අපේ රටේ පවතින දේශපාලන ක්‍රමය තුළ පොදු දේපළ විෂයේ දී පාලක පක්ෂයට පොදු දේපළ කොල්ලෑමට ලැබී තිබෙන අයිතිය, එම අයිතිය පාවිච්චි කෙරෙන ආකාරය පෙන්නුම් කෙරෙන නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගවෙමින් පවතී.
පොදු දේපළවල අයිතිය ඇත්තේ රජයටය. ඒවා බලාගැනීමේ වගකීම පැවරෙන්නේ ආණ්ඩු බලය ලබන පාලක පක්ෂවලට ය. පොදු දේපළ බලාගැනීමේ තාවකාලික බලය හිමි පාලක පක්ෂ තමන් යටතේ ඇති පොදු දේපළ කොල්ලකන ප්‍රතිපත්තියක් විධායක ජනාධිපති ක්‍රමය තුළ ක්‍රියාත්මක වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වන නඩුවේ නඩු නිමිත්ත බවට පත්ව ඇත්තේ ජයවර්ධනපුර ඉදිකරන පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රයෝජනය පිණිස පෞද්ගලික අයිතිකරුවන්ට නාමික මිලක් ගෙවා රජයට පවරා ගන්නා ඉඩම්වලින් අක්කර 136ක ඉඩම් ප්‍රමාණයක් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් සිය සමීප හිතවතකුට විශාල ධනයක් හරි හම්බ කරගැනීම සඳහා නිර්මාණය කෙරෙන ගොල්ෆ් ව්‍යාපෘතියකට අදාළ කතාවකි.
ආණ්ඩුව පුද්ගලයන්ගෙන් රජයට පවරා ගන්නා ඉඩම් වෙනුවෙන් ඔවුන්ට ගෙවන වන්දියේ ප්‍රමාණය පර්චසයක් රුපියල් 136කි. මෙම ඉඩම් ගොල්ෆ් ව්‍යාපෘතිය සඳහා ලබා දෙන්නේ දීර්ඝ අවුරුදු ගණනාවක් තුළ කොටස් වශයෙන් තක්සේරු වටිනාකම ගෙවන ආකාරයට ය.
ගොල්ෆ් ව්‍යාපෘතියේ හිමිකරු තමන් එසේ ලබාගන්නා ඉඩම් ධනවතුන්ට සුවිසල් මන්දිර ඉදිකර ගැනීම සඳහා විකුණන්නේ පර්චසය රුපියල් ලක්ෂ 6ත් 10ත් අතර මිලකට ය.
මේ ගනුදෙනුවේදී පෞද්ගලික හිමිකරුවන් ආණ්ඩුවට ඉඩම් දෙන්නේ සිය කැමැත්තෙන් නොවේ. බලහත්කාරී නීති නිසා ඔවුන්ට ඔවුන්ගේ ඉඩම් පර්චසය රුපියල් 136ක් වැනි මිලකට ආණ්ඩුවට පවරා දෙන්නට සිදුවන්නේ ය. ආණ්ඩුව තමන් වෙත පවරා ගත් ඒ ඉඩම් රාජ්‍ය නායිකාවගේ ගජ මිතුරකුගේ ව්‍යාපාරයක් සඳහා නැවත නාමික මිලකට එම ගජ මිතුරාගේ ව්‍යාපෘතියට ලබාදෙන්නේ ය. ගජ මිතුරා එම ඉඩම් පර්චසය රුපියල් ලක්ෂ 6ත් 10ත් අතර මිලකට විකුණා විශාල ධනස්කන්ධයක් හරිහම්බ කරගත්තේ ය.
මෙවැනි ක්‍රමයක් සාධාරණ විය හැක්කේ කෙසේ ද? මෙහි තිබෙන භයානකම දේ වනුයේ මෙම දේශපාලන ක්‍රමය තුළ පාලක පක්ෂය බාරේ තිබෙන පොදු දේපළ පෞද්ගලිකව අත්පත් කරගැනීමේ හෝ නාමික මිලකට සිය ගජ මිතුරන්ට පවරා දීමට පාලක පක්ෂයට ලැබී තිබෙන බලය යි. ශ්‍රී ලංකා රාජ්‍යය දුප්පත් කිරීමට බලපා තිබෙන ලොකුම හේතුව වී තිබෙන්නේ ද එයයි. පොදු දේපළ තමන් වෙත හිමිකර ගැනීමේ හේ තම ගජ මිතුරන්ට පවරා දීමට පාලක පක්ෂයට ලැබී තිබෙන බලය අහිමි කිරීම රටේ ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන අතර, එය සමාජ අවධානයට යොමුවිය යුතු ප්‍රමුඛ වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් ලෙස ද සැලකිය හැකිය.