රාජ්‍ය ආරක්ෂාව හා මූලික අයිතිවාසිකම්

October 29, 2026
Publication:
The Supreme Court has ordered the removal of the road blocks along Galle Road so that people can enjoy Galle Face. Ivan sets the ruling against what security looks like elsewhere — Heathrow, where shoes go through the scanner — and warns that putting unnecessary restrictions on a subject as sensitive as security in wartime can endanger the thing it is meant to protect.

කොළඹ ගාලුමුවදොර මාර්ගය ඇතුළත් වන ලෙස ගාලුපාරේ පිහිටුවා ඇති සියලු මාර්ග බාධක ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සඳුදා (සැප්තැම්බර් 29 වැනිදා) රථවාහන පොලිසියේ අධ්‍යක්ෂවරයාට නියම කළේය.

කොළඹ ගාලුමුවදොරපිටියේ සුන්දරත්වය විඳ දරාගැනීමට ජනතාවට ඉඩ ප්‍රස්ථා සැලසිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කර තිබියදී ජනතාවගේ එම අයිතියට අවහිර වන අන්දමින් පොලිසිය මාර්ග බාධක පනවා තිබෙන බව අගවිනිසුරුවරයා එහිදී සඳහන් කළ බව ද ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

ජනතාවට හිරිහැරයක් වන ආකාරයට මාර්ග බාධකවලදී කෙරෙන සෝදිසි කිරීම් ගැන ද මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය අදහස් පළ කර තිබූ අතර, ඒ මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බව ද ප්‍රකාශ කර තිබුණි.

රටේ තිබෙන හැම සුන්දර තැනක්ම දැක බලාගැනීමේ අයිතිය මහජනයාට තිබිය යුතු බවට වාදයක් තිබිය නොහැකිය. එසේම ගමන් බිමන් යන ජනතාවට හිරිහැරයක් ඇතිවන ආකාරයට සෝදිසි කිරීම්වලින් තොර තත්ත්වයක් රටේ පවතිනවා දකින්නට ජනතාව අකමැතිවීමට ද හේතුවක් නැත.

එහෙත් අද රටේ පවතින්නේ සාමාන්‍ය තත්ත්වයක් නොව, යුදමය තත්ත්වයකි. මාර්ග බාධක යොදා කෙරෙන සෝදිසි කිරීම් මහජනතාව කෙරෙහි පුංචි අපහසුතාවක් නැති කිරීමට හේතුවිය හැකි වුවත්, එය තමන්ගේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය පියවරක් වේයැ”යි මහජනයා විශ්වාස කරති. පවතින යුද වටාපිටාව තුළ මහජනතාවට ගමන් බිමන් කරන්නට සිදුවී තිබෙන්නේ ඕනෑම මොහොතක සිදුවිය හැකි විනාශකාරී බෝම්බ පිපිරීම් ගැන ඇති කරගත් බියකින් යුතුවය. මාර්ග බාධකවලදී වාහන පරීක්ෂාවට හා ගමන් මලු සෝදිසියට මහජනතාව විරුද්ධ නොවන්නේ එය මහජන ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය පියවරක් වේයැ”යි මහජනතාව විශ්වාස කරන නිසාය.

අනතුරුදායක වටාපිටාවක් තිබෙන විට මෙම ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ පමණක් නොව, වෙනත් ඕනෑම රටක් ද අනුගමනය කරයි. හීත්‍රෝ ගුවන් තොටුපොළට ඇතුල්වෙන්නන් අසාමාන්‍ය ලෙස පරීක්ෂාවට ලක් කෙරේ. තමන්ගේ අතේ ගෙනියන ගමන් බෑග්වල පුංචි සුවඳ විලවුන් බෝතලයක්වත් ගෙනයෑම තහනම්ය. පයේ දමාගෙන යන සපත්තු දෙක පවා යන්ත්‍රයකට යවා පරීක්ෂාවට ලක් කෙරේ. ඒ සියල්ල මහජනයාට කරදරයක් විය හැකි වුවත්, ගුවන් ගමනේදී මගීන්ගේ ආරක්ෂාව සඳහා අනුගමනය කෙරෙන දැඩි පිළිවෙතකි.

යුදමය තත්ත්වයක් හෝ වෙනත් හදිසි තත්ත්වයක් පවතින අවස්ථාවකදී බෙලහීන කළ නොහැකි අයිතීන් තුනක් (වහල්බවින් හා කුරිරු වදහිංසාවලින් බැහැරවීමේ හා අතීතයට බලපාන දණ්ඩ නීතිවලින් නිවාරණය වීමේ) හැර අන් සියලු මානව අයිතිවාසිකම් සීමා කිරීමේ බලයක් රාජ්‍යයකට ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගනී. ඒ බව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 4 වැනි වගන්තියේ පැහැදිලි ලෙස සඳහන් වේ.

අධිකරණය ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් සේ ම, යුදමය තත්ත්වයක් පවතින අවස්ථාවකදී ජාතික ආරක්ෂාවට ලැබෙන වැදගත්කම ද ආරක්ෂා කිරීම ද වැදගත්ය. මාර්ග බාධක පනවා ඇත්තේ ද සමහර මාර්ග බාධකවලදී මහජනතාව ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂාවට ලක් කරන්නේ ද මහජනයාට හිරිහැර කිරීමේ අරමුණින් නොව මහජනතාව ආරක්ෂා කිරීමේ අරමුණිනි.

යුද්ධයක් පවතින අවස්ථාවකදී ආරක්ෂාව වැනි සංවේදී විෂයයකට අනවශ්‍ය ලෙස තහංචි පනවන්නට යෑමෙන් ජාතික ආරක්ෂාව අනතුරකට ලක්විය හැකිය.