සනත් බාලසූරිය, පෝද්දල ජයන්ත හා ආරක්ෂක ලේකම්

October 29, 2026
Publication:
The president and secretary of the working journalists' association say they were summoned to the defence secretary and told to drop their criticism of the war, and warned what people who love the army might do to them. Ivan says the threat cannot be defended at any level — and then tells journalists that friction between those who fight wars and those who report them is normal, and reminds them how de Gaulle treated Le Monde.

වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ සභාපති හා ලේකම් ධුර දරන සනත් බාලසූරිය හා පෝද්දල ජයන්ත ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් දෙදෙනා ලේක්හවුසියේ සභාපති බන්දුල පද්මකුමාර සමග ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත කැඳවා යුද්ධය විවේචනය කරන ප්‍රතිපත්තිය අත්හරින ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් ඔවුන්ට දැනුම් දී තිබේ. එ සේ නොවෙතොත් යුද හමුදාපතිවරයාට හා යුද්ධයට ආදරය කරන මිනිසුන් අතින් ඔවුන් විනාශ විය හැකි බව ද ඔහු දැනුම් දී තිබේ.

යුද්ධය ජයග්‍රාහී ලෙස ඉදිරියට ගෙනයෑම යුද හමුදාපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයාගේ නිල වගකීමක් වුවත්, ජනමාධ්‍ය සංවිධානයක නායකයන්ට මෙවැනි තර්ජනයක් කිරීම කවර මට්ටමකින්වත් සාධාරණ වන්නේ නැත.

එල්ටීටීඊයට එරෙහිව කරන බිහිසුණු යුද්ධයක් රටේ තිබුණ ද, ඒ යුද්ධය කෙරෙමින් තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ දොරටු ද විවෘත කොට තබාගෙනය. මේ යුද්ධය මීට පෙර කෙරුණේ ද ඒ ආකාරයටය. දකුණේ බිහිසුණු කැරැල්ලක් තිබිය දී මැතිවරණ පවත්වනු ලැබී ය. එල්ටීටීඊයෙන් එල්ල වන බිහිසුණු තර්ජන ගර්ජන තිබියදීත්, මුදා ගත් නැගෙනහිර පළාතේ පළාත් පාලන මැතිවරණය සේ ම පළාත් සභා මැතිවරණය ද පවත්වනු ලැබී ය.

අදහස් පළකිරීමේ නිදහසට ඉඩදෙමින් යුද්ධ කිරීම දුෂ්කර වුවත්, යුද්ධය මෙහෙයවන නායකයන්ට ඒ හැර තෝරා ගැනීමට වඩා හොඳ වෙනත් විකල්පයක් නැත. යුද්ධය මෙහෙයවන්නන් යුද්ධයේ නියම වීරයන් වනවා ඇත්තේ ද අදහස් පළකිරීමේ නිදහසට ද ගරු කරමින් සිය ඉලක්ක සපුරා ගැනීමට හැකිවන්නේ නම් පමණ ය.

යුද්ධයක් පවතින කාලවකවානුවක පවතින සමාජ වටපිටාව හා යුද්ධයක් නො පවතින කාලවකවානුවක පවතින සමාජ වටාපිටාව එක සමාන නැත. ජනවාර්ගික අර්බුදය සමග එකට පැටලුණු අර්බුදයක් විය හැකි වුවත්, රටේ ත්‍රස්තවාදය පිළිබඳ තීරණාත්මක ප්‍රශ්නයක් ඇති බව ජනමාධ්‍යවේදීන් ද අමතක නො කළ යුතු ය. එසේම යුද්ධය මෙහෙයවන නායකයන්ට ද එසේ කරන්නට සිදුවී ඇත්තේ සැබෑ ජීවිත තර්ජන පිළිබඳව අභියෝගයන්ට මුහුණ දෙමින් බව ද ඔවුන් අමතක නො කළ යුතු ය. අනෙක් අතට යුද්ධයක් පවතින හැමවිට ම යුද්ධ කරන්නන් හා ජනමාධ්‍යවේදීන් අතර මතභේද මතුවීම ස්වාභාවික බව ද ඔවුන් අමතක නො කළ යුතු ය.

ප්‍රංශයේ “ල මොන්ඩ්” පුවත්පත චාල්ස් ඩිගෝල්ගේ නිර්මාණයකි. පුවත්පතේ කර්තෘ ධුරයට මරේ සුදුසු බව යෝජනා කළේ ද ඩිගෝල් ය. එහෙත් ඇල්ජීරියානු යුද්ධයේ දී මරේ ජනාධිපති චාල්ස් ඩිගෝල් ගේ යුද ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කළේ ය. ඒ නිසා “ ල මොන්ඩ්” පුවත්පත හා ජනාධිපති ඩිගෝල් අතර භේදයක් ඇතිවිය. එහෙත් ඩිගෝල්, මරේ මැරුවේවත්, “ල මොන්ඩ්” පුවත්පත වසා දැමුවේවත් නැත.

අප රටට අවශ්‍ය වන්නේ ද එවැනි පිළිවෙතකි. ආරක්ෂක ලේකම්වරයා ආදර්ශයට ගත යුත්තේ ද ඩිගෝල් ය. ඒ සමග මරේ ජනාධිපති ඩිගෝල් සම්බන්ධයෙන් සියලු විවේචන කළේ වෛරසහගත ආකල්පයකින් නො ව, ඔහුගේ ඓතිහාසික කාර්ය භාරය පිළිගනිමිනි. ඊට ආවේණික සීමා විග්‍රහ කරන්නෙකු ලෙස ය. ජනමාධ්‍යවේදීන් ද සමස්ත චිත්‍රය පටු ඇසකින් නොව, පුළුල් ඇසකින් බලන තැනකට ආ යුතු ය.