දෙමළ ජනතාව පරාජය නොකොට ප්‍රභාකරන් පරාජය කිරීම

October 29, 2026
Publication:
Under the rules of the system we inherited, government and opposition cannot cooperate even in a national crisis — each must injure the other at every opportunity. Ivan works through the opposition's dream world, the UNP, the Rajapaksa administration, the international community's misreading and India's role, and ends with the settlement: equal citizenship written into law, and ethnic, religious and caste discrimination made illegal.

ජේ.ආර්. ජයවර්ධන අපට උරුම කරදී තිබෙන දේශපාලන ක්‍රමයේ නියාමයන්ට අනුව ජාතික අර්බුදයකදී පවා ආණ්ඩු පක්ෂයට හා විරුද්ධ පක්ෂයට සහයෝගයෙන් ක්‍රියාකිරීමේ හැකියාවක් තිබිය නොහැකිය. බලය සඳහා තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකිනෙකා කෙරෙහි ඇති කරගත් වෛරයකින් ක්‍රියා කිරීම අත්‍යවශ්‍යය. ආණ්ඩු පක්ෂයට ලැබෙන හැම අවස්ථාවකදීම විරුද්ධ පක්ෂයෙන් පළිගත යුතුය. විරුද්ධ පක්ෂය පීඩාවට පත් කළ යුතුය. බෙලහීන කළ යුතුය. අනෙක් අතට විරුද්ධ පක්ෂය ද තමන්ට පහරදීමට ලැබෙන හැම අවස්ථාවකදීම මුළු වැර යොදා ආණ්ඩුවට පහර දිය යුතුය. තමාට පෙරළීමට නොහැකි නම් භූමිකම්පාවක් වැනි දෙයක් මගින් හෝ ආණ්ඩුව පෙරළා දෙන ලෙස දෙවියන්ට යැදිය යුතුය.

විරුද්ධ පක්ෂයේ සිහින ලෝකය

මෙම දේශපාලන ක්‍රමය තුළ විරුද්ධ පක්ෂවලට ජීවත්වන්නට සිදුවී තිබෙන පීඩාකාරී වටපිටාව තුළ විරුද්ධ පක්ෂවලට සිය පැවැත්ම රැකගැනීමට සිදුවී තිබෙන්නේ තමන් බලයට පත්වීමට ආසන්න තත්ත්වයක සිටින බව මවා පෙන්වීමට දරන හාස්‍යජනක උත්සාහයන් තුළය.

එජාප මංගල – ශ්‍රීපතිගේ කැරැල්ල ගැන අතිවිශාල විශ්වාසයක් ඇති කරගෙන සිටියේය. ඔවුන් දෙපළ ඉදිරිපත් කරන චෝදනා නිසා රාජපක්ෂ ආණ්ඩුවේ පැවැත්ම ඉක්මණින් කඩා වැටෙනු ඇති බවට විශ්වාස කළේය. එම විශ්වාසය බොඳවීමෙන් පසුව ජාත්‍යන්තර ප්‍රජාව විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අස්ථාවර කරනු ඇතැ”යි විශ්වාස කළේය. එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් තුළ තමන්ට නැවත ඉක්මණින් බලයට පත්වීමේ හැකියාව ලැබෙනු ඇතැ”යි විශ්වාස කළේය. ඒ විශ්වාසය බිඳ වැටීමෙන් පසු රාජපක්ෂ ආණ්ඩුවට ප්‍රභාකරන් හොඳ පාඩමක් උගන්වනු ඇතැ”යි විශ්වාස කළේය. ඉන්පසු අධිකරණය විසින් රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දෙනු ඇතැ”යි විශ්වාස කළේය. ඒ විශ්වාසය ද බිඳ වැටීමෙන් පසු තමිල්නාඩුවේ පැන නැඟි උද්ඝෝෂණ ඉදිරියේ ඉන්දියානු මැදිහත්වීමක් ඇතිවී තමන්ට ඉක්මණින් බලය ලබාගත හැකි තත්ත්වයක් ඇතිවනු ඇතැ”යි බලාපොරොත්තු ඇති කරගත්තේය. මෙම දේශපාලන ක්‍රමය තුළ ප්‍රධාන විරුද්ධ පක්ෂයට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ මෙවැනි සිහින ලෝකයකය.

මේ වන විට මහින්ද රාජපක්ෂ දේශපාලන රිජීමය සිටින්නේ හොඳින් බලය තහවුරු කරගත් තත්ත්වයකය. විරුද්ධ පක්ෂ ව්‍යාපාරය තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ හැකි තත්ත්වයක නොව, ගරාහැලුණු තත්ත්වයකය. එජාප, චන්ද්‍රිකා කුමාරතුංග, ජවිපෙ, තොණ්ඩමන්ගේ වතු කම්කරු කොංග්‍රසය හා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ සන්ධානය එකට එකතු කොට ගොඩනගන මහා දේශපාලන සන්ධානයක් පිළිබඳව මංගල සමරවීර දකිමින් සිටි සිහිනය පහසුවෙන් සැබෑ කරගත නොහැකි සිහිනයක් බවට පත්වී තිබේ. දැන් චන්ද්‍රිකා ඉන්නේ දේශපාලනයට එකතුවිය හැකි තැනක නොව, ආරක්ෂාව සඳහා රට අතහැර යායුතු තැනකය. එජාප තිබෙන්නේ ද ගරා හැලෙන තත්ත්වයකය. ජවිපෙ තිබෙන්නේ ද පරිහානිය කරා යන තත්ත්වයකය. විරුද්ධ පක්ෂ ඇද වැටී තිබෙන මෙම තත්ත්වය ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉතා යහපත්ය.

එක්සත් ජාතික පක්ෂය

ජේ.ආර්. ජයවර්ධන මෙම දේශපාලන ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ බලයට පත්වන රාජ්‍ය නායකයාට පරම බලය ලැබෙන ආකාරයට පමණක් නොව, රාජ්‍ය නායකයාට කොතරම් රටේ ප්‍රශ්න තිබුණ ද පෙරළා දැමීමකට ලක් නොවී එක දිගට ධුර කාල දෙකක් පාලන බලයේ සිටිය හැකි ආකාරයටය. දේශපාලන ක්‍රමය ගොඩනගා ඇත්තේ පාලන බලය සඳහා තරග කරන ප්‍රධාන පක්ෂ අතර බලය ඉක්මණින් හුවමාරු වන ආකාරයකට නොව, පාලක පක්ෂයට දීර්ඝ කාලයක් (අවුරුදු 18 ක් හෝ සමහරවිට අවුරුදු 24 ක්) බලයේ රැඳී සිටිය හැකි ආකාරයටය.

එජාපයට නැවත බලයට පත්වීමේ සිහිනය සැබෑ කරගැනීමට වැඩි හැකියාවක් තිබුණේ 2005 ජනාධිපතිවරණයේදීය.

එහෙත් අවශ්‍ය තරමට විචක්ෂණව ක්‍රියාකිරීමට එම පක්ෂය අසමත් විය. ඒ නිසා බලය ලබාගැනීමට තිබුණු හැකියාව නැති කරගත්තේය. ඊළඟට ඒ සඳහා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත්තේ 2011 නොව, 2017 දීය. එක්කෝ එජාප තමන් විසින් ඇති කරන ලද මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ පාලක පක්ෂයට ලැබෙන දීර්ඝකාලීන පැවැත්ම පිළිගනිමින් 2017 ඉලක්ක කොට ගනිමින් ඉදිරියට යා යුතුය. නැතිනම් තමන් විසින් ඇති කරන ලද දේශපාලන ක්‍රමයේ දූෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පිළිගනිමින් එම දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීම ඉලක්ක කොට ගනිමින් ක්‍රියා කළ යුතුය. එජාපක්ෂයට තමන් ඇති කළ දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රඥාවක් හෝ ආත්ම විශ්වාසයක් නැත. අනෙක් අතට තමන්ට ඊළඟට බලයට පත්වීමට අවස්ථාවක් ලැබෙනවා නම්, ලැබෙනු ඇත්තේ 2011 දී නොව, 2017 දී බව තේරුම් ගෙන ඊට ගැලපෙන සන්සුන් ගමනක යෙදීමේ හැකියාවක් ද නැත. ඒ නිසා එජාපයට තමන් ඇද වැටී තිබෙන ගරා හැලෙන තත්ත්වයෙන් ගොඩ ඒමේ හැකියාවක් නැත. ජවිපෙට ද සිදුවනු ඇත්තේ මෙම විසම චක්‍රය තුළ විනාශය කරා යන ගමනකට තල්ලුවීමය.

රාජපක්ෂ පාලනය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහා මොළකාරයෙකු ලෙස සැලකිය නොහැකි වුවත් ඔහු ජනාධිපති ප්‍රේමදාස මෙන් මහ පොළොවේ පය ගසා ගත් නායකයකු ලෙස සැලකිය හැකිය. රාජපක්ෂ රිජීමය තුළද අන් හැම රිජීමයකටම ආවේණික අත්තනෝමතිකභාවය, දූෂණය, ඥාති හා මිත්‍ර සංග්‍රහය වැනි අයහපත් ගතිලක්ෂණ දකින්නට ඇතත්, ජාතික වැදගත්කමක් ඇති සමහර ප්‍රශ්නවලදී අන් නායකයන්ට නොතිබුණු තීක්ෂ්ණ ඉවක් ඔහුට තිබෙන බව පිළිගත යුතුය.

එල්ටීටීඊය පිළිබඳ ප්‍රශ්නය ඔහු දැක්කේ අන් සියලු නායකයන් එම ප්‍රශ්නය දකින ආකාරයට වඩා වෙනස් ආකාරයකටය. යුද්ධයට බර තබා ක්‍රියාකරන ඔහුගේ දැඩි ස්ථාවරය කෙරෙහි ජේවීපීය හා හෙළ උරුමය වැනි කණ්ඩායම් බලපෑවා වුවත් ඔහු මෙම අර්බුදයේදී අනුගමනය කළ ප්‍රතිපත්ති ඔහුගේ හදවතේ තිබූ ප්‍රතිපත්ති ලෙස සැලකිය හැකිය. ඔහුගේ යුදවාදී ප්‍රවේශය ජාතිවාදී පෙනුමකින් යුතු වුවද ප්‍රශ්නය නිවැරදි ලෙස දැක්මට දරන ලද අවංක හා නිර්භීත උත්සාහයක් ලෙස සැලකිය හැකිය.

මෙතෙක් බලයට පත් ආණ්ඩු අනුගමනය කළ ප්‍රතිපත්තියට පටහැනිව ඔහු එල්ටීටීඊයේ ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයෙන්ම පරාජය කරන ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටි බව සටන් විරාම ගිවිසුම නොසලකා, ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ල වන බලවත් විරෝධය නොසලකා තමන්ට එල්ල විය හැකි ජීවිත තර්ජන ද නොසලකා එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන තැනකට ගියේය. මෙම වැඩපිළිවෙල වෙනුවෙන් ඔහු බටහිර රටවලින් ලැබෙන ආධාර පවා පරදුවට තබා ක්‍රියාකරන ප්‍රතිපත්තියකට ගියේය. එහෙත් බටහිරින් ලැබෙන ආධාර අහිමි වන විට ඒ අඩුව විකල්ප මාර්ගවලින් ලබාගැනීමට ද ඔහු විචක්ෂණ විය. යුද්ධය වෙනුවෙන් අතිවිශාල වියදමක් දරන අතර, අලුත් සංවර්ධන ව්‍යාපාර ආරම්භ කොට ඒවා ද නොනවත්වා පවත්වාගෙන ගියේය.

එල්ටීටීඊය සම්බන්ධයෙන් වන ඔහුගේ ප්‍රවේශය නිවැරදිය. එය සාම්ප්‍රදායික මතවාදී පැරඩයිමය උඩු යටිකුරු කිරීමකට සමානය. එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන අතර, දෙමළ ජනතාව තුළ ඇති අසහනයට පිළියමක් ලෙස සාම්ප්‍රදායික දේශපාලන විසඳුම් රාමුවේ දර්ශනය ඉක්මවා ගිය නව යථාර්ථවාදී දර්ශනයකින් යුතු දේශපාලන විසඳුමක් ද ඉදිරිපත් කිරීමට සමත් වී නම්, ඔහු ගත් මග වඩා නිවැරදි හා ආකර්ශනීය වන්නට ඉඩ තිබුණි. එහෙත් අනෙක් අතට එවැනි වැඩපිළිවෙලක් සඳහා සුදුසු වටාපිටාවක් ඒ අවස්ථාවේ නොතිබුණා ද විය හැකිය.

ජාත්‍යන්තර ප්‍රජාව

එල්ටීටීඊය පිළිබඳව ඔහු ඇති කරගත් ඉව නිවැරදි වුවත්, ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව අනුගමනය කළ ප්‍රතිපත්තිය සාධාරණ හෝ යුක්තිසහගත නොවේයැ”යි කිව හැකිය. ජාත්‍යන්තර ප්‍රජාව ක්‍රියා කළේ රනිල් වික්‍රමසිංහ ඇති කළ වැඩපිළිවෙල නිවැරදි වැඩපිළිවෙලක් ලෙස සලකා ඊට මුළුමනින් පටහැනිව යන මහින්දගේ වැඩපිළිවෙල දෙමළ විරෝධී ජාතිවාදී වැඩපිළිවෙලක් ලෙස සලකාය. එල්ටීටීඊය සමග සාකච්ඡා මගින් දේශපාලන විසඳුමක් ඇති කරගැනීමේ ඇත්ත හැකියාවක් නොතිබුණ ද සාකච්ඡා මගින් විසඳුමකට යනවා හැර අන් මගක් නැතැ”යි කියන විශ්වාසයක් ජාත්‍යන්තර ප්‍රජාව තුළ තිබුණි. අනෙක් අතට බිහිසුණු ත්‍රස්තවාදී ව්‍යාපාරයකට එරෙහිව කෙරෙන යුද්ධයක් වැනි විශේෂ අවස්ථාවකදී කවර තත්ත්වයක් යටතේ වුවත්, අහිමි කළ නොහැකි මානව අයිතිවාසිකම් තුනක් හැර අනෙක් අයිතිවාසිකම් අත්හිටුවීමට රාජ්‍යයට ඇති අයිතිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියෙන් ද පිළිගෙන තිබියදීත්, ජාත්‍යන්තර ප්‍රජාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් ක්‍රියා කළේ ඒ බව නොසලකා හරිමිනි. මෙය වැරදි අවබෝධය නිසා ජාත්‍යන්තර ප්‍රජාව අතින් සිදුවූ වරදක් මිස, කුමන්ත්‍රණකාරී අරමුණකින් යුතුව හිතාමතා කරන ලද වරදක් නොවීය. ජාත්‍යන්තර ප්‍රජාවගේ එම වැරදි අවබෝධය කෙරෙහි ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල වගකීමෙන් තොර ක්‍රියාකලාපය ද බලපෑවේය. ජාත්‍යන්තර ප්‍රජාවගේ මෙම වැරදි ප්‍රතිපත්තිය රාජපක්ෂ ආණ්ඩුව තේරුම් ගත්තේ තමන්ගේ ආණ්ඩුව අස්ථාවර කිරීමට බටහිර ලෝකය දියත් කර තිබෙන කුමන්ත්‍රණයක් ලෙසය. ඒ නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බටහිර ලෝකයේ විවේචනයන්ට ප්‍රතිචාර දක්වන ලද්දේ සංයමයකින් නොව කෝපයෙනි.

මේ තත්ත්වය හරියටම 1983 න් පසුව ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියට හා ලංකාව ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියට සමානය.

ක්‍රමයෙන් ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ පවතින යථාර්ථය අවබෝධ කරගනිමින් සිටින අතර, මහින්ද රාජපක්ෂගේ එල්ටීටීඊ විරෝධී යුද්ධය කෙරෙහි ද ආවේගයන්ගෙන් තොරව තැන්පත් මනසින් බලන තත්ත්වයකට යොමුවෙමින් සිටින බව ද පෙනෙන්නට තිබේ. ත්‍රස්තවාදයට එරෙහිව කරන යුද්ධයේදී සමහර මානව අයිතිවාසිකම් තාවකාලිකව හැකිළවීමට ශ්‍රී ලංකා රාජ්‍යයට තිබෙන අයිතිය පිළිගනිමින් ජාත්‍යන්තර ප්‍රජාව තමන් කළ වරද නිවැරදි කරගත යුතුය. එහිදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද මෙම විශේෂ අවස්ථාවේදී තම රාජ්‍යයට ලැබෙන එම විශේෂ බලය එල්ටීටීඊයට එරෙහිව මිස, විරුද්ධ පක්ෂවලට එරෙහිව හෝ වෙනත් කිසිවකුට එරෙහිව යොදා නොගත යුතුය.

ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන කළු කොටි හමුදාවේ සාමාජිකයකු විනාශකාරී අරමුණින් වන කිසියම් ස්ථානයකට පැමිණ සිටින බව ආරක්ෂක හමුදාවන්ට දැනගන්නට ලැබුණේයැ”යි සිතන්න. නීතිය අනුව නම් සිදුවිය යුත්තේ ආරක්ෂක හමුදාවේ නියෝජිතයා උසාවිය ඉදිරියට ගොස් එම පුද්ගලයා පිළිබඳ තොරතුරු කියා ඔහු වෙඩි තබා මරා දැමීම සඳහා (ඔහු අත්අඩංගුවට ගැනීමට ඔහු ළඟට යා නොහැකි නිසා) නියෝගයක් ලබාගැනීමය. එවැනි ප්‍රතිපත්තියක් මෙවැනි යුද්ධයකදී අනුගමනය කළ හැකිද? ත්‍රස්තවාදී ව්‍යාපාරයක් සමග කරන යුද්ධයකදී ආරක්ෂක හමුදාවන්ට විශේෂ බලයක් තිබිය යුතුය. වරදක් වන්නේ තමන්ට ලැබී තිබෙන එම විශේෂ බලය චේතනාන්විත ලෙස වැරදි ලෙස පාවිච්චි කරන්නේ නම් පමණය.

ජාත්‍යන්තර ප්‍රජාව පමණක් නොව, මානව හිමිකම් ගැන උනන්දුවක් දක්වන දේශීය සංවිධාන ද මේ තත්ත්වය තේරුම් ගෙන ක්‍රියාකිරීම අවශ්‍යය.

ඉන්දියාවේ භූමිකාව

තමිල්නාඩුවෙන් මතුවූ උද්වේගකර තත්ත්වය ශ්‍රී ලංකාව අරබයා ඉන්දියානු ප්‍රතිපත්තිය උරගා බැලීමකට ලක් කෙරුණු විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ප්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊය සේ ම තවත් බොහෝ අය ද ඉන්දියානු කොංග්‍රස් ආණ්ඩුවේ පැවැත්ම තමිල්නාඩු ආණ්ඩුවේ සහයෝගය මත රඳා පවතින තත්ත්වයක් ඉදිරියේ වඩමරච්චිය මෙහෙයුමෙන් පසු සිදුවූ ආකාරයට කිලිනොච්චි මෙහෙයුම අඩපණ කිරීමට හේතුවන ආකාරයට ඉන්දියානු මැදිහත්වීමක් සිදුවනු ඇතැ”යි විශ්වාස කළේය. නැවත ඉන්දියානු මැදිහත්වීමක් ඇතිවී නැවත බොරදියේ මාළු බෑමට තමන්ට අවස්ථාවක් ලැබෙනු ඇතැ”යි කල්පනා කරමින් ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික නිදහස් පෙරමුණ තරගකාරී ලෙස රට පුරා තාප්ප වැසෙන්නට පෝස්ටර් ඇලෙව්වේය.

එහෙත් ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව තමිල්නාඩුවේ ආවේගයන්ට යටවී ආවේගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රතික්‍රියා කරන තැනකට ගියේ නැත. එල්ටීටීඊයට එරෙහිව යුද්ධයක් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාවට තිබෙන අයිතිය පිළිගන්නා අතර, දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් ලබාදීමේ වැදගත්කම අවධාරණය කළේය.

එහිදී ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාවාසීන්ගේ ගෞරවය ඉන්දියාවට හිමිවිය යුතුය. ඒ මගින් ඉන්දියාව ජාත්‍යන්තර ප්‍රජාවට ද වැදගත් පාඩමක් කියා දුන්නේය.

ඉන්දියාව අපට අතීතයේදී වැරදි කර තිබෙනවා විය හැකිය. අපද අතීතයේදී ඉන්දියාවට වැරදි කර තිබේ. දෙරටම ඒ වැරදිවලින් පාඩම් ඉගෙන ගෙන ඇත්තේය.

ඉන්දියාව අපට සිටින ආසන්නතම අසල්වැසියාය. හිටපු ඉන්දියානු මහ කොමසාරිස් ජා මහතා “ඩේලි මිරර්” පුවත්පතට කියා තිබෙන ආකාරයට ඉන්දියාවට මේ කලාපයේ සිටින එකම මිතුරා වන්නේ ද ශ්‍රී ලංකාවය. ඉන්දියාව සතුරුවීමෙන් අපට ලැබෙන වාසියක් නැති අතර, අපට සතුරුවීමෙන් ඉන්දියාවට ලැබිය හැකි වාසියක් ද නැත. දෙරට අන්‍යොන්‍ය අවබෝධයෙන් හා මිත්‍රත්වයෙන් ක්‍රියාකිරීම දෙරටට යහපත්ය. එල්ටීටීඊයේ ප්‍රචණ්ඩ පැවැත්ම ශ්‍රී ලංකාවට පමණක් නොව ඉන්දියාවට ද අයහපත්ය.

ඒ මොහොතේ ඉන්දියාව තමිල්නාඩු ආවේගයන්ට යටවී ශ්‍රී ලංකාවට එරෙහිව ආවේගයෙන් ක්‍රියා කරන තැනකට ගියේ නම් රටක් වශයෙන් ශ්‍රී ලංකාව අවුල් ජාලාවක් බවට පත්වන්නට ඉඩ තිබුණි. එහෙත් ඉන්දියාව එලෙස ක්‍රියා නොකළේය. එහෙත් ඉන්දියාවට මෙම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයා හැකිවනු ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සාධාරණ දුක්ගැනවිලිවලට සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදීමට රටක් වශයෙන් අප අවංක ලෙස

ක්‍රියාකරන්නේ නම් පමණය. ඒ කරුණ දෙරටේ මිත්‍රත්වය කෙරෙහි තීරණාත්මක ලෙස බලපායි.

දේශපාලන විසඳුම

දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමේදී ද සාම්ප්‍රදායික වට්ටෝරුවට සීමා නොවී අලුත් ඇසකින් දේවල් බලන තැනකට අපට යා හැකිය.

සාම්ප්‍රදායික වට්ටෝරුවට අනුව උතුරු නැගෙනහිර පාලනය විය යුත්තේ එක කලාප ආණ්ඩුවක් වශයෙනි. දෙමළ දේශපාලනඥයන් කියන්නේ මෙම කලාප දෙක දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික නිජබිම් බවය.

එහෙත් මෙම නිජබිම් කතාව ඓතිහාසික ඇත්තක් නොව, සමහර බලලෝභී දෙමළ දේශපාලකයන් නිර්මාණය කළ කෙප්පයකි. දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයැ”යි විශ්වාස කරන සියලු දෙනාම මෙම කෙප්පය විශ්වාස කරන තත්ත්වයකට පත්ව සිටියෝය. ඒ නිසා ඔවුන් ද විචාරයෙන් තොරව දේශපාලන විසඳුමකදී මෙම කලාප දෙක ඒකාබද්ධ කරන පාලනයක් සඳහා පෙනී සිටියේය. ඉන්දියාවට මෙම නිජබිම් කතාව පිළිබඳව සැකයක් තිබුණ ද ඉන්දු ලංකා ගිවිසුමට දෙමළ දේශපාලන පක්ෂවල අනුකූලතාව ලබාගැනීම සඳහා එය අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සලකා උතුරු නැගෙනහිර දෙපළාත දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමි ප්‍රදේශ ලෙස ද මෙම දෙපළාත ඒකාබද්ධ කිරීමේ වැදගත්කම ද ඉන්දු ලංකා ගිවිසුමෙන් පිළිගන්නා ලදි. ඒ මගින් නිර්මාණය කරන ලද කෙප්පයකට නෛතික පිළිගැනීමක් ලැබුණි.

ඉන්පසු තවත් දීර්ඝ කාලයකට පසුව අධිකරණය මෙම තාවකාලික ඒකාබද්ධකරණය අහෝසි කළේය. එය සිදු කරන ලද ක්‍රමයේ අයෝග්‍යතාවක් තිබිය හැකි වුවත්, ඒ වරද නිවැරදි කළ යුතුව තිබුණේය. දැන් අපට ඒ වරද නිවැරදි කිරීම සඳහා අනුගමනය කළ හැකි ප්‍රතිපත්තිය හිටපු ඉන්දියානු මහ කොමසාරිස් ජා මහතා ඩේලි මිරර් පුවත්පතට විස්තර කොට තිබුණි.

ඉන්දු ලංකා ගිවිසුමට අනුව ද ඒකාබද්ධකරණය අවසාන වශයෙන් තීන්දු කළයුත්තේ නැගෙනහිර පවත්වන ජනමතවිචාරණයකිනි. ඒ පිළිබඳව නැගෙනහිර පවත්වනු ලබන ජනමතවිචාරණයකින් ඇතිවී තිබෙන අවුල නිරවුල් කරගත හැකි බව ජා මහතාගේ මතය වී තිබේ. ඔහුගේ එම ප්‍රවේශය නිවැරදිය. නැගෙනහිර ජනමතවිචාරණයක් පැවැත්වීම මගින් මෙම අවුල්සහගත තත්ත්වය නිවැරදි කරගත හැකිය.

එවිට ලබාදෙන විසඳුම කුමක්ද කියන ප්‍රශ්නය විසඳා ගැනීමේදී උතුර හා නැගෙනහිර යන පළාත් දෙක එක ඒකකයක් වියයුතුයි කියන මතය නැතිව බලය බෙදාහරින ඒකකය කුමක් විය යුතු ද යන ප්‍රශ්නය සලකා බැලීමේ හැකියාව ලැබෙන්නේය. බලය බෙදාහැරීමේ ඒකකය විශාල විය යුතුයි කියන මතය ඇත්තක් නොවේ. බලය බෙදාහැරීම සඳහා උතුරේ දෙමළ ජනයා අතර බලවත් ඉල්ලීමක් තිබෙන නිසා උතුරේ පාලන ඒකකය පමණක් පළාතකට සීමා කොට අනෙක් ප්‍රදේශ සඳහා ඒකකය දිස්ත්‍රික්කයක් බවට පත්කිරීමෙන් දෙවැනි මට්ටමේ පාලනය වඩා කාර්යක්ෂම හා ප්‍රායෝගික කළ හැකිය. එවිට මඩකළපුව දිස්ත්‍රික්කය ද දෙමළ ඒකකයක් ලෙස පවතිනු ඇත්තේය. එවිට අම්පාර දිස්ත්‍රික්කය මුස්ලිම් ප්‍රජාවට වැඩි බලයක් ලැබෙන දිස්ත්‍රික්කයක් බවට ද නුවරඑළිය දිස්ත්‍රික්කය දෙමළ වතු කම්කරු ප්‍රජාවට වැඩි බලයක් ලැබෙන දිස්ත්‍රික්කයක් බවට ද පත්වනු ඇත්තේය.

ඉතාමත් වැදගත් දේ දෙමළ භාෂාව මව් භාෂාව වශයෙන් සලකා ක්‍රියාකරන ජනතාවට ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ප්‍රායෝගික කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගීමය. දෙමළ භාෂාව කතා කරන ජනයාට සිය අධ්‍යාපන කටයුතු රාජකාරි මට්ටමේදී උසාවි පොලිසි හෝ ආණ්ඩුවේ ආයතන සමග දෙමළ භාෂාවෙන් ගනුදෙනු කිරීමට පුළුවන් තත්ත්වයක් ඇති කර දිය යුතුය. ඒ සමග ආණ්ඩුවේ රක්ෂාවලට බඳවා ගැනීමේදී ඔවුන්ට ප්‍රමාණවත් සහභාගිත්වයක් සහතික කළ යුතුය. වඩාත්ම වැදගත් දේ ජාතිභේදවාදය ආගම් භේදවාදය හා කුලභේදවාදය නීතියෙන් තහනම් කොට, මේ රටේ පුරවැසියන් වන සියලු දෙනා සමාන අයිතිවාසිකම් ඇති පුරවැසියන් පිරිසක් ලෙස නීතියෙන් තවදුරටත් තහවුරු කරන නීති ඇති කිරීමය. දේශපාලන ක්‍රමයේ ඇති කළ යුතුව තිබෙන වෙනස්කම් ද එහිදී සැලකිල්ලට ගත හැකිය.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට දෙන සාධාරණ විසඳුමකට සිංහල ජනතාව විරුද්ධවන්නේ නැත. විශේෂයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙන විසඳුමකට සිංහල ජනතාව විරුද්ධවන්නේ නැත. එවැනි වැඩපිළිවෙලකට විරුද්ධවීමට එජාපයට පුළුවන්කමක් නැති අතර, ජවිපෙට කළ හැකි කිසිවක් ද නැක. මෙම අවස්ථාව ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් වෙතොත් දෙමළ ජනතාව පරාජය නොකොට ප්‍රභාකරන් පරාජය කිරීමේ ගෞරවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවනු ඇත්තේය.