ජනතාව ජීවත් කරවීමට පාරට බැසීම

October 29, 2026
Publication:
Ranil Wickremesinghe says he and his party are ready to fight in the streets for popular sovereignty. Ivan agrees with every criticism he makes of the Rajapaksa administration and then lists the same abuses under the UNP and under Chandrika Kumaratunga — sealed newspapers, a corrupt referendum, a constitution violated whenever convenient — and reminds him who built the system he is now protesting against.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා 11 වැනිදා පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවක දී මහින්ද රාජපක්ෂ පාලනය පිළිබඳව දැඩි විවේචනයක් කර තිබුණි.

රටේ මහජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන මහත් අමාරුකම් විස්තර කරන අතර, පක්ෂ පාලනයක් වෙනුවට පවුල් පාලනයක් ගොඩ නැගීම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා උත්සන්න තත්ත්වයකට පත්ව ඇති මාධ්‍ය මර්දනය ගැන කතා කරමින් ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරගැනීම සඳහා පාරට බැස සටන් කරන්නට තමන් හා තම පක්ෂය සූදානම් බව ප්‍රකාශ කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂ පාලනය ගැන කරන විවේචන නිවැරදි ය. වර්තමාන පාලනය තුළ දක්නට ලැබෙන බරපතළ වැරදි අඩු වැඩි වශයෙන් එජාප පාලනයක් තුළ ද දක්නට තිබුණි. චන්ද්‍රිකාගේ පාලනය තුළ ද දකින්නට තිබුණි. එජාප පාලන බලයේ සිටිය දී දැන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අසන්නට ලැබෙන ආකාරයේ සැර විවේචන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ගෙන් ද අසන්නට ලැබුණි.

එජාපය ද අතීතයේ සැලකුණේ පවුල් බලය තර කරගත් පක්ෂයක් වශයෙනි. එකල එය හැඳින්වූයේ මාමා බෑණා පක්ෂය වශයෙනි. එජා පාලනයක් තුළ ද එම පවුල් කණ්ඩායමට විශේෂ සැලකිලි දක්වන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. ඉන්පසු සිරිමා බණ්ඩාරනායක යුගයේදී ද පවුල මත, කිට්ටු පවුල්වල සාමාජිකයන් මත බර තබන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. අවසානයේ දී එජාප ශ්‍රීලනිපයට එරෙහිව පවුල් ගසක් ද නිර්මාණය කළේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා ජනමාධ්‍ය මර්දනය ද හැම පාලනයක් තුළ ම අඩු වැඩි වශයෙන් දක්නට ලැබුණු පොදු ලක්ෂණයෝ ය.

ජේ.ආර්. ජයවර්ධන 1977 දී බලයට පැමිණි පසු 10 වැනි දිනයේ දී ශ්‍රීලනිපයට හිතවත් පුවත්පත් ආයතනය ලෙස සැලකුණු “ටයිම්ස් ඔෆ් සිලෝන්” පුවත්පත් ආයතනය රජයට පවරා ගත්තේ ය. ජනමාධ්‍යවේදීන්ට දඬුවම් කළ හැකි ආකාරයට පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය සංශෝධනය කළේ ය. අවශ්‍ය අවස්ථාවල දී පුවත්පත් ආයතනවලට සීල් තැබුවේ ය. තමන්ට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමතවිචාරණයකින් දීර්ඝ කර ගත්තේ ය.

ඉන්පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දිවුරා පොරොන්දු වී බලයට පැමිණි චන්ද්‍රිකා පාලනය තුළ එම අධම ලක්ෂණ දක්නට ලැබුණි. අවශ්‍ය හැම අවස්ථාවකදී ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ ය. ජනමාධ්‍ය මර්දනය කළේ ය. එක දිනක දී එජාප විරෝධතා පෙලපාලියක් වාර්තා කිරීමට එකතු වී සිටි ජනමාධ්‍යවේදීන් විශාල පිරිසකට පහර දී ඔවුන්ගේ වටිනා කැමරා උපකරණ ද උදුරා ගත්තේ ය.

දැන් මහින්ද රාජපක්ෂ පාලනය තුළ ක්‍රියාත්මකවන්නේ පූර්වගාමී ජනාධිපතිවරුන් රඟ දක්වන ලද දේශපාලන නාටකයට සමාන තත්ත්වයකි. එය එකම නාට්‍යයක තවත් අලුත් ජවනිකාවක් ලෙස සැලකිය හැකි ය.

ප්‍රශ්නය ඇත්තේ මෙහි වරද ඇත්තේ කොතැන ද යන්නයි. රනිල් වික්‍රමසිංහට එය පෙනෙන්නේ දේශපාලන ක්‍රමයේ වරදක් ලෙස නො ව, පුද්ගලයාගේ වරදක් ලෙස යි. එහෙත් වරද ඇත්තේ පුද්ගලයාගේ නො ව, දේශපාලන ක්‍රමයේ ය. ජනාධිපති නීතියට යටත් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් නැත. ඔහු පරම බලයකින් යුතු ය. මෙම දූෂිත ක්‍රමය නිර්මාණය කළේ එජාප බව රනිල් වික්‍රමසිංහ මහතා අමතක නො කළ යුතු ය. සියලු දේශපාලන පක්ෂ එම දූෂිත ක්‍රමයෙන් ගැලවිය නොහැකි, ඒ ක්‍රමය තුළ ජීවත් වන ඇඹලයන් බවට පත්ව සිටිති. සැබෑ වෙනසක් සඳහා අවශ්‍ය වන්නේ දේශපාලන ක්‍රමයේ වෙනසකි. එවැනි අරගලයකට පාරට බහින්න රනිල් වික්‍රමසිංහ සූදානම් ද?