වරද ඇත්තේ කොතැන ද?

October 29, 2026
Publication:
A reader rings Ivan on the road from Galle to put a question about him personally, and Ivan answers it in public. The article runs from corruption and the press through the theft of popular sovereignty, the elections commissioner and the Wayamba robbery to an unpleasant experience of his own, and ends where it always ends: the answer is not Mahinda, nor Ranil in his place, nor Somawansa in place of both, but a civilised political system.

සිය පාඨකයන්ට සවන්දීමට අවස්ථාවක් ලැබීම පත්තර කතුවරයෙකුට කලාතුරකින් හෝ ලැබෙන භාග්‍යයක් ලෙස සැලකිය හැකිය. පාඨකයන් දුරකතනයෙන් අදහස් පළ කරන අවස්ථාවලදී උපරිම මට්ටමකින් සවන් දීම මා සාමාන්‍යයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තියයි.

නැගෙනහිර මැතිවරණයෙන් පසුව සඳුදා මා ගාල්ලේ සිට කාර්යාලය බලා එමින් සිටියදී මා දන්නා හඳුනන රාවයේ නිත්‍ය පාඨකයෙක් මගේ ජංගම දුරකතනයට කතා කළේය. ඔහු රාජ්‍ය නිලධාරියෙකි. ඔහු පළමුවෙන් නැගෙනහිර ඡන්දය ගැන කතා කළේය. කෙටි වේලාවකින් කතා කරමින් සිටි දේ වෙනස් කොට මා පිළිබඳව වැදගත් ප්‍රශ්නයක් මතු කළේය. ඔහු එම ප්‍රශ්නය මතු කරන්නේ වෙනත් කිහිපදෙනෙකු සමග මා ගැන කරන ලද කතාබහකින් පසුව බව ද ඔහු කීවේය.

ඔහු කියන ලද ආකාරයට මා වෙනස් වී තිබේ. මාගේ ජනමාධ්‍ය භාවිතය ද වෙනස් වී තිබේ. මා තුළ ඇතිවී තිබෙන ඒ වෙනස කෙරෙහි බලපා තිබෙන හේතු මොනවාදැයි හඳුනා ගැනීමට ඔවුන් උත්සාහ දරා තිබේ. මා ආර්ථික ලාභ සඳහා ප්‍රතිපත්ති වෙනස් නොකරන කෙනෙකු බව ඔහුගේ ද, ඔහු සමග එම කතාබහට සම්බන්ධ වී ඇති අනෙක් කිහිප දෙනාගේ මතය වී තිබේ. සමහර විට යහපත් වෙනස්කම් දිනාගැනීමට දරන ලද සියලු උත්සාහයන් අසාර්ථක වීම නිසා ඇති වූ කලකිරීම නිසා දැන් සටන් කිරීමේ සම්ප්‍රදායෙන් එසේ කරනවා විය හැකිය යන්න ඔවුන්ගේ මතය වී තිබේ. එහෙත් ඔවුන්ට ඇත්ත හේතුව පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වී තිබේ. ඔවුන් වෙනුවෙන් ඔහු මෙම ප්‍රශ්න කිරීමෙන් අපේක්ෂා කර ඇත්තේ ඊට මා දෙන පිළිතුර කුමක්ද යන්න දැනගැනීමය.

මා තුළ ඇති වී තිබෙන වෙනස ඉබේ ඇතිවූවක් නොව, මා විසින් ඇති කරගන්නා ලද්දක් බව මම පළමු කොට කියා සිටියෙමි. මට වැදගත් වන්නේ මා කරන දේවලින් ලැබෙන ප්‍රතිඵලය මිස, මා කරන දේවලින් නරඹන්නන් ලබන “තෘප්තිය” හෝ “ආස්වාදය” නොවන බව ද කීවෙමි. පුද්ගලයා ක්‍රමයේ ප්‍රතිඵලයක්ව තිබෙන තාක් පුද්ගලයන්ට එරෙහිව කරන නිරර්ථක අරගලවලින් බැහැර වී දේශපාලන ක්‍රමයේ වෙනසක් සඳහා කෙරෙන ඵලදායී අරගලයක් වෙනුවෙන් සිහින දකින්නකුගේ තත්ත්වයකට පත්ව ඇති බව ද කීවෙමි.

දූෂණය හා ජනමාධ්‍ය

මා මීට මාස කිහිපයකට පෙර පුවත්පත් ආයතනයේ ආරාධනයක් අනුව තෝරාගත් ජනමාධ්‍යවේදීන් පිරිසකට දේශනයක් පැවැත්තුවෙමි. ජනමාධ්‍යවේදීන් දූෂණ වාර්තා කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි මම ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි. දූෂණ විෂයෙහිලා සිදුවන වැරදි නිවැරදි කිරීමේ අරමුණක් බව ඔවුන් දෙන ලද පිළිතුර විය. දූෂණ වාර්තා කිරීම නිසා වාර්තා කළ දූෂණ ක්‍රියාවල බිඳ වැටීමක් හෝ ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමක් හෝ සිදුවන්නේ දැයි මම පෙරළා ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි. ඔවුන් ඊට දෙන ලද පිළිතුර වූයේ නැත යන්නයි. දූෂණය වාර්තා කිරීමේ අරමුණු, දූෂණය පාලනය කිරීම් හා දූෂිතයන් නීතිය ඉදිරියට පමුණුවාලීම නම් හා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් කොතරම් දූෂණ වාර්තා කළත්, ඒ අරමුණ එක්තරා ප්‍රමාණයකට හෝ ඉටු නොවේ නම්, ඒ ඇයිද කියන ප්‍රශ්නය ජනමාධ්‍යවේදීන් බැ?රුම් ලෙස සලකා බැලිය යුතු නැද්ද? මා හැමදා ගඟට එන්නේ මාළු බෑමේ අරමුණින් නම්, කවදාවත් මා මාළු අල්ලා ගැනීමට සමත්ව නැත්නම් තවදුරටත් මා එම තේරුමක් නැති කාර්යයේ නිරත විය යුත්තේ ඇයිද කියා සලකා බැලිය යුතු නැද්ද?

දැන් දීර්ඝ කාලයක් තිස්සේ දූෂිත ගනුදෙනු වාර්තාකරණයට සති අන්ත පුවත්පත් ලබාදී තිබෙන වැදගත්කම අතිවිශාලය. එහෙත් එම වාර්තාකරණය නිසා රටේ දූෂණය පාලනය වීමක් සිදුවී නැත. ජනමාධ්‍ය මගින් කෙරෙන හෙළිදරව් කිරීම් නිසා ආරම්භ කරන ලද දුෂණ ගනුදෙනු අතරමග අත්හරින ලද අවස්ථා ඇත්තේම නැති තරම්ය. තම නම් ගම් හෙළිදරව් වීම නිසා දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන් බලවත් ලෙස ලැජ්ජාවට පත්වන බවක්වත් පෙනෙන්නට ද නැත. වාර්තාකරණය නිසා දූෂණ ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක වූ අවස්ථා ද ඇත්තේ ම නැති තරම්ය.

මෙම කාලකණ්ණි ලක්ෂණය ශ්‍රී ලංකාවේ හැම ක්ෂේත්‍රයකටම ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකි ය.

මහජන පරමාධිපත්‍යය බලය කොල්ලකෑම

මේ වන විට මහජනතාවගේ සේ ම, නැගෙනහිර විරුද්ධ පක්ෂ දේශපාලකයන්ගේ ද උණුසුම් කතාබහට හේතුවී තිබෙන මැතිවරණ දූෂණ පිළිබඳ විෂයය අරබයා පවතින තත්ත්වය බොහෝ දුරට ඊට සාමනය.

මහජනතාව තමන් වෙත ලැබී ඇතැයි කියන පරමාධිපත්‍යය බලය අභ්‍යාස කරන්නේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමෙනි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ බලය ලැබිය යුත්තේ කාටද යන්න මහජනතාව තීන්දු කරන්නේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීම මගිනි. මැතිවරණ මහජනතාව තමන් සතු පරමාධිපත්‍යය බලය අභ්‍යාස කරන ඉතා ම වැදගත්ම අවස්ථාව වන නිසාම, මැතිවරණ නිදහස් හා සාධාරණ තත්ත්වයක තිබිය යුතුය. එහෙත් අපේ රටේ පැවැත්වෙන මැතිවරණය නිදහස් හෝ සාධාරණ නැත. ජනතාවගේ පරමාධිපත්‍යය බලය සංවිධානාත්මකව කොල්ලකන ක්‍රමයක් 1982 සිටම ක්‍රියාත්මක වේ.

නැගෙනහිර පැවති මැතිවරණය ගැන ආණ්ඩුවේ නායකයන් කියන්නේ එය නිදහස් හා සාධාරණ තත්ත්වයක පැවති මැතිවරණයක් බවය. එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය හා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ එය ඡන්ද මංකොල්ලයක් බවය. මැතිවරණ නිරීක්ෂණය කළ ප්‍රධාන නිරීක්ෂණ සංවිධාන තුන පළකර තිබෙන මතය එක සමාන නූනත්, ඒ කිසිම සංවිධානයක් නැගෙනහිර මැතිවරණය නිදහස් හා සාධාරණ තත්ත්වයක පැවති බව කියන්නේ නැත. පැෆරල් සංවිධානය කියන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වුවත් මුළු නැගෙනහිර පුරා බියගැන්වීමේ පරිසරයක් පැවති බවය. අඩුපාඩු තිබියදී වුවද නැගෙනහිරට ඡන්දයක් දීම ඉතාම වැදගත් බව ද එය කියයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියන්නේ මැතිවරණ නීති උල්ලංඝනය බරපතළ ආකාරයකින් සිදුවී ඇති තිරියාය, වාලච්චේනේ, කාත්තන්කුඩි හා පොතුවිල් යන ප්‍රදේශවල නැවත මැතිවරණයක් පැවැත්විය යුතු බවය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය කියන්නේ නැගෙනහිර මැතිවරණය ප්‍රචණ්ඩත්වයේ ආධිපත්‍යය ජයගත් ඡන්ද කොල්ලයක් බවය. එහෙත් මේ කිසිම නිරීක්ෂණ ආයතනයක් සිදුවී ඇතැයි කියන ඡන්ද දූෂණවල ස්වභාවය හා පරිමාව පිළිබඳව හරි චිත්‍රයක් රටට ලබාදී නැත. සිදුවී ඇති දූෂණ සමස්ත ප්‍රතිඵලයේ වෙනසක් ඇති කිරීමට තරම් විශාල ද නැද්ද යන ප්‍රශ්නයට නිරීක්ෂණ වාර්තාවලින් පිළිතුරක් ලැබෙන්නේ නැත. එය වයඹට වඩා අඩුවෙන් දූෂිත ද, වයඹ තරමට ම දූෂිත ද නැතිනම් වයඹටත් වඩා දූෂිත ද යන්න පැහැදිලි නැත.

මැතිවරණ කොමසාරිස්

මැතිවරණයක් අවසානයේ එම මැතිවරණය පිළිබඳ හරි චිත්‍රයක් ලබාදීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාටය. එහෙත් මැතිවරණ කොමසාරිස්වරයාගේ නිවේදනය අනුව නැගෙනහිර මැතිවරණයේදී බරපතළ තත්ත්වයේ ලා සැලකිය හැකි සිදුවීම් සිදුවී ඇත්තේ ම නැති තරම්ය. වයඹ පළාත් සභා මැතිවරණයේදී මැතිවරණ කොමසාරිස්වරයා ඡන්ද පොළ භාර නිලධාරින්ගේ වාර්තා අනුව ඡන්දපොළ මධ්‍යස්ථාන ගණනාවක ඡන්ද අවලංගු කළේය. තවත් ඡන්දපොළ මධ්‍යස්ථාන ගණනාවක ඡන්ද ගණන් කළේ පෙට්ටිවල තිබුණේ යැයි කියන හඳුනා ගත් හොර ඡන්ද ඉවත් කිරීමෙන් පසුවය. එහෙත් නැගෙනහිර ඒ කිසිවක්ම සිදු නොවීය. එහි තේරුම නැගෙනහිර පැවති මැතිවරණය නිදහස් හා සාධාරණ වන බව ද? නැතිනම් වයඹ අනුගමනය කළ තරම් සාධාරණ ප්‍රතිපත්තියක්වත් අනුගමනය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා අසමත්ව සිටින බවද? ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවලින් විරුද්ධ පක්ෂ ඡන්දපොළ නියෝජිතයන් පලවා හැර ඇති බවට එජාප චෝදනා කර තිබේ. ඡන්ද මධ්‍යස්ථානයකට ඡන්දය දෙන්නට එන පුද්ගලයන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමේ බලය ඇත්තේ ඡන්දපොළ නියෝජිතයන්ටය. අනන්‍යතාව පරීක්ෂා කිරීමේ බලය ඡන්ද නිලධාරීන්ට නැත. අනන්‍යතාව පරීක්ෂා කිරීමට විරුද්ධ පක්ෂ නියෝජනය කරන ඡන්දපොළ නියෝජිතයන් නැතිනම් හොර ඡන්ද දැමීමේ අපහසුවක් තිබිය නොහැකිය. සමහර ඡන්දපොළ මධ්‍යස්ථානවලින් විරුද්ධ පක්ෂ ඡන්දපොළ නියෝජිතයන් පලවා හැරියේ නම්, එම මධ්‍යස්ථානවල ඡන්ද නිලධාරීන් ඒ බව මැතිවරණ කොමසාරිස්වරයාට වාර්තා කළේද? වාර්තා නොකළේ නම් ඒ ඇයි? අනෙක් අතට මේ මැතිවරණයේදී ඡන්දදායකයන්ට හැඳුනුම්පත අනිවාර්ය කර තිබුණි. හැඳුනුම්පත අනිවාර්ය කර තිබියදී මහා පරිමාණයෙන් හොර ඡන්දය පාවිච්චි කිරීමක් සිදුවී නම්, එය සිදුවූයේ කෙසේද? හැඳුනුම්පත අනිවාර්ය නීතිය නැගෙනහිර ක්‍රියාත්මක නොවී නම්, ඊට වගකිව යුත්තේ කවුද?

වරායේ ජාතික සේවක සංගම් නායකයෙක් නැගෙනහිර ඡන්දයට වරායෙන් ලබාදී තිබෙන දායකත්වය ගැන අපූරු හෙළිදරව්වක් කර තිබුණි. ඔහුට අනුව ඡන්ද කටයුතු සඳහා ආණ්ඩු පක්ෂයට වරාය අධිකාරිය ලබාදී තිබෙන සේවක සංඛ්‍යාව 600කි. ආණ්ඩු පක්ෂයේම මැතිවරණ කටයුතු වෙනුවෙන් වරාය කර තිබෙන වියදම රුපියල් මිලියන 100ත් 150ත් අතර වේ.

එය එම චිත්‍රයේ එක පැත්තක් පමණය.

ආණ්ඩු පක්ෂ මැතිවරණවලදී මැතිවරණ කටයුතු සඳහා වරාය සේවකයන් හා වරාය අරමුදල් යොදාගත් පළමු අවස්ථාව මෙය නොවේ. මෙතෙක් බලයේ සිටි හැම ආණ්ඩුවක්ම මැතිවරණවලදී මැතිවරණ කටයුතු සඳහා වරායේ සේවකයන් හා වරායේ අරමුදල් පාවිච්චි කළේය.

මංගල සමරවීර විෂය භාර ඇමතිවරයාව සිටියදීත්, රවුෆ් හකීම් විෂය භාර ඇමතිවරයාව සිටියදීත්, ඒ.එච්.එම්. අෂ්රොෆ් විෂය භාර ඇමතිවරයාව සිටියදීත් එය එසේ සිදුවිය. ප්‍රේමදාස පාලන යුගයේදී හා ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේදී ද එය එසේ සිදුවිය. රටේ පවතින මැතිවරණ නීති අනුව දේශපාලන පක්ෂවල මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ පාවිච්චි කිරීම නීතියට පටහැනිය. එහෙත් මොනම ආණ්ඩුවක්වත් ඒ නීතියට ගරු කරන්නේ නැත.

මැතිවරණ විෂයය අදාළව අන් හැම අංශයකමත් පවතින තත්ත්වය ඊට සමානය.

විධායක ජනාධිපති ක්‍රමය

විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමෙන් පසු මැතිවරණ ක්‍රියාවලියේ ද මහා විකෘතියක් ඇතිවිය. පැරණි ක්‍රමය තුළ සාමාන්‍යයෙන් හැම අවුරුදු පහකට වරක්ම අලුත් ආණ්ඩුවක් බලයට ආවේය. අතුරු මැතිවරණ ක්‍රමය නිසා මැතිවරණ දෙකක් අතර කාලය තුළ ඇතිවන වෙනස්කම් හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබුණි. නව ක්‍රමය තුළ ආණ්ඩු පෙරළියක් ඇතිවිය හැක්කේ අවුරුදු 18කට වරක් හෝ අවුරුදු 24කට වරකි. සියලු මැතිවරණ අතරින් රාජ්‍ය බලයේදී වඩා තීරණාත්මක වන්නේ ජනාධිපතිවරණයයි. ජනාධිපතිවරයෙකුට මහජන ඡන්දය වැදගත් වනුයේ බලයට පත්වන පළමු අවස්ථාවේදී පමණය. ජනාධිපතිවරයාට තිබෙන අසීමිත බලය තුළ දෙවැනි ධුර කාලය සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණය ප්‍රමාණවත් තරම් මහජන බලය නැතිව වුවත්, ජයගත හැකිය. අන් මැතිවරණ ද උපරිම ලෙස රාජ්‍ය බලය පාවිච්චි කරන ප්‍රතිපත්තියක් මගින් ජයගත හැකිය.

එජාපයට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් හයවසරකින් දීර්ඝ කරගැනීම සඳහා පැවති ජනමතවිචාරණය ජනතාවගේ පරමාධිපත්‍ය බලය මංකොල්ලකෑමට ලක් කෙරුණු ලොකුම කොල්ලය ලෙස සැලකිය හැකිය. එය සමස්ත දේශපාලන ක්‍රමය විකෘති කිරීමට හේතුවිය. දූෂිත ජනමතවිචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගැනීමක් සිදු නොවී නම් එජාපයට තිබූ හයෙන් පහේ බලය අහිමි වී පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂවල තිබෙන නියෝජනය විශාල වී ජනාධිපතිවරයාට හිතුවක්කාර ලෙස ක්‍රියා කරන්නට තිබෙන හැකියාව ද සීමා වන්නට ඉඩ තිබුණි. එසේ වී නම්, ජවිපෙට ද කිසියම් පාර්ලිමේන්තු නියෝජනයක් ලැබීම තුළ ඔවුන් දෙවැනි කැරැල්ලකට නොයන්නට ඉඩ තිබුණි. එය එසේ වී නම්, පාර්ලිමේන්තුවේ දෙමළ නියෝජනය ශක්තිමත් වී උතුරේ ප්‍රචණ්ඩත්වය සඳහා තිබෙන නැඹුරුව දුර්වල වී ඊළාම් රාජ්‍යයක් සඳහා කෙරෙන ප්‍රචණ්ඩ අරගලයක් ද ඇති නොවන්නට ඉඩ තිබුණි. එම සාහසික සිද්ධිය රටේ දේශපාලන ගමන් මග විනාශකාරී මාවතකට තල්ලු කළේය.

විරුද්ධ පක්ෂ ජනමතවිචාරණයකට එරෙහි ව එක්සත් ව අරගල කරන තැනක නොසිටියදීත් ආණ්ඩුව සියලු දූෂණ ක්‍රියා මැද ජනමතවිචාරණය ජයගත්තේ යාන්තමිනි. රටේ විරුද්ධ පක්ෂවලට ඉදිරි දැක්මක් තිබුණේ නම්, ජනමතවිචාරණය පරාජය කිරීමේ හැකියාවක් විරුද්ධ පක්ෂවලට තිබුණි. ඒ අර්ථයෙන් පාර්ලිමේන්තුවේ නිල කාලය ජනමතවිචාරණයක් මගින් දීර්ඝ කරගැනීම නිසා සිදුවූ විනාශයට වගකිවයුත්තේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පමණක් නොවේ. විරුද්ධ පක්ෂවල නායකයන් ද ඊට වගකිව යුතුය. එම දූෂිත ජනමතවිචාරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ පාලන යුගය තුළ පැවති කිසිදු මැතිවරණයක් නිදහස් හා සාධාරණ නොවීය.

ඉන්පසු එළඹෙන පොදු පෙරමුණු යුගයේ පැවැත්වෙන මැතිවරණ ද ඊට පෙර යුගයේ පැවති මැතිවරණවලට වඩා වෙනස් නොවීය.

තමන් කැමති ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා කෙරෙන පළමු අත්හදා බැලීම කරන ලද්දේ පොදු පෙරමුණ බලයට පත්වීමෙන් පසුව පවත්වන ලද පළමු පළාත් පාලන මැතිවරණයේදී ය. එම මැතිවරණයේදී ඇතිවූ සිද්ධීන් පොදු පෙරමුණු ආණ්ඩුව කෙරෙහි ඇති කරගත් බලාපොරොත්තු හීන කිරීමට හේතුවිය.

වයඹ කොල්ලය

වයඹ පළාත් සභා මැතිවරණයට පෙර ඡන්ද මංකොල්ලයකට සැලසුම් සකස් කර තිබෙන බව අපට දැනගන්නට ලැබුණි. එහිදී අප කුමක් කළ යුතුද යන්න ගැන අපි කිහිප දෙනෙකු එකට එකතු වී සාකච්ඡා කළෙමු. ආණ්ඩුවේ නායකයන් සමඟ සාකච්ඡා කොට එවැනි තත්ත්වයක් ඇතිවීම වළකා ගැනීමට උත්සාහ කිරීමට තීරණය කොට අපි තිදෙනෙකු (වරුණ කරුණාතිලක හා සුනන්ද දේශප්‍රිය) මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවී ඒ ගැන සාකච්ඡා කළෙමු. ඇමතිවරයා අපට සාවධානව සවන් දුන්න ද ප්‍රශ්නයට පිළිගත හැකි පිළිතුරක් නොලැබුණි.

වයඹ ඡන්ද දිනයේදී ඇත්තටම සිදුවන දේ දැනගැනීම සඳහා අපගේ නියෝජිතයන් කිහිපදෙනෙකු ඡන්ද නිරීක්ෂකයන් සමග වයඹට යැවීමු. පුත්තලමට ගිය නියෝජිතයා උදේ නවයට පමණ මට දුරකතනයෙන් කතා කොට දැනටමත් ඡන්ද මධ්‍යස්ථානවලට කඩා වැදී ඡන්ද පෙට්ටි පුරවා අවසන් බව දැනුම් දුන්නේය. වෙනත් ප්‍රදේශවලින් ද එවැනිම වාර්තා ලැබුණි.

අපි එක්සත් ජාතික පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ හා එම මැතිවරණයට තරග කළ වෙනත් කුඩා පක්ෂවල වගකිවයුතු අයට කතා කොට නිල මැතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන පිළිවෙතක් අනුගමනය කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමු. ඒ යෝජනාවට ඔවුන්ගේ අනුමැතිය ලැබුණි. ඉන්පසු අපි ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය ආයතනවල අයිතිකරුවන්ට කතා කළෙමු. ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් පසු තොරතුරු ප්‍රකාශ කරන ප්‍රතිපත්තියක් වෙනුවට ඒ මොහොතේ ඡන්ද පොළවල සිදුවන දේවල් සිය වාර්තාකරුවන් ලවා මහජනතාවට දැනගන්නට සලස්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමු. ඒ ඉල්ලීම ද යම් පමණකට හෝ ක්‍රියාත්මක විය. ඉන්පසු අපි මැතිවරණ නිරීක්ෂණ ආයතනවලට කතා කළෙමු. සාමාන්‍යයෙන් එතෙක් නිරීක්ෂණ ආයතන අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමය. ඒ ප්‍රතිපත්තිය වෙනුවට ඡන්ද විමසීමේ කටයුතු අවසන් වූ වහාම පුවත්පත් සාකච්ඡාවක් කැඳවා තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමු. ඒ දේ ද ඒ ආකාරයෙන්ම සිදුවිය. එදින රාත්‍රී ආණ්ඩුව වෙනුවෙන් එස්.බී. දිසානායක හා මංගල සමරවීර යන ඇමතිවරු විවිධ රූපවාහිනී සේවාවන් ඔස්සේ ජනතාවට කතා කළහ. සුළු සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු විට වයඹ බරපතළ කිසිවක් සිදු නොවූ බව ඔවුහු ජනතාවට කීහ. වරුණ, සුනන්ද හා මම ද රූපවාහිනී වැඩසටහන්වලට සහභාගිවෙමින් අපට ලැබී තිබෙන වාර්තා අනුව අපට පෙනෙන තත්ත්වය පැහැදිලි කළෙමු. රාත්‍රියේ ප්‍රතිඵල නිකුත් කරන්නට පෙර මැතිවරණ කොමසාරිස්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කරන්නට සිදුවිය. තමන්ට නිලධාරීන්ගෙන් ලැබී තිබෙන වාර්තා අනුව ඡන්ද මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක ඡන්ද මංකොල්ලකෑම් සිදුවී තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය. ඉන්පසු ජනාධිපතිනියට ද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කරන්නට සිදුවිය.

මුලදී පළාත් සභාව වර්ජනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජවිපෙ දින කිහිපයකට පසුව වර්ජන පිළිවෙත අතහැරියේය. ඉන්පසුව එජාපය ද වර්ජනය අත්හැරියේය.

අධිකරණයට ඉදිරියට ආ නිසා පෙත්සම මූලික විරෝධයක් මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කරන ලදි.

විවාදයට තුඩු දෙන ආකරයට ජී.පී. ඇස් ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු එම පුරප්පාඩුව පුරවන ලද්දේ මෙම කාලවකවානුවේදීය. නීතිපති ධුරයේ සිටි සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විෂමාචාර චෝදනා මත පරීක්ෂණයක් ආරම්භ කොට පවත්වාගෙන යන අවස්ථාවක ඒ මහතා අගවිනිසුරු ධුරයට පත් කිරීම සුදුසු නැති බව ජනාධිපතිනියගේ නීති උපදේශකයා වශයෙන් ක්‍රියා කළ එච්.එල්. ද සිල්වා මහතා ජනාධිපතිනිය හමුවී ප්‍රකාශ කළේය. ඇය එහිදී කියා ඇත්තේ වයඹ ඡන්ද පෙත්සම නිසා තම කැබිනට් ඇමතිවරුන් පස්දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහිමිවීමේ තර්ජනයක් පවත්නා බවත්, නව අගවිනිසුරුවරයෙකු පත්කිරීමේදී ඒ කරුණ ද සැලකිල්ලට ගන්නට තමන්ට සිදුවී තිබෙන බවය.

අමිහිරි අත්දැකීමක්

99 ජනාධිපතිවරණයේදී ජනාධිපතිනිය විසින් රෝහල් ගතවී සිටි මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවට පිටස්තර පුද්ගලයෙකු වැඩ බලන මැතිවරණ කොමසාරිස් ධුරයට ගෙනාවාය. තමන් තරග කරන ජනාධිපතිවරණයකදී තමන් කැමති පුද්ගලයෙකු මැතිවරණ කොමසාරිස් ධුරයට ගෙන ඒමේ හැකියාවක් ජනාධිපතිට තිබිය නොහැකිය. සිදුවිය යුතුව තිබුණු හරි දේ වනුයේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ දෙවැනියා වැඩ බලන මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමය.

මෙම අශෝබන තත්ත්වය වැළකීම සඳහා නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණය ඉදිරියේ නඩු පැවරීමට මට සිදුවිය. එම නඩුවේ පෙත්සම්කරු බවට පත්වූයේ රාවයේ ප්‍රවෘත්ති කර්තෘවරයාය.

මෙම නඩුවේදී අප නගන නීති තර්කයට සහාය දෙන ලෙස ජනාධිපතිවරණයට තරග කළ අනෙකුත් පක්ෂ දෙක වන එජාපයෙන් හා ජවි පෙරමුණෙන් ඉල්ලා සිටියෙමු. අප මතු කරන ලද තර්කය පිළිගනිමින් උසාවිය ඉදිරියේ කරුණු ඉදිරිපත් කරන විට අපට සහාය දෙන පිළිවෙතක පිහිටා ක්‍රියා කරන බවට එම පක්ෂ දෙකම පොරොන්දු විය.

මුලදී නඩුව ඇසෙමින් තිබුණේ අපගේ වාසියට හේතුවන ලෙසය. ජවිපෙ සිය පොරොන්දුව මත පිහිටා ක්‍රියා කළේය. පුදුමයට මෙන් ප්‍රමාද වී නඩුවට සහභාගි වූ එජාප අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටි කේ.එන්. චොක්සි මහතා ජනාධිපතිනිය කරන ලද පත් කිරීම පිළිගන්නා බව හා එය නීතියට පටහැනි නොවන බව ප්‍රකාශ කිරීම නිසා අපේ වාසියට ඇසෙමින් තිබූ නඩුව එක මොහොතකින් කඩා බිඳ වැටුණි.

එජාප එවැනි දුෂ්ට පිළිවෙතක පිහිටා ක්‍රියා කළේ ඇයි ද යන්න අපට තේරුම් ගත නොහැකි ප්‍රහේළිකාවක් වී තිබුණි. ඒ කෙරෙහි බලපෑ හේතුව අපට හෙළිදරව් වූයේ බොහෝ කලකට පසුව තිලක් මාරපන මහතාගෙනි. වැදගත්ම දේ ඔහු එජාප ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකු වනවාට අතිරේකව හිටපු නීතිපති ද වීමය. අපගේ නඩුවට එරෙහිව නොයන බවට පොරොන්දුවක් දී තිබියදී උසාවිය ඉදිරියේ ඊට වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත්තේ ජනාධිපතිනිය වැඩ බලන මැතිවරණ කොමසාරිස් ධුරයට පිටස්තරින් පත් කළ පුද්ගලයා එජාපයේ හිතවත් පුද්ගලයකු බව කාගෙන් හෝ ඔවුන්ට දැනගන්නට ලැබීම නිසාය. ඒ නිසා දෙන ලද පොරොන්දුවට පටහැනිව ක්‍රියාකරන්නට සිදුවූ බවත්, ඔහු පක්ෂයට හිතවත් පුද්ගලයෙකු බවට ලැබුණු ආරංචිය සත්‍යයක් නොවන බව නඩුවෙන් පසුව දැනගන්නට ලැබුණු බවත් ඔහු සිනාසෙමින් අප සමග කීවේය.

2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කහපටි ව්‍යාපාරයක් දියත් කරන ලද්දේ මැතිවරණය නිදහස් හා සාධාරණ තත්ත්වයක තබාගැනීමේ අවශ්‍යතාව ගැන මහජනතාව දැනුවත් කිරීම සඳහාය. කහපටි ව්‍යාපාරය ජනාධිපතිනියගේ කෝපයට හේතුවූ අතර, ඇය ඊට එරෙහිව වර්ණ පටි ව්‍යාපාරයක් ආරම්භ කළත් එය සාර්ථක වූයේ නැත.

මැතිවරණයෙන් පසු කහපටි ව්‍යාපාරය මෙහෙය වූ ““ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සන්ධානය”” විසින් ප්‍රතිසංස්කරණ කිහිපයක් දිනාගැනීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක සර්ව පාක්ෂික සාකච්ඡාවක් පවත්වනු ලැබීය. ඊට එජාප වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ හා කරු ජයසූරිය මහතුන් සහභාගි විය. පොදු පෙරමුණ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ද, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විමල් වීරවංශ මහතා ද, මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් රවුෆ් හකීම් මහතා ද දෙමළ සන්ධානය වෙනුවෙන් පී. සම්බන්ධන් මහතා ද, දෙමළ කොංග්‍රසය වෙනුවෙන් එස්. තොණ්ඩමන් මහතා ද සහභාගි වූහ.

අප ඉදිරිපත් කරන ලද ප්‍රතිසංස්කරණ යෝජනා මෙසේ ය.

1. ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන්නේ නම්, ජනාධිපති නීතියට ඉහළින් සිටින තත්ත්වය ඉවත් කොට ජනාධිපති රටේ නීතියට යටතට ගෙනා යුතුය.

2. හිතුවක්කාරී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට තිබෙන බලය අහෝසි කළ යුතුය.

3. අගමැති නම් කිරීමේ බලය පාර්ලිමේන්තුවට ද, කැබිනට් මණ්ඩලය නම් කිරීමේ බලය අගමැතිට ද දිය යුතුය. ජනාධිපතිවරයාට ජනාධිපති ධුරය හැර වෙනත් ඇමති තනතුරු දැරීමේ අයිතිය අහෝසි කළ යුතුය.

4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරන ජනාධිපතිවරයෙකු දෝෂාභියෝගයකින් පහ කිරීමට තිබෙන වැල්වටාරම් විධි විධාන ප්‍රායෝගිකව ක්‍රියාවට නැගිය හැකි සේ ක්‍රමවත් කළ යුතුය.

මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවලට සාකච්ඡාවට සහභාගි වූ කිසිවෙක් විරුද්ධ නොවූහ. සියලු දෙනා ඒවා අනුමත කළේය. එහෙත් ඔවුන්ට ඒවා වැදගත් වූයේ නාමික වශයෙන් පමණය.

මගේ නිරීක්ෂණ

දැන් මට මාගේ නිරීක්ෂණ මෙසේ පිඬු කළ හැකිය. රටේ පවතින දේශපාලන ක්‍රමය දූෂිත ඒකාධිපති ක්‍රමයකි. දේශපාලන බලය සඳහා කෙරෙන තරගය පාලන බලයට අතිරේකව පොදු වස්තුව කොල්ලකෑමේ අයිතිය දිනාගැනීම වෙනුවෙන් කරන අරගලයකි. දේශපාලන පක්ෂ පමණක් නොව, පක්ෂ අනුව බෙදී සිටින ජනතාව ද මේ ක්‍රමයට අනුගතවී සිටින අතර, ඉන් පෞද්ගලිකව තම තමන්ට ලැබෙන වාසි මිස, පොදුවේ රටට වන හානිය ගැන උනන්දුවක් නොදක්වයි. ක්‍රමයේ කඩා වැටීමක් ඇති වන තෙක් රටේ පොදු යහපතට හේතුවන නව ක්‍රමයක් ඇති කරගැනීමේ වුවමනාවක් දේශපාලන පක්ෂවලට හෝ මහජනයාට නැත.

බලය ලබාගැනීමේ අරමුණ වී ඇත්තේ පාලන බලයට අතිරේකව වස්තු කොල්ලකෑම වන නිසා මහජනයාගේ පරමාධිපත්‍යය පිළිබඳ හැඟීමක් දේශපාලන පක්ෂවලට තිබිය නොහැකිය. ඔවුන්ට මහජන ඡන්ද පෙනෙන්නේ හොඳින් හෝ නරකින් දිනාගත යුතු දෙයක් ලෙසය. මහජන ඡන්ද විෂයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයකි. එජාප මහජන මතය කොල්ලකෑමේ සම්ප්‍රදායක් ආරම්භ කළ අතර, ශ්‍රීලනිප එම සම්ප්‍රදාය ඉදිරියට ගෙන ගියේය. මෙම විෂයයේදී තුන්වැනි බලවේගයක් ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණට තිබෙන්නේ ද අපකීර්තිමත් ඉතිහාසයකි. එම පක්ෂය මැතිවරණ තහනම් කළේය. ඡන්ද අපේක්ෂකයන් පමණක් නොව, ඡන්දය පාවිච්චි කරන්නට යන ජනතාව ද මරා දැම්මේය. ප්‍රධාන ධාරාවට එකතුවීමෙන් පසුත්, ශ්‍රීලනිප සමග සන්ධානයක් ඇති කරගනිමින් පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කළ අවස්ථාවේදී ප්‍රසිද්ධියේ ඡන්ද නීති උල්ලංඝනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

දේශපාලන ක්‍රමය තුළ බල අරගලය ස්ථානගත වී තිබෙන ආකාරය අනුව ඡන්ද මංකොල්ලකෑම අස්වාභාවික සංසිද්ධියක් නොවේ. එය ස්වාභාවික සංසිද්ධියකි. එහිදී මංකොල්ලකෑමේ බලය ලැබෙන්නේ පාලක පක්ෂයටය. එහිදී විරුද්ධ පක්ෂයට මහජනයාගේ පරමාධිපත්‍ය බලය ගැන කිඹුල් කඳුළු සලන්නට සිදුවන්නේය. විරුද්ධ පක්ෂය බලයට පත්වූ පසුත් සිදුවන්නේ ඒ දේමය. මෙය විෂම චක්‍රයකට සමානය. මෙම ප්‍රශ්නයට විසඳුම මහින්දවත්, මහින්ද වෙනුවට රනිල්වත් ඒ දෙදෙනාම වෙනුවට සෝමවංශවත් නොවේ. ශිෂ්ටසම්පන්න දේශපාලන ක්‍රමයක් ඇති කරගැනීමය.