හැන්ද ඇති අය බෙදාගැනීම

October 29, 2026
Publication:
The A-level answer-script dispute drags on; even the Supreme Court could not settle it, and the education department is now marking scripts with retired teachers the unions say are unqualified. Ivan says every side's case is fair, and the fault is a pay policy made for selected groups — and notes that a public servant needs fifty-five years of service for a pension while a politician needs five.

අපොස උසස් පෙළ උත්තර පත්‍ර ආරාවුල විසඳුමකින් තොරව දිග්ගැස්සෙමින් පවතී. මෙම ආරාවුලට විසඳුමක් ලබාදීම සඳහා අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ද උත්සාහයක යෙදුණේය. ඒ උත්සාහය ද සාර්ථක නොවීය.

අවසානයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මතුවී තිබෙන අර්බුදය විසඳා ගන්නවා වෙනුවට උත්තර පත්‍ර ගැටලුව අසම්මත ආකාරයකින් විසඳා ගන්නා තැනකට තල්ලු වී සිටින බව පෙනේ. උත්තර පත්‍ර බැලීම සඳහා සුදුසුකම් රහිත විශ්‍රාම ගිය ගුරුවරුන් යොදාගෙන ඇති බවට ගුරු සංගම් චෝදනා කරමින් සිටී. ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් සොයාගත නොහැකි කල, අසම්මත විසඳුම් ක්‍රම වෙත තල්ලුවීම ස්වාභාවිකය. ගුරුවරුන් කියන කතාවද සාධාරණය. අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා වැටුප් කොමිසම කියන කතාව ද සාධාරණය. උසස්පෙළ විභාගවලට පෙනී සිටි ශිෂ්‍යයන්ට විභාග ප්‍රතිඵල ප්‍රමාදයකින් තොරව නිකුත් කිරීමේ ප්‍රශ්නයක් පවතී. එහෙත් ඒ සඳහා යොදා ගන්නා විකල්ප තිබිය යුතු ප්‍රමිතියට හා විභාග අපේක්ෂකයන්ගේ ගෞරවයට හා විශ්වාසයට හේතු නොවේ නම් වඩා සංකීර්ණ අලුත් අවුල් ඇතිවීමේ ඉඩක් පවතී. මුළුමණින් පළපුරුදු ගුරුවරුන් බැහැර කොට උත්තර පත්‍ර බලන ක්‍රමයක් ගුරුවරුන්ගේ අසංතෘප්තයට සේ ම කෝපයට ද හේතුවිය හැකිය. ඒ තත්ත්වය ඔවුන් පාසල් ළමුන්ට ලබාදෙන අධ්‍යාපනය කෙරෙහි ද විනාශකාරී ලෙස බලපෑ හැකිය.

ගුරු වැටුප් ප්‍රශ්නය මගින් රටට හඬ නගා කියන්නේ සමස්ත රජයේ සේවකයන්ගේ වැටුප් ක්‍රමය පහසුවෙන් විසඳිය නොහැකි අවුලක් බවට පත්ව තිබෙන බවය. එය රජයේ සේවක වැටුප් සඳහා පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් නැතිකම නිසා ඇතිවූ අවුලක් නොවේද? එහෙත් ගැටලුවේ හරය දැකීමට වෘත්තීය සමිති නායකයන් සේ ම, දේශපාලකයන් ද සූදානම් නැත. මෙය රජයේ සේවක වැටුප් ප්‍රශ්නයට පමණක් නොව, ජාතික වැදගත්කමක් ඇති හැම අංශයකටම ආවේණික පොදු ලක්ෂණයක් බව කිව හැකිය.

සමහර බලවත් පුද්ගලයන්ට අවශ්‍ය වන විට සියලු රජයේ සේවකයන් වෙනුවට තෝරාගත් එක පිරිසක් පමණක් එළියට ගෙන ඔවුන්ට පමණක් සීමාවන ලෙස වැටුප් ප්‍රතිපත්තියක් ඇති කළ විට එය රජයේ සේවයේ අන් අංශ කෙරෙහි විෂමතා ඇති කිරීමට හේතුවේ. අධිකරණ නිලධාරීන් හා දේශපාලනඥයන් වැටෙන්නේ ද රජයේ සේවක ගණයටය. එහෙත් ඒ දෙපිරිස තමන්ට තිබෙන බලය ප්‍රයෝජනයට ගනිමින් විටින් විට තමන්ට පමණක් බලපාන ලෙස වැටුප් වැඩි කර ගනිති. දේශපාලකයන් අධිකරණයේ වැටුප් වැඩි කිරීමට කැමතිය. හේතුව ඒ වැඩිවන ප්‍රමාණයකට සමානුපාතික ප්‍රමාණයකින් ස්වයංක්‍රීය ලෙස තමන්ගේ ද වැටුප් වැඩිවන නිසාය. එහෙත් අධිකරණ නිලධාරීන්ට හා දේශපාලනඥයන්ට අන්‍යොන්‍ය වශයෙන් බලපාන මෙම ස්වයංක්‍රීය වර්ධනය වෙනත් රජයේ සේවකයන්ට අදාළ නැත. මීට වඩා වැඩි විහිළුවක් තවත් තිබිය හැකිය.

කිසිම යුක්තියක් හා තර්කානුකූල බවක් නැති මෙම ලක්ෂණය වැටුප් විෂයයෙහි පමණක් නොව විශ්‍රාම වැටුප් විෂයයෙහි ද දැකිය හැකිය. සාමාන්‍ය රජයේ සේවකයෙක් විශ්‍රාම වැටුපට හිමිකම් කීම සඳහා වසර පනස්පහ තෙක් සේවය කළ යුතුය. එහෙත් දේශපාලකයන්ට හා දේශපාලකයන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අවුරුදු 05 ක සේවය සම්පූර්ණ කිරීමෙන් පසු විශ්‍රාම වැටුප් ලැබෙන්නේය. මෙය වෙනත් රටවල දක්නට නැති අපේ රටේ පමණක් දක්නට ලැබෙන ලක්ෂණයකි.

මෙවැනි විෂම ක්‍රමය ඇතිවන්නේ හැන්ද අතේ ඇති අයට කැමති තරමක් බෙදා ගැනීමේ නිදහස ලැබී තිබෙන නිසාය. ශිෂ්ටසම්පන්න තත්ත්වයක් ඇති කරගැනීමට අවශ්‍ය නම් ඔවුන්ට ලැබී තිබෙන ඒ නිදහස සීමා කළ යුතුය.