ගිරයට හසුවූ පුවක් ගෙඩියක් බවට පත්ව සිටින කොළඹ දෙමළ ජනතාව

October 29, 2026
Publication:
The government's first priority is defeating the LTTE, and while it fights, the Tamils of Colombo live under a suspicion they cannot answer. Ivan describes what surrender and detention look like from inside a family, and argues for a non-political movement, working with the authorities, whose purpose is to protect the innocent among them.

ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයේ අංක එක බවට පත්ව ඇත්තේ එල්ටීටීඊය පරාජය කිරීමේ යුද වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමය. ආණ්ඩුවට ඒ ඉලක්කය ජයගත හැකිද? ජයගත හැකි නම් ඒ සඳහා ගතවිය හැකි කාලය කුමක්ද? ඒ සඳහා මරන්න සිදුවන අයගේ ගණන හා මැරෙන්න සිදුවන අයගේ ගණන කොතරම්ද යන්න පැහැදිලි නැත. එහෙත් යුද පෙරමුණේ දී එල්ටීටීඊය පසුබෑමක සිටින බව පෙනේ. ඒ කෙරෙහි ආණ්ඩුව ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන දැඩි ප්‍රතිපත්තිය සේ ම ජාත්‍යන්තර ප්‍රජාව ඔවුන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන දැඩි ප්‍රතිපත්තිය බලපා තිබෙන බව පෙනේ. එහෙත් ආණ්ඩුවට යුද්ධ කරන්නට සිදුවී තිබෙන්නේ දකුණේ ඇති ප්‍රශ්න සමඟ ද පොර බදන අතරය. එක් අතකින් ජීවන වියදම පිම්මේ ඉහළ යමින් තිබෙන්නේය. ඒ තත්ත්වය මත වැඩ කරන ජනතාව අතර වෘත්තීය සමිති සටන් මතු කරන තත්ත්වයක් ගොඩනැගෙමින් තිබෙන්නේය. ඒ අතර පළාත් සභා ඡන්ද ව්‍යාපාර ද පවත්වාගෙන යන්නට සිදුවී තිබෙන්නේය. ඉන්දියාවේ මැතිවරණ සූදානම ද යුද්ධය කෙරෙහි බලපාමින් තිබේ. ආණ්ඩුවට යුද්ධ කරන්නට සිදුවී තිබෙන්නේ මේ සියලු අවුල් මැද්දේය.

එල්ටීටීඊයට එරෙහිව කෙරෙන මෙවැනි යුද වැඩපිළිවෙලක් තුළ කොළඹ නගරයේ ජීවත් වන හැම දෙමළ මිනිසකුම සැකයකට ලක්වීම නොවැළැක්විය හැකිය. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල වර්ධනයේදී ද හැම සිංහල තරුණයෙක් ම සැකයට හේතුවිය. එදා සිංහල තරුණකම සැකයට හේතුවුණා සේ ම අද දෙමළ තරුණකම ද සැකයකට හේතුවී තිබේ.

රටේ පවතින යුද සන්දර්භය තුළ දෙමළ මිනිසුන් සැකයට ලක්වීම අසාමාන්‍ය නොවුණත් සියලු දෙමළ මිනිසුන් එල්ටීටීඊකාරයන් හෝ ඔවුන්ගේ ආධාරකරුවන් වන්නේ නැත. එල්ටීටීඊ පීඩනයෙන් අත් මිදීම පිණිස තමන් ජීවත් වූ ගම් රටවල් අතහැර කොළඹ නගරයට සංක්‍රමණය වී කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ ජීවත් වන පිරිසක් ද කොළඹ ජීවත් වන දෙමළ ජනතාව අතර සිටිති. මීට අතිරේකව උතුරට කිසිම සම්බන්ධයක් නැති උඩරටින් කොළඹට පැමිණ ජීවත් වන උඩරට දමිළ මිනිසුන් ද කොළඹ නගරයේ සිටිති. එහෙත් රටේ පවතින විශේෂ වාතාවරණය තුළ මේ කිසිම භේදයකින් තොරව හැම දෙමළ මිනිසකුම ආරක්ෂක අංශවල සැකයට හේතුවෙති.

මේ නිසා කොළඹ නගරයේ දෙමළ මිනිසුන්ට ජීවත් වන්නට සිදුවී තිබෙන්නේ සැකයෙන් හා බියෙනි. මේ තත්ත්වය නොවැළැක්විය හැකි වුවත්, එම තත්ත්වය විසින් දෙමළ ජනයා මත පැටවී තිබෙන පීඩනය අවම කරන වැඩපිළිවෙලක් ආණ්ඩුවට තිබිය යුතුය. මෙවැනි අර්බුදයකදී ආරක්ෂක හමුදා හැම දෙමළ මිනිසකු කෙරෙහිම සැකයෙන් බැලීම තේරුම් ගත හැකිය. එහෙත් සැකයකට ලක්වන මිනිසුන් අතර අහිංසකයන් ද සිටිය හැකිය. ආණ්ඩුවට වැඩපිළිවෙලක් අවශ්‍ය වන්නේ ඔවුන් බලා ගැනීම සඳහාය. කෙරෙන යුද්ධය එල්ටිටීඊ විරෝධී යුද්ධයක් මිස දෙමළ විරෝධී යුද්ධයක් නොවන බව දෙමළ ජනයා තේරුම් ගනු ඇත්තේ ද එවිටය.

අත්අඩංගුවට ගන්නා අය අතර, සිටින අහිංසකයන් හඳුනාගෙන ඔවුන් ඉක්මණින් නිදහස් කරගැනීම සඳහාත්, ඒ ආශ්‍රයෙන් දුක් ගැනවිලි ඇති අයට තම දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම සඳහාත් විශේෂ ආයතන ක්‍රමයක් තිබිය යුතුය.

පොලිසියේ ලියාපදිංචිවීමට අතිරේකව කොළඹ නගරයේ ජීවත් වන සියලු මිනිසුන් අලුතෙන් නැවත ලියාපදිංචි කරවන ක්‍රමයක් තුළ කොළඹ නගරයේ ජීවත් වන දෙමළ ජනයාගේ තොරතුරු බැංකුවක් (පරිගණක ගත කරන ලද) ඇති කළ හැකිය. ලියාපදිංචි වන හැම පුද්ගලයෙකුටම ඔවුන්ගේ අත්‍යාවශ්‍ය තොරතුරු ඇතුළත් හැඳුනුම්පතක් ලබාදිය හැකිය. එවිට පුද්ගලයෙකු පරීක්ෂාවට ලක්වන අවස්ථාවකදී ඔහු කොළඹෙන් පිටත පුද්ගලයෙකු බව හා ඔහු පිළිබඳ සියලු තොරතුරු ඇති බව ආරක්ෂක හමුදාවන්ට වහා තේරුම් ගත හැකිය. ඒ මගින් කොළඹ ජීවත් වන දෙමළ ජනයාට මුහුණ දෙන්නට සිදුවී තිබෙන පීඩනය කිසියම් ප්‍රමාණයකට හෝ ලිහිල් කළ හැකිය.

බාරවීමට මධ්‍යස්ථාන ක්‍රමයක් ඇති කොට ආරක්ෂක හමුදා අත්අඩංගුවට ගනු ඇතැයි සිතන අය වේ නම් බාර වී තිබෙන සැකය දුරු කොට නිදහස් වන ලෙස ඉල්ලා සිටිය හැකිය. එසේ බාර වන්නන්ගෙන් ලබාගන්නා තොරතුරු මත බරපතළ තත්ත්වයක ලා සැලකිය නොහැකි අය ඉක්මණින් නිදහස් කර යවන පිළිවෙතක් අනුගමනය කළ හැකිය. බාරවීම සඳහා ආයතන ක්‍රමයක් ඇති නම් පුංචි පුංචි දේවල්වලට සම්බන්ධ අයට බාරවී නැවත ඉක්මණින් නිදහස් වී යන තත්ත්වයක් දිනාගත හැකිය. එවැනි ක්‍රමයක් 71 කැරැල්ලේ සැකකරුවන් සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක විය.

71 කැරැල්ලට සම්බන්ධ සියලු දෙනා බරපතළ වැරදි කළ අය නොවූහ. එක පන්තියකට හෝ පන්ති දෙකකට පමණක් සහභාගි වූ විශාල පිරිසක් සිටියේය. එවැනි අයට සිය නිර්දෝෂීභාවය සනාථ කිරීමට මාර්ගයක් ලබා දුන් විට ඔවුන් අතරින් බොහෝ දෙනෙක් එම මාර්ගය ප්‍රයෝජනයට ගත්තේය. 71 කැරැල්ලේදී බාරවූවන්ගේ සංඛ්‍යාව අත්අඩංගුවට ගන්නා ලද අයගේ සංඛ්‍යාවට වඩා වැඩිවිය. සමහරවිට දෙමාපියෝම සිය දරුවන් බාරවීමේ මධ්‍යස්ථානවල බාර දුන්හ.

එල්ටීටීඊයේ ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් සමග සම්බන්ධයක් නැති නොවැදගත් සුළු සුළු දේවලට සම්බන්ධයක් ඇති ඒ නිසා කොයි මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගනු ඇතැයි කියන බියෙන් පසුවන කිසියම් පිරිසක් ඔවුන් අතර සිටිය හැකිය. බාරවී සිය නිර්දෝෂීභාවය සනාථ කොට නිදහස් වී යෑමේ ක්‍රමයක් ඇති නම් ඒ ක්‍රමය ඔවුන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතු වේ නම්, ඔවුන් තමන් වෙත පැටවී තිබෙන බරෙන් නිදහස් වීමට එම අවස්ථාව ප්‍රයෝජනයට නොගෙන සිටීමට හේතුවක් තිබිය නොහැකිය. ආයුධ අතට ගත් සංවිධානවලට මිනිසුන් ආධාර කරන්නේ කැමැත්ත නිසා පමණක් නොවේ. තමන්ට අනතුරක් කරනු ඇතැයි කියන බිය නිසා ද එසේ කළ හැකිය.

ජේවීපී දෙවැනි කැරැල්ලේ දී ඔවුන් සංවිධානය කළ විරෝධතා පෙළපාලිවලට සහභාගි වූ සියලු දෙනා එසේ කළේ ජවිපෙට ඇති කැමැත්ත නිසා නොවේ. ඔවුන් විසින් දී තිබූ නියෝග අනුව එසේ නොකොළොත් තමන්ට දඬුවම් කරනු ඇතැයි කියන බිය නිසා එසේ කරන ලද අය ද සිටියේය. මෙම ධර්මතාව ජේවීපීයට පමණක් නොව, එල්ටීටීඊයට ද අදාළය. එදා බලයේ සිටි සමගි පෙරමුණු ආණ්ඩුවට 71 කැරැල්ල ජයගැනීමට පහසු වූයේ සීමිතකම් තිබියදීත් ජවිපෙට සම්බන්ධ සියලු දෙනා එක සමාන තත්ත්වයකින් නොසලකා දැඩි සම්බන්ධයක් ඇති අයට දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට ලිහිල් සම්බන්ධයක් ඇති අයට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාය. එල්ටීටීඊ ආධාරකරුවන් සම්බන්ධයෙන් අද රටට අවශ්‍ය වන්නේ ද එවැනි ප්‍රතිපත්තියකි.

යුද්ධයකදී මොනම යුද හමුදාවක්වත් මානව හිතවාදී ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකරන්නේ නැත. ඒ ධර්මතාව ශ්‍රී ලංකා හමුදාව සේ ම, එල්ටීටීඊ හමුදාවට ද, ජේවීපී හමුදාවට, බුෂ්ගේ ඇමරිකන් හමුදාවට සේ ම ලෙනින්ගේ රතු හමුදාවට ද පොදුය. යුද්ධය, ප්‍රති යුද්ධය, විප්ලවය හා ප්‍රති විප්ලවය යන අරගලවල සාමාන්‍ය ලක්ෂණයක් වනුයේ ප්‍රති පක්ෂය ලෙස සලකන අය උපරිම ගණනක් ඝාතනය කිරීමෙන් ජය ලැබීමය. එවැනි අරගලයකදී ජය ලැබෙන්නේ ද මිනිසුන් මරණ ක්‍රීඩාවේදී වැඩිම සාර්ථකත්වයක් පෙන්නුම් කරන පක්ෂයටය. මෙම ධර්මතාව ආණ්ඩුව හා එල්ටීටීඊය අතර කෙරෙන යුද්ධයට ද පොදුය. ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ආණ්ඩුවට එය ජයගත හැකිවූයේ ජේවීපී ය මුදාහළ සහාසිකත්වය ඉක්මවා ගිය සාහසිකත්වයක් මුදාහැරීමට ආණ්ඩුව සමත් වූ නිසාය. එය සාහසික බලවේග දෙකක් අතර කෙරුණු සාහසික තරගයක් විය. අරමුණ කුමක් වුවත්, දැන් ආණ්ඩුවේ ආරක්ෂක හමුදා හා එල්ටීටීඊය අතර කෙරෙන්නේ ද ඒ සමාන තරගයකි.

එල්ටීටීඊයට මෙන් නොව ආණ්ඩුවට මෙම සාහසික තරගයේදී එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන අතර, සාමාන්‍ය දෙමළ මිනිසුන් බලා ගැනීමේ යුතුකමක් හා වගකීමක් ඇත්තේය. ආණ්ඩුව සිංහල මිනිසුන්ගේ ආණ්ඩුවක් පමණක් නොව, දෙමළ මිනිසුන්ගේ ආණ්ඩුවක් බව දෙමළ ජනතාව වටහා ගන්නවා ඇත්තේ ද එවිටය.

මෙම ආරාවුලේදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කරන ලද අත්හදා බැලීමෙන් ද රටට උගත හැකි වැදගත් පාඩම් ඇත්තේය. ඔහු මේ අර්බුදයේදී දෙමළ මිනිසුන්ගේ අයිතිවාසිකම් බලාගන්නා ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට උත්සාහ කළේය. එහෙත් ඔහුගේ ප්‍රයත්නය සාර්ථක නොවීය. ඔහුගේ අසාර්ථකභාවයට බලපෑ ප්‍රධාන හේතුව වූයේ ඔහු විපතට පත් දෙමළ ජනයාගේ අයිතිවාසිකම් බලා ගැනීමේ ව්‍යාපාරය ආණ්ඩුවට විරුද්ධ අරගල කරන ව්‍යාපාරයක් බවට හරවා ගැනීම නිසාය. ඔහුගේ අරමුණ අවංක වුවත්, ඔහු එහි දී ක්‍රියා කළ ආකාරය වැරදිය. ඔහු මේ අර්බුදයේදී ආණ්ඩුව සමග අරගල කරන තැනකට නොගොස් බලධාරීන් සමග සහයෝගයෙන් ක්‍රියාකරමින් විපතට පත් දෙමළ ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කරන තත්ත්වයකින් ක්‍රියා කළේ නම් ඔහුගේ උත්සාහය සාර්ථකවන්නට ඉඩ තිබුණි. මේ මොහොතේ දෙමළ ජනයාට අවශ්‍ය වී ඇත්තේ ඔවුන්ගේ දේශපාලන අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයකට වඩා මේ මොහොතේ ඔවුන් මුහුණ දී තිබෙන පීඩනයට සහන සලසන ව්‍යාපාරයකි. එවැනි ව්‍යාපාරයක් දේශපාලනයෙන් තොරවිය යුතුය. ආණ්ඩුවේ බලධාරීන් සමග සහයෝගයෙන් ක්‍රියා කරන ප්‍රතිපත්තියක් තුළ අහිංසකයන්ට ආරක්ෂාව හා රැකවරණය ලබාදෙන ව්‍යාපාරයක් විය යුතුය.