එල්මෝ පෙරේරා
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එල්මෝ පෙරේරාගේ නීතිඥ භාවය තාවකාලිකව අත්හිටුවන ලද්දේ පසුගිය වසරේ නොවැම්බර්වලදීය. පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය එම තාවකාලික තහනම අවුරුදු හතකට බලපාන ආකාරයට ස්ථිර තහනමක් බවට පත් කළේය.
ඔහු එකවිට වරලත් මිනින්දෝරුවෙක් ද (විශ්‍රාම ලත් මිනුම්පතිවරයෙක්) නීතිඥයෙක් ද, වරලත් කළමනාකරුවෙක් ද වේ. ඔහු දක්ෂ ටෙනිස් ක්‍රීඩකයකු ලෙස ද සැලකිය හැකිය. ඔහු තුළ හැමදා දකින්නට තිබුණු වැදගත්ම ලක්ෂණ ලෙස සැලකිය හැක්කේ අවංකකම, ඍජුකම, යහපත් රටක් ඇති කරගැනීමෙහිලා ඔහු තුළ පැවති උනන්දුව හා කැපවීමය. නීතිඥ වෘත්තියේදී ඔහු දුප්පත් මිනිසුන්ගෙන් මුදල් අය නොකළේය. කලාතුරකින් හෝ ඔවුන්ගෙන් ලැබෙන අඹ පාර්සලයෙන්, පැපොල් ගෙඩියෙන් සංතෝෂ වූවෙක් විය.
ඔහු වැනි රට ගැන කැක්කුමක් ඇති නාමධාරී වෘත්තීයවේදීන් පිරිසක් එකට එකතු කළ ව්‍යාපාරයක් ඔවුන්ට තිබුණේය. එය හැඳින්වූයේ “සිමොග්” (යහපත් ආණ්ඩුකරණයක් සඳහා ජනතා ව්‍යාපාරය) නමිනි. ඔවුන් මෙම පුංචි ව්‍යාපාරය පවත්වාගෙන ගියේ විදේශ ආධාරවලින් නොව, තමන්ගේ සාක්කුවේ මුදල්වලිනි. ව්‍යාපාරය පුංචි වුවත්, ඔවුන් හීන දැක්කේ ලොකුවටය. එම ව්‍යාපාරයට ආවේණික සීමාකම වූයේ එය ඉංග්‍රීසි කතා කරන වෘත්තීය බුද්ධිමතුන් පිරිසකට සීමාවීමය. එහෙත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් අවංක නිර්භීත හා ධෛර්යයවන්ත පිරිසක් ලෙස සැලකිය හැකිය.
ඔවුන් සියලු දෙනා සිහින දැක්කේ ස්විට්සර්ලන්තයේ තිබෙන ආණ්ඩු ක්‍රමය වැනි ආණ්ඩු ක්‍රමයක් සහිත අනාගත ශ්‍රී ලංකාවක් ගැනය. ගමක් හෝ ගම් කිහිපයක් වැනි පුංචි ඒකක විශාල ගණනකට බලය පවරන රාජ්‍යයක් ගැනය.
දීර්ඝ කාලයක් තිස්සේ මේ සියලු දෙනාගේ කණස්සල්ලට හේතුවී තිබුණු ලොකුම ප්රශ්නය වී තිබුණේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම පිළිබඳ ප්රශ්නයයි. ශ්‍රී ලංකාව නැවත නීතියේ ආධිපත්‍යය සහිත රටක් බවට පත් කිරීමට ඔවුන් මහන්සි ගත්තේය.
පාලක පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ඔවුන්ගේ විරෝධයට හේතුවූ එක් වැදගත්ම කාරණයක් විය. ඔවුන් එහිදී වෙනත් බොහෝ අය මෙන් සිය විරෝධය වචනවලට සීමා කළේ නැත.
පාලකයා හෝ පාලක පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවලදී ඔවුන් කණ්ඩායමක් ලෙස පෙත්සම්කරුවන් වෙමින් අධිකරණය ඉදිරියට ගියේය. ඔවුන්ගේ මැදිහත්වීම් අධිකරණයේ කෝපයට හේතුවූ අවස්ථා ද තිබුණි. ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව අධිකරණ සේවා කොමිසම හා ශ්‍රේෂ්ඨාධිකරණයට සාමාජිකයන් පත් කළ අවස්ථාවේදී ද එම ක්‍රියාමාර්ගයට එරෙහිව අධිකරණය ඉදිරියට ගියේය. ඔවුන් විසින් දිගින් දිගට කරන මෙම මැදිහත්වීම් අධිකරණයේ කෝපයට හේතුවූ බව පෙනෙන්නට තිබුණි.
17 වැනි සංශෝධනය පිළිබඳව ඔවුන් දක්වන උනන්දුව කෙරෙහි එම ව්‍යවස්ථා සංශෝධනයට ඔවුන්ට තිබුණු ලේ නෑකම ද බලපෑවේය. ප්රමුඛ තනතුරුවලට සුදුසුම පුද්ගලයන් පත් නොකොට පාලකයාට කැමති පුද්ගලයන් පත් කිරීමට ආණ්ඩු ක්‍රමයෙන් ලැබී තිබෙන බලය රටේ පරිහානිය කෙරෙහි බලපා තිබෙන හා නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම කෙරෙහි බලපා තිබෙන එක් වැදගත් සාධකයක් ලෙස ඔවුන් හඳුනාගෙන තිබුණේය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පත ඔවුන්ගේ නිර්මාණයක් විය. ප්රමුඛ තනතුරුවලට ව්‍යවස්ථා සභාවක් මගින් නිර්දේශ කරන පුද්ගලයන් පත් කරන ක්‍රමයක් එය ඇති කළේය.
17 වැනි ව්‍යවස්ථා සංශෝධනය විශිෂ්ට නිර්මාණයක් වේ යැයි මම නොසිතමි. එය ඉතාමත් යහපත් අරමුණෙන් කරන ලද විශිෂ්ට අත්හදා බැලීමක් වේ යැයි කිව හැකිය. කෙටුම්පත සමස්ත ආණ්ඩු ක්‍රමය සැලකිල්ලට ගෙන නිර්මාණය කරන ලද්දක් නොවීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාට පරම බලයක් ලැබෙන ආකාරයටය. විධායක ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වැඩි බලයක් ලැබෙන ආකාරයටය. තමන් කැමති අවස්ථාවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට ඉඩ ලැබෙන ආකාරයටය. එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙවැනි සරල සංශෝධනයකින් වෙනස් කළ නොහැකි බව තේරුම් ගැනීමට 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරුන් අසමත් වූ බව මගේ හැඟීමය. එහෙත් ඔවුන් විසින් කරන ලද අත්හදා බැලීම අසාර්ථක අත්හදා බැලීමක් වුවත් ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි රටට ඉන් උගත හැකි පාඩම විශාලය.
මෙම අසාර්ථක අත්හදා බැලීමෙන් පසු එල්මෝ තවත් වැදගත් අත්හදා බැලීමකට අත ගැසුවේය. ඒ ඔහු වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපතිත්වයට පත්වූ පසුය. ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්රවලට අයත් වෘත්තීය සංවිධාන ඒකාබද්ධ කරන සංවිධානය වන්නේ වෘත්තීයවේදීන්ගේ සංගමයයි. වෛද්‍යවරුන්, ගණකාධිකාරිවරුන්, නීතිඥයන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයන් යනාදී වශයෙන් විවිධ අංශවල වෘත්තීයවේදීන්ගේ සංවිධාන එකට ඒකරාශී කරන මව් සංගමය ලෙස ක්‍රියාකරන්නේ වෘත්තීයවේදීන්ගේ සංගමයයි.
හැම වෘත්තියකටම වෘත්තීය ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුය. කිසියම් වෘත්තීයවේදියෙක් එම ආචාර ධර්මවලට පටහැනිව ක්‍රියා කරන අවස්ථාවලදී ඔවුන්ට දඬුවම් කිරීමේ බලය ලැබෙන්නේ ඔවුන් නියෝජනය කරන වෘත්තීයවේදී සංගමයටය. වෘත්තීයවේදීන්ට ඔවුන්ගේ වෘත්තියට අදාළ විශේෂිත සංගම් හා එම වෘත්තියට අදාළ ආචාර ධර්ම ඇතත්, ආචාර ධර්ම නොසලකා ක්‍රියා කරන වෘත්තීයවේදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයක් මේ එකම සංගමයක් තුළවත් නැත. රටේ පවතින නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමෙහිලා මෙම සාධකය ද යම් තරමකට බලපා තිබේ.
රාජ්‍ය නිලධාරීන්ට ද ඔවුන්ගේ ආචාර ධර්ම ඇත්තේය. දේශපාලනඥයන්ගේ වුවමනාව මත නීතියට පටහැනිව ක්‍රියාකිරීමේ බලයක් රාජ්‍ය නිලධාරීන්ට නැත. රාජ්‍ය නිලධාරීන් සඳහා ඇති සංගමය (රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය) එවැනි පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගනියි නම්, රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලපෑම් මත නීතියට පටහැනිව ක්‍රියාකරන තැනකට යන්නේ නැත. එවිට ඔහු රටේ පවතින සාමාන්‍ය නීතියට පමණක් නොව, තමන්ගේ වෘත්තීය නීතියට ද වගඋත්තර කියන්නට බැඳී සිටින්නේය. රටේ නීතිය කෙරෙහි බලපෑමේ බලයක් දේශපාලකයන්ට ඇති නිසා දේශපාලකයන්ගේ වුවමනාවන් වෙනුවෙන් නීතියට පටහැනිව ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. එහෙත් අඩුම වශයෙන් එවැනි අයට එරෙහිව වෘත්තියේ නීතිය ක්‍රියාත්මක වේ නම් රාජ්‍ය නිලධාරීන් නීතියට පටහැනිව ක්රියාකරන්නට බිය වන්නේය. එහෙත් අවාසනාවකට එවැනි අයට එරෙහිව රටේ නීතිය පමණක් නොව, වෘත්තියේ නීතිය ද ක්‍රියාත්මක නොවන්නේය.
වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපතිත්වයට පත්වීමෙන් පසු මේ තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීමට එල්මෝ උත්සාහ කළේය. කිසියම් වෘත්තිකයෙකුට එරෙහිව විෂමාචාර චෝදනා මත එම වෘත්තිකයා නියෝජනය කරන වෘත්තීයවේදී සංවිධානයට පැමිණිල්ලක් ලැබුණු අවස්ථාවකදී එම වෘත්තීයවේදී සංවිධානය එම පැමිණිල්ල ගැන කරුණු සොයා නොබලන අවස්ථාවකදී වෘත්තීයවේදීන්ගේ සංවිධානයට ඒ ගැන පැමිණිලි කිරීමක් සිදුවුවහොත් වෘත්තීයවේදීන්ගේ සංගමය එය විභාග කළ යුතුය යන්න ඔහුගේ මතය විය. ඔහු ඒ සඳහාම වන විශේෂ කමිටුවක් ද ඇති කරගත්තේය.
එහෙත් මෙය දෙබරයකට ගල් ගැසීමක් බඳු ක්‍රියාවක් විය. පෞද්ගලිකකරණ ක්‍රියාවලියේදී වෘත්තීය ආචාර ධර්ම හා නීති රීතිවලට පටහැනිව දූෂණයට අනුබල දෙන ආකාරයෙන් ක්‍රියාකර ඇති බවට නාමධාරී පුද්ගලයන් හා සමාගම් රැසකට චෝදනා එල්ල වී තිබේ. වැඩියෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ නාමධාරී ගණකාධිකාරී සමාගම්වලටය.
එම වැඩපිළිවෙළට එරෙහිව එල්ල වී තිබෙන විරෝධය නිසා පැමිණිලි සොයා බැලීමට පත් කළ කමිටුව විසුරුවා හැරීමට වෘත්තීයවේදීන්ට සිදුවිය. ඒ සටනිනුත් එල්මෝ පරාජයට පත්විය.
නැවත මෙහිදී ද මතුවන්නේ දේශපාලන ක්‍රමය පිළිබඳ ගැටලුවකි. රාජ්‍ය නිලධාරියා නීතියට පටහැනිව ක්රියාකරනුයේ දේශපාලනඥයාගේ බලය නිසා හා දේශපාලනඥයාගෙන් තමන්ට රැකවරණය ලැබෙතැයි කියන විශ්වාසය නිසාය. රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය එහිදී නීතියට පටහැනිව ක්‍රියාකරන රාජ්‍ය නිලධාරියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තැනකට ගියහොත් නීතිය උල්ලංඝනය කිරීමට රාජ්‍ය නිලධාරියාට උපදෙස් දුන් දේශපාලන බලවතා සමග ගැටුමකට යන්නට සංගමයට සිදුවන්නේය. දේශපාලනඥයාට මේ ක්‍රමයෙන් ලැබී තිබෙන අතිවිශාල බලය නිසා සංගමයට දේශපාලන බලවතා සමග අරගලයකට යෑමේ හැකියාවක් නැත. ඒ නිසා සියලු වෘත්තීයවේදීන්ගේ සංගම්වලට ආචාර ධර්ම හකුළාගෙන දේශපාලන බලවතුන් සමග කල්ලි ගැසී සිටින වෘත්තීයවේදීන්ට ඕනෑම පිස්සුවක් නටන්නට ඉඩ හැර බලා සිටින්නට සිදුවී ඇත්තේය.
මෙම නොහොබිනා තත්ත්වයක් බවට සැකයක් නැතත්, එල්මෝ පෙරේරාගේ ප්‍රවේශය මෙම තත්ත්වය වෙනස් කිරීමට තරම් බලවත් නැත. සිංහයකු සමග සටන් කළ යුත්තේ ඌට ඔබින ක්රමයකටය. උගේ වලිගෙන් අල්ලා ඌ මෙල්ල කරන්න දරන උත්සාහයක් නිර්භීත උත්සාහයක් විය හැකි වුවත්, සාර්ථක උත්සාහයක් වන්නේ නැත. එල්මෝ පෙරේරාගේ මෙම වැදගත් එහෙත් අසාර්ථක අත්හදා බැලීම් දෙකම ඔප්පු කර ඇත්තේ පවත්නා දේශපාලන ක්‍රමය මුළුමනින් වෙනස් කරනවා විනා අණ්ඩ දැමිය නොහැකි බවය.