තමන්ට ලැබෙන වැටුප් වැඩි කරගැනීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය හා අධිකරණ සේවා සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක් දැන් විභාගවෙමින් පවතී. මෙය අධිකරණයේ නඩුවකි. නඩුව අසන්නේ ද අධිකරණය ම ය.
විනිසුරුවරුන්ට ගෙවන වැටුප්වල ගැටලුවක් තිබිය හැකි ය. විනිසුරුවරුන් එම ගැටලුව විසඳා ගන්නට යන්නේ තමන්ගේ ම අධිකරණය මගින් නම් එය විනිසුරුවරුන් රටට දෙන යහපත් ආදර්ශයක් වන්නේ නැත. අධිකරණය අධිකරණ නිලධාරීන්ගේ ප්‍රශ්න නිරාකරණය කිරීමට පාවිච්චි කිරීම කොතරම් යෝග්‍යය ද?
වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන්නේ විනිසුරුවරුන්ට පමණක් නොවේ. වැටුප් ලබන සියලු දෙනාට වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් පවතී. රටේ උද්ධමනය තිබෙන්නේ පිම්මේ ඉහළ යන තත්ත්වයක ය. ඉහළ යන උද්ධමනය වැටුප්වල සැබෑ අගය වාෂ්ප කරමින් තිබෙන්නේ ය.
විනිසුරුවරුන් සුවිශේෂ කාර්යය භාරයක් ඉටු කරන බව සැබෑ ය. එහෙත් සුවිශේෂ කාර්යය භාරයක් ඉටු කරන්නේ විනිසුරුවරුන් පමණක් ද? වෛද්‍යවරුන් කරන්නේ සුවිශේෂ කාර්යය භාරයක් නොවේ ද? හෙදියන් කරන්නේ සුවිශේෂ කාර්යය භාරයක් නොවේ ද? ඉංජිනේරුවන්, විද්‍යාඥයින්, ගුරුවරුන් කරන්නේ සුවිශේෂ කාර්ය භාරයක් නොවේ ද?
වැටුප් ප්‍රශ්න මත වැඩ වර්ජනය කරන තැනකට ගිය සමහර අංශවල සේවකයන් පිළිබඳව අධිකරණය අනුගමනය කළේ අනුකම්පා සහගත ආකල්පයක් නොවේ. එහෙත් අධිකරණය තමන්ගේ අය සම්බන්ධයෙන් පමණක් අනුකම්පා සහගත ආකල්පයකින් ක්‍රියා කරන විට අධිකරණයේ අනුකම්පාව හිමි නොවූ වැටුප් සේවකයන්ට ඇතිවන හැඟීම කුමක් ද?
ඉහළ අධිකරණයේ විනිසුරුවරුන්ට චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විශේෂ කැබිනට් තීන්දුවක් මගින් වැටුප් වැඩි කර දුන්නා ය. එම වැටුප් වර්ගය ආපස්සට බලපාන ආකාරයට ලබාදෙන ලද අතර, ඉහළ අධිකරණයේ විනිසුරුවරුන් වැඩි පිරිසකට ලක්ෂ 07කට සමාන හිඟ වැටුප් ලැබුණේ ය. ඉහළ අධිකරණයේ විනිසුරුවරුන්ට ලබා දෙන ලද එම වැටුප් වර්ධකය ස්වයංක්‍රීය ලෙස මැති ඇමතිවරුන් කෙරෙහි ද බලපෑවේ ය. ඉහළ අධිකරණයේ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමෙන් මැති ඇමතිවරුන්ට වැටුප් විෂමතාවක් ඇති කළේ ය. එම විෂමතාව ජයගන්නට පාර්ලිමේන්තුව ඇමති, මන්ත්‍රීවරුන්ගේ ද වැටුප් වැඩි කළේ ය.
දැන් පහළ අධිකරණයේ විනිසුරුවරුන්ට වැටුප් විෂමතාව පිළිබඳ ප්‍රශ්නයක් මතු වී තිබේ. එම විෂමතාව දුරු කළ විට ඉහළ අධිකරණයේ විනිසුරුවරුන්ට ද වැටුප් විෂමතාවක් ඇතිවනු ඇත. පාර්ලිමේන්තුව එම විෂමතාව දුරු කළ විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා ඇමතිවරුන්ගේ ද වැටුප් ඉබේ ම ඉහළ යනු ඇත්තේ ය. වැටුප් ලබන රජයේ සේවක අන් සියලු දෙනා ඉන්නේ මෙම විශේෂ චක්‍රයට පිටිනි. ඔවුන්ට හූල්ලමින් බලා සිටිනවා හැරෙන්නට ගත හැකි අන් මගක් නැත. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයට දෙවියන්ගේ ම පිහිට ය.