විගණන දෙපාර්තමේන්තුව කොමිසමක් බවට පත්කිරීම පමණක් ප්‍රමාණවත් නැත

April 7, 2002
Publication:
The editorial welcomes a plan to make the Audit Department an independent commission under the Constitutional Council but says it needs real backing. Limited staff should be focused on powerful institutions such as the presidential and prime minister's offices, Parliament, the Supreme Court, the army and police, rather than relying on private audits as with the President's Fund. It also calls for officials to be punished for losses found and for audit findings to be made public promptly.

විගණන දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තු තත්ත්වයෙන් ඉවත් කොට ව්‍යවස්ථා සභාව යටතේ ක්‍රියාත්මක වන විගණන කොමිසමක් බවට පත්කිරිමේ අදහසක් ආණ්ඩුව තුළ පවතී. එය ඉතා වැදගත් ඉදිරි පියවරක් වේ යයි අපි විශ්වාස කරමු.

එහෙත් ආණ්ඩුවේ විගණන කටයුතු ස්වාධීන කොමිසමක් යටතට ගැනීම පමණක් ප්‍රමාණවත් නැත. එයට මූල්‍ය සාමාජිකත්වයක් ලබාදෙන අතර, රාජ්‍ය ආයතන සඳහා විගණන ක්‍රියාවලියක් පවත්වාගෙන යාමෙන් අපේක්ෂිත මූලික අරමුණු සපුරාගත හැකි තත්ත්වයක් ඇති කළ යුතුය.

විගණන දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය තහවුරු කරන අතර ඊට ශක්තිමත් පිටකොන්දක් ද ලබාදිය යුතු ය. ශක්තිමත් පිට කොන්දක් නැතිකමේ ප්‍රශ්නය විගණන දෙපාර්තමේන්තුව පමණක් නොව, මැතිවරණ දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වැනි ආයතන ද මුහුණ දි තිබෙන ප්‍රධාන අභියෝගයකි.

විගණන දෙපාර්තමේන්තුවට සියලු රාජය ආයතනවල විගණන කටයුතු හරියාකාරව කරගෙන යාමට අවශ්‍ය තරම් පිරිස් බලයක් නැත්නම් දේශපාලන වශයෙන් ඉතා වැදගත්කමක් ඇති ආයතන කිහිපයක් ඉලක්ක කොට මුළු බර යොදා ඒ ආයතන හරියාකාරව විගණනය කළ යුතු ය. ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, ඇමති මණ්ඩල කාර්යාලය, පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, යුද හමුදාව, පොලිසිය වැනි ආයතන ඒ ගණයට වැටෙන වැදගත් ආයතන ලෙස සැලකිය හැකි ය. එහෙත් අවාසනාවකට විගණන දෙපාර්තමේන්තුවේ බරත් දමා ඇත්තේ එවැනි බලවත් ආයතනවලට නොව දේශපාලන වශයෙන් බලවත් නොවන ආයතන සඳහා ය. දේශපාලන වශයෙන් බලවත් ආයතන සඳහා දැනට අනුගමනය කරන ප්‍රතිපත්තිය වී ඇත්තේ දේශපාලන බලවතා කැමති පුද්ගලික ආයතනයක් ලවා ඉදිරිපත් කරන විගණන වාර්තාවක් පදනම් වී සිය නිරික්ෂණ ඉදිරිපත් කරන පිළිවෙතකි. පසුගිය කාලය පුරා ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් විගණන දෙපාර්තමේන්තුව අනුගමනය කළ ප්‍රතිපත්තිය එයයි.

විගණන දෙපාර්තමේන්තුව සමහරවිට එවැනි හීන දින ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන්නට ඇත්තේ ජනාධිපති වැනි බලවත් පුද්ගලයෙකුගේ ගනුදෙනු අනවශ්‍ය ලෙස හාරා ඇවිස්සීම නුසුදුසු යයි සිතා විය හැකි ය. එහෙත් පිරිසිදුකම වඩාත් ම ආරක්ෂා විය යුත්තේ පහළ තැන්වල නොව, ඉහළ තැන්වල ය. ඒ නිසා විගණන දෙපාර්තමේන්තුවේ වඩාත්ම පරික්ෂාවට ලක්විය යුත්තේ එවැනි බලවත් තැන් ය.

ඉතාමත් හොඳ විගණන පරික්ෂණයකින් පසුත්, බරපතල වැරදි සිදුවී තිබෙන අවස්ථාවලදි ඒ වැරදිවලට වගකිවයුතු රාජ්‍ය නිලධාරින් නීතිය ඉදිරියට පමුණුවාලන ක්‍රමයක් නැතිකම විශාල මහජන වියදමක් දරන විගණන දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යාමේ අරමුණ නිෂ්ප්‍රභා කරන හේතුවක් ලෙස ක්‍රියා කරයි. සිදුවන වැරදි නිවැරදි කළ හැකි වනු ඇත්තේ වැරදි කළවුන්ට දඬුවම් කරන කාර්යක්ෂම ක්‍රමයක් ද ක්‍රියාත්මක වේ නම් පමණ ය.

බොහොමයක් විගණන වාර්තා ආණ්ඩුවට සිදුකර තිබෙන අලාභ පෙන්වා දි ඇතත්, ඒ අලාභවලට වගකිවයුතු නිලධාරින්ට දඬුවම් කරන ක්‍රමයක් ක්‍රියාත්මක නොවේ. ඒ තත්ත්වය වහා නිවැරදි විය යුතු ය.

අනෙක් අතට වෙනත් රටවල නම් විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට, රාජ්‍ය ආයතනයට අදාළ සිය නිරික්ෂණ ඇතුළත් වාර්තාවක් භාර දුන් වහාම ඒ ගැන ජනයා ද දැනුවත් කිරීමක් කරයි. ඒ නිසාම පාර්ලිමේන්තුවට ද ඒ ගැන වහා ක්‍රියාකිරීමට සිදුවන තත්ත්වයක් ඇතිවේ. එහෙත් ශ්‍රී ලංකාවේදි විගණකාධිපතිවරයා සිය වාර්තා පාර්ලිමේන්තුවට බාරදි නිහඬව බලා සිටිනවා මිස, පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලද සිය නිරික්ෂණ මහජනයාට දැනුම් දෙන්නේ නැත.

පාර්ලිමේන්තුව ද විගණකාධිපතිවරයා පෙන්වා දෙන වැරදි සඳහා වහා ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැත. සමහර වාර්තා ඵලදායක ලෙස සාකච්ඡාවට ලක් නොවන අවස්ථා ද පවතී. මේ වැරදි දෙකම වහා නිවැරදි විය යුතු ය.