මොළයෙන් වෙනුවට හදවතින් තර්ක කිරීම

October 29, 2026
Publication:
Ivan's August article on the war and the Tamil people was translated into Tamil and English and answered by Kumar David in the Sunday Island and criticised by Gamini Viyangoda. This is his reply to Kumar David: the LTTE and the JVP, freedom from naked power, the separate state, the Vaddukoddai resolution, the silent revolution, and the difference between pride and emotion.

““මහින්ද රාජපක්ෂගේ එල්ටීටීඊ විරෝධී යුද්ධය හා දෙමළ ජනතාවගේ ප්‍රශ්නය”” යන හිසින් මා විසින් ලියන ලදුව අගෝස්තු 17 වැනිදා රාවය පුවත්පතේ පළවූ ලිපිය මහජන අවධානයට හා සංවාදයට ලක්ව තිබීම ගැන මට සතුටු විය හැකිය. එම ලිපියේ දෙමළ පරිවර්තනයක් “සුදරෝලි” පුවත්පතේ පළවී තිබේ. ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනයක් සමග ආචාර්ය කුමාර් ඩේවිඩ්ගේ පිළිතුරු ලිපිය සැප්තැම්බර් 07 වැනිදා “සන්ඩේ අයිලන්ඩ්” පුවත්පතේ පළකොට තිබුණි.

මාගේ ලිපියේ එන සමහර අදහස් ගාමිණී වියන්ගොඩ ද සිය තීරු ලිපියෙන් විවේචනය කොට තිබුණි. මාගේ මේ ලිපිය ගාමිණී වියන්ගොඩට නොව කුමාර් ඩේවිඩ්ට දෙන පිළිතුරකි. එහෙත් කුමාර් ඩේවිඩ්ට දෙන පිළිතුරේදී ගාමිණී වියන්ගොඩගේ සමහර අදහස් ද සාකච්ඡාවට ලක් කර ඇත. රටේ සමාජ දෘෂ්ටියේ පෝෂණය සඳහා රටේ මූලික ප්‍රශ්න අරබයා කෙරෙන වාද විවාද අත්‍යවශ්‍යය.

ගාමිණී වියන්ගොඩ ගැන සිංහල පාඨකයන්ට විශේෂ හැඳින්වීමක් කිරීම අවශ්‍යවන්නේ නැත. එහෙත් ආචාර්ය කුමාර් ඩේවිඩ් ගැන කෙටි හැඳින්වීමක් කිරීම අවශ්‍යය.

ඔහු සමසමාජ ව්‍යාපාරයේ සටන්කාමී දෙවැනි පරපුර (වික්‍රමබාහු කරුණාරත්න, සුමනසිරි ලියනගේ හා කලක් නලින් ද සිල්වා නියෝජනය කළ) නියෝජනය කළ මාක්ස්වාදී බුද්ධිමතෙකි. ශාස්ත්‍රාලීය උගතෙකි. විද්‍යාඥයෙකි.

ඔහු විද්‍යාඥයකු වුවත්, ඔහු තර්ක කරන්නේ හදවතින් මිස, මොළයෙන් නොවේ. ඔහුට ඇත්තේ තර්කානුකූල ප්‍රවේශයකට වඩා හැඟුම්බර ප්‍රවේශයකි.

මාගේ ප්‍රවාදය ගොඩනගා තිබුණේ ප්‍රධාන කරුණු කිහිපයක් පදනම් කොටගෙනය. ඒවා සැකෙවින් මෙසේය.

1. වෙනම රාජ්‍යයක් පිළිබඳ ඉල්ලීම සාකච්ඡා කොට දිනාගත හැකි වර්ගයේ ඉල්ලීමක් නොවේ. එය යුද්ධයෙන්ම දිනාගත යුතු ඉල්ලීමකි. එහෙත් පවතින ලෝක යථාර්ථය හා භූ දේශපාලන යථාර්ථය අනුව වෙනම රාජ්‍යයක් සටන් කොට ද දිනාගත නොහැකිය.

2. එල්ටීටීඊය පෙනී සිටින්නේ සාකච්ඡා කොට හෝ සටන් කොට දිනාගත නොහැකි අරමුණක් වෙනුවෙනි. එසේ වුවත් ඔවුන් එම අරමුණ අත්හරින්නේද නැත. ඔවුන් එම අරමුණ වෙනුවෙන් නිරර්ථක යුද්ධයක නිරත වී සිටිනවා පමණක් නොව, දෙමළ ජනතාව ද ඍජු ලෙස හෝ අනියම් ලෙස එම නිරර්ථක යුද්ධයේ කොටස්කරුවන් පිරිසක් බවට පත් කරගෙන ඇත්තේය.

3. මේ නිසා එල්ටීටීඊය පවතින තෙක් යුද්ධයේ පැවැත්ම ද නොවැළැක්විය හැකිය. යුද්ධය රටේ පොදු ජන ජීවිතය කෙරෙහි පමණක් නොව, ඊටත් වඩා වැඩි ප්‍රමාණයකට දෙමළ ජන ජීවිතය කෙරෙහි විනාශකාරී ලෙස බලපා තිබේ. මෙම සන්දර්භය තුළ කෙළවරක් නොපෙනෙන යුද්ධයක් පවත්වනවාට වඩා එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය වීම (ජයග්‍රාහකයා දෙමළ ජනතාවට අලුතෙන් කිසිවක්ම නොදෙන තත්ත්වයක් යටතේ පවා) දෙමළ ජනතාවට යහපතක් වනු ඇති බව මගේ ප්‍රවාදය විය.

එල්ටීටීඊය ලබන පරාජයක්, දෙමළ ජනතාවගේ යහපතට හේතුවනු ඇති බව කියන විට මා ඉන් අදහස් කරන්නේ කුමක්ද?

දැන් දෙමළ ජනතාවට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ ද්වන්ද්ව බලයකට යටත්වය. පරස්පර විරෝධී පාලන අධිකාර දෙකකට යටත්ව ජීවත්වීමට ඔවුන්ට සිදුවී තිබෙන බව ඉන් අදහස් වේ. යුද්ධයක් ඇතිවිට තිබිය හැක්කේ නග්න බලයකි. දෙමළ ජනතාවට අද ජීවත්වීමට සිදුවී තිබෙන තත්ත්වය, ජවිපෙ දෙවැනි කැරැල්ල පැවති සමයේ දකුණේ සිංහල ජනතාව ජීවත් වන්නට සිදුවී තිබූ තත්ත්වයට සමානය. එදා සිංහල ජනතාව ද ද්වන්ද්ව පාලනයකට සිරවී සිටියේය. ද්වන්ද්ව බලය තුළ ක්‍රියාත්මක වන්නේ නග්න බලයකි. වෙන මොනවා නැතත්, නග්න බලයක් ක්‍රියාත්මක වන ද්වන්ද්ව පාලනයෙන් නිදහස්වීමට හැකිවීම පමණක් වුවද දෙමළ ජනතාව ලබන විශාල ජයග්‍රහණයක් වන්නේය.

එල්ටීටීඊය හා ජවිපෙ

වර්ගයෙන් වෙනස් වුවත් ජවිපෙ හා එල්ටීටීඊයේ සමාජ පසුබිම බොහෝ දුරකට එක සමානය. එල්ටීටීඊය දෙමළ වන නිසා සුළු ජාතියක් වන විට ජවිපෙ සිංහල වුවත්, ඔවුන් සිංහල මහ ජාතිය තුළ සිටින සුළු ජාතියක් ලෙස සැලකිය හැකිය. මේ දෙපිරිසටම විසඳා ගැනීමට සාධාරණ දුක් ගැනවිලි තිබුණි. ජවිපෙය සිංහල වීම නිසා රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණ ඇතිව ආයුධ සන්නද්ධ අරගළයක් කරළියට ගත්තේය. එල්ටීටීඊය දෙමළ වීම නිසා වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා ආයුධ සන්නද්ධ අරගළයක් කරළියට ගත්තේය.

ජවිපෙ කැරැල්ල පැවති සමයේ, ජවිපෙ නියෝජනය කළ ග්‍රාමීය සමාජ ස්ථරයන් අතර ද ජවිපෙ කෙරෙහි ආදරයක් හා අනුකම්පාවක් තිබුණි. ජවිපෙ කරන බිහිසුණු ක්‍රියාකාරකම් ඔවුන්ගේ ද ආස්වාදයට හේතුවී තිබුණි. ආයුධ අතට ගත් එල්ටීටීඊ තරුණයන් දෙමළ සමාජය විසින් තමන්ගේ කොල්ලන් ලෙස සැලකුවා සේ, ජවිපෙ නියෝජනය කළ සිංහල සමාජයේ අවවරප්‍රසාදිත සමාජ ස්ථරයන්ට අයත් සිංහල මිනිස්සු ද ආයුධ අතට ගත් ජවිපෙ තරුණයන් තමන්ගේ කොල්ලන් ලෙස සැලකුවෝය.

ජවිපෙ කැරැල්ලේදී ආරක්ෂක හමුදාවන්ට සටන් කරන්නට සිදුවූයේ දෙමළ කොල්ලන් සමග නොව, සිංහල කොල්ලන් සමගය. එල්ටීටීඊයට එරෙහිව කරන අරගළයේදී ආරක්ෂක හමුදාවන් කෙරෙන් ප්‍රකාශ වී ඇති දැඩි බවට වෙනස් මුදු බවක් ජවිපෙට එරෙහිව කරන අරගළයේදී ප්‍රකාශ නොවීය. එකල මේ දෙපක්ෂය තමන්ගේ සතුරන් හා සතුරන් ලෙස පෙනෙන මනුෂ්‍යයන් ඝාතනය කළේ තරගකාරී ආකාරයකටය. අතුරුදහන්කිරීම්, පැහැරගැනීම් වාර්තාගත ලෙස ඉහළ ගියේය. දෙවැනි කැරැල්ල පැවති දෙවසරක කාලය තුළ මරණයට පත් අයගේ සංඛ්‍යාව 30 වසරක දෙමළ සන්නද්ධ අරගලය හා ප්‍රතියුද්ධය තුළ මරණයට පත් අයගේ සංඛ්‍යාවට සමානය.

එකල සිංහල දකුණ තැන් තැන්වල ඉදිකළ තාවකාලික හමුදා කඳවුරුවලින් වැසී තිබුණි. හැම මිනිහෙකුටම ජීවත්වන්නට සිදුවී තිබුණේ මරණ බියෙනි.

ජවිපෙ කැරැල්ල පරාජය කෙරුණේ ජවිපෙ මුදාහළ කෘෘරත්වය ඉක්මවා ගිය කෘෘරත්වයක් මුදාහැරීම මගිනි. ජවිපෙ සටන් කළ ආකාරය අනුව ඒ ආකාරයටම මිස එම කැරැල්ල පරාජය කිරීමේ හැකියාවක් ආරක්ෂක හමුදාවන්ට නොතිබුණි. එය උපරිම කෘෘරත්වයක් සඳහා වූ තරගයක් බවට පත්වූ අතර, ප්‍රතිපක්ෂය ඉක්මවා ගිය කෘෘරත්වයකින් පමණක් ජය ලබාගත හැකි කෘෘර සටනක් විය.

එම කෘෘර අරගළයේදී ජවිපෙ ලැබූ පරාජය නිසා නග්න බලයක් සහිත ද්වන්ද්ව පාලනයෙන් නිදහස්වීමේ හැකියාව දකුණේ සිංහල ජනතාවට ලැබුණේය. ඒ සමග දකුණේ සිංහල ජනතාවට කැරැල්ලට පෙර භුක්ති විඳි නිදහස නැවත භුක්ති විඳීමේ අයිතිය ලැබුණි. සමූහ මනුෂ්‍ය ඝාතන, පැහැර ගැනීම්, අතුරුදහන්වීම් මුළුමණින් නතර විය. රට පුරා ඉදිකර තිබුණු තාවකාලික හමුදා කඳවුරු ද ඉවත් කෙරිණ. නැවත දකුණේ සිංහල ජනතාවට මරණ බියෙන් තොරව නිදහසේ හුස්ම හෙළීමේ නිදහස හිමිවිය.

නග්න බලයෙන් නිදහස්වීම

එල්ටීටීඊය යුදමය වශයෙන් ලබන පරාජයක් තුළ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ද ජවිපෙ පරාජයෙන් පසු දකුණේ සිංහල ජනතාවට ලැබුණු නිදහසට සමාන නිදහසක් ලැබෙනු ඇත. කොටින්ම උතුරේ දෙමළ ජනතාවට ද එනම් මරණ බියෙන් තොරව ජීවත්වීමේ නිදහස ලැබෙනු ඇත්තේය. අලුත් අයිතිවාසිකම් නැතිව වුවත්, ඒ ලබන නිදහස මෙම අදියරයේදී ලබාගත යුතු බලවත් නිදහසක් නොවන්නේද?

මරණ බියෙන් ජීවත් වන මිනිසෙකුට අන් සියලු දේට වඩා වැදගත් වන්නේ මරණ බියෙන් නිදහස් වීමය. එහෙත් ආචාර්ය කුමාර් ඩේවිඩ් හා ගාමිණී වියන්ගොඩට එය වැදගත් නැත. දෙමළ ජනතාව ලබන එවැනි නිදහසකට වඩා එල්ටීටීඊයේ පැවැත්ම ආරක්ෂා වන තත්ත්වයක් තුළ මරණ බිය මැද වුවත්, ඔවුන් දැන් ගෙවන ජීවිතය යහපත් බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ. ඕනෑම යුද්ධයක ක්‍රියාත්මකවන්නේ නග්න බලයයි. එල්ටීටීඊයට එරෙහිව සටන් කරන ආරක්ෂක හමුදාවන්ට සේ ම ආරක්ෂක හමුදාවන්ට එරෙහිව සටන් කරන එල්ටීටීඊයට ද තරගකාරී ලෙස යොදාගන්නට සිදුවී තිබෙන්නේ නග්න බලයයි. නග්න බලය රජකරන වටාපිටාවක ඊට මැදිවී ජීවත්වන මිනිසුන්ට ජීවත්වන්නට සිදුවන්නේ මරණ බියෙනි. සම්ප්‍රදාය හෝ අනුමැතිය පදනම් නොකරගත් භය කිරීමෙන් ඇති කරගන්නා අවනතභාවය ““නග්න බලය”” ලෙස බර්ට්‍රම් රසල් අර්ථ දක්වා තිබේ.

නග්න බලය රජකරන තත්ත්වයකදී ඉන් නිදහස්වීම තරම් නිදහසක් තවත් තිබිය හැකිද?

නග්න බලයක් තිබිය හැක්කේ යුද්ධයකදී පමණය. යුද්ධයක අවසානයත් සමග නග්න බලය ද අවසන් වේ. යුද්ධය සාකච්ඡා මගින් අවසන් කළ හැකි නම්, ඊට වඩා හොඳ දෙයක් තවත් තිබිය නොහැකිය. එල්ටීටීඊය වෙනම රාජ්‍යයක් සඳහා කරන ඉල්ලීම අත්නොහරිනවා සේ ම, ඒ වෙනුවෙන් කරන යුද්ධය ද අත්නොහරී. එවැනි තත්ත්වයක් තුළ එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමකින් තොරව ඔවුන්ට සිය පැවැත්ම ආරක්ෂා කරගෙන ඉන්නට ඉඩදීමෙන් අදහස් කරන්නේ අවසානයක් නොපෙනෙන දිග්ගැසුණු යුද්ධයට මැදිවී තවදුරටත් දෙමළ ජනතාවට ඉන්නට ඉඩහැරීමය. එහි තේරුම වනුයේ තවත් දීර්ඝ කාලයක් නග්න බලයක් තුළ දෙමළ ජනතාවට ඉන්නට ඉඩහැරීමය. එල්ටීටීඊය පරාජය කරන්නේ නම් යුද්ධය අවසන් වී නග්න බලය ද අවසන් වන්නේය. එහිදී ජයග්‍රාහකයා දෙමළ ජනතාවට අමුතු කිසිවක් අලුතෙන් නොදුන්නද නග්න බලයක් තුළ ගතකරන ජීවිතයෙන් නිදහස්වීම පමණක් ඔවුන් ලබන අතිවිශාල ජයග්‍රහණයක් වන්නේය.

ආරක්ෂක හමුදාවන්ට යුද්ධ කරන්නට ආයුධ සන්නද්ධ ප්‍රතිපක්ෂයක් නැතිනම් කායික මර්දනයක් ද අවශ්‍ය නොවන්නේය. අධි ආරක්ෂක කලාප ක්‍රමයක් පවත්වාගෙන යන්නට අවශ්‍ය වන්නේ ද නැත. ආරක්ෂක හමුදාවන්ට එදිනෙදා කටයුතු පාලනය කිරීමට ද අවශ්‍යවන්නේ නැත.

ඒ සමග ඝාතන, අතුරුදහන්කිරීම්, පැහැර ගැනීම් හා අත්අඩංගුවට ගැනීම් අවසන් වී එකම අවස්ථාවක පරස්පර විරෝධී බලඅධිකාර දෙකකට යටත්ව ඉඳීමේ හා කප්පම් ගෙවීමේ අවශ්‍යතාව ද අවසන් වන්නේය. ඒ සමග එතෙක් සිදුවී තිබෙන මරණ ගැන වැළපෙමින් හෝ මරණ බියෙන් තොරව ජීවත්වීමේ නිදහස ඔවුන්ට ලැබෙන්නේය. ඒ සමග දෙමළ සමාජයේ වැසී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ දොරකවුළු ද ක්‍රමයෙන් විවර වනු ඇත්තේය. නිදහසේ අදහස් පළකිරීමේ අයිතිය ඔවුන්ට ලැබෙනු ඇත. දෙමළ අරගලය ලැබූ පරාජය, දිනාගත යුතුව තිබෙන ඇත්ත අයිතිවාසිකම් මොනවාද යන්න හා ඒ සඳහා ක්‍රියාකළ යුතු හරි ආකාරය කුමක්ද යන්න සන්සුන්ව සලකා බැලීමේ හැකියාව ඔවුන්ට ලැබෙනු ඇත. දැන් රූකඩ බවට පත්ව සිටින දෙමළ මහජන නියෝජිතයන්ට ද දෙමළ ජනතාවගේ සැබෑ නියෝජිතයන් ලෙස ක්‍රියාකිරීමේ අවස්ථාව ලැබෙනු ඇත.

වෙනම රාජ්‍යය

ආචාර්ය කුමාර් ඩේවිඩ් වෙනම රාජ්‍යය දිනාගත නොහැකි සිහිනයක් බව පිළිගනී. ඔහු නොපිළිගන්නේ එල්ටීටීඊය වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස කවදාවත් අත්නොහරින්නේය කියන තර්කය පමණය. ““ඔහු කියන්නේ බලය බෙදීමේ සඳ ගෙනවිත් දුන්නත්, එල්ටීටීඊය බෙදුම්වාදය අත් නොහරිනු ඇතැ”යි” කියන අදහස ““ශක්‍යතාවක්”” ““නියතයක් බවට”” දැඩි කරන බවය. ඔහු වැඩිදුරටත් කියන්නේ ““හෙට වනවිට කවර අතකට දාදු කැටය පෙරළේදැ”යි”” කවරෙකුටවත් කිව නොහැකි බවය.

එල්ටීටීඊය බෙදුම්වාදය අත්හරීද නොහරීද කියන ප්‍රශ්නයට කුමාර් ඩේවිඩ්ට ද පැහැදිලි පිළිතුරක් නැත. ඒ ගැන ඔහු තුළ පවා සැකයක් පවතී. ““ශක්‍යතාවක්””, ““නියතයක්”” බවට පත්කර ගන්නා ලෙස කියන්නේ ඒ නිසාය. සමහරවිට ඇතිවිය හැකියැ”යි කුමාර් ඩේවිඩ් සිතන ඒ වෙනස කවදා ඇතිවෙන්නේද? වෙනසකින් තොරව ගෙවී ඇති කාලය දශක තුනකට ආසන්නය. තවත් දශක කීයක් ඒ සඳහා දෙමළ ජනතාව හා රට බලා සිටිය යුතුද? කුමාර් ඩේවිඩ් කල්පනා කරන ආකාරයට කවදා හෝ ඒ වෙනස ඇතිවන තෙක් එල්ටීටීඊය පරාජය නොවිය යුතුය. ආරක්ෂක හමුදාවට ඔවුන් පරාජය කිරීමේ හැකියාව තිබුණ ද, ඔවුන් පරාජය නොවිය යුතුය. එල්ටීටීඊය කවදා හෝ හොඳ ළමයෙකු වෙන තෙක් දෙමළ ජනතාව නග්න බලයක් තුළ ජීවත්විය යුතුය.

කුමාර් ඩේවිඩ් මාගේ ලිපිය වාමාංශික මහාචාර්යවරයෙකුට පෙන්වා ඒ ගැන එම මහාචාර්යවරයා පළ කරන ලද අදහස් ද සිය ලිපියෙන් උපුටා දක්වා තිබුණි. මහාචාර්යවරයා කියා ඇත්තේ මාගේ විශ්ලේෂණයේදී බොහෝ ස්ථානවලදී මා නිවැරදි බවය. එහෙත් එහි වැරදි දෙකක් හෝ තුනක් තිබෙන බවය. ඔස්ලෝ සාකච්ඡාවලදී එල්ටීටීඊය අවංක ලෙසම අභ්‍යන්තර ස්වයං පාලන බලයක් සහිත පෙඩරල් ක්‍රමයක් සඳහා එකඟ වූ බව මහාචාර්යවරයා දරන මතයයි. ඒ ගැන ආචාර්ය කුමාර් ඩේවිඩ්ගේ මතය වන්නේ ද එයයි.

ඔස්ලෝ සාකච්ඡා පැවැත්වෙන විට මා සිටියේද ඔස්ලෝවලය. ශිවරාම් (තරාකි) සිටියේ ද ඔස්ලෝවලය. අභ්‍යන්තර ස්වයං පාලන බලයක් සහිත පෙඩරල් ක්‍රමයකට එකඟතාවක් ඇතිකර ගන්නා ලද බව ජනමාධ්‍යවලට ප්‍රකාශ කරන්නට පෙර සාකච්ඡාවලට එහි ගොස් සිටි ඇමතිවරු දෙදෙනෙක් (මහාචාර්ය ජී.එල්. පීරිස් හා මිලින්ද මොරගොඩ) මා ඔවුන් සිටි කාමරයකට කැඳවා ඒ ගැන මා සමග ද සාකච්ඡාවක නිරත වූහ.

මා දන්නා තරමින් එය අවංක අදහසකින් දීර්ඝ ලෙස සාකච්ඡා කොට වාද විවාද මැද ඇති කරගන්නා ලද එකඟතාවක් නොවීය. සාම සාකච්ඡාවලට මහජන පිළිගැනීමක් ලබාදීම සඳහා මොනයම් හෝ එවැනි සම්මුතියක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය බවට නෝර්වේ හා ආණ්ඩුවේ නියෝජිතයන්ගෙන් එල්ල වූ පීඩනය නිසා එල්ටීටීඊ නියෝජිත කණ්ඩායම අතර ඇති කරගන්නා පොදු එකඟතාවකින් තොරව ප්‍රකාශ වූ අදහසක් විය. පසු අවස්ථාවකදී ශිවරාම්ගෙන් දැනගන්නට ලැබුණු ආකාරයට එවැනි ප්‍රකාශයකට ඉඩදීම ගැන ප්‍රභාකරන්, ඇන්ටන් බාලසිංහම් දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබේ. ඔස්ලෝවලදී තමන් එවැනි එකඟතාවකට නොපැමිණි බව එල්ටීටීඊය පසුව නිල වශයෙන් ද ප්‍රකාශ කළේය.

මහාචාර්යවරයා වැඩිදුරටත් කියන්නේ එම සාකච්ඡාවලින් පසුව එසේ ඇති කරගත් එකඟතාවට බර තබා ක්‍රියාකරන ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය නොකළ නිසා ““2005 දී එල්ටීටීඊය යළිත් වරක් වෙනම රාජ්‍යයක් සඳහා ඉල්ලීම”” ඉදිරිපත් කරන ලද බවය. එල්ටීටීඊය පෙඩරල් අදහස වෙනස් කළේ ඒ නිසා නම්, අප වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස වෙනස් කොට පෙඩරල් ක්‍රමයකට එකඟවුවත් ඒ සඳහා ආණ්ඩුව ක්‍රියා නොකිරීම නිසා දැන් අප නැවත වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින බව එල්ටීටීඊය ප්‍රකාශ නොකළේ ඇයි? ඒ වෙනුවට අප ඔස්ලෝවලදී එවැනි අදහසකට එකඟ නොවූ බව ප්‍රකාශ කළේ ඇයි? එල්ටීටීඊයේ එම ප්‍රකාශයෙන් තහවුරුවන්නේ මහාචාර්යවරයාගේ අදහස නොව මගේ අදහසයි.

වඩුක්කොඩෙයි ප්‍රකාශනය

වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහසෙන් උත්පත්තිය හා විකාශය සලකා බැලීමෙන් මෙම ප්‍රශ්නය වඩා හොඳින් අවබෝධ කරගත හැකිය.

සාම්ප්‍රදායික දෙමළ දේශපාලන නායකත්වය දෙමළ රාජ්‍යයක් දිනාගැනීමේ අදහස ඇති කරගත්තේ ඒ ගැන සන්සුන්ව හා දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් පසුව නොවේ. එය ඒ මොහොතේ තිබුණු වටාපිටා තත්ත්වය මත තකහනියේ හා උඩින් පල්ලෙන් කරුණු සලකා බලා ගනු ලැබූ හැඟුම්බර මෝඩ තීරණයක් විය. බංග්ලාදේශ අත්දැකීමෙන් ඔවුහු ආස්වාදයට පත්ව සිටියෝය. බංග්ලාදේශය බිහිවූවා සේ ඉන්දියාවේ සහාය ලැබේ නම් අපට ද වෙනම රාජ්‍යයක් ලබාගත හැකිවනු ඇතැ”යි ඔවුහු විශ්වාස කළහ. එවැනි දෙයක් සිදුනොවුවද එවැනි සටන් පාඨයක් නිසා සන්නද්ධ අරගළ මාවතට තල්ලු වී යමින් සිටි දෙමළ සටන්කාමී තරුණයන් තෘප්තිමත් කොට ඔවුන් තමන් ළඟ තබාගැනීමට ඒ නිසා හැකිවනු ඇතැයි” ද ඔවුහු විශ්වාස කළහ.

වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා වන බෙදුම්වාදී ඉල්ලීම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සම්මත කරගනු ලැබුවේ 1976 මැයි 14 වැනි දින පන්නකම් හි පැවැත්වුණු සම්මේලනයේදීය. ඒ මගින් ඈත අතීත යුගයක සිට පැවතුණේයැ”යි කියන දෙමළ රාජ්‍යයකට හා ඒ යටතේ පැවති භූමි ප්‍රදේශයකට අයිතිවාසිකම් ඉදිරිපත් කළේය. ““ඉතිහාසයේ අරුණලු අවදියේ සිට ශතවර්ෂ ගණනාවක් තිස්සේ දිගින් දිගට සිංහල හා දෙමළ ජාතීන් විසින් සිංහලයන් වලවේ ගඟේ සිට හලාවත දක්වා රටේ දකුණුදිග හා බටහිරදිග අභ්‍යන්තර කොටස්වල වාසය කරමින් ද, දෙමළ ජනයා උතුරු නැගෙනහිර ප්‍රදේශයන් අයිතිව සිටිමින් ද මේ දෙපිරිස අතර ලංකාවේ අයිතිය බෙදාගෙන තිබුණු හෙයින් ද එම සාම්ප්‍රදායික දෙමළ ප්‍රදේශ මත දෙමළ ඊළමක් ඇති කරනු ඇති බවත්”” දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළේය.

ක්‍රිස්තු වර්ෂය, ආරම්භයට පෙර සිටම පැවතුණේයැ”යි කියන දෙමළ රාජ්‍යය පිළිබඳව හා එම රාජ්‍යයට අයත්ව තිබුණේයැ”යි කියන භූමි ප්‍රදේශ පිළිබඳව වඩුක්කොඩෙයි ප්‍රකාශනයට හා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ 1977 මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් අදහස් තවත් කෙනෙකුට ඛණ්ඩනය කිරීමට ඉඩක් නැති තරමටම මහාචාර්ය කේ.එම්. ද සිල්වා හා මහාචාර්ය ජී.එච්. පීරිස් විසින් ඒ ගැන ලියන ලද නිබන්ධන දෙකක් මගින් ඛණ්ඩනය කර ඇති නිසා එහි ඉතිහාස කතාවේ ඇති බොරුව ගැන මම මෙහිදී කිසිවක් කතා නොකරමි. එහෙත් වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස 1977 මැතිවරණයේදී පරාජය වූ අදහසක් බව නැවත මතක් කරදීම වැදගත්ය.

එම මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙනම රාජ්‍යයක් සඳහා උතුරු නැගෙනහිර ජනතාවගෙන් ජනවරමක් ඉල්ලා සිටියේය. ඒ සඳහා වන ඒකමතික තීරණයක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය.

එම මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට උතුරු පළාතෙන් ලැබුණේ පාවිච්චි කළ ඡන්ද 406257 කින් ඡන්ද 278,293 ක් හෙවත් පාවිච්චි කළ ඡන්දවලින් 68.5% ක් පමණය. නැගෙනහිර පළාතෙන් ලබාගත හැකිවූයේ පාවිච්චි කළ ඡන්ද 335,401 කින් ඡන්ද 92,163 ක් හෙවත් පාවිච්චි කළ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 27.5% ක් පමණය. මෙම පළාත් දෙක එකතු කළ විට පාවිච්චි කළ ඡන්ද 741,658 කින් ඊළමට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 370,456 ක් හෙවත් පාවිච්චි කළ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 49.94% ක් පමණය.

නිහඬ විප්ලවය

1977 මැතිවරණය වන විට සාම්ප්‍රදායික දෙමළ නායකයන් දෙමළ ජනතාව මුහුණදෙන ඇත්ත ප්‍රශ්නවලට විසඳුමක් ඉල්ලනවා වෙනුවට දෙමළ විශාල බහුතරයක් ජීවත් වන උතුර සඳහා පමණක් නොව, නැගෙනහිර පළාත ද එක කලාපයක් ලෙස යා කෙරෙන ආකාරයට වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින තැනකට යනවිට එතෙක් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් නොපිළිගෙන ආදානග්‍රාහි තත්ත්වයක සිටි දකුණේ සිංහල නායකයන් දෙමළ ජනතාවගේ සාධාරණ අයිතිවාසිකම් පිළිගන්නා තත්ත්වයකට පැමිණ සිටියේය.

මම ජේ.ආර්. ගේ 78 ව්‍යවස්ථාවට විරුද්ධය. එම ව්‍යවස්ථාව යටතේ ඇති කරන ලද දේශපාලන ක්‍රමය මේ රට අවුල් ජාලාවක් බවට පත් කළේය. එහෙත් තමන් අතට පරම බලය ලබාගැනීම සඳහා සකස් කළ එම ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාව මුහුණ දී තිබුණු ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ජේ.ආර්. අවංක උත්සාහයක් දරා තිබෙන බව ඔහුගේ ගෞරවය පිණිස කිව යුතුය. ඔහු එම ව්‍යවස්ථාව මගින් සුළු ජාතීන්ට ලබාදී තිබෙන තත්ත්වය නිහඬ විප්ලවයකට සමකළ හැකිය.

ඒ වන විට දෙමළ උගත් තරුණ පරපුර මුහුණ දී තිබුණු කැකෑරෙන ප්‍රශ්නය වී තිබුණේ සමගි පෙරමුණු ආණ්ඩුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා හඳුන්වා දී තිබුණ ප්‍රමිතිකරණ ප්‍රතිපත්තියයි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන බලයට පැමිණි වහාම එම ප්‍රතිපත්තිය අහෝසි කොට නව ප්‍රවේශ ප්‍රතිපත්තියක් හඳුන්වාදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමක් පිහිටුවා විශ්වවිද්‍යාල ප්‍රවේශ කටයුතු එම කොමිසම යටතට පත් කළේය.

ඊළඟට ඔහු 78 ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී දෙමළ ජනතාවට එතෙක් සිදුවී තිබුණු වැරදි නිවැරදි කිරීමට එය අවස්ථාවක් කරගත්තේය.

නව ව්‍යවස්ථාව සම්පාදනය කරන අවස්ථාව වන විට උඩරට දෙමළ වතු කම්කරුවන් අතර ස්ථිර පදිංචිකරුවන් වුවත්, පුරවැසියන් නොවූ පිරිසක් රටේ සිටියෝය. අනෙක් අතට පරම්පරාවෙන් හා ලියාපදිංචියෙන් පුරවැසියන් ලෙස සැලකෙන පුරවැසි ප්‍රභේද දෙකක් රටේ තිබුණි. ව්‍යවස්ථාවේ 14 (1) වගන්තියට ඇතුළත් මූලික අයිතිවාසිකම් රටක් නැති ගණයක් ලෙස සැලකුණු වතු කම්කරුවන් සඳහා ද ලබාදෙන ලදි. ඒ සමග පුරවැසි ප්‍රභේද දෙක 26 වගන්තිය මගින් ඉවත් කොට සියලු පුරවැසියන් සමාන පුරවැසියන් බවට පත් කළේය.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පවත්වාගෙන යන අතර, සිංහල භාෂාව හා දෙමළ භාෂාව, ජාතික භාෂාවක් ලෙස පිළිගත්තේය. (19 වැනි වගන්තිය) දෙමළ භාෂාව උතුරු නැගෙනහිර පළාත්වල රජයේ ආයතනවල පරිපාලන භාෂාව බවට පත් කළේය. (22 (¸) වගන්තිය) ශ්‍රී ලංකාව මුළුල්ලේම අධිකරණවල භාෂාව සිංහල හා දෙමළ බවට පත් කරන අතර, උතුරු නැගෙනහිර පළාත්වලදී අධිකරණයේ පරිපාලනය භාෂාව දෙමළ භාෂාව බවට පත් කළේය. (24 (¸) වගන්තිය) ශ්‍රී ලංකාවේ වෙසෙන ඕනෑම පෙදෙසක ජීවත්වන පුද්ගලයෙකුට රජයේ ඕනෑම නිලධාරියෙකු සමග ජාතික භාෂා දෙකෙන් කැමති භාෂාවකින් ලියුම් ගනුදෙනු කිරීමේ අයිතිය ලබාදෙන ලදි. (21 (2) වගන්තිය) අධ්‍යාපනයේදී ද තමන් කැමති ජාතික භාෂාවකින් අධ්‍යාපනය ලබාගැනීමේ අයිතිය ලබාදෙන ලදි. (21 (1) වගන්තිය) ජාතික භාෂා භාවිතය සඳහා වන පහසුකම් සැපයීමේ වගකීම රජයේ වගකීමක් බවට පත් කළේය. (25 වගන්තිය) පුරවැසියකු ජනවර්ගය අනුව, ආගම, කුලය, ලිංගිකත්වය, දරන දේශපාලන මත හෝ උපන් ස්ථානය අනුව විභේදනයට ලක් නොකළ යුතු බව ද ව්‍යවස්ථාවට ඇතුළත් කළේය. (12 (2) වගන්තිය)

14 (1) වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිකම් හා අයිතිවාසිකම් උල්ලංඝනයකදී සහන ලබාගැනීම සඳහා ඇති කර තිබෙන ප්‍රතිපාදන (17 වගන්තිය) සුළු ජාතිකයන්ට සිය අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය ශක්තිමත් නෛතික පදනමක් ලබාදුන්නේය.

ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් අරබයා ස්ථාපිත කළ ප්‍රතිපත්තිය ඉතාමත් ඉදිරිගාමී හා විප්ලවකාරී ප්‍රතිපත්තියක් ලෙස සැලකිය හැකිය. මේ සියලු සහන ජේ.ආර්. ජයවර්ධන විසින් ලබාදී තිබුණේ ද දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සහභාගි නොවී එය වර්ජනය කර තිබූ අවස්ථාවකදීය.

නව ව්‍යවස්ථාව මෙම අයිතිවාසිකම් සහතික කිරීමෙන් පසු දෙමළ නායකයන් ඥානාන්විත හා අවංක වී නම් කළ යුතුව තිබුණේ ඊළාම් ධජය ඔසවාගෙන තවදුරටත් ඉදිරියට යෑම නොව, එම සටන් පාඨය අතහැර ව්‍යවස්ථාවෙන් ලබාදෙන ලද අයිතිවාසිකම් ප්‍රායෝගික කරගැනීම සඳහා ආණ්ඩුව සමග අවබෝධයෙන් ක්‍රියා කරන තැනකට ඒමය. එහෙත් උද්ධච්චකම, වංකකම හෝ ඔලමොට්ටලකම නිසා දෙමළ නායකයන් තවදුරටත් දෙමළ ජනයා විනාශ මුඛයට තල්ලු කරන ඊළාම් අරගලය ඉදිරියට ගෙනයන්නට උත්සාහ කළා මිස ලැබී තිබුණු ඓතිහාසික අවස්ථාව තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට අවස්ථාවක් කර නොගත්තේය. දෙමළ නායකයන්ට ඒ මොහොතේ අඩියක් පස්සට ගැනීමට අවශ්‍ය ධෛර්යය තිබුණේ නම් මේ විෂයෙහි ඔවුන්ගේ යහපතට හේතුවන වෙනස්කම් ඇති කරගැනීමට ඉඩ තිබුණා පමණක් නොව, දෙමළ සටන්කාමී තරුණයන් අතර ඊළමක් දිනාගැනීම සඳහා වූ සන්නද්ධ අරගලයට තිබෙන පිළිගැනීම අහිමි වී සාම්ප්‍රදායික දෙමළ නායකයන්ට තිබුණු පිළිගැනීම ද නැවත වර්ධනය වන්නට ඉඩ තිබුණි. එය එසේ වී නම් සමහරවිට 83 කළු ජූලිය පවා ඇති නොවන්නට ද ඉඩ තිබුණි.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන ඇහුම්කන් දෙන තත්ත්වයකටවත් සිංහල ආණ්ඩු පැමිණියේ ප්‍රභාකරන්ගේ සන්නද්ධ අරගළය නිසායැ”යි කියන කතා විකාරයකි. එම තර්කය කුමාර් ඩේවිඩ්ට එක් ආකාරයකින් ද, ගාමිණී වියන්ගොඩ වඩා පුරාජේරු ස්වරූපයකින් ද තමන්ගේ මතය සනාථ කරන කරුණක් වශයෙන් යොදාගෙන තිබුණි.

භාෂා ප්‍රතිපත්තිය ආශ්‍රයෙන් 56 බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ආරම්භ වී 70 සමඟි පෙරමුණු ආණ්ඩුව දක්වා පවත්වාගෙන ගිය වැරදි හා අසාධාරණ ප්‍රතිපත්තිය දෙමළ ජනතාව පීඩාවට පත් කළේය. රාජ්‍ය ආයතන සමග කරන ගනුදෙනුවලදීත්, ආණ්ඩුවේ රැකියා හා විශ්වවිද්‍යාල ප්‍රවේශයේදීත්, ඔවුන්ට විශාල අයුක්තියක් හා අසාධාරණයක් සිදුවිය. එහෙත් දකුණේ සිංහල නායකයන් අත්දැකීම්වලින් ඉගෙන ගනිමින් 1977 වන විට තමන් අතින් සිදුවී තිබුණු ඒ වැරදි නිවැරදි කිරීමට සූදානම් තත්ත්වයකට පැමිණ සිටියේය. සිංහල ජනයා අරබයා ද ඒ ප්‍රශ්නයේදී ඒ වනවිට ආකල්පමය වෙනසක් සිදුවී තිබූ බව මගේ විශ්වාසයයි. සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියේ ජේ.ආර්. ඇති කළ විප්ලවකාරී වෙනස්කම්වලට එරෙහිව සිංහලයන් අතරින් බලවත් විරෝධයක් මතු නොවූයේ ඒ නිසාය. එහෙත් සාම්ප්‍රදායික දෙමළ නායකයන් තමන්ට ලැබුණු එම මහඟු අවස්ථාව ඵලදායී ලෙස ප්‍රයෝජනයට නොගත්තේය. ඒ මගින් ඔවුහු තමන්ගේ මිනීවල කපාගැනීමෙන් නොනැවතී දෙමළ අයිතිවාසිකම් අරගළයද ස්වයං විනාශකාරී මාවතකට තල්ලු කළේය.

අභිමානය හා චිත්තවේගය

ප්‍රභාකරන් දෙමළ ජනතාවට ලබාදී ඇතැ”යි කියන අභිමානය ගැන ද (ඒ ගැන දෙදෙනාම දරන මතය එක සමානය) යමක් කිව යුතුය. සියලු අභිමානයන් එක සමාන නැත. මහත්මා ගාන්ධි ඉන්දියානුවන්ට ද, මාර්ටින් ලුතර් කිං ඇමරිකන් කළු ජාතිකයන්ට ද, මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ටද ලබා දුන් අභිමානය හා හිට්ලර් ජර්මන් ජාතිකයන්ටද, බින් ලාඩන් මුස්ලිම් ජනතාවට ද, ප්‍රභාකරන් දෙමළ ජනතාවට ද ලබා දුන් අභිමානය එක සමාන නැත. පළමු කී නායකයන් ස්වකීය ජනතාවට ලබා දුන් අභිමානය ගෞරවනීය වුවත්, දෙවනු කී නායකයන් සිය ජනතාවට ලබාදී තිබෙන අභිමානය ගෞරවනීය නැත.

දැන් මම අවසාන වශයෙන් එල්ටීටීඊය යුදබිමේ ලබන පරාජයත්, දෙමළ ජනතාව තුළ ඇති කරන චිත්තවේගී බලපෑම ගැන කරන විග්‍රහයට එමි. ඒ නිසා ඔවුන් වේදනාවට, විශාදයට හා බලාපොරොත්තු බිඳ වැටෙන තත්ත්වයකට පත්වනු ඇති බව කුමාර් ඩේවිඩ් කියයි. ගාමිණී වියන්ගොඩ කරන විග්‍රහය ඊටත් වඩා හැඟීම්බරය. ඔහු මෙසේ කියයි.

““ඔවුන් හෝන්දුමාන්දු විය හැකිය. ව්‍යාකූල විය හැකිය. දෙවැන්න වන්නේ තමන් ජාතියක් වශයෙන් පරාජය කරනු ලැබ ඇතැ”යි කියන සාමූහික හැඟීමය.”” එවැනි චිත්තවේගී හැඟීම් ඕනෑම පරාජයකදී ඇතිවිය හැකිය. යුද්ධයේදී පමණක් නොව, ක්‍රිකට්, ෆුට්බෝල් වැනි ක්‍රීඩාවන්හි ලබන පරාජයකදී පවා එවැනි හැඟීම් ඇති විය හැකිය. දෙවැනි කැරැල්ලේදී ජවිපෙ පරාජය වීමෙන් පසු ද එවැනි හැඟීම් ඔවුන් නියෝජනය කළ සමාජය තුළ ඇතිවූවා විය හැකිය. එහෙත් එවැනි හැඟීම් තාවකාලික වන අතර, ජාතියකගේ පැවැත්ම සදා කාලකණ්ණි කිරීමට තරම් එවැනි හැඟීම් බලවත් වන්නේ නැත.

දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනිය හා ජපානය ලද පරාජයේදීත්, එවැනි හැඟීමක් ජර්මන් හා ජපන් ජාතිකයන් තුළ ඇති කිරීමට හේතුවූවා විය හැකිය. එහෙත් ඒ රටවල් දෙක ලද පරාජය එම රටවල් දෙකේ පැවැත්ම සදා කාලකණ්ණි කිරීමට හේතුවූයේ නැත. පරාජයෙන් පසු ඒ ජාතීන් දෙකම වඩා අර්ථවත් හා බලපවත්නා ලෙස නැගී සිටියේය. 2008 ලෝක සංවර්ධන වාර්තාව අනුව, දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම අනුව ජපානය හා ජර්මනිය දෙවැනි වන්නේ ඇමරිකාවට පමණය. ජර්මනිය ලද පරාජයෙන් පසුව හිට්ලර්ගේ පැසිස්ට්වාදය අතහැර වඩා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස නැගී සිටීමේ හැකියාව ජර්මනියට ලැබුණා සේ එල්ටීටීඊය ලබන පරාජයක් ත්‍රස්තවාදය අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ජනවර්ගයක් ලෙස නැගී සිටීමේ හැකියාව දෙමළ ජනතාවට ද ලබාදෙනු ඇත්තේය. එල්ටීටීඊය ලබන පරාජයත් දෙමළ ජනතාව තුළ කම්පනයක් ඇති කිරීමට හේතුවනු ඇතත්, මරණ බියෙන් ගතකරන ජීවිතය අවසන්වීමෙන් ලබන සංතුෂ්ටිය එම කම්පනය යටපත් කිරීමට හේතුවනු ඇත.

යුද්ධයට පක්ෂපාත සියලුදෙනා දෙමළ අයිතිවාසිකම් නොසලකන ජාතිවාදීන් ලෙස යුද්ධ විරෝධීන් කරන අර්ථකථනය විමර්ශනයට ලක්විය යුතු මාතෘකාවකි. මගේ මතය අනුව සිංහල ජනතාව යුද්ධයට පක්ෂපාත වුවත්, දෙමළ ජනතාවට හිමි අයිතිවාසිකම් ලබාදෙනවාට ඔවුන් විරුද්ධ නැත. ඔවුන් දෙමළ අරගළය දකින්නේ රට දෙකඩ කිරීමට දරන සාහසික උත්සාහයක් ලෙසය. සිංහල ජනයා දෙමළ ජනයාට සම අයිතිවාසිකම් ලබාදෙනවාට කැමති තත්ත්වයක සිටිනවා පමණක් නොව, උතුරු නැගෙනහිර එකට යා නොකරන හා වෙන්වීමට ඉඩක් නැති, බලය බෙදාහැරීමේ ක්‍රමයක් ලබාදෙනවාටද පක්ෂය. මේ අදහස මම ඒ පිළිබඳව කර තිබෙන සමීක්ෂණයක ආශ්‍රයෙන් ඉදිරි ලිපියකින් ඔප්පු කිරීමට බලාපොරොත්තු වෙමි.