත්අඩංගුවට ගෙන පේරාදෙණියට ගෙන ගිය පසු පොලිසියේ ඉහළ නිලධාරින්ගෙන් එල්ල වී තිබෙන බලපෑම් නිසා ඔහුට සැගවී සිටීමට ආධාර කළ පුද්ගලයන් සැගවී සිටි ස්ථාන, පරිහරණය කළ වාහන, පෙර අපරාධ චෝදනාලාභී තත්ත්වයක සිටින වෙනත් නඩු යනාදි කිසිවක් ගැන ප්‍රශ්න කිරීමක් කර නැත.

මාර්තු 29 වැනිදා ලක්ෂ්මී කුසුමලතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදි සහකාර පොලිස් අධිකාරි රන්මල් කොඩිතුවක්කු, ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රත්නවීර මහතාට දුරකතනයෙන් කතා කර තිබේ.

අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝගයට සරත් නන්ද සිල්වා මහතාගේ නීත්‍යනුකූල බිරිඳ වන මනෝරානි මහත්මිය විසින් දෙන ලද දිවුරුම් පෙත්සම පුවත්පත්වල පළවූ අවස්ථාවේ දි ඇය බියගැන්වීම සඳහා ඇගේ නිවස අසළ රෝහණ කුමාර ගැවසී ඇති බව ඇය හා ඇගේ පුතා හඳුනාගෙන තිබුණි.

මෙම මනුෂ්‍ය ඝාතනයේදි ලක්ෂ්මී කුසුමලතාගේ රියදුරා ලෙස ක්‍රියා කරන පියල් චන්ද්‍රසේන ක්‍රියාකාරි වැඩ කොටසක් ඉටු කර ඇති බවට අවශ්‍ය තරම් කරුණු හෙළිදරව් වී ඇතත්, ඔහුගෙන් මේ දක්වා කිසිම ප්‍රශ්න කිරීමක්වත් කර නැත.