රටේ පැවත්ම සමග සෙල්ලම් එපා

August 12, 2001
Publication:
Consumer prices are rising fast, trade is shrinking, manufacturing is collapsing, foreign investors are leaving and the stock market is falling, yet the government and parties are absorbed in the political crisis. The piece says the President, as Finance Minister, is ignoring the economy while Parliament stays closed, and that if she will not reopen it, MPs themselves have a duty to reconvene it and restore government, or all parties will answer to the public.

පාරිභෝගික භාණ්ඩ මිලෙහි ශීඝ්‍ර වර්ධනයක් ද, ආනයන අපනයන වෙළෙඳමේ හැකිලීමක් ද, නිෂ්පාදන කර්මාන්තයේ බිඳ වැටීමක් ද ඇතිවෙමින් රක්ෂාවල නියුතු අයට පවා රක්ෂා අහිමි වන තත්ත්වයක් රටේ ඇතිවෙමින් පවතී. විදේශ ආයෝජකයින් රට අතහැර යමින් සිටින අතර, කොටස් වෙළෙඳ පොළ කඩා වැටෙමින් පවතී.

එහෙත් ආණ්ඩුවේ ද, දේශපාලන පක්ෂවල ද අවධානය යොමුවී ඇත්තේ පවතින දේශපාලන අර්බුදය කෙරෙහි විනා, ආර්ථිකයේ ඇතිවෙමින් තිබෙන විශාල කඩා වැටීම කෙරෙහි නොවේ. පාර්ලිමේන්තුව වසා දමා තිබෙන අතර, රටේ මුදල් ඇමති වශයෙන් ජනාධිපතිනියගේ අවධානය යොමුවී ඇත්තේ ද රටේ ඇතිවී තිබෙන ආර්ථික කඩා වැටීම කෙරෙහි නොව, තමන් පැටලී සිටින දේශපාලන අර්බුදය කෙරෙහි ය.

රටේ පවතින දේශපාලන අරාජිකත්වය ආර්ථිකයේ ඇතිවෙමින් තිබෙන බිඳ වැටීම දෙගුණ, තෙගුණ කිරීමට හේතුවී ඇතත්, ආර්ථිකයේ ඇතිවී තිබෙන කඩා වැටීම පාලනය කළ නොහැකි තත්ත්වයක පවතී.

මේ තත්ත්වය මගින් ඇති කරන්නට යන ප්‍රතිවිපාක බිහිසුණු ය. රටේ ඇතිවෙමින් තිබෙන ආර්ථික කඩාවැටීම පාලනය කළ හැකි තත්ත්වයක් ඇතිකළ හැකි වනු ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විවෘත කොට ආණ්ඩු පාලනයක් ඇති තත්ත්වයක් ඇතිකර ගැනීමෙන් පමණ ය. ජනාධිපතිනිය ඊට ඉඩ නොදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි නම් රටේ ඇති වී තිබෙන විශේෂ තත්ත්වය ඉදිරියේ පාර්ලිමේන්තු මැතිවරණයකින් සියල්ල අවසන් වන තෙක් බලා නොසිට, වහාම තිබෙන පාර්ලිමේන්තුව විවෘත කරවා ගනිමින්, පවතින අරාජිකත්වය අහෝසි කරමින් පාලනයක් ඇතිකර ගනිමින් තීන්දු ගන්නා තැනකට යාම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සතු වගකීමකි.

ඒ යුතුකම මේ මොහොතේ ඉටු නොකොට අරාජිකත්වයට ඉඩ දි ආරම්භ වී තිබෙන ආර්ථික කඩා වැටීම නිදහසේ ඉදිරියට යාමට ඉඩ දෙතොත් ඒ ගැන සියලු දේශපාලන පක්ෂෂවලට මහජනතාවට වග කියන්නට සිදුවනු නොඅනුමාන ය.