මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳව පැවති විවාදයේදී බහුතර ඡන්දයක් ලබාගනිමින් එම විවාදය ජයගැනීමට අපි සමත් වීමු. එහෙත් බටහිර ලෝකය ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළේය. එයින් පෙනෙන්නේ අප ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය ජයගැන්මට සමත් වුවත් එම ජයග්‍රහණය යුක්තිසහගත කරමින් ඒ සඳහා වන පොදු ලෝක එකඟතාවක් ලබාගැනීමට අප සමත් වී නැති බවය. බටහිර ලෝකය ශ්‍රී ලංකාව පිළිබඳව ප්රශ්නය දෙස බලන ආකාරයේ වරදක් තිබෙනවා විය හැකිය. එම ආකල්පය නිවැරදි කිරීම අපේ වගකීමකි.
යුදමය වශයෙන් අපට මුහුණ දෙන්නට සිදුවී තිබුණු අතිවිශාල අභියෝගයක් සාර්ථක ලෙස ජයගැනීමට අප සමත් වී ඇතත්, එහිදී රටක් වශයෙන් අප ලැබූ සමත්භාවය ලෝකය ඉදිරියේ යුක්තිසහගත කිරීමට අප මුළුමනින් සමත් වී නැති බවත් පෙනීයයි. සාර්ථක ඉදිරි ගමනක් සඳහා ඒ අඩුව කල් නොයවා, අප සම්පූර්ණ කරගත යුතුය. ලෝක මට්ටමෙන් රටවල් බහුතරයක පක්ෂපාතීත්වය අපට තිබීම ගැන අපට සතුටු විය හැකිය. ඒ සමග මොන මොන හේතු නිසා හෝ සුළුතරයක් වුවත් ලෝකයේ බලවත් රටවල් කණ්ඩායමක් අපට විරුද්ධ වීම ගැන අපට සතුටු විය නොහැකිය. ඕනෑම යුද්ධයකදී මිනිස්සු මියයන්නෝය. තුවාල ලබන්නෝය. මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවන්නේය. එහෙත් යුද්ධයක යුක්තිසහගතභාවය තීරණය කරන්නේ ලබන ලද ප්‍රතිඵලය හා ඒ සඳහා ගෙවන ලද මිල අතර පවතින පරතරයෙනි.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් පරාජය කරන ලද්දේ ලෝකයේ තිබුණු බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකිය හැකිය. එය තිස් අවුරුදු යුද්ධයක් තුළ අතිවිශාල බලපරාක්රමයක් ගොඩනගා ගෙන සිටි ත්‍රස්තවාදී ව්‍යාපාරයකි. එය උතුරු නැගෙනහිර ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක් පාලනය කරන ලද අතර, තත්වාකාර රාජ්‍යයක් සඳහා වන ආයතන පද්ධතියක් ද ගොඩනගා ගෙන තිබුණි. එයට පෙර ජයග්‍රාහී යුද්ධවලින් පෝෂණය වූ හා නවීන අවි ආයුධවලින් සන්නද්ධ වූ ආරක්ෂක හමුදාවක් තිබුණු අතර, වාණිජ නැව්, ප්‍රහාරක බෝට්ටු, සැහැල්ලු ගුවන් යානා, මල්ටි බැරල්, කාලතුවක්කු හා යුද ටැංකි ඔවුන් සතුව තිබුණේය. මරාගෙන මැරෙන්නට සූදානම් බලකායක් සිටීම ඔවුන් සතුව තිබුණු බලවත්ම ආයුධය විය.
රාජ්‍යයක අසමත්භාවය නිර්ණය කරන එක වැදගත්ම සාධකයක් වන්නේ ඇතිවන සන්නද්ධ නැගිටීමක් පාලනය කිරීමට තිබෙන අසමත්භාවය හා භූමියේ අඛණ්ඩතාව රැකගැනීමට තිබෙන නොහැකියාවය. ශ්‍රී ලංකා රාජ්‍යය දශක කිහිපයක් පැවතියේ ඒ සඳහා අවශ්‍ය කරන සමත්භාවය නැතිවය. රාජ්‍යය තුළ තවත් රාජ්‍යයක් ඇතිවී තිබුණි. සාමකාමී එකඟතාවකින් මිස මෙම තත්ත්වය යුද්ධයෙන් ජයගත නොහැකිය කියන විශ්වාසය තහවුරු වී තිබුණේද ගොඩනැගී ගල්ගැසී තිබුණු එම විශේෂ තත්ත්වය නිසාය.
එහෙත් රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී තිබුණු එම දුෂ්කර අභියෝගය ශ්‍රී ලංකාව ජයගත්තේය. එල්ටීටීඊය විසින් අල්ලාගෙන සිටි මුළු භූමි ප්‍රදේශයම නැවත අල්ලා ගැනීමට සමත් වූවා පමණක් නොව, මහා වෘක්ෂයක් කපා බිම හෙලන ලද ආකාරයට ප්රභාකරන් පමණක් නොව, එල්ටීටීඊ ව්‍යාපාරයේ සියලු නායකයන් විනාශ කිරීමට ද ආරක්ෂක හමුදා සමත් විය. දැන් රාජ්‍යය තුළ තවත් රාජ්‍යයක් නැත. රාජ්‍යයේ නිල ආරක්ෂක හමුදා හැරුණු විට ආයුධ අතට ගත් ප්රතිපක්ෂ හමුදාවක් රටේ නැත. මෙය රටක් වශයෙන් අප ලැබූ ඉතාමත් අසාමාන්‍ය ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි අතර, ඒ සඳහා ගෙවා තිබෙන මිල ද ප්රශ්නයේ විශාලත්වය අනුව ඉතා කුඩා බවද කිවයුතුය.
ජවිපෙ දෙවැනි කැරැල්ලේදී එය මෙහෙයවූ ජවිපෙට තිබුණු ලොකුම ආයුධය වූයේ ටී 56 මැෂින් තුවක්කුවයි. ඔවුන්ට මල්ටි බැරල් නොතිබුණි. කාලතුවක්කු ද නොතිබුණි. වාණිජ නැව් හෝ ප්‍රහාරක බෝට්ටු නොතිබුණි. සැහැල්ලු ගුවන් යානා නොතිබුණි. මරාගෙන මැරෙන හමුදාවක් ද නොතිබුණි. කැරැල්ල ඒ තරම්ම ප්‍රාථමික වුවත්, මාස 28ක කාලයක් අල්ලාගෙන සිටීමට ඔවුහු සමත් වූහ. බලය අල්ලා ගැනීමට ඔන්න මෙන්න කියන තත්ත්වයකට පැමිණි අවස්ථාවක් ද තිබුණි. අවසානයේ එම ප්‍රාථමික කැරැල්ල පරාජය කිරීමට කිසියම් විශාල වන්දියක් ගෙවන්නට රටට සිදුවිය. සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව පිළිබඳව හරි ඇස්තමේන්තුවක් නැතත්, එය හතළිස්දාහක් ලෙස සැලකුවද ඒ සංඛ්‍යාව පුංචි නැත.
හතරවැනි ඊලාම් යුද්ධයේදී එල්ටීටීඊය මුළුමනින් පරාජය කරනු ලැබුවේ මාස 36ක් වැනි කාලයක් තුළය. ඒ වෙනුවෙන් ගෙවන ලද ජීවිත වන්දිය ජවිපෙ කැරැල්ල සමග සසඳන විට ඉතා කුඩාය. එල්ටීටීඊයට තිබුණු ශක්තියේ ප්‍රමාණය අනුව බලන විට ඒ ප්‍රමාණය ඉතා විශාල විය යුතුව තිබුණේය.
මියගිය අයගේ ප්‍රමාණය පිළිබඳව දළ අදහසක් ඇතිකර ගැනීම සඳහා යොදාගත හැකි ක්‍රමවේදයන් මෙසේය.
එල්ටීටීඊය සමග සිටින ජනයාගේ සංඛ්‍යාව හැටදහසක් පමණ විය හැකියැ”යි ආණ්ඩුව කියන විට එල්ටීටීඊය කීවේ තුන් ලක්ෂයක පමණ ජනතාවක් තමන් සමග එහි සිටින බවය. අවසානයේ මුදාගෙන සිටින ජනතාවගේ සංඛ්‍යාව ද තුන් ලක්ෂයකට ආසන්නය. දෙපැත්තෙන්ම මියගිය සංඛ්‍යාව තිස්දාහක් වුවත්, මෙවැනි යුද්ධයකදී ඒ ගණන සැලකිය යුත්තේ පොඩි ගණනක් වශයෙන් මිස, ලොකු ගණනක් වශයෙන් නොවේ. මියගිය සංඛ්‍යාව ගණන් ගැනීමේදී තුන් ලක්ෂයක පමණක ජනතාවක් එල්ටීටීඊය සිය ආරක්ෂක පළිහක් ලෙස යොදාගෙන සිටි බවද සැලකිල්ලට ගත යුතුය. එල්ටීටීඊය ද මුළුමනින් පරාජය කරන අතර, ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි ජනතාව ද මුදාගත්තේය. ඒ කාර්යයන් දෙක සඳහාම දෙපැත්තෙන් මියගිය මුළු සංඛ්‍යාව තිස්දාහක් හෝ ඊට අඩු නම් එය ඉතාමත් අඩු මිලක් ගෙවා ලබාගෙන තිබෙන සුවිශාල ජයග්‍රහණයක් ලෙස ද සැලකිය හැකිය.
එල්ටීටීඊයේ පරාජය බලපාන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි පමණක් නොවේ. එය සමස්ත ලෝකය කෙරෙහි ද බලපායි. ලෝක ත්‍රස්තවාදී ව්‍යාපාරයේ බලගතුම සංවිධානය ලෙස පැවති එල්ටීටීඊය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය ලෝක ත්‍රස්තවාදී ව්‍යාපාරය ද විශාල ප්‍රමාණයකින් දුර්වල කිරීමට ද හේතුවේ. එල්ටීටීඊය අල්ලා ගෙන සිටීමට සමත් වී නම්, එය ලෝක ත්‍රස්තවාදී ව්‍යාපාරවලට ආස්වාදජනක පූර්වාදර්ශයක් වන්නට ඉඩ තිබුණා සේ ම, එල්ටීටීඊය මුලිනුපුටා දැමීමේ ශ්‍රී ලංකා ආදර්ශය ලෝක ත්‍රස්තවාදී ව්‍යාපාරවල ආත්ම ධෛර්යය බෙලහීන කරන සාධකයක් ලෙස ද ක්‍රියාකරයි. ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකාව කෙරෙහි පමණක් නොව, මුළු ලෝකය කෙරෙහි ද යහපත් ලෙස බලපායි. ඒ අර්ථයෙන් ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව කිසියම් මිලක් ගෙවා ඇත්නම් ශ්‍රී ලංකාව එම මිල ගෙවා ඇත්තේ තමන් සඳහා පමණක් නොව, මුළු ලෝකයම සඳහාය.
ශ්‍රී ලංකාවට මේ ප්රශ්නයේදී ලෝකයට වසන් කිරීමට තරම් විශාල කිසිවක් නැත. ඕනෑම යුද්ධයක් තුළ නරක දේවල් සිදුවිය හැකිය. වැදගත්වන්නේ ඒවාහි ප්‍රමාණය හා ගුණයයි. ශ්‍රී ලංකාවේ සිදුවූ මේ යුද්ධය ලෝකයේ කවර රටක හෝ සිදුවී තිබෙන අභ්‍යන්තර යුද්ධයක් සමග සැසඳුවද පිළිගත හැකි යුක්තිසහගත මට්ටමකින් ඉදිරියට ගෙන ගොස් අවසන් කර ඇතැ”යි කිව හැකිය. පළිගැනීමේ අරමුණින් කෙරෙන මනුෂ්‍ය ඝාතන මේ යුද්ධය තුළ නොතිබුණේයැ”යි කිව හැකිය.
බටහිර ලෝකය කුහකත්වයෙන් තොරව මෙම තත්ත්වය තේරුම් ගත යුතුය. ඔවුන්ට එය නොතේරෙන්නේ නම් ඒ බව ඔවුන්ට තර්කානුකූලව කියාදීමට රටක් වශයෙන් අප සමත් විය යුතුය. යුද්ධයකදී උද්ධච්චකම අවශ්‍ය වුවත් දැන් යුද්ධය අවසන් වී ඇති බැවින් උද්ධච්ච ස්වරය අතහැර සන්සුන්ව කරුණු පෙන්වා දෙන තැනකට අප යායුතුය.
යුද්ධයේදී බටහිර ලෝකය මුළුමනින් නොසලකා ක්‍රියාකිරීමේ හැකියාවක් අපට තිබුණද ජාත්‍යන්තර වෙළෙඳාමේදී මුළුමනින් බටහිර ලෝකය නොසලකා ක්‍රියාකිරීමේ හැකියාවක් අපට නැත. අප ඔවුන් ඉදිරියේ වැඳ වැටිය යුතු නැත. එහෙත් ඔවුන් අතර පවත්නා දුර්මත අප නැති කළ යුතුය. දුෂ්කර මොහොතේදී අපට ආධාර කළ සියලු රටවල විශ්වාසය ආරක්ෂා කරගන්නා අතර, බටහිර රටවල් ද රටේ ඉදිරි ගමනට බාධා නොකරන, ඒ වෙනුවට අපට ආධාර කරන රටවල් බවට පත්කර ගත යුතුය. ජී.එස්.පී. ප්ලස් සහනය ද ආරක්ෂා කරගනිමින් පනවා තිබෙන මොන මොන හෝ සම්බාධක ඇතොත්, ඒ සියල්ල ඉවත් කරගන්නා අතර ඔවුන්ගෙන් වැඩියෙන් ආධාර ලබන තත්ත්වයක් අප ඇති කරගත යුතුය.
ජනාධිපති මෝඩ මිත්‍රයන්ගෙන් පරෙස්සම් විය යුතුය
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රාජ්‍යත්වයක් ආරෝපණය කිරීම සඳහා වන ව්‍යාපාරයක් ක්රියාත්මකවෙමින් තිබෙන බව පෙනේ. මහින්ද රාජපක්ෂ ද රජෙකි. එහෙත් ඔහු රජකු වන්නේ ජනසම්මතවාදී අර්ථයෙන් මිස, වැඩවසම් අර්ථයෙන් නොවේ. වැඩවසම් රජවරුන් පාලනය කළ ඉතිහාසයක් ලෝකයේ හැම රටකටම පාහේ තිබුණි. ඒ රජවරුන් අතර ශ්‍රේෂ්ඨ රජවරු සේ ම අධම රජවරුද සිටියෝය. දැන් වැඩවසම් රජවරුන් ඉන්නේ කටුගෙවල්වලය. නැතිනම් රජකම සංකේතාත්මක වැදගත්කමක් පමණක් ඇති දෙයක් බවට පත්වී ඇත්තේය. රාජාණ්ඩු ක්‍රමය අතහැර ජනසම්මතවාදී ආණ්ඩු ක්‍රමයකට ලෝකය මාරුවී සිටින්නේය. දැන් බොහෝ රටවල් පාලනය කරන්නේ උරුමයෙන් තේරී පත්වූ රජවරුන් නොව, මහජනයා තෝරාපත් කළ නිශ්චිත කාලවකවානුවලට පමණක් පාලනය බලය හිමිකරගත් ජනසම්මතවාදී රජවරුන්ය. වැඩවසම් රජවරුන්ට වෙනස්ව ජනසම්මත රජ එකවිට පාලකයෙක් ද මහජන සේවකයෙක් ද වේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති අයත් වන්නේ ද, පළමු ගණයට නොව, දෙවැනි ගණයටය. ඔහු එකවිට රටේ පුරවැසියන්ගේ පාලකයාද සේවකයාද වේ.
ජනාධිපතිවරණයකින් තොරව ජනාධිපතිගේ නිල කාලය දීර්ඝ කළයුතුයි කියන උද්ඝෝෂණයක් මතුකර ගැනීමේ ව්‍යාපාරයක් ද ආරම්භ වී තිබෙන බව පෙනේ. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ නිල කාලය මොනයම් ක්‍රමයකින් හෝ දීර්ඝ කරන පිළිවෙතක් රටේ යහපතට හේතුවන්නේ නැත. ජේ.ආර්. ජයවර්ධන තමන්ට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමතවිචාරණයකින් දීර්ඝ කරගත්තේය. එය දීර්ඝ කරගත්තේ අව්‍යාජ ජනමතවිචාරණයකින් වුවත්, එය යහපත් දෙයක් වන්නේ නැත. එම වැරදි ක්‍රියාව වෙනුවෙන් රට විශාල වන්දියක් ගෙව්වේය. රට අවුල් ජාලයට තල්ලු කරමින් කෙළවරක් නැති තරමට ලේ වගුරුවන තත්ත්වයක් රටේ ඇති කිරීමට එම ක්‍රියාව හේතුවිය.
ජේ.ආර්. කල්පනා කළ විදිය වැරදි වුවත්, එහි තර්කානුකූල බවක් හෝ තිබුණි. පාර්ලිමේන්තුවේ තිබූ හයෙන් පහේ බලය දෙවැනි ධුර කාලය සඳහා ද පවත්වාගෙන යෑමට ඔහුට අවශ්‍ය විය. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වී නම්, නැවත ජයගන්නේ යූඑන්පිය වුවත්, හයෙන් පහක බලයක් ලැබෙන්නේ නැත. ශ්‍රීලනිපයට ද ආසන 70කට වැඩි ගණනක් ලැබෙන්නට ඉඩ තිබුණි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ජේ.ආර්. ජයවර්ධනට මුහුණ දෙන්නට සිදුවූ එවැනි ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවී නැත. ඊළඟ ජනාධිපතිවරණයෙන් ඔහුට පහසු ජයග්‍රහණයක් ලැබිය හැකි අතර, ජයග්‍රහණයේ ප්‍රමාණය ද විශාල විය හැකිය. එවැනි ජයග්‍රහණයක් ජනාධිපතිවරයාගේ දේශපාලන සුජාතභාවය ද ශක්තිමත් කොට තහවුරු කරයි. තිබෙන තත්ත්වය එය නම්, ජනාධිපතිවරණයක් මගහැරිය යුතු නැත. ජනාධිපතිවරණයකට පමණක් නොව, ජනමතවිචාරණයකට ද වියදමක් යන්නේය. ඉන්දියාවේ මෙන් ප්රචාරක කාලය සති දෙකකට සීමා කිරීමෙන්, වෙළෙඳ ප්රචාරක දැන්වීම් තහනම් කිරීමෙන් ජනාධිපතිවරණයක් සඳහා කරන වියදම්වලට සීමා පනවන ප්‍රතිපත්තියක් ඇති කිරීමෙන් ජනාධිපතිවරණයකට යන වියදම් විශාල ප්‍රමාණයකින් අඩු කරගත හැකිය.
පාර්ලිමේන්තු මැතිවරණයක් මගහැරීමද විනාශකාරීය. රටේ පවතින දේශපාලන බලතුලනයක් යථා පරිදි පාර්ලිමේන්තුව තුළ පිළිබිඹු වන තත්ත්වයක් තිබිය යුතුය. ජනතාවට සිය පරමාධිපත්‍යය බලය අභ්‍යාස කිරීමේ අයිතිය ලැබෙන්නේ මැතිවරණවලදීය. යුද්ධයෙන් පසු රටට අවශ්‍ය වී තිබෙන වෙනස්කම් සඳහා වාසිදායක දේශපාලන වටාපිටාවක් ගොඩනැගෙනු ඇත්තේද ප්‍රධාන මැතිවරණ දෙක මගහැරීමෙන් නොව, ඒවා පැවැත්වීමෙනි.
බොරු ප්‍රශංසාව භයානකය. පාලකයෙකුට ප්‍රශංසාව අවශ්‍ය වුවත්, විවේචනය ද අවශ්‍යය. විවේචනය ඉවසීමේ සේ ම සාධාරණ විවේචනවලදී ඒවායින් ඉගෙන ගැනීමේ හැකියාව ද පාලකයාට තිබිය යුතුය. නිදහසින් පසු බිහිවූ බලවත්ම හා ජනප්‍රියම පාලකයා වී සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂය.
තවමත් ඔහුගේ පළමු ධුර කාලයෙන් ගෙවී ඇත්තේ අවුරුදු හතරකට ආසන්න කාලයක් පමණය. දෙවැනි ධුර කාලය සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ද ඔහුට පහසුවෙන් ජයගත හැකි අතර, එවිට ඔහුගේ ඉදිරි පාලන කාලය අවුරුදු 8කි. එය රටේ පවතින දේශපාලන යථාර්ථයක් ලෙස සැලකිය හැකිය. ගෙවුණු අවුරුදු හතර තුළ ඔහු විශාල වැඩ කොටසක් ඉටුකර තිබෙන අතර, අවශ්‍ය නම් ගෙවන්නට තිබෙන ඉතිරි අවුරුදු අටේ ද ඊට වඩා විශාල වැඩ කොටසක් කළ හැකිය.
භේදබින්න වී සිටින ජනතාව එක්සත්ව හා සමඟිසම්පන්නව ක්‍රියා කරන ජනතාවක් බවට පත්කළ හැකිය. වර්ග භේදය, ආගම් භේදය හා කුල භේදය රටින් තුරන් කරන තැනකට යාහැකිය. රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය අහෝසි කොට, දූෂණයට ඉඩක් නැති, නඩත්තු කිරීමට යන වියදම අනුව සියලුදෙනාගේ ගෞරවයට හා රටේ උන්නතියට හේතුවන යහපත් ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් ඇති කළ හැකිය. රට ධනයෙන් ද, ගුණයහපත්කම්වලින් ද පොහොසත් රටක් බවට පත්කළ හැකිය.
නව අගවිනිසුරුවරයකු පත්වීම
විශ්‍රාම ගිය අගවිනිසුරුවරයා වෙනුවට නව අගවිනිසුරුවරයෙක් තේරී පත්වී සිටින්නේය. අධිකරණයේ ගෙවී ගිය කාලය අඳුරුය. එය නැවත ආලෝක කිරීම නව අගවිනිසුරුවරයා වෙත පැවරී තිබෙන ලොකුම කාර්යය ලෙස සැලකිය හැකිය.
අධිකරණය තිබිය යුත්තේ මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන තත්ත්වයකය. එහෙත් ගෙවී ගිය කාලය තුළ එය තිබුණේ එවැනි තැනක නොව, රස්තියාදුකාර ආයතනයක තත්ත්වයකය. බොහෝ නඩු තීන්දුවලදී වැදගත් වූයේ නීතිමය තර්ක විතර්ක නොව, දැනහැඳුනුම්කමය. යුක්තිය ඉටුකිරීම සඳහා අධිකරණය ඉදිරියට එන පුරවැසියන් පීඩාවට පත් කරන ආකාරයෙන් බලය පාවිච්චි කෙරුණු අවස්ථා කොතෙකුත් තිබුණේය. ඉතාමත් අසාධාරණ ලෙස මිනිසුන්ට සිරදඬුවම් පැමිණ වූ අවස්ථා ද කොතෙකුත් තිබුණි.
අධිකරණ සේවා කොමිසම තිබුණේ ද ඉතාමත්ම නරක තත්ත්වයකය. විශේෂයෙන්ම අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා රඟපෑවේ ජුගුප්සාජනක භූමිකාවකි. සාමාන්‍ය මිනිසුන්ට පමණක් නොව, කොමිෂන් සභාවේ සමහර සාමාජිකයන්ට පවා පීඩාකාරී ලෙස ක්‍රියා කළේය. කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස ක්‍රියාකළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු තමන්ට එහි හිතට එකඟව වැඩකිරීමේ ඉඩක් නැති බව ප්‍රකාශ කරමින් කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වූ අවස්ථාවක් ද තිබුණි. හිටපු අගවිනිසුරුවරයාට ඔහුගේ හෙංචයියන්ට යටහත් පහත්ව ක්‍රියා නොකරන විනිසුරුවරුන්ගෙන් පළිගත්තේය. සේවයට ගැනීමේදී ස්ථාන ලබාදීමේදී හා උසස් කිරීම්වලදී දක්ෂතා හා සුදුසුකම් වෙනුවට වැදගත් කොට සැලකුණේ හිතවත්කම්ය.
සාමාන්‍ය විනිසුරුවරුන් පමණක් නොව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පවා පළිගැනීමට ලක්විය. තේරී පත්වී සිටින නව අගවිනිසුරුවරයා පවා පළිගැනීමට ලක්විය.
නඩු නිර්මාණය කොට එම නඩු තමන්ම අසා තීන්දු දෙන ක්‍රමයක් ක්‍රියාත්මක විය. නෑදෑයන්ගේ නඩු, යාළුවන්ගේ නඩු අසා වාසිදායක තීන්දු දෙන ක්‍රමයක් ක්‍රියාත්මක විය.
අධිකරණයේ පැවති මෙම අයහපත් හා අශෝභන තත්ත්වයේ යහපත් වෙනසක් ඇති කරන්නේ කෙසේද යන්න නව අගවිනිසුරුවරයා ඉදිරියේ තිබෙන ලොකුම අභියෝගයකි.
විධායකය සමග කල්ලි ගැසී ක්‍රියාකරන හෝ විරුද්ධ පක්ෂය සමග කල්ලි ගැසී ක්‍රියාකරන අධිකරණයක් රටට අවශ්‍ය නැත. අවශ්‍යව ඇත්තේ සාධාරණව ක්‍රියා කරන සියලුදෙනාගේ විශ්වාසයට හේතුවන අධිකරණයකි. ඒ සඳහා යන ගමනේදී යුක්තිය අහිමි කළවුන්ට යුක්තිය ඉටු කරන ක්‍රමයක් ද සොයායා යුතුය. විශ්‍රාම ගිය අගවිනිසුරුවරයා විශ්‍රාම යෑමට නියමිතව තිබෙන අවස්ථාවක අධිකරණ සේවයට අලුතෙන් නිලධාරීන් බඳවා ගත්තේය. උසස්වීම් ලබා දුන්නේය. ස්ථාන මාරුවීම් ලබා දුන්නේය. එම ක්‍රියාවලිය ගැන ද විවේචනයක් පවතී. ඒ තුළද වැරදි සිදුවී ඇත්නම් නිවැරදි විය යුතුය.