ගාන්ධි ගැන වැඩිදුරටත්

October 29, 2026
Publication:
Written because the Marx-or-Gandhi article drew more response than anything else that year. Ivan works through the armed struggle and its by-products, why Gandhi refused an intermediate peace, the non-cooperation campaign of 1920 and why he called it off over a single violent incident, the discipline, the caste and religious divides, and the women he trained into the Congress.

වඩා වැදගත් මාක්ස් ද? නැතිනම් ගාන්ධි ද? යන හිසින් මා විසින් ලියන ලද ලිපිය පාඨකයින්ගේ විශේෂ උනන්දුවට හේතුවී තිබෙන බව මා තේරුම් ගත්තේ ඊට මට ලැබුණු විවිධ ප්‍රතිචාර නිසාය. මාක්ස්ගේ සිහින ලෝකය බිඳ වැටී ඇතත්, මාක්ස්වාදී අදහස් අපේ රටෙන් හෝ ලෝකයෙන් මුළුමණින් තුරන් වී නැත. මාක්ස්වාදයට තවදුරටත් ඇලුම් කරන පිරිස් මාක්ස්ට වඩා වැඩි වැදගත්කමක් ගාන්ධිට ලබාදෙනවාට කැමති විය නොහැකිය. එහෙත් ගාන්ධිගේ මාවත ගැන කරුණු හැදෑරීමට කැමති පිරිසක් රටේ සිටීම ප්‍රීතියට හේතුවන කරුණකි. ගාන්ධි ගැන දෙවැනි වතාවටත් ලියන්න පෙළඹුණේ එවැනි අයගෙන් ලැබුණු අනුබලය නිසාය.

යුක්තිය හා අයුක්තිය අතර අරගලය සදාතනික දෙයක් ලෙස සැලකිය හැකිය. එහිදී අයුක්තියට එරෙහිව සටන් කිරීම සඳහා පිළිගත හැකි සාර්ථක සටන් ක්‍රමයක් තිබීම වැදගත්ය. අයුක්තියක් තිබූ පමණකින් අයුක්තියට එරෙහිව ඕනෑම ආකාරයකින් කරන සටනක් යුක්තිසහගත හෝ සාධාරණ විය නොහැකිය. ගාන්ධි සිය අවිහිංසාවාදී අරගල ක්‍රමය ලෝකයට හඳුන්වා දෙන තෙක් ලෝකයේ තිබුණේ නපුරට එරෙහිව නපුරු ලෙස සටන් කරන ක්‍රමයකි. නපුරට එරෙහිව නපුරු නොවී සාර්ථක ලෙස සටන් කළ හැකි ක්‍රමයක් ලෝකයට හඳුන්වා දුන්නේ ගාන්ධිය. මට ගාන්ධි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වන්නේ ද ඒ නිසාය.

ආයුධ සන්නද්ධ අරගලය

ආයුධ සන්නද්ධ පීඩක පක්ෂයක් අතින් සිදුවන අයුක්තියට එරෙහිව කරන අරගලයක් සඳහා ආයුධ සන්නද්ධව අරගලයක් අවශ්‍ය වේය කියන අදහස මාක්ස්වාදීන්ට පමණක් සීමාවූවක් නොව, පොදුවේ හැම කෙනෙකු විසින්ම දරන හා දරන්නට කැමති ජනප්‍රිය මතය ලෙස සැලකිය හැකිය.

එහෙත් ගාන්ධි කියන්නේ යුක්තිය සඳහා වුවත්, ආයුධ සන්නද්ධ බලයකට එරෙහිව සන්නද්ධ අරගලයක් යුක්තිය සඳහා සටන් කරන අය කෙරෙහි පමණක් නොව, සමාජය කෙරෙහි ද විනාශකාරී ලෙස බලපාන බවය.

අවිගත්තෝ අවියෙන්ම නැසෙතැයි කියන කියමනක් පවතී. ප්‍රංශ විප්ලවයේදී ගිලටීනය නිර්මාණය කළ වුන්ම ගිලටීනයේ රුදුරු ගොදුරු බවට පත්විය. ඔක්තෝබර විප්ලවය බිලිගත්තේ සාර් පාලනයේ පාලකයන් පමණක් නොවේ. ඔක්තෝබර විප්ලවයේ පුරෝගාමී නායකයන් විශාල සංඛ්‍යාවකගේ ද ජීවිත බිලිගත්තේය.

ප්‍රචණ්ඩ බලයක් ප්‍රචණ්ඩ බලයෙන් පරාජය කිරීම සඳහා වඩා විශාල ප්‍රචණ්ඩ බලයක් ඒකරාශී කොට මුදා හැරීමට සිදුවන්නේය. එම අරගලයේදී යුක්තිය වෙනුවෙන් පෙනී සිටින අය ජයගත්ත ද රීතියක් වශයෙන් ජයග්‍රාහකයා තමන් වෙත ඒකරාශී වන වැඩි ප්‍රචණ්ඩ බලය විසුරුවා හරින්නේ නැත. එවිට එම ජයග්‍රාහකයා අතින් සිදුවන අයුක්තියකදී එම අයුක්තියට එරෙහිව නැගී සිටින්නන්ට වඩා විශාල ප්‍රචණ්ඩත්වයක් ඒකරාශී කොට මුදා හැරීමට සිදුවන්නේය. මෙසේ ප්‍රචණ්ඩ අරගලය අප ප්‍රචණ්ඩත්වයේ විෂම චක්‍රයක සිරකරුවකු බවට පත්කරන්නේය.

සාර් පාලනය පරාජය කිරීම සඳහා ලෙනින්ගේ බොල්ෂෙවික් පක්ෂයට සාර් පාලනය හිමි කරගෙන සිටි ප්‍රචණ්ඩත්වය අභිබවා යන ප්‍රචණ්ඩත්වයක් ඒකරාශී කොට මුදාහැරීමට සිදුවිය. ජයග්‍රාහී බොල්ෂෙවික්වරුන් ඔවුන් ලද ජයග්‍රහණයෙන් පසුව ඔවුන් හිමි කරගත් ප්‍රචණ්ඩත්වය විසුරුවා හැරියේ නැත. කොමියුනිස්ට් ක්‍රමයකට පරිවර්තනය වන සංක්‍රමණික කාලසීමාව සඳහා නිර්ධන පන්ති ආඥාදායකත්වයක් අවශ්‍ය වේ යැයි ඔවුහු විශ්වාස කළහ. නව පාලන ක්‍රමය තුළ පැරණි සාර් පාලනය තුළ අසාධාරණ ලෙස මරණයට පත් කළ සංඛ්‍යාව මෙන් සිය ගුණයක් තරම් වන මිනිසුන් සංඛ්‍යාවක් මරණයට පත්විය. සයිබීරියාවට යවන ලද දේශපාලන සිරකරුවන්ගේ ප්‍රමාණය ද සාර් යුගයේ සයිබීරියාවට යවන ලද දේශපාලන සිරකරුවන්ගේ ප්‍රමාණය මෙන් සිය ගුණයක් තරම් විශාල විය.

අතුරු විපාක

ප්‍රචණ්ඩත්වයේ විෂම චක්‍රයක් ඇති කරනවාට අතිරේකව ප්‍රචණ්ඩ අරගලයක් ඇති කරන අතුරු ප්‍රතිවිපාක මෙසේය.

1. ප්‍රචණ්ඩ අරගලයක් තුළ මනුෂ්‍ය ඝාතනය මූලිකය. මනුෂ්‍ය ඝාතනයකදී ඝාතනයට ලක්වන්නා මුළුමණින් මරණයට පත්වන විට ජීවතුන් අතර සිටින ඝාතකයා ඒ සමග අධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වන්නේය. එය මිනිසුන් තුළ තිබෙන වටිනාකම් අහිමි කරන ජීවත් වන මිනිසුන් පවා නොමිනිසුන් බවට පත් කරන සටන් ක්‍රමයකි.

2. දෙපක්ෂයක් අතර කෙරෙන ප්‍රචණ්ඩ අරගලයක් තුළ එකිනෙකාට එරෙහිව එකිනෙකා අභිබවා යන ප්‍රචණ්ඩත්වය සඳහා වන තරගයක් ඇතිවන්නේය. එය කෘෘරත්වය සඳහා කෙරෙන තරගයක් බවට ද පත්විය හැකිය. එවැනි තත්ත්වයක් යටතේ මුදා හැරෙන හිංසාව විශාල ජීවිත විනාශයක් ඇති කිරීමෙන් නොනැවතී ජීවත්වන සමාජය ද අධ්‍යාත්මික වශයෙන් මළ සමාජයක් බවට පත් කළ හැකිය.

ජේවීපීය සිය දෙවැනි කැරැල්ලේදී උපරිම ලෙස කෘෘර වීම මගින් ආණ්ඩුව අන්ද මන්ද කොට, පරාජය කිරීමට අපේක්ෂා කළේය. ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයටම මුල් වටයේදී ආණ්ඩුව අන්ද මන්ද විය. ඉන්පසු ආණ්ඩුව ද ජේවීපීය ආණ්ඩුවට පහරදීම සඳහා යොදාගත් සටන් ක්‍රමයම ජේවීපීයට පහරදීම සඳහා යොදා ගත්තේය. ක්‍රමයෙන් එය කෘෘරත්වය සඳහා කෙරෙන බිහිසුණු තරගයක් බවට පත්විය. එම අරගලයේදී බිහිවී විකාශනය වූ සටන් පාඨ අපට එම අරගලයේ මතකය අවදි කරයි.

“ඇහට ඇහක් දතට දතක්”

“අපෙන් එකකුට තොපෙන් දහයයි”

“අපේ එකකුට තොපෙන් විස්සයි”

උපරිම ලෙස ප්‍රතිපක්ෂය බියගැන්වීම සඳහා උපරිම සංඛ්‍යාවක් මරා දමන තැනකට දෙපක්ෂයම තල්ලු වූහ. දෙවැනි කැරැල්ලේදී ජවිපෙ හා ආණ්ඩුව අතර පැවති අරගලයේදී දක්නට ලැබුණු මෙම ලක්ෂණය එල්ටීටීඊය හා ආණ්ඩුව අතර කෙරෙන යුද්ධය තුළ ද යම් පමණකට දැකිය හැකිය. අවසාන විග්‍රහයේදී උපරිම කෘෘරත්වයකින් සිදුවූ මේ අරගලය තුළ ලක්ෂයක් පමණ ජනයා මරණයට පත්වන විට ජීවතුන් අතර සිටින මිනිසුන්ගේ සමාජය ද අධ්‍යාත්මික වශයෙන් මළ සමාජයක් බවට පත්කිරීමට හේතුවී තිබේ.

ගාන්ධිගේ සටන් ක්‍රමය අරගලයක් කෘෘරත්වය සඳහා වන වියරු අරගලයක් බවට පත්වීම වළකයි. එහිදී යුක්තිය සඳහා සටන් කරන්නන් තමන්ට එල්ල වන පහරදීම්වලදී විඳ දරා ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා විනා එකට එක කරන ප්‍රතිපත්තියකට යන්නේ නැත. ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතික්‍රියා නොකොට ඒවා නිර්භීතව විඳ දරා ගන්නා ප්‍රතිමල්ලවයා ඉදිරියේ ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටින්නා කිසියම් මොහොතක අන්දමන්ද භාවයට පත්විය හැකිය. පහර දෙන විට ප්‍රතිප්‍රහාර දීමේ හැකියාව තිබියදී නිර්භීතව විඳ දරා ගන්නෙකුට දිගින් දිගට පහර දිය නොහැකිය. එවැනි තත්ත්වයක් ඉදිරියේ ප්‍රචණ්ඩත්වය වර්ධනය කරනවා වෙනුවට ප්‍රචණ්ඩත්වයේ සැර බාල කිරීමට හෝ ප්‍රචණ්ඩත්වය හකුළා ගැනීමට ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටින්නාට සිදුවන්නේය. අවිහිංසාවාදී අරගලයකට මැදිවූ සමාජයක සමාජ අධ්‍යාත්මය පෝෂණය වනවා මිස මරණයට පත්වන්නේ නැත.

අතරමැදි සමාදානයකට ඉඩ නැත

2. ප්‍රචණ්ඩ අරගලයක් තුළ අතරමැදි සමාදානයකට තිබෙන ඉඩ සීමිතය. ප්‍රචණ්ඩ අරගලයක් දෙපක්ෂය අතර තිබෙන පරතරය පුළුල් කරයි. සිදුවී තිබෙන හානිවල ප්‍රමාණය අනුව දෙපක්ෂය අතර තිබෙන වෛරය ද වර්ධනය කරයි. එවැනි තත්ත්වයක් යටතේ ස්ථිර සමාදානයක් ඇති කරගැනීම දුෂ්කරය.

කලාතුරකින් හෝ සමාදානයක් ඇති කරගත්ත ද එවැනි අරගලයක් තුළ සිදුවී තිබෙන තුවාල සුව කිරීම දුෂ්කරය.

එහෙත් ගාන්ධිගේ සටන් ක්‍රමය තුළ ප්‍රති පක්ෂ දෙක අතර පරතරය අරගලය තුළ තුනී වනවා මිස, වර්ධනය වන්නේ නැත. යුක්තිය වෙනුවෙන් පෙනී සිටින පක්ෂය අයුක්තිය වෙනුවෙන් පෙනී සිටින පක්ෂය දෙස වෛරයෙන් බලන්නේ නැත. එල්ල වන ප්‍රහාරයන්ට නිර්භීතව මුහුණ දෙමින් ඒවා විඳ දරා ගන්නවා මිස පෙරළා ප්‍රතිප්‍රහාර දෙන තැනකට යන්නේ නැත. මේ නිසා ප්‍රතිපක්ෂයට ද ඉක්මණින් හෝ ප්‍රමාද වී සිය ප්‍රතිවාදියා දෙස අලුත් ඇසකින් බලන්නට සිදුවන්නේය. ඒ නිසා සමාදානයක් ඇති කරගැනීමට තිබෙන ඉඩකඩ වැඩිය. අරගලය තුළ බරපතළ තුවාල කිරීම් සිදු නොවන බැවින්, සමාදානයකින් පසුව පැරණි තුවාල සුව කිරීම සඳහා විශාල ශක්තියක් යොදන්නට ද අවශ්‍ය වන්නේ නැත.

සහයෝගතා වර්ජනය

සත්‍යග්‍රහය යන්නෙහි තේරුම සත්‍යයට කැපවීමය. ගාන්ධිගේ සත්‍යග්‍රහය හිංසාවෙන් තොරව අයුක්තියට එරෙහිව ක්‍රියාශීලී ලෙස විරෝධය පළ කරන ක්‍රමයකි. අසාධාරණයේ පදනම් හෙළිදරව් කරන අතර, ස්වයං පීඩනයකට ලක්වෙමින් ප්‍රතිපක්ෂයේ හෘද සාක්ෂියට කතා කරන ක්‍රමයකි. සත්‍යග්‍රහයක් සඳහා අවශ්‍ය බලය ලැබෙන්නේ කායික ශක්තියෙන් හෝ භෞතික සම්පත්වලින් නොව ආත්මීය ශක්තියෙනි.

සහයෝගතා වර්ජන අවිය මහත්මා ගාන්ධිගේ අවි ගබඩාවේ තිබුණු බලවත්ම අවිය ලෙස සැලකිය හැකිය. ලක්ෂ ගණන් ජනයා තුළ ආත්ම අභිමානයක් ඇති කොට, එයින් මුදා හැරෙන සමූහ ශක්තිය නිශ්චිත අරමුණක් වෙනුවෙන් යොදා ගැනීම සහයෝගිතා වර්ජනය යන්නෙහි තේරුමයි.

සත්‍යග්‍රහයක් අධිෂ්ඨානශීලී තනි පුද්ගලයෙකුට හෝ කුඩා කණ්ඩායමකට කළ හැකිය. එවැනි සටන්වලදී විනය ආරක්ෂා කරගැනීම ද පහසුය. එහෙත් තනිව හෝ කුඩා කණ්ඩායමක් කරන එවැනි ක්‍රියාවකින් ඇති කළ හැකි බලපෑම විශාල නැත.

මහත්මා ගාන්ධි මෙම ක්‍රියාව ලක්ෂ ගණන් ජනයා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගන්නා ක්‍රියාවක් බවට පත් කරගත්තේය. මහත්මා ගාන්ධි සත්‍යග්‍රහ අවිය තමන්ට හෝ තමන්ට සමීප විඳ දරාගැනීමේ ශක්තියක් ඇති කුඩා කණ්ඩායමකට සීමා කළේ නම් ඒ සුළු පිරිසට බ්‍රිතාන්‍ය ආධිපත්‍යයේ අත්තිවාරම් දෙදරවන්නට හැකිවන්නේ නැත. බ්‍රිතාන්‍යය ආධිපත්‍යයේ අත්තිවාරම් දෙදරවන තත්ත්වයක් ඇති කිරීමට ඔහු සමත් වූයේ තමන්ගේ අවිහිංසාවාදී අරගලය සුළු පිරිසකට සීමා නොකොට දශ ලක්ෂ ගණන් ජනයා ඊට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගැනීමට සමත්වූ නිසාය.

තෝරාගත් කුඩා කණ්ඩායමක් සමග කරන අරගලයකදී මෙන් නොව ලක්ෂ ගණන් ජනයා සම්බන්ධ කරගන්නා අරගලයකදී විනය ආරක්ෂා කරගැනීම ඉතා දුෂ්කරය. මහජනයා ප්‍රචණ්ඩත්වයට තල්ලු කරන උද්වේග කර අවස්ථා එවැනි අරගලවලදී ඇතිවිය හැකිය. මහත්මා ගාන්ධි එවැනි අවස්ථාවලදී හිංසාවට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීම මගින් හිංසාවෙන් තොරව අරගල කරන කලාව මහජනතාවට කියා දුන්නේය.

විනයට ලැබුණු වැදගත්කම

1920 දී ගාන්ධි විසින් ක්‍රියාත්මක කරන ලද අසායෝගතා ව්‍යාපාරයේදී (බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ රෙදිපිළි ඇඳීමෙන් වැළකී සිට, ඒ වෙනුවට තමන්ම නිපදවා ගත් රෙදිපිළි ඇඳීම, ආණ්ඩුවේ රක්ෂාවලින් ඉවත්වීම, බ්‍රිතාන්‍ය නම්බුනාම ප්‍රතික්ෂේප කිරීම වැනි ක්‍රියා මහා පරිමාණයෙන් රට පුරා ක්‍රියාත්මක කිරීම) එම ව්‍යාපාරය මුළු රටම වෙලා ගනිමින් වේගයෙන් ඉදිරියට ගමන් ගනිමින් තිබූ අවස්ථාවකදී ඇතිවූ එක් ප්‍රචණ්ඩ සිදුවීමක් පාදක කොටගෙන ගාන්ධි සමස්ත ව්‍යාපාරයම අත්හිටුවේය. ගාන්ධිගේ එම ක්‍රියාව නේරු වැනි සමහර කොංග්‍රස් නායකයන්ගේ ද දැඩි විරෝධයට හේතුවිය.

ඒ සිද්ධිය වන අවස්ථාව වන විට ගාන්ධිගේ අසායෝගතා ව්‍යාපාරය මුළු ඉන්දියාවම වෙලාගෙන තිබුණි. වේල්ස් කුමාරයාගේ ඉන්දීය සංචාරයේදී ඔහුට සංචාරය කරන්නට සිදුවූයේ මහජනයාගෙන් තොර හිස් නගරවලය. ඉන් කෝපයට පත් ආණ්ඩුව මහජනයාගෙන් පළිගැනීම පිණිස ඔවුන් බුරුතු පිටින් අත්අඩංගුවට ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, ජනතාව ඊට දක්වන ලද ප්‍රතිචාරය වූයේ සිය කැමැත්තෙන් අත්අඩංගුවට පත්වීම සඳහා පොලිස් හා හිරගෙවල් ඉදිරිපිට දහස් ගණනින් පෝලිම් ගැසීමය. තැන තැන ගිනි මැල ගසා බ්‍රිතාන්‍යයෙන් ආනයනය කරන ලද රෙදි පුළුස්සන ව්‍යාපාරයක් මුළු රට පුරා ක්‍රියාත්මක විය. ආණ්ඩුවේ සේවය කළ මිනිසුන් තොග ගණනින් ආණ්ඩුවේ රැකියාවලින් ඉවත් විය. රට පුරා මිනිසුන් අත්යන්ත්‍ර ඉදිරියේ වාඩිවී කදාර් රෙදි වියන තත්ත්වයක් රටේ ගොඩ නැගී තිබුණි. මෙසේ ගාන්ධිගේ අසායෝගතා ව්‍යාපාරය මුළු රටම වෙළාගනිමින් ඉතා බලවත් ලෙස ඉදිරියට යමින් තිබුණු අවස්ථාවක ගමක ඇතිවූ එක් ප්‍රචණ්ඩ සිදුවීමක් පදනම් කොට ගනිමින් ගාන්ධි සමස්ත ව්‍යාපාරයම අත්හිටුවේය.

ගෝර්ක්පුර් නගරයට නුදුරු චෞරි චෞරා නමැති ගමේ පැවති පෙළපාලියකට පොලිසිය විසින් වෙඩි තැබීම හේතු කොටගෙන කෝපයට පත් පෙළපාලිකරුවන් පොලිසියට කඩා වැදී එහි සිටි සියලු පොලිස් භටයන් මරා දැම්මේය. ගාන්ධි සිය අසායෝගතා ව්‍යාපාරය අත්හිටුවන ලද්දේ මෙම සිද්ධිය පදනම් කොටගෙනය. ගාන්ධි ඒ සිදුවූ වරදට තමන්ට දඬුවම් කරගැනීම පිණිස දින 05 උපවාසයක ද යෙදුණේය.

ගාන්ධිගේ දැඩි ක්‍රියාකලාපය නේරු ඇතුළු කොංග්‍රස් නායකයන් ගණනාවකගේ විවේචනයට හේතුවිය. අසායෝගතා ව්‍යාපාරය මුළු මහත් ඉන්දියාවම වෙලාගෙන පිම්මේ ඉදිරියට ගමන් ගනිමින් තිබූ අවස්ථාවක කිසියම් තැනක සිදුවූ එක වරදක් අල්ලාගෙන මුළු වැඩපිළිවෙළම අත්හිටුවීම අසාධාරණ බව ඔවුන්ගේ මතය විය. එහෙත් ගාන්ධි තමන් දරන මතය අත් නොහැරියේය. එවැනි සිද්ධීන් සුළු දේවල් ලෙස සිතා නොසලකා සිටියහොත් ඉන්දියාව ගමන් ගනු ඇත්තේ චෞරි චෞරා මාර්ගයේ බව ගාන්ධි ප්‍රකාශ කළේය. ගාන්ධිගේ තක්සේරුව නිවැරදි බව පසුව ඇතිවූ සිදුවීම්වලින් සනාථ විය.

ගාන්ධිගේ විශිෂ්ටතාව

සාමාන්‍යයෙන් නායකයන් අරගලවලදී වැදගත් කොට සලකන්නේ ලැබෙන ජය පරාජය මිස, අරගලයේ යෙදෙන මිනිසුන් නොවේ. එය ඒබ්‍රහම් ලින්කන් වැනි ධනේශ්වර නායකයන්ට සේ ම ලෙනින්, මාඕ සේතුං වැනි මාක්ස්වාදී නායකයන්ට ද ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ගාන්ධි අරගලයකින් ලබන ජය පරාජය තරම්ම අරගලයේ යෙදෙන මිනිසුන් වැදගත් කොට සැලකීය. ගාන්ධිට අරගලය යහපත් මිනිසුන් තනන ක්‍රියාමාර්ගයක් විය.

ගාන්ධි ඉන්දියාවේ හින්දු මිනිසුන් හා මුස්ලිම් මිනිසුන් අතර ඇති භේද තුනී කළේය. ගාන්ධි ඔහුගේ යාඥා මෙහෙයන්හිදී සිරිතක් වශයෙන් භගවත් ගීතයට අතිරේකව කුරාණයෙන් හා බයිබලයෙන් පාඨ උපුටා දැක්වීය. හින්දු, මුස්ලිම් ගැටුම් උග්‍ර තත්ත්වයක පැවති කාලවකවානුවේදී ගාන්ධිගේ යාඥා මෙහෙයන්ට සහභාගී වන සමහර හින්දු බැතිමතුන් කුරාණය උපුටා දැක්වීම ගැන විරෝධය පළ කරන්නට වූහ. ඉන්පසු ගාන්ධි සිරිතක් වශයෙන් යාඥා මෙහෙය ආරම්භ කරන්නට පෙර යාඥා මෙහෙයේදී කුරාණයෙන් උපුටා දැක්වීම් කරනවාට විරුද්ධ අය සිටී නම්, ඒ බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ආරම්භයේදී සිරිතක් වශයෙන් කිසියම් පිරිසක් විරෝධය පළ කරන්නේය. එවිට ගාන්ධි කියන්නේ එසේ නම්, තමා යාඥා මෙහෙය නොපවත්වන බවය. ගාන්ධි ගේ යාඥා මෙහෙයන්ට සහභාගී වන්නට මිනිස්සු කැමතිය. ඒ නිසා ඒ සෙනඟ විසින්ම කුරාණය උපුටා දක්වනවාට අකමැති අය එකඟ කරවා ගැනීමක් සිදුවන්නේය. ගාන්ධි යාඥා මෙහෙය ආරම්භ කරන්නේ එවැනි පොදු එකඟතාවක් ඇති කරගැනීමෙන් පසුවය.

ආගම් භේදය

තමන් අදහන ආගමට අතිරේකව වෙනත් ආගම් ද ඇති බව හා ඒවාට ගරු කිරීමේ වැදගත්කම ගාන්ධි මහජනයාට කියා දුන්නේය. ඉන්දියාවේ හින්දු මුස්ලිම් කෝලහාලයක් ඇතිවීම වළකන්න ගාන්ධි අසමත් වූ බව සැබෑය. ප්‍රචණ්ඩත්වය හා අවිචාරවත් බව රජ කළ ඒ බිහිසුණු අවස්ථාවේදී පවා ගාන්ධි ආරක්ෂිත ස්ථානයකට සැඟවී ඒ සිදුවීම් දෙස බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. වෛරයෙන් ඇණ කොටා ගන්නා කළහකාරී පිරිස් අතරට යමින් ඔවුන් අතර, එකට ජීවත්වෙමින් ගැටුම් පාලනය කිරීමට උපරිම ශක්තිය යොදන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ගාන්ධි සිය ජීවිතයේ අන්තිම මාරාන්තික උපවාසය පවත්වන ලද්දේ ද ඒ අරමුණ වෙනුවෙනි. මුස්ලිම් මිනිසුන්ගෙන් පැහැර ගත් දේපළ ඔවුන්ට ආපසු දෙන තෙක් ඔවුන්ට සිදු කරන අලාභවලට වන්දි ගෙවන තෙක් ඔවුන්ගේ ආගමික සිද්ධස්ථාන පෙර පරිදි පවත්වාගෙන යෑමට ඉඩ දෙන තෙක් සිය මාරාන්තික උපවාසය තමා අත් නොහරින බව ඔහු රටට කීවේය. ඔහුගේ එම අවසාන උපවාසය මේ ජනතාව අතර මහත් කම්පනයක් ඇති කිරීමට හේතුවිය. ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙක අතර, සමඟියක් සඳහා වන අඩිතාලමක් ගොඩ නැගුණේ ඉන්පසුවය. අවසාන උපවාසය අත්හැරීමෙන් දින කිහිපයකට පසුව සිදුවූ ඔහුගේ මරණය ගැටුම් අවසන් කොට, කල්පවත්නා සාමයක් රටට උදාකර දීමට හේතුවිය. ගාන්ධිට ඉන්දියාවේ බෙදීමක් ඇතිවීම වැළකීමට නොහැකි වූ බව සත්‍යයකි. එහෙත් ඉන්දියාවට ගාන්ධි කෙනෙකු නොසිටියේ නම් ඉන්දියාව කැඩෙන්නට තිබුණේ කෑලි දෙකකට නොව සිය ගණනකටය. බෙදීමක් ඇතිවූ පසුත් පාකිස්තානයේ ජීවත් වන මුස්ලිම් ජනගහනයට වැඩි මුස්ලිම් ජනගහනයක් ඉන්දියාවේ ජීවත් වන බව ද අපි අමතක නොකළ යුතුය.

කුල භේදය

ගාන්ධි ඉන්දියාවේ හින්දුන් අතර, ඇති කුලභේදය තුනී කිරීම සඳහා ක්‍රියා කළේය. කුලභේදය අනුමත කරන ආගමක ඉඳිමින් කුලභේදයට එරෙහිව කතා කිරීම කුහකකමක් බවට අම්බෙක්කාර් ගාන්ධිට චෝදනා කළේය. කුල භේදය පිළිබඳ අවංක හෘද සාක්ෂියක් ඇත්නම් හින්දු ආගම අත්හරින ලෙසට ඔහු ගාන්ධිට අභියෝග කළේය.

ගාන්ධි හින්දු ආගම අත්හැරියේ නැත. හින්දු ආගම තුළ ඉඳිමින් හින්දු ආගමේ එන කුල භේදයට එරෙහිව බලවත් අරගලයක් කළේය. හීන කුලවල මිනිසුන්ට දේවාලවලට ඇතුළුවීම වළකන සම්ප්‍රදායට එරෙහිව ඔහු උපවාස කළේය. ඔහුගේ අරගලවල ප්‍රතිඵලයක් වශයෙන් රටේ තිබෙන දේවාලවලින් විශාල ප්‍රමාණයක් එම සම්ප්‍රදාය අත්හැරියේය. භේදයකින් තොරව සියලු බැතිමතුන්ට දේවාලවලට ඇතුල් වී වැඳ පුදාගත හැකි තත්ත්වයක් නිර්මාණය කර දුන්නේය. සමාජ පිළිගැනීමේදී පහළම තත්ත්වයක් උරුම කරගෙන සිටි ස්පර්ශ කළ නොහැකි ජනයාට ගෞරවනීය පිළිගැනීමක් ලබාදීම සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කළේය. රටේ නාමධාරී කුලවතුන් ඔවුන් සමග ප්‍රසිද්ධියේ එකට ආහාර ගන්නා තත්ත්වයක් ඇති කළේය. ගාන්ධිට ඉන්දියාවේ පැවති කුල භේදය මුළුමණින් තුරන් කිරීමට නොහැකි වුවත්, තිබුණු පරතරය විශාල ප්‍රමාණයකින් තුනී කරන්නට ඔහු සමත් වී යැයි කිව හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්

ඉන්දියාවට ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හඳුන්වා දී එම වටිනාකම් ඉන්දියාව තුළ රෝපණය කළ පුද්ගලයා වන්නේ ද ගාන්ධිය. වෙනස්කම් ඉවසීමේ වැදගත්කම ඔහු ජනතාවට කියා දුන්නේය. කොංග්‍රසය ගාන්ධිගේ ආධිපත්‍යයට නතුවීමෙන් පසු ඊට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය රජ කරන සංවිධාන ව්‍යුහයක් හඳුන්වා දෙන ලද්දේ ගාන්ධිය.

කොංග්‍රසය තුළ හැම තීන්දුවක්ම ගනු ලැබුවේ සංවාදයට හා විවාදයට ලක්කිරීමෙන් පසුවය. තීන්දු ගැනීම් කරන ලද්දේ ද අත් ඔසවා විවෘතව ඡන්දය පාවිච්චි කිරීමෙනි. කොංග්‍රසය විවිධ මත දරන ප්‍රවනතාවන්ගේ එකතුවක් ලෙස ක්‍රියා කළේය. ඒ තුළ මාක්ස්වාදීන්ගේ සිට ලිබරල්වාදීන් දක්වා වන විවිධ දේශපාලන මත දරන්නන් සිටියේය.

ඒ තුළ කම්කරුවන්, ගොවීන්, ඉඩම් හිමියන් හා ධනපති යන විවිධ පන්තීන්වලට අයත් ජනයා සිටියා සේ ම, විවිධ කුලවලට හා විවිධ ආගම්වලට අයත් ජනයා ද සිටියේය. එය ඉන්දියාවේ විවිධත්වය හොඳින් පිළිබිඹු කරන ලද සංවිධානයක් විය. ගාන්ධි සන්නද්ධ අරගල න්‍යාය එකහෙළා ප්‍රතික්ෂේප කළේය. එහෙත් සන්ධාන අරගල න්‍යාය කර ගසාගෙන සිටි සුභාෂ් චන්ද්‍ර බෝෂ් කොංග්‍රසයේ සභාපති ධුරයට ගෙනාවේ ද ගාන්ධිය.

ගාන්ධි මාක්ස්ගේ පන්ති අරගල න්‍යාය පිළිගත්තෙකු නොවීය. එහෙත් කම්කරුවන්ට, වෘත්තීය සමිති ගොඩ නගා ගැනීමේ අයිතිය හා කේවල් කිරීමේ අයිතිය වෙනුවෙන් ගාන්ධි පෙනී සිටියේය. ගාන්ධි ගොවි අරගලවලට උදව් කළේය. ඔවුන්ට අයිතිවාසිකම් ලබාදීම සඳහා මැදිහත්වී ක්‍රියා කළේය. ධනපතීන්ගේ පැවත්ම පිළිගනිමින් කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගැන සංවේදී වීමේ වැදගත්කම ඔවුන්ට පෙන්වා දුන්නේය.

ස්ත්‍රී අයිතිවාසිකම් විෂයෙහි ද ගාන්ධි විසින් ඉටු කරන ලද කාර්්‍ය භාරය අතිවිශාලය. දේශපාලන නියෝජන ආසනවල ස්ත්‍රීන් වෙනුවෙන් නිශ්චිත නියෝජනයක් ලබාදීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නා පමණක් නොව, එම ප්‍රතිපත්තිය කොංග්‍රසය තුළ අකුරටම ක්‍රියාත්මක කළේය. නායකත්ව ගුණාංග ඇති ස්ත්‍රීන් තෝරාගෙන ඔවුන් පුරුදු පුහුණු කොට කොංග්‍රසය තුළ ඔවුන්ට පිළිගැනීමක් ලබාදීම සඳහා ක්‍රියා කළේය.

ඉන්දියාවේ ගොඩනැගී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය පිටුපස සිටින ප්‍රධානම පුද්ගලයා වන්නේ ගාන්ධිය. ගාන්ධි ආගමට බර මිනිසකු වුවත්, ඔහු ජීවිතය කැප කළේ තමන්ගේ එලොව සුවය පිණිස නොව, මෙලොව මිනිසුන්ගේ සුවය පිණිසය. ඔහු කිසිවිටෙකත් තමන් අතට බලය ලබාගැනීමට අපේක්ෂා නොකළේය. ඒ වෙනුවට බලය දැරීමට සුදුසු නායක පිරිසක් ඇති කර දුන්නේය.