ආරක්ෂක හමුදා එල්ටීටීඊයට එරෙහිව පවත්වාගෙන යන යුද මෙහෙයුම් දෙමළ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන වර්ග නාශක යුද්ධයක් ලෙස පෙන්වීමට ඇතැම් අන්තවාදී පිරිස් විශාල උත්සාහයක යෙදී සිටින බව පෙනේ. මෙහෙයුම් පවතින ප්‍රදේශවල දෙමළ ජනතාවට ඒ නිසා දුක් කරදරවලට මුහුණ දෙන්නට සිදුවී තිබෙන බව සත්‍යයකි. යුදමය තත්ත්වයක පවතින අවස්ථාවක එසේ වීම අස්වාභාවික නැත. ආරක්ෂක හමුදා දකුණේ ජවිපෙ සමග යුද්ධයක යෙදී සිටින කාලවකවානුවේදී එවැනි දුක් කරදරවලට හා හිරිහැරවලට මුහුණ දෙන්නට දකුණේ සිංහල ජනතාවට ද සිදුවූයේය. එදා ආරක්ෂක හමුදා දකුණේ සිංහල ජවිපෙ සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය හා වර්තමානයේ ආරක්ෂක හමුදා උතුරේ දෙමළ එල්ටීටීඊය සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්තිය සමාන වේයැ”යි කිව හැකිය. ජවිපෙ කැරැල්ල පරාජය කිරීමෙන් පසුව දකුණේ සිංහල ජනතාවට පෙර භුක්ති විඳි නිදහස ලැබෙනු ඇතැ”යි කිව හැකිය.
එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන අතර යුද්ධයට මැදිවී සිටින සාමාන්‍ය දෙමළ ජනතාව හොඳින් බලා ගැනීම ආණ්ඩුවේ වගකීමකි. මේ මොහොතේ ඔවුන්ට ලැබිය යුතුව තිබෙන ආධාර උපකාර ගැන මනා සංවේදීතාවක් ආණ්ඩුවට තිබිය යුතුය. මේ මොහොතේ සරණාගතයන් බවට පත්ව සිටින ජනයාට වැදගත් වන්නේ ආහාර පමණක් නොවේ. මෝසම් වැසි ආරම්භ වී ඇති බැවින් ඔවුන්ට නොතෙමී ජීවත්වීමට අවශ්‍ය කූඩාරම් ද ලබාදිය යුතුය.
ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන අතර, තවමත් එල්ටීටීඊ පාලන ප්‍රදේශවල ජීවත් වන සරණාගතයන්ට අවශ්‍ය ආහාර සපයන බව දෙමළ ජනතාව ද අමතක නොකළ යුතුය. ආරක්ෂක හමුදාවන්ට එරෙහිව යුද්ධ කරන එල්ටීටීඊ සාමාජිකයන් කන්න බොන්නේ ද එම ආහාරවලිනි.
මෙම මොහොතේදී දෙමළ හා මුස්ලිම් ජනතාව තුළ හිත් වේදනාවක් ඇති කිරීමට හේතුවන ප්‍රකාශ කිරීමෙන් බලධාරීන් වැළකී සිටිය යුතුය. එකිනෙකාගේ මුතුන් මිත්තන් මෙරටට පැමිණියේ කවදාද යන ප්රශ්නය වැදගත්වන්නේ නැත. විවිධ ජන කණ්ඩායම්වල මුතුන් මිත්තන් මේ රටට පැමිණි කාල අනුපිළිවෙල කුමක් වුවත්, ඒ සියලුදෙනා සම අයිතිවාසිකම් ඇති මෙරට පුරවැසියන් ද රටේ සම අයිතිකරුවන් ද වේ.
ත්‍රස්තවාදය යුද්ධයෙන් මර්දනය කළ යුතුය. එල්ටීටීඊයට යුද්ධයක් එපා නම්, පළමුකොට ඔවුන් අවි බිම තැබිය යුතුය. අත් දෙකකින් මිස එක් අතකින් පමණක් අත්පුඩි ගැසිය නොහැකිය. යුද්ධයක් තිබිය හැක්කේ ද ආයුධ අතැ”ති දෙපක්ෂයක් සිටින්නේ නම් පමණය. රාජ්‍යයක් තුළ අවි දැරීමේ බලය තිබිය හැක්කේ රාජ්‍යයේ නිල ආරක්ෂක හමුදාවලට පමණය.
අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කරන අරගළවලට ආයුධ අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ නැත. අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කෙරෙන අරගලයක් ආයුධ සන්නද්ධ අරගළයක් බවට පත්වූ විට එම ආයුධ සන්නද්ධ අරගළය මර්දනය කිරීම සඳහා ප්‍රති සන්නද්ධ අරගළයක් ඇතිවීම ද නොවැළැක්විය හැකිය.
යුද්ධය ත්රස්තවාදයට විසඳුමක් විය හැකි වුවත්, ජනවාර්ගික අර්බුදයට විසඳුමක් නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. තමන් දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස සලකන්නේයැ”යි කියන හැඟීමක් දෙමළ ජනතාව තුළ පවතී. එවැනි හැඟීමක් ඔවුන් තුළ ඇති කිරීමට හේතුවී ඇති කරුණු හඳුනා ගනිමින් එම ගැටලුවලට දේශපාලන විසඳුමක් ලබාදීම ආණ්ඩුවේ වගකීමකි.