ජනාධිපතිනිය ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනාලාභී තත්ත්වයක සිටි සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්කරනු ලැබූ අවස්ථාවේදි “රාවය” ඊට සිය විරෝධය පළකරමින් එම නින්දා සහගත පත්කිරීම පිටුපස ඇති දේශපාලන අරමුණු පැහැදිලි කළේය.
තමන්ට අවනත නැති ස්වාධීන තැනක තිබූ ශ්රේෂ්ඨාධිකරණය තමන්ට අවනතව ක්රියාකරන ආයතනයක් බවට හරවා ගැනීම එහි ප්රධාන අරමුණ විය. ඒ මගින් මැතිවරණ දූෂණවලට එරෙහිව එල්ල වන අභියෝග මැඩලීම, මූලික අයිතිවාසිකම් නඩු පාලනය කිරීම, තමන්ට අවශ්ය හිතුවක්කාරි අණපනත් වලට අනුමැතිය ලබාගැනීම හා තමන්ට එරෙහිව කවදා හෝ දෝෂාභියෝගයක් ඉදිරිපත් වුවහොත් එය නිෂ්ප්රභා කරවා ගැනීම ජනාධිපතිනිය ඒ මගින් අපේක්ෂා කළ අරමුණු විය.
ජනාධිපතිනියගේ එම පත්කිරිම් ක්රියාවලිය නීතියටත්, සියලු පිළිගත් සම්ප්රදායන්ටත් පටහැනි බව එළිපිටම පෙනෙන්නට තිබියදි විපක්ෂය ඊට විරෝධය පළකිරිමේ වගකීම පැහැර හැරියේය.
අගවිනිසුරු ධුරයට පත්ව සිටින සරත් එන්. සිල්වා මහතා දේශපාලන භූමිකාවක් රගපාමින් සිටින බව විපක්ෂය සැකයකින් තොරව ඒත්තු ගත්තේ 2000 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නව ඡන්ද ක්රමයක් ඇති කරගැනීම සඳහා ඉදිරිපත් කරන ලද 17 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදිය.
එහිදී අගවිනිසුරුවරයා ආණ්ඩුව විසින් ක්රියාවට නගන්නට උත්සාහ කළ කුමන්ත්රණකාරි දේශපාලන වැඩපිළිවෙළක දැනුවත් කොටස්කරුවකු ලෙස ක්රියා කළේය යන්න එම සංශෝධනයට එරෙහිව නැගී සිටි විපක්ෂයේ සියලු පක්ෂවලත්, ඊට එරෙහිව අධිකරණය ඉදිරියට ගිය වෙනත් බහුජන සංවිධානවලත් පොදු මතය විය.
අඩුම වශයෙන් එම නින්දාසහගත අත්දැකීමෙන් පසුවවත් ඊළග පාර්ලිමේන්තුවට තේරි පත්වූ පසු අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ වැදගත්කම තේරුම් ගැනීමට විපක්ෂය අසමත් විය. ඒ සඳහා උනන්දුවක් දෑක්වූ සුළු පිරිසක් පාර්ලිමේන්තුව තුළ සිටියත්, අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අදහසට බලවත් පිරිසක් විරුද්ධ වූහ.
අවසානයේ දිර්ඝ වාද විවාද මැද බොහෝ කල්පසුවී හෝ අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට විපක්ෂය සමත් විය. එය පොදු පෙරමුණු ආණ්ඩුව දැවැන්ත දේශපාලන අර්බුදයකට තල්ලු කිරීමට හේතුවන ආරම්භක සංසිද්ධියක් ලෙස ක්රියා කළේය.
අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබියදිත් අගවිනිසුරුවරයා තමන්ට එරෙහිව සිදුකරන්නට නියමිත පරික්ෂණය අවසන් වන තෙක් තාවකාලික වශයෙන් හෝ සිය තනතුර අත්නොහළේය. ඒ සඳහා විපක්ෂය ද කිසිදු හඬක් නොනැගුවේය.
විපක්ෂයට එකතු වූ මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් මහතා ප්රකාශ කළේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී තිබෙන විශ්වාසභංග යෝජනාවට සහාය දිමට තම පක්ෂයට හැකියාවක් ඇතත්, අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගයට සහායදිමේ හැකියාවක් තම පක්ෂයට නැති බවය.
පුදුමයට මෙන් ජනාධිපතිනිය අගවිනිසුරු මගින් අටවන ලද දේශපාලන ගිලටීනයට බිලිවීමට නියමිතව සිටින ප්රථම කණ්ඩායම බවට පත්ව සිටින්නේ ද රවුෆ් හකීම් මහතා ඇතුළු මුස්ලිම් කොංග්රස් මන්ත්රීවරුන්ය. අද රවුෆ් හකීම් මහතාට හෝ විපක්ෂයේ කොයි කාටවත් අගවිනිසුරුවරයා පිළිබඳව වාදයක් නැත. ඒ හැම දෙනෙකුටම අගවිනිසුරුවරයාගේ දේශපාලන භූමිකාව ඉතාමත් පැහැදිලිය. එහෙත් ඒ සියලු දෙනා ඒ සරල සත්යය තේරුම් ගන්නට ගෙවන ලද හෝ ගෙවන්නට යන වන්දිය කොතරම් විශාලද? කථානායක අනුර බණ්ඩාරනායක ද ඇමරිකා එක්සත් ජනපද සංචාරයට පෙර විපක්ෂය වෙනුවෙන් ඔහු හමුවන්නට පැමිණ ව්යාපාරිකයන් වෙත අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පිළිබඳව අපූරු පාඩමක් කියා දුන්නේය.
කථායාකවරයා එම ව්යාපාරිකයා සමග කථා කරමින් සිටියේ ජනාධිපතිනියට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන්නට යන දෝෂාභියෝගය ගැනය. තමාගේ අක්කාට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගයක් බාරගැනීමේ හැකියාවක් තමන්ට නැති බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අත්සන් ඇති නම් පමණක් කථානායක වශයෙන් එය භාරගැනීමට තමන් බැඳී සිටියත්, ඒ ගැන අවසාන තීරණය දෙන්නේත් සරත් එන්. සිල්වා මහතා වන නිසා තේරුමක් නැති ක්රියාවක් ලෙස එය අවසන් වනු ඇති බවත්ය.
තමන්ගේ පැවැත්ම ජනාධිපතිනියගේත්, පොදු පෙරමුණු ආණ්ඩුවේත් පැවැත්ම සමග එකට බැඳී තිබෙන බව සරත් එන්. සිල්වා මහතා දන්නේය. ජනාධිපතිනියගේත්, ආණ්ඩුවේත් ආරක්ෂාව සඳහා සියලු පිළිගත් නීති රිති හා සම්ප්රදායන් නොසලකා ක්රියාකරන තත්ත්වයකට ඔහු තල්ලුවී සිටින්නේ ඒ නිසාය. දැන් ඔහු ජනාධිපතිනියගේ ප්රධාන දේශපාලන උපදේශකයකු ලෙස ක්රියා කරයි. එහෙත් ඔහු දෙන උපදෙස් ආණ්ඩුවේ අර්බුදය උග්ර කිරීමට මිස, සමනය කිරීමට හේතුවී නැත. අවසානයේ දි සමස්ත අධිකරණයටම පිළිකාවක් වී ඇති මේ පුද්ගලයාගේ ඇද වැටීම සිදුවනු ඇත්තේ ද පොදු පෙරමුණු ආණ්ඩුවේ ඇද වැටීමත් සමගය. මෙම අපකීර්තිමත් පුද්ගලයා ඔහු උසුලන ගරු කටයුතු තනතුරෙන් පළවා හැරුණ ද ඔහු අධිකරණ තලය කෙරෙහි ඇති කර තිබෙන විනාශය ප්රතිසංස්කරණය කිරීම සඳහා තවත් බොහෝ කලක් ගතවනු නොඅනුමානය.