ක්‍රමයේ වෙනසක් ද? ආණ්ඩු වෙනසක් ද? (මහින්ද රත්නායකට පිළිතුරකි)

October 29, 2026
Publication:
A second correspondent has picked up the stick where Mangala Samaraweera dropped it. Ivan answers him, restates his own position on Tamil rights — he does not accept the whole of the east as Tamil homeland, and thinks a maximal federal demand is not reasonable now — and corrects the misreading of what he said about collapse: he predicted the system might break down, not that anything better would follow.

මංගල නැවතුණු තැන සිට දුවන්නට මංගල අත තිබූ යෂ්ටිය මහින්ද රත්නායක කෙනෙකු බාරගෙන තිබෙන බව පෙනේ. ඔහු මැදිහත් ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්න දකින්නට උත්සාහ දරන්නෙකු ලෙස පෙනී සිටින්නට උත්සාහ දරා ඇතත්, ඔහුගේ ඇත්ත දේශපාලන ආස්ථානය බොරු දාර්ශනික වචනවලින් වසන් කිරීමට ඔහු සමත් වී නැත.

චන්ද්‍රිකාගේ රෙජීමය තුළ මංගල රඟපෑ භූමිකාව නොදන්නේ කව්දැ”යි කියමින් සිය විග්‍රහය ආරම්භ කරන මහින්ද රත්නායක කොතරම් අතීත වැරදි තිබුණ ද මංගල දැන් රඟපාමින් තිබෙන භූමිකාවට ලැබෙන වැදගත්කම හුවා දක්වා ඇත්තේ මෙසේය.

““පුරවැසියන් වශයෙන් අප මුහුණ දී සිටින්නේ රාජපක්ෂගේ පොලිස් රාජ්‍යයට මිස චන්ද්‍රිකාගේ හෝ මංගලගේ පොලිස් රාජ්‍යයකට නොවේ. දැනුවත් පුරවැසියන්ගේ පැත්තෙන් බලන විට රාජපක්ෂගේ පොලිස් රාජ්‍යය මේ මොහොතේ සමාජය තුළ සාධාරණය කර තිබෙන්නේ යුද්ධය මගිනි. තර්ජනයෙන්, මර්දනයෙන් හා තේ කෝප්පයෙන් යුද්ධයේ සැබෑ තොරතුරු ජනතාවගෙන් වසන් කරමින් රාජපක්ෂ රෙජිමය වාරුවී සිටින යුද්ධයේ මුක්කුව මේ මොහොතේ මංගලගේ ඉලක්කය වී තිබේ.””

මහින්ද රත්නායකට අනුව මහින්ද රාජපක්ෂ පොලිස් රාජ්‍ය පෙරළා දැමිය හැක්කේ එය වාරුවී සිටින යුද්ධයේ මුක්කුව ගැලවීමෙන් පමණය. එය මහින්ද රත්නායකට හෝ වෙනත් අයට කළ නොහැකි දෙයකි. එය කිරීමේ හැකියාව තිබෙන එකම මිනිසා මංගලය. ඒ නිසා මංගල රටට අවශ්‍යය. ඒ නිසා ඔහු කවර මිලක් ගෙවා හෝ ආරක්ෂා කරගත යුතුය. වැදගත්වන්නේ ඔහුගේ අපකීර්තිමත් අතීතය නොව, මේ මොහොතේ ඔහු ඉටු කරන කාර්යභාරයයි. අයිවන් පහර දෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව වාරුවී සිටින යුද්ධයේ මුක්කුව ගලවා දමන්න ශක්තිය ඇති එකම මිනිසාටය. සමහරවිට මහින්ද රත්නායකට මේ විග්‍රහය ලියන විට චන්ද්‍රිකා ද මතක් වූවා විය හැකිය. රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීම සඳහා හදාගෙන තිබූ පරණ සැලැස්මේ චන්ද්‍රිකාට ද වැදගත් කාර්යභාරයක් පැවරී තිබුණි. එහෙත් ඇයට එම කාර්යභාරය ඉටුකරන්නට ඉඩක් නැති ලෙස ඇය අවලංගු කළේ මේ අයිවන්ම නොවේදැ”යි ඔහුට කල්පනා වූවා විය හැකිය. ඒ දේ මංගලට වන්නට ඉඩ නොතැබීම ඔහුගේ අධිෂ්ඨානය වී තිබෙන බව පෙනේ. මහින්ද රත්නායක මේ ලිපියේම අන් තැනක සමහරවිට ඔහුට නොදැනීම ලියවී ඇති ආකාරයට පසු කාලයකදී නොව ඉතා ඉක්මණින් ඔහු ආණ්ඩු පෙරළියක් අපේක්ෂා කරයි. (ඔහුගේ ලිපියේ අවසාන ඡේදය බලන්න. ඔහු එහි එක්සත් ජාතික පක්ෂය ගැන සඳහන් කර ඇත්තේ “මෑතකදී බලයට පත්වීමේ ඉඩකඩ ඇති” පක්ෂය වශයෙන්) ඔහු රාජපක්ෂ රෙජීමය වෙනුවට තමන්ට ද අයිතියක් ඇති අලුත් රෙජිමයක් අපේක්ෂා කරයි. ඒ සිහිනය මල්ඵල ගැන්වෙනු ඇත්තේ මංගලට බාරවී තිබෙන මුක්කුව ගැලවීමේ කාර්යය සම්පූර්ණ කිරීමට ඔහු සමත්වන්නේ නම් පමණය. මුක්කුව ගලවන්නට සිටින මංගල ප්‍රශ්න කිරීමකට ලක් කිරීම ඔහුගේ උදහසට හේතුවී තිබෙන අතර, ඔහු ඒ ක්‍රියාව දකින්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂාව සඳහා කරන ක්‍රියාවක් ලෙසය.

මහින්ද රත්නායකගේ අපේක්ෂා අහිංසකය. ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වෙනුවට ඉක්මණින් යූඑන්පී ආණ්ඩුවක් අපේක්ෂා කරයි. සරල ආණ්ඩු පෙරළියක් ඔහුට ප්‍රමාණවත්ය. දේශපාලන ක්‍රමය ඔහුට වැදගත් නැත. පොදු වස්තුව කොල්ලකෑමට තිබෙන අයිතිය තවදුරටත් පවතිනවාට ද ඔහු කැමතිය. ඔහුට කෙනෙකුගේ අතීතය නොවැදගත්ය. බලයේ සිටියදී කරන සොරකම්, තක්කඩිකම් හා මැරකම් බලය අහිමිවීමත් සමග අමතක කළ යුතුය. වැදගත් කොට සැලකිය යුත්තේ බලයේ සිටින දේශපාලකයන් කරන වැරදි පමණය.

මා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආධාරකරුවකු ලෙස සනාථ කරන්නට දරන උත්සාහයේදී ඔහු ඒ සඳහා යොදා ගන්නා ලොකුම සාධකය වී ඇත්තේ ද මංගලගේ මෙම විවාදයටත් වඩා යුද්ධය හා දෙමළ ජනතාවගේ අනාගතය අරබයා මා ලියන ලද විවාදයට හේතුවූ ලිපි දෙකය. ඔහුට ඒ අනුව ලිපි දෙකේ සංවාද කිරීමට තරම් අලුත් දෙයක් නොතිබුණි. අලුත් දෙයක් තිබුණා නම් තිබුණේ මීට පෙර ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා හෙළ උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ පළකර තිබුණු අදහස්, අයිවන් විසින් පළකිරීම පමණය. ලංකාවට අහම්බෙන් කඩා වැදුණු විද්‍යුත් තැපෑලෙන් විප්ලව කරන පරණ වාමාංශිකයකු එම විවාදයට එකතුවීම නිසා වැඩකට නැති ලිපියකට අලුත් වටිනාකමක් ලැබුණි. මෙම ලිපියේ සැඟවුණු අරමුණ වූයේ රාජපක්ෂ රිජීමයේ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරයට තල්ලුවක් දීමය. උතුරුමැද හා සබරගමුව යන පළාත් සභා දෙකේ මැතිවරණ පැවතියේ අගෝස්තු 23 වැනිදාය. අයිවන්ගේ ලිපිය පළවූයේ අගෝස්තු 17 වැනිදාය. එම මැතිවරණවලින් රාජපක්ෂ රෙජීමය ජයග්‍රහණය කිරීමත් සමග අයිවන්ගේ අභිප්‍රාය ඉෂ්ට සිද්ධ විය.

උතුරුමැද සහ සබරගමුව පළාත් සභා ඡන්ද ඉලක්ක කොටගෙන අයිවන් ක්‍රියාවට නගා තිබෙන බිහිසුණු කුමන්ත්‍රණය ගැන ඔහු කරුණු ඉදිරිපත් කරන ආකාරය අපූරුය. තමන්ගේ දැනුමේ ප්‍රමාණය හා ගුණය පෙන්නුම් කරන කිසිවක් ඔහු ලියා පළකර නැතත්, පරසිත් දැකීමේ හැකියාව පමණක් නොව, සාගරයක් තරම් විශාල දැනුම් සම්භාරයක් තමන් සතු බව ඔහු අපට ඉඟියෙන් කියයි.

විවාදයට හේතුවී තිබෙන ලිපියේ ඇත්ත උත්පත්ති කතාව මහින්ද රත්නායක කියන කතාවට වඩා වෙනස්ය. එය මහින්ද රත්නායකගේ දැනගැනීම සඳහා නොව රාවය පාඨකයන්ගේ දැනගැනීම සඳහා කෙටියෙන් හෝ මෙහි විස්තර කිරීම වැදගත්ය.

මෙම ලිපිය පළ කළ සතියට පෙර සතියේ පැවති කර්තෘ මණ්ඩල සාකච්ඡාවේදී යුද්ධය පිළිබඳව රාවයේ පළකෙරෙන අදහස් මම විවේචනය කළෙමි. යුද්ධය පිළිබඳව රාවයේ පළවන ලිපි හා වාර්තා යුදබිමේ පවතින ඇත්ත යථාර්ථය වසන් කරන ඒකපාර්ශ්වික රචනා බව මම කියා සිටියෙමි. ඒ සමග යුද්ධයේ අනාගතය හා එල්ටීටීඊයේ අනාගතය පිළිබඳව මට පෙනෙන තත්ත්වය මම ඔවුන්ට විස්තර කළෙමි. මගේ එම අදහස් පළකිරීම කර්තෘ මණ්ඩලය තුළ උණුසුම් කතාබහකට හේතුවිය. සමහරෙක් අදහස් පළකිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් ද, තවත් සමහරෙක් අදහස් පළ කරන ප්‍රතිපත්තියක ද පිහිටා ක්‍රියා කළෝය. මා යුද්ධය පිළිබඳව දරන අදහස් පාඨකයන්ගේ දැනගැනීම සඳහා ලියා පළ කරන ලෙසත්, සමහරවිට එය අභ්‍යන්තර හා බාහිර විවාදයකට හේතුවිය හැකි බවත් එක් කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් ප්‍රකාශ කර සිටියේය. රාවයේ පළවූ ලිපිය ලියන්නට සිදුවූයේ එම සංවාදයේ ප්‍රතිඵලයක් වශයෙන් මිස කොහේවත් තිබුණු පළාත් සභා මැතිවරණයක් නිසා නොවේ.

කෙසේ වුවත්, මුල් ලිපිය හා ඒ ආශ්‍රයෙන් ඇතිවූ විවාදය සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂාවලින් පළවෙන පුවත්පත් තුනක පළවිය. වෙබ් අඩවි ගණනාවක ද පළවිය. මා දන්නා තරමින් එය දෙමළ ඩයස්පෝරාවේද නොමඳ අවධානයට යොමුවිය. කැනඩාවට ගොස් පැමිණි එක් දෙමළ ව්‍යාපාරික මහතකු මේ මෑත දිනකදී මට කීවේ එම සංවාදය කැනඩාවේ පළවන දෙමළ පුවත්පතක ද පළවූ බවත්, එය එහි සිටින දෙමළ ජනතාවගේ අවධානය දිනාගත් ලිපි පෙළක් වී තිබෙන බවය. මෙම සංවාදය ගැන එල්ටීටීඊ කෝණයෙන් අදහස් පළ කළ ලිපියක් වීරකේසරී පුවත්පතේ පළවී එහි සිංහල පරිවර්තනයක් ලබාගෙන කියවීමේ අවස්ථාව මට ලැබිණි. දෙමළ අරගළය පිළිබඳ වික්ටර් අයිවන් පළ කර තිබෙන විවේචනාත්මක අදහස් දෙමළ අරගළය ලබන පරාජයක් පිළිබඳ හැඟීම් දෙමළ ජනතාව තුළ ඇති කිරීමට හේතුවී තිබෙන බව ප්‍රකාශ කරමින්, එවැනි අදහස්වලින් දෙමළ ජනතාව නොමග යායුතු නැති බවත් අරගළයේ නිරත අය මීට පෙර මෙන් ජයග්‍රාහී ලෙස ඉදිරියට යනු ඇති බවත් එහි කියා තිබුණි.

මීට පෙර ද දෙමළ ඩයස්පෝරාව තුළ බෙදීම් තිබුණි. එහෙත් අද ඇතිවී තිබෙන බෙදීම ඉතාමත් තියුණුය. කොටි සංවිධානය අනවශ්‍ය ලෙස ආයුධවලට බර තබා ක්‍රියා කරන ප්‍රතිපත්තියෙන් ඉවත් වී සාමකාමී විසඳුමක් ඇති කරගත යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.

මහින්ද රත්නායකට මා පෙනෙන්නේ හෙළ උරුමය හෝ ජනතා විමුක්ති පෙරමුණ දරන අදහසම දරන දෙමළ විරෝධී අන්ත ජාතිවාදියෙකු ලෙසය. ඔහුගේ දෘෂ්ටිය අනුව හැම දෙයකම තිබිය හැක්කේ දෙපැත්තක් පමණය. හොඳ, නරක, කළු සුදු හරි වැරදි යනාදී වශයෙනි. මා ද හෙළ උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ මෙන් මේ අවස්ථාවේදී එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයට පක්ෂපාතය. ඔවුන් යුදමය වශයෙන් පරාජය කළ යුතුය හා පරාජය කළ හැකිය යන්න මා ද දරන අදහස වේ. එහෙත් අනෙක් අතට ඔවුන්ට වෙනස්ව දෙමළ ජනතාවට විසඳා ගැනීමට සාධාරණ දුක්ගැනවිලි ඇතැ”යි මම විශ්වාස කරමි. එම දුක්ගැනවිලිවලට සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව මම විශ්වාස කරමි.

දෙමළ නායකයන් ඉදිරිපත් කරන අයිතිවාසිකම් පිළිබඳව ද මට මාගේ විවේචනයක් ඇත්තේය. මුළු නැගෙනහිර පළාත ද ඇතුළත් වන ලෙස උතුර හා නැගෙනහිර යන පළාත් දෙක දෙමළ නිජබිම ලෙස සලකා ඉදිරිපත් කරන අයිතිය මම පිළිගන්නේ නැත. අනෙක් අතට වෙනම දෙමළ රාජ්‍යයක් නොවේ නම්, උපරිම ලෙස බලය බෙදාහරින පෙඩරල් ක්‍රමයක් සඳහා කරන ඉල්ලීම ද මේ මොහොතේ සාධාරණ නොවේය යන්න මාගේ විශ්වාසයයි. එවැනි ක්‍රමයකට සිංහල ජනතාව විරුද්ධය. ඔවුන් හිතන්නේ එවැනි ක්‍රමයක් වෙනම රාජ්‍යයක් කරා යන ගමන ශක්තිමත් කරනු ඇති බවය. දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබාදීමේදී දෙමළ ජනතාවගේ හැඟීම් පමණක් නොව, සිංහල ජනතාවගේ හැඟීම් ද සැලකිල්ලට ගන්නට සිදුවේ. ලිහිල් ලෙස බලය බෙදාහැරෙන වැඩපිළිවෙලකට (පළාත් සභා ක්‍රමය වැනි) සිංහල ජනතාව විරුද්ධ නැත. ඒ නිසා උපරිම මට්ටමෙන් හෝ අවම මට්ටමෙන් බලය බෙදාහැරෙන ක්‍රමයක් වෙනුවට මැද තැනකින් බලය බෙදා හැරෙන ක්‍රමයක් මේ මොහොතේ අපට තෝරාගත හැකිය.

වෙනසක් සඳහා අවශ්‍ය වැදගත්ම දේ ලෙස මා සලකනුයේ වර්ග, ආගම් හා කුලභේද නොසලකා සමාන අයිතිවාසිකම් තහවුරු කරන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගීමය. සමාන අයිතිවාසිකම් තහවුරු කරන ප්‍රතිපත්තියකට සිංහල ජනතාව පක්ෂය.

ඊළඟ වැදගත් දේ වනුයේ දෙමළ ජනතාවට රජය සමග සිය භාෂාවෙන් ගනුදෙනු කළහැකි තත්ත්වයක් සහතික කිරීමය. එම අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත්ව තිබීම ප්‍රමාණවත් නැත. එය මහ පොළොවේ සිදුවන දෙයක් බවට පත් කළ යුතුය. සිංහල හා දෙමළ යන භාෂා ප්‍රවීණතාවන්ට අනුබල දෙන ප්‍රතිපත්තියකට අතිරේකව දෙමළ භාෂාවෙන් ගනුදෙනු කිරීමට අවශ්‍ය ශක්තිමත් වටාපිටාවක් සහතික කිරීම සඳහා රජයේ සේවයට අවශ්‍ය අවම පුද්ගල සංඛ්‍යාව ගණනය කොට එම පුරප්පාඩු සංඛ්‍යාවට දෙමළ භාෂාවෙන් වැඩ කරන පිරිසක් බඳවාගත යුතුය. ඒ සඳහා අතිරේක වියදමක් දරන්නට සිදුවනු ඇතත්, ඒ නිසා ඇතිවී තිබෙන ආරාවුල් ජයගැනීම සඳහා දරන්නට සිදුවී තිබෙන විශාල වියදම සමග බලන විට එය ඵලදායී ආයෝජනයක් ලෙස සැලකිය හැකිය. ආණ්ඩුව අපේක්ෂා කරන ආකාරයට එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමට සමත් වෙතොත්, ඒ සමග අධිආරක්ෂිත කලාපය ක්‍රමයෙන් අත්හැරීමේ හැකියාව ආණ්ඩුවට ලැබෙනු ඇත්තේය. ඒ මගින් අධිආරක්ෂිත කලාප නිසා සිය ඉඩකඩම් අහිමි වී ඇති දෙමළ ජනතාවට නැවත ඒ ඉඩම්වල පදිංචිවීමේ හැකියාව ලැබෙනු ඇත්තේය. ආරක්ෂක කලාප සඳහා දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන තිබීම දෙමළ අසහනය කෙරෙහි බලපා තිබෙන බලවත්ම සාධකයකි.

එල්ටීටීඊයට එරෙහිව කෙරෙන යුද්ධයේදී මා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පක්ෂපාත මතයක සිටින බව කියන්නට විශේෂ අධ්‍යයනයකට යා යුතු නැත. ඒ ගැන මම ප්‍රසිද්ධියේ විස්තරාත්මකව අදහස් පළ කර ඇත්තෙමි. සාධාරණ දුක්ගැනවිලි තිබියදී වුවත්, මොනම සංවිධානයකටවත් හිතුවක්කාරී ලෙස මිනිසුන් මරන්නට හෝ දේපළ විනාශ කරන්නට ඉඩදිය යුතු නැත. යුද්ධය හැර එල්ටීටීඊය සමග ප්‍රශ්න විසඳා ගැනීමට වෙනත් මාර්ගයක් ඇති නම් මා එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයකට පක්ෂපාතවන්නේ නැත. ඔවුහු වෙනම රාජ්‍යයකින් මෙපිට කිසිවක් අපේක්ෂා නොකරති. ඒ අරමුණ වෙනුවෙන් දියත් කෙරුණු ප්‍රචණ්ඩ වැඩපිළිවෙල ඔවුහු අත්නොහරිති. ඒ තත්ත්වය යටතේ ඔවුන් කතා කරන භාෂාවෙන්ම ඔවුන් පරාජය කරනවා හැර ගතහැකි වෙනත් මගක් ඉතිරි වී නැත.

මෙම කරුණට අතිරේකව ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරෙහි මා ඇති කරගෙන තිබෙන තවත් බලාපොරොත්තුවක් පවතී. එය හරි බලාපොරොත්තුවක් ද, බොරු බලාපොරොත්තුවක් ද කියා මම නොදනිමි. මට පෙනෙන අන්දමට ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදය විසඳිය හැක්කේ සිංහල ජනයාගේ පිළිගැනීමට හේතුවන ජන නායකයකුට පමණය. එසේ නොවන ජන නායකයකු දෙන කවර තරම් හොඳ විසඳුමක් වුවත් සිංහල ජනයාගේ සැකයට හේතුවේ.

සිංහල ජනතාව අතර තිබෙන පිළිගැනීම නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපති දෙන කවර විසඳුමකට වුවත් සිංහල ජනයා එරෙහිවන්නේ නැත. එසේම හෙළ උරුමය, ජවිපෙ වැනි බලවේගයන්ට මහින්ද රාජපක්ෂට එරෙහිව පාරට බැස සටන් කිරීමේ හැකියාවක් ඇත්තේ ද නැත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට ලැබී තිබෙන මෙම වාසිදායක වටාපිටාව තේරුම් ගනිමින් හා ප්‍රයෝජනයට ගනිමින් වාර්ගික අර්බුදයට පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබාදීමට සමත් වේ නම් එය අප රට මුහුණ දී තිබෙන මහා අවුලෙන් භාගයක් ලිහාගත්තා හා සමානය. එහෙත් එපමණකින් සියලු අවුල් විසඳෙන්නේ ද නැත. එවිට විසඳා ගැනීමට ඉතිරි වන ඊළඟ අවුල වනු ඇත්තේ රට අවුල් කිරීමට හේතුවී තිබෙන දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කරගැනීමය.

රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය රටේ පවතින අවුල් කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන සාධකයකි. මෙම දේශපාලන ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ පාලක පක්ෂයට රටේ පොදු සම්පත් කොල්ලකෑමේ අයිතිය ලැබෙන ආකාරයටය. මෙවැනි විෂම දේශපාලන ක්‍රමයක් තුළ නීතියේ පාලනයත්, යහ පාලනයක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය නොහැකිය. මෙම දූෂිත දේශපාලන ක්‍රමය නඩත්තු කරන්නට රටට දරන්නට සිදුවී තිබෙන වියදම ද රටට ඔරොත්තු නොදෙන තරම් විශාලය. මේ ක්‍රමය තුළ ආණ්ඩු මාරුවලට තිබෙන ඉඩ සීමිතය. බලයට පත් පාලක පක්ෂයකට ක්‍රමය පිළිබඳ හොඳ වැටහීමක් ඇතොත් ඉතා දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටිය හැකිය. මෙම ක්‍රමයට ආවේණික නරකම ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායමෙන් වැඩි කොටසක් භාණ්ඩාගාරයට නොලැබී දේශපාලන ගජ මිතුරන්ගේ සාක්කුවලට ගලායෑමය.

ජනවාර්ගික අර්බුදය විසඳා ගන්නා අතර, මෙම දූෂිත දේශපාලන ක්‍රමයෙන් ඉවත් වී රටට ගැලපෙන සියලු පුරවැසියන් භේදයකින් තොරව ආදරයෙන් බලාගන්නා කාර්යක්ෂම හා ඵලදායී දේශපාලන ක්‍රමයක් ඇති කරගත හැකි නම් මෙම පුංචි ශ්‍රී ලංකාව ලෝකයේ දියුණුම රටවල් අතරින් එකක් බවට පත්කළ හැකි බව මගේ විශ්වාසයයි. දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් නැතිව සිදුවන කවර ආණ්ඩු වෙනසකින් වුවත් කෙටිකාලීන වශයෙන් ලැබිය හැකි මානසික සහනයකින් ඔබ්බට ගිය යහපතක් ඇතිවිය නොහැකිය.

දේශපාලන ක්‍රමයේ ඇතිවිය හැකි අවසානයක් පිළිබඳ මා පළකර තිබෙන අදහස් ද මහින්ද රත්නායක ඉතාමත් නරක ලෙස විකෘති කර ඇති බව කිව යුතුය. මා කියා ඇත්තේ මෙම දූෂිත දේශපාලන ක්‍රමය මහජනයා මැදිහත් වී වෙනස් නොකරන්නේ නම්, මහජනයාගේ මැදිහත්වීමකින් තොරව වුවත් ව්‍යුහමය නොගැලපීම් වර්ධනය වීම තුළ දේශපාලන ක්‍රමයේ කඩා වැටීමක් ඇතිවිය හැකි බවය. එවැනි කඩා වැටීමකින් පසුව ඉබේ වඩා යහපත් ක්‍රමයක් ඇතිවනු ඇති බව මා කියා නැත. එහෙත් ඔහු කියා ඇත්තේ පවතින ව්‍යුහමය නොගැලපීම් වර්ධනය වී ක්‍රමයේ කඩා වැටීමක් හරහා යහපත් විකල්පයක් ඇතිවනු ඇති බවට මා සිහින දකින බවය.

දේශපාලන ක්‍රමය තවදුරටත් ඉදිරියට යා නොහැකි තරමට ජරාජීර්ණ වී ගරාහැලෙමින් තිබෙන බව මහින්ද රත්නායක දන්නේය. එහෙත් ඒ සඳහා වන වෙනසකට වඩා ඔහු ද සුපුරුදු කොල්ල දේශපාලනයට කැමතිය. දේශපාලන බලතරගයේ උත්ප්‍රේරක සාධකය බවට පත්ව ඇත්තේ ජයග්‍රාහකයාට පොදු වස්තුව කොල්ලකෑමට තිබෙන අයිතියයි. ඒ කොල්ලයේ රස දන්නා කිසිවකුට ඉන් ඉවත් විය නොහැකිය.

මා කියා ඇත්තේ මෙම දූෂිත දේශපාලන ක්‍රමය මහජනයා මැදිහත් වී වෙනස් නොකරන්නේ නම්, ව්‍යුහමය නොගැලපීම් වර්ධනය වීම තුළ ඒ ක්‍රමයේ කඩාවැටීමක් ඇතිවිය හැකි බවය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වඩා යහපත් දේශපාලන ක්‍රමයක් ඇතිවනු ඇති බව මා ප්‍රකාශ කර නැත. විධායකය හා අධිකරණය අතර දැන් මතුවී තිබෙන ගැටුමද ව්‍යුහමය නොගැලපීමේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. රජයේ සේවකයන්ගේ වැටුප් ආරාවුල ද එහිම තවත් ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. වෙනසක් ඇති කිරීමට ඉඩක් නැති ආකාරයට පාසල් අධ්‍යාපන ක්‍රමයේ ඇතිවී තිබෙන අර්බුදය ද එහිම ප්‍රතිඵලයකි.

ගරා වැටුණු තත්ත්වයකට පත්ව තිබෙන නිවසක් කඩා බිඳ දමා නව නිවසක් ඇති කරගැනීම සඳහා ක්‍රියානොකරයි නම් නිවස ක්‍රමයෙන් ඉබේ කඩා වැටෙන තත්ත්වයකට පත්විය හැකිය. අද දේශපාලන ක්‍රමය පවතින්නේ ද එවැනි තැනකය.