ඡන්දදායකයන් සඳහා හැඳුනුම් පත අනිවාර්ය කිරීම

April 14, 2002
Publication:
The Elections Commissioner's administration report for 2001 recommends making the national identity card compulsory at the polls to stop impersonation, and calls for a commission to probe the violence and misuse of public property at the last parliamentary election. The editorial notes that a select committee held back because about 35 per cent of voters lacked cards, and argues that digital technology now allows cards to be issued to all adults within a month at modest cost.

හොරට අනුන්ගේ ඡන්ද පාවිච්චි කිරීමට තිබෙන ඉඩ වැළකීම සඳහා ඡන්දය පාවිච්චි කිරිමේදි ජාතික හැඳුනුම්පත අනිවාර්ය කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා 2001 සඳහා වන සිය පාලන වාර්තාවෙන් ආණ්ඩුවට යෝජනා කර තිබේ.

එසේම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි ප්‍රචණ්ඩ ක්‍රියා, දූෂණ ක්‍රියා හා පොදු දේපළ අනිසි ලෙස පරිහරණය කිරිමේ ක්‍රියා ඉතා ඉහළ මට්ටමකින් පැවති නිසා ඒ ගැන ද කරුණු සොයා බලන පරික්ෂණ කොමිසමක් ඇති කිරිමේ වැදගත්කම ද ඔහු එම වාර්තාවෙන් අවධාරණය කර තිබේ.

ඡන්දදායකයන් සඳහා හැඳුනුම්පත අනිවාර්ය කිරිමේ අවශ්‍යතාව මැතිවරණ නීති රිති ගැන සොයා බැලීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් මගින් ද දිර්ඝ වශයෙන් කරුණු සලකා බැලී ය. එහිදි හැඳුනුම්පත අනිවාර්ය කිරිමෙන් වැළකී සිටියේ ඡන්දදායකයන් 35%ක් පමණ වන ප්‍රමාණයකට හැඳුනුම්පත් නැතිකමේ ප්‍රශ්නය සලකාය. එහෙත් ඉන්පසුවත් අද දක්වා සියලු දෙනාට හැඳුනුම්පත් ලබාදෙන ක්‍රමයක් ඇති කළේ නැත.

අනුන්ගේ ඡන්ද හොරට පාවිච්චි කිරීම වැළකීම සඳහා යොදාගත හැකි හොඳම ක්‍රමය ද මැතිවරණ කොමසාරිස්වරයා යෝජනා කර තිබෙන ආකාරයට ඡන්දය පාවිච්චි කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ පිළිගත හැකි වෙනත් හැඳුනුම්පතක් අනිවාර්ය කිරීම ය. ඒ වෙනුවෙන් ම රටේ සියලු වැඩිහිටි ජනතාවට අලුතෙන් ජාතික හැඳුනුම්පත් ලබාදෙන කඩිනම් ක්‍රමයක් ඇති කළ හැකි ය. ඒ සඳහා යන වියදම ද අවශ්‍ය නම් හැඳුනුම්පත් ලබාගන්නා මහජනතාවගෙන් ම ලබාගත හැකි ය.

දැන් අපි ජීවත්වන්නේ ඩිජිටල් කැමරා පාවිච්චි කරන යුගයක ය. ඡායාරූප ගැනීම හා පරිගණකගත කිරීම එකවිට ඉක්මණන් කළ හැකි දෙයක් වී ඇති අතර, අවශ්‍යතාවක් ඇතොත් රටේ සියලු වැඩිහිටි ජනතාව සඳහා එක් මසක් තුළ හැඳුනුම්පත් නිකුත් කෙරෙන ක්‍රමයක් ඇති කළ හැකි ය. රුපියල් 100ක් වැනි මිලක් නියම කොට හෝ සියලු වැඩිහිටි ජනතාව සඳහා හැඳුනුම්පත් ලබා දෙන ක්‍රමයක් රජයට සේ ම, මහජනතාවට ද ප්‍රයෝජනවත් ය. එසේම අවශ්‍ය නම්, ඡන්ද නාමලේඛනයට ද පුද්ගල ඡායාරූප ඇතුළත් වන ලෙස මුද්‍රණය කළ හැකි ය. දැනටමත් මැතිවරණ කටයුතු සඳහා විශාල වියදමක් වෙන් කෙරේ. මැතිවරණ සඳහා එවැනි මුදලක් වියදම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුළ මහජනයාගේ පරමාධිපත්‍යය බලයට ලැබෙන වැදගත්කම සලකා නම් එහි පාරදෘශ්‍යභාවය ඇති කිරීම සඳහා මෙවැනි පියවරක් නොගෙන සිටීමට සාධාරණ හේතුවක් තිබිය නොහැකි ය.