ඉදිරියේ එන ආර්ථික ව්‍යසනයට එක්සත්ව මුහුණදීමේ වැදගත්කම

October 29, 2026
Publication:
Written for the last Ravaya of 2008, on the economic collapse coming towards the country and the case for meeting it as one rather than as parties.

මහා ආර්ථික කඩා වැටීමකට මුළු ලෝකයම ගොදුරු වී තිබේ. ලෝකයේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන ගණනාවක් කඩා වැටී තිබෙන අතර, කර්මාන්තශාලා හා වෙළෙඳ ව්‍යාපාර වැසීයමින් ලක්ෂ ගණනින් මිනිසුන්ට රැකියා අහිමිවෙමින් පවතී. ආනයන ආපනයන වෙළෙඳාම බිඳ වැටී අපනයන වෙළෙඳාම මත රඳා පවතින රටවලට ඒ රටවල අයවැය කළමනාකරණය කරගත නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ.

ලෝකයේ ඇතිවී තිබෙන මෙම ආර්ථික කඩා වැටීම අවුරුද්දක් තරම් කාලයක් තුළ යථා තත්ත්වයකට පත්වනු ඇතැ”යි කියන මතයක් සේ ම තත්ත්වය යථා තත්ත්වයට පත්වීමට තවත් අවුරුදු 05 ක පමණ කාලයක් ගතවනු ඇතැ”යි කියන මතයක් ද පවතී.

මෙම ආර්ථික ව්‍යසනය ශ්‍රී ලංකාවට ද අදාළය. එය අඩු වැඩි වශයෙන් අප රට කෙරෙහිත් බලපායි. එය අපට මුලින්ම දැනුණේ තෙල් නිසාය. දැන් තේ, රබර්, කුරුඳු වැනි නිෂ්පාදන සඳහා තිබුණු අපනයන වෙළෙඳපොළ හැකිලී, එම නිෂ්පාදනයන්හි නිරත ලොකු හා සුළු වැවිලිකරුවන් සිය නිෂ්පාදන පවත්වාගෙන යා නොහැකි අසරණ තත්ත්වයකට පත්ව සිටිති.

තේ මිල විස්මයජනක ලෙස පහත වැටී තිබෙනවා පමණක් නොව, ලැබී තිබෙන අඩුම මිල ගණන්වලට පවා විකුණාගත නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ. තේ නිෂ්පාදනයෙන් විශාලම පංගුව නිපදවන්නේ කුඩා තේ වතු හිමියන්ය. තේ ගමට හොඳ ආදායම් ගලා ගිය ප්‍රධාන මාර්ගයක් විය. තේ වලට විශාල මිලක් ලැබෙන විට ලැබුණු සියලු ආදායම් පරිභෝජනය කළා විනා ඉන් කිසියම් පංගුවක් අනාගත ආරක්ෂාව සඳහා ඉතිරි කරවන වැඩපිළිවෙලක් රටට නොවීය. අනෙක් අතට තේ සඳහා ලොකුම නාමය තිබුණේ ශ්‍රී ලංකාවට වුවත්, අප තේවල ප්‍රමාණයන්ට බර තබන ප්‍රතිපත්තියක් අනුගමනය කළා විනා, ගුණයට බර තබන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තරම් ඥානාන්විත ජාතියක් නොවීය. දැන් දශකයකටත් වැඩි කාලයක් තිස්සේ ඉන්දියාවෙන් බාල තේ ආනයනය කොට අපේ හොඳ තේ සමග මිශ්‍ර කොට අපනයනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් තේ සඳහා අපට තිබූ කීර්තිනාමය අහිමි කරගත්තේය. ශ්‍රී ලංකාවේ තේවලට තිබෙන කීර්තිනාමය ආරක්ෂා කරගැනීම සඳහා වන ජාතික වැඩපිළිවෙලක් රටට නොවීය.

අපේ රටේ ප්‍රධාන විදේශ විනිමය මාර්ගය වී ඇත්තේ විදේශගතවී සිටින ශ්‍රමිකයන්ගේ සංක්‍රාම ආදායම්ය. දැනටමත් මැදපෙරදිග ඉදිකිරීම් වැනි අංශවල උසස් රැකියාවල නිරත අයට ඒ රටවල කෙරෙන ඉදිකිරීම් අත්හිටුවීම නිසා රැකියා විරහිතව ආපසු එන්නට සිදුවී තිබේ. රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව තිබෙන ඇඟලුම් අපනයන කෙරෙහි ද ලෝක ආර්ථික කඩා වැටීම අහිතකර ලෙස බලපාමින් තිබේ. මේ තත්ත්වය ඉක්මණින් හෝ ප්‍රමාද වී මූල්‍ය ආයතන කෙරෙහි ද බලපෑ හැකිය. ආර්ථික ව්‍යසනයකට ගොදුරුවෙමින් සිටිය ද, සිදුවිය හැකි හානිය අවම කරගන්නේ කෙසේද යන්න ගැන තවමත් ජාතික කතිකාවතක් නැත. ආණ්ඩුව සේම විරුද්ධ පක්ෂ ද වැඩි උනන්දුවක් දක්වන බව පෙනෙන්නේ, සිල්ලර වැදගත්කමක් ඇති දේශපාලන කාරණා ගැනය. අඩුම වශයෙන් මෙම තත්ත්වය ගැන කෙරෙන හරවත් සංවාදයක් පාර්ලිමේන්තුව කෙරෙන්වත් අසන්නට ලැබෙන්නේ නැත. සියලුදෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේ රටක් වශයෙන් අපට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ආර්ථික ව්‍යසනය ගැන නොව, විධායකය හා අධිකරණය අතර ඇතිව තිබෙන ගැටුම හා ආණ්ඩුව හා විපක්ෂය අතර පවතින තරගය ගැනය.

රටේ දේශපාලන නායකයන් රටක් වශයෙන් අප මුහුණ දෙන්නට යන මෙම අර්බුදය කෙරෙහි මීට වඩා සංවේදීව ක්‍රියාකළ යුතු නැද්ද? බලතරගයට අතිරේකව මෙවැනි අභියෝගවලදී පොදු එකඟතාවකින් ක්‍රියාකිරීමේ වගකීමක් ඔවුන්ට නැද්ද?