මහා දේශපාලන සන්ධානයක් අවශ්‍ය කුමක් සඳහා ද?

October 29, 2026
Publication:
A grand alliance of everyone against Mahinda Rajapaksa is being discussed in every circle. Ivan asks what it would be for. He works through Mangala's theory, Chandrika's sermon, how much of the criticism is valid, and what change the country actually needs — and lists what an honest government could recover: land, privatisations sold to friends at nominal prices, broadcasting and liquor and transport licences.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීම සඳහා සියලු ආණ්ඩු විරෝධී බලවේග (එජාප, ජවිපෙ, මු.කො, වතු කම්කරු කොංග්‍රසය, (ම”) පිල හා චන්ද්‍රිකා යන සියලු දෙනා) එකට ඒකරාශි කරන මහා සන්ධානයක් ගොඩනගා ගත යුතුයි කියන කතාවක් විවිධ කව තුළ සාකච්ඡාවට ලක්වෙමින් පවතී. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීම සඳහා වඩා හොඳ ක්‍රමයක් උනන්දුවෙන් සොයන්නන් බවට පත්ව සිටින්නේ දැන් පවතින තත්ත්වය ඉවසිය නොහැකි තත්ත්වයක සිටින හා ඉක්මන් වෙනසක් ඇති කර ගැනීම සඳහා කැක්කුමක් ඇති අය විසිනි. එජාපයේ සමහර අයට රනිල් එලවා ඒ තැනට රුක්මන් ගැනීමට අවශ්‍ය වී ඇත්තේ ද ජවිපෙ එකට එකතු කරගන්නා එවැනි සන්ධානයක් සඳහා රනිල් බාධාවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි කියන විශ්වාසය නිසාය. ඔවුන් සිතන ආකාරයට අනෙක් සියලු දෙනා එවැනි සන්ධානයකට එකතු කරගැනීම අමාරු නැත. එහෙත් ජවිපෙ එවැනි තැනකට ගැනීමට බාධාවක් වී ඇත්තේ රනිල් ය. රනිල් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින තෙක් ජවිපෙ ඊට එකතු කළ නොහැකිය. එහෙත් රුක්මන් වැනි කෙනෙක් රනිල් සිටින තැනට ගත හැකි නම්, ජවිපෙ බොහෝ විට එවැනි තැනකට ගත හැකිවනු ඇතැයි ඔවුහු විශ්වාස කරති. දෙවැනි කැරැල්ලේ දී රුක්මන් ජවිපෙ සමග සාකච්ඡා කරන තත්ත්වයක සිටියේය. රනිල් කෙරෙහි පවතින වෛරය වැනි වෛරයක් ජවිපෙට රුක්මන් සමග නැත.

මංගල න්‍යාය

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව මහා සන්ධානයක් ගොඩනැගීම පිළිබඳ න්‍යාය මංගලගේ විය යුතුය. (ම) පාර්ශ්වයේ සමුළුවේ ප්‍රධාන දේශන දෙක ලබාදී තිබුණේ චන්ද්‍රිකාට හා රනිල්ටය. එම සමුළුවේදී මංගල කරන ලද කතාවේදී ජවිපෙට මහා සන්ධානයකට එකතු වී ක්‍රියාකිරීමේ වැදගත්කම අවධාරණය කර තිබුණි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට හදිස්සියක් ඇති අයට එසේ කිරීමට අවශ්‍ය වී ඇත්තේ ඇත්තටම රටේ සුබ සිද්ධිය සඳහා ද? නැතිනම් ආණ්ඩු බලයෙන් පිටස්තරව සිටීමට ඇති නොහැකියාව නිසා ද?

එජාප මහින්ද රාජපක්ෂ පාලනය යටතේ දැන් ඇති දූෂණය, භීෂණය හා පවුල්වාදය ගැන කතා කරයි. ඔවුන් කරන විවේචනවල සත්‍යයක් සේ ම, අතිශයෝක්තියක් ද පවතී. එජාපය ද එක දිගට අවුරුදු 17ක් රට පාලනය කර ඇත්තේය. ඒ යුගයේ දූෂණය, භීෂණය හා පවුල්වාදයක් රටේ නොතිබුණේද? ඒ යුගයේ රට පාලනය කළ නායකයන් රටේ පොදු සම්පත් කොල්ල නොකෑවේද? විරුද්ධවාදීන් අනුකම්පා විරහිතව මර්දනය නොකළේද? පාලක පක්ෂයේ ඥාති වර්ගයා විශේෂ සැලකිලි නොදැක්වූයේද? ජනමාධ්‍ය මර්දනය නොකළේද?

චන්ද්‍රිකාගේ බණ

සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන ලද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ රජ කරන දූෂණය, භීෂණය හා පවුල්වාදය ගැන සැර විවේචනයක් කර තිබුණි. ඇය ද එක්සත් ජාතික පක්ෂය මෙන් ම මහින්ද රාජපක්ෂ යුගය ගැන විවේචනය කරන්නේ තම පාලන යුගය ගැන කරන ස්වයං විවේචනයකින් තොරවය.

ඇගේ පාලන යුගය තුළ දූෂණයක් නොතිබුණේද? ඇය රටේ පොදු වස්තුව කොල්ල නොකෑවේද? සිය සමීපතමයන්ට පොදු වස්තුව කොල්ලකන්නට ඉඩ නොදුන්නේද? ඇගේ පාලන කාලය තුළ රටේ භීෂණයක් නොතිබුණේද? විරුද්ධවාදීන් මර්දනය කිරීමක් සිදු නොවීද? ජනමාධ්‍ය මර්දනය කිරීමක් නොතිබුණේද? ජනාධිපති ආරක්ෂක අංශය සිදු කළ බිහිසුණු ක්‍රියා හා බැද්දගානේ සංජීවගේ භූමිකාව දැන් රටේ ජනතාවට තබා ජනමාධ්‍යවේදීන්ට ද මතක නැත. අනෝජා, රූකාන්ත, චන්ද්‍රලේඛා වැනි කලාකරුවන්ට එල්ල කරන ලද තිරිසන් ප්‍රහාර නැවත මතකයට නගා ගැනීම වැදගත්ය. එජාප විරෝධතා ව්‍යාපාරයක් වාර්තා කරන්නට ගිය ජනමාධ්‍යවේදීන් විශාල පිරිසකට ඇගේ අණකිරීම් යටතේ ඇගේ නිල හා නිල නොවන ආරක්ෂකයන් පහර දුන්නා පමණක් නොව, එහිදී ඔවුන් ජනමාධ්‍යවේදීන්ගේ වටිනා කැමරා උපකරණ ද පැහැර ගත්තේය. රෝහණ කුමාර හා කුමාර් පොන්නම්බලම් ඝාතනවලට ඇය ඍජු ලෙස හා අනියම් ලෙස වගකිව යුතු නැද්ද? වයඹ ඡන්ද කොල්ලය ගැන ඇයට කියන්න තිබෙන්නේ කුමක්ද? මහා පරිමාණයෙන් ධනය හරිහම්බ කරගැනීම සඳහා ඇය රාජ්‍ය බලය අයථා ලෙස පාවිච්චි නොකළේද? තනතුර අහිමිවන්නට පෙර අන්තිම මොහොතේ කෝටි ගණනක් වටිනා රජයේ ඉඩමක් තමන්ගේ නමට ඇය ලියවා ගත්තේ නැද්ද?

විවේචනයන්ගේ වලංගුභාවය

එජාපයට මංගලට හෝ චන්ද්‍රිකාට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතියක් නැති බව ඉන් අදහස්වන්නේ නැත. එහෙත් එම විවේචනයන්ට වලංගුභාවයක් ලැබෙන්නේ මීට පෙර මීට සමාන ආකාරයකින් රට පාලනය කළ පාලකයන් වශයෙන් ස්වයං විවේචනයක් සමග එම විවේචන කරන්නේ නම් පමණය.

විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමෙන් පසු රට පාලනය කළ හැම පාලකයෙකුම රට පාලනය කරන ලද ආකාරය අඩු වැඩි වශයෙන් එක සමානය.

හැම පාලකයෙක්ම පොදු වස්තුව කොල්ලකෑවේය. තමන්ගේ කණ්ඩායමේ අයට පොදු වස්තුව කොල්ල කන්නට ඉඩ දුන්නේය. වැදගත් තනතුරුවලට සුදුස්සන් වෙනුවට හෙංචයියලා පත් කළේය. විරුද්ධවාදීන් මර්දනය කළේය. ඇත්ත කතා කරන ජනමාධ්‍ය මර්දනය කළේය.

මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමෙන් පසුත් රටට ලැබෙන්න යන්නේ තිබුණු පාලනයට සමාන පාලනයක් නම්, සුළු මානසික ජොලියකට අතිරේක වශයෙන් එවැනි පෙරළියකින් රටට සිදුවන විශේෂ යහපත කුමක්ද?

රටට අවශ්‍ය වී තිබෙන වෙනස කුමක්ද?

රටට හා රටේ ජනතාවට පූර්ණ වෙනසක් අවශ්‍ය වී තිබෙන බවට සැකයක් නැත. එහෙත් රටට අවශ්‍ය වී තිබෙන වෙනස හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දමන්නට සිහින දකින දේශපාලකයන් අපේක්ෂා කරන වෙනස එක සමාන නැත.

මහජනයාට මේ හැම පාලන ක්‍රමයක් තුළම ලැබුණු අස්වැන්න එක සමානය.

විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමෙන් පසු බලයට පත් හැම පාලක පක්ෂයක්ම රටේ පොදු වස්තුව කොල්ලකෑවේය. ඔවුන් කොල්ලකෑවේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, පොදු මගී ප්‍රවාහනය වැනි පොදු පහසුකම් වැඩි දියුණු කිරීමට තිබෙන වස්තුවයි.

පාලක පක්ෂයට පොදු වස්තුව කොල්ලකෑමට තිබෙන අයිතිය අහිමි කොට ඒ වස්තුව නිවැරදි ලෙස මහා භාණ්ඩාගාරයට බැර කෙරෙන ක්‍රමයක් තුළ පමණක් මේ රටේ පොදු පහසුකම් තුන් හතර ගුණයකින් වැඩි දියුණු කළ හැකිය. )

රජයේ ඉඩම් නාමික මිලකට ගජ මිතුරන්ට පවරන ක්‍රමයක් වෙනුවට විවෘත වෙළඳපොළේ වැඩිම ඉල්ලුම්කරුට විකුණන ක්‍රමයක් ඇති කිරීමෙන් පමණක් අතිවිශාල ධනයක් භාණ්ඩාගාරයට උපයා ගත හැකිය. මේ දක්වා සිදුවී තිබෙන මෙම ඉඩම් කොල්ලයෙන් පමණක් රටට සිදුවී තිබෙන අලාභය රුපියල් කෝටි දසදහස් ගණනක් විය හැකිය. )

රජයේ ව්‍යාපාර පෞද්ගලික අංශයට විකිණීමේදී නොවටිනා මිලකට ගජමිතුරන්ට දෙන ක්‍රමය නැති කොට ඒවා නියම මිලට විකුණන ක්‍රමයක් ඇති කළ හැකි නම්, පෞද්ගලිකකරණයෙන් රජයට ලැබෙන ආදායම දහගුණයකින් පමණ වැඩි කළ හැකිය. )

රූපවාහිනී, ගුවන්විදුලි විකාශන බලපත්‍ර, මත්පැන් බලපත්‍ර හා මාර්ග ධාවන බලපත්‍ර නාමික මිලකට හෙංචයියන්ට දෙන ක්‍රමය නැති කොට ඒවා විවෘත වෙළඳපොළේ වෙන්දේසි කරන ක්‍රමයක් ඇති කිරීමෙන් පමණක් බලපත්‍රවලින් ලබන ආදායම සිය ගුණයකින් පමණ වැඩි කළ හැකිය. )

උසස් තනතුරුවලට හා රක්ෂාවලට පුද්ගලයන් පත්කිරීමේදී සුදුසුකම් නොසලකා දේශපාලන හෙංචයියන් පත් කිරීමේ ක්‍රමය නැති කොට සුදුසුකම් මත පත් කරන ක්‍රමයක් ඇති කිරීමෙන්, රටේ ආර්ථික ඵලදායීතාව දෙගුණයකින් පමණ වැඩි කළ හැකිය. )

රජයේ සේවකයන් සඳහා සියලු දෙනාගේ විශ්වාසයට හේතුවන ජාතික වැටුප් ප්‍රතිපත්තියක් ඇති කිරීමෙන් රජයේ සේවයේ කාර්යක්ෂමතාව වර්ධනය කළ හැකි අතර, එය රජයේ සේවයේ ආර්ථික ඵලදායීතාව වර්ධනය කිරීමට හේතුවනු ඇත.

විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක්

පුද්ගලයන් මාරු කරන ක්‍රමයකට වඩා අද රටට අවශ්‍යව ඇත්තේ දේශපාලන ක්‍රමයේ මූලික වෙනසකි.

විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කොට ඇත්තේ විටින් විට පාලකයා හා පාලක පක්ෂය වෙනස් කළ හැකි ආකාරයට නොව බලයට පත් පාලක පක්ෂයට ඉතාමත් දීර්ඝ කාලයක් බලයේ සිටිය හැකි ආකාරයටය. ඩී.බී. විජේතුංග, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් පුරප්පාඩු වන ජනාධිපති තනතුරට පත් නොවී එම තනතුරට වඩා ශක්තිමත් පුද්ගලයෙකු පත්වී නම් අද දක්වාම රට රජ කරනු ඇත්තේ එජාපය මිස පොදු පෙරමුණ නොවේ. 1994 පොදු පෙරමුණට ලැබුණු ජයග්‍රහණය ඒ නිසා සැලකිය හැක්කේ අනිවාර්යයක් ලෙස නොව, අහම්බයක් ලෙසය. ඉන්පසු බලයට පැමිණි පොදු පෙරමුණ තවමත් බලයේ රැඳී සිටින්නේය. එහි කෙළවර කවදාදැයි කිසිවකුටත් කිව නොහැකිය. ක්‍රමය සකස් කර තිබෙන්නේ විටින් විට පාලක පක්ෂය මාරුවන ආකාරයට නොව, බලය ලබාගත් පක්ෂයට එක දිගට දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටීමට හැකි ආකාරයටය. එජාපය දැන් වැටී සිටින්නේ ඔවුන් අනුන්ට කැපූ වළේය. අන් සියලු දෙනාට පෙර ඒ කටුක සත්‍යය ඔවුන් තේරුම් ගත යුතුය.

විධායක ජනාධිපති ක්‍රමය රටේ දේශපාලන ගරා හැලීම උපරිම තත්ත්වයකට පත් කිරීමට හේතුවී තිබේ. සමස්ත රාජ්‍ය පාලනය අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවී තිබේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මුහුණ දී තිබෙන අර්බුදයට සමාන තත්ත්වයක් රාජ්‍යයේ හැම අංශයක් තුළම පවතී.

විභාග ප්‍රශ්න පත්‍ර බැලීම ගුරුවරුන් වර්ජනය කරන විට අධිකරණය එය අධිකරණ නියෝගයක් මගින් වැළකීය. ඉන්පසු ගුරුවරුන් ප්‍රශ්න පත්‍ර බැලීමට ඉල්ලුම් කිරීමෙන් වැළකී සිටියේය. දැන් උසස් පෙළ විභාගය පමණක් නොව, සාමාන්‍ය පෙළ විභාගය ද තිබෙන්නේ අවුලකය. ගුරු වැටුප් ප්‍රශ්නය විසඳිය නොහැකිය. විසඳීමට ගන්නා ඕනෑම උත්සාහයක් රජයේ සේවයේ වෙනත් අංශවල වැටුප් විෂමතා ඇති කිරීමට හේතුවේ.

සමස්ත රාජ්‍ය සේවයම තිබෙන්නේ අවුල් ජාලාවකය. අධිකරණ ක්‍රමය තිබෙන්නේ ද අවුලකය. මෙවැනි අධිකාරිවාදී දූෂිත දේශපාලන ක්‍රමයකට යා හැකි උපරිම දුරක් ඇත්තේය. දැන් අපි ඒ දුර වෙත පැමිණ ඇත්තෙමු. අපි කැමති වුවත්, නැතත් මේ දේශපාලන ක්‍රමයේ කඩා වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකිය. අරාජිකත්වයකට හෝ ඒකාධිපතිත්වයකට ඉඩ නොතබා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව වෙත සමාජ අවධානය යොමුවිය යුතුය.

උභතෝකෝටිකය ජයගැනීම

විධායක ජනාධිපති ක්‍රමය ගොඩනැගී තිබෙන ක්‍රමය අනුව ජනාධිපතිවරයෙකුට පහර දී ඔහු බෙලහීන කළ හැකි වුවත්, ජනාධිපතිවරණයකදී හැර ඔහු පරාජය කළ නොහැකිය. ජනාධිපතිවරණයකදී පවා ජනාධිපතිවරයා පරාජය කිරීම දුෂ්කරය. ක්‍රමය සකස් වී තිබෙන්නේ බලයේ සිටින පුද්ගයාට තමාගේ වාසියට හේතුවන ලෙස ක්‍රීඩාව හැසිරවිය හැකි ආකාරයටය. මහින්ද රාජපක්ෂ පරාජය කොට වෙනත් පාලකයකු බලයට ගෙනාවත්, මානසික ජොලියක් හැරුණු විට ඉන් ඵලදායී ප්‍රතිඵලයක් රටට ලබාගැනීමට හැකිවන්නේ නැත. මේ නිසා මහින්ද රාජපක්ෂ පරාජය කරනවා වෙනුවට රටට වඩා වැදගත් වනුයේ විධායක ජනාධිපති දේශපාලන ක්‍රමය පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් දිනාගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි.

එහෙත් එවැනි අර්ථවත් දේශපාලන අරගලයකට නායකත්වය දෙන්නේ කව්ද යන ප්‍රශ්නයක් ද පවතී.

එවැනි අරගලයකට නායකත්වය දීමට එජාපයට හැකිද? ජවිපෙට හැකිද? මංගල සමරවීරට හැකිද? චන්ද්‍රිකා කුමාරතුංගට හැකිද? මේ දේශපාලන ක්‍රමය නිර්මාණය කිරීමට හෝ කිරි පොවා ඇති දැඩි කිරීමට ඔවුහු සියලු දෙනාම දායක වූහ. විධායක ජනාධිපති ක්‍රමයේ දූෂිත හා ඒකාධිපති ගති ලක්ෂණ දැන හෝ නොදැන පෝෂණය කිරීමට ඔවුහු ද ක්‍රියාකාරී ලෙස දායක වූහ.

ඔවුන්ට ඒ අයිතිය ලැබෙනවා නම් ලැබෙනු ඇත්තේ සිය අපකීර්තිමත් අතීතය ගැන කරන අවංක ස්වයං විවේචනයකින් නැවත අලුත් මිනිසුන් ලෙස ඉපදීමට හැකි නම් පමණය. දේශපාලන බලය තුළ ඇති පොදු වස්තුව කොල්ලකෑමට තිබෙන අයිතිය වර්තමාන දේශපාලනය තුළ තිබෙන බලවත්ම පෙළඹවීමේ සාධකය වන විටෙක, එම සාධකය ඉවත් කරන දේශපාලනයකට එකඟවීමේ හැකියාවක් ඔවුන්ට තිබේද?