පාර්ලිමේන්තු සැසි වාරය කල් දැමීම

October 29, 2026
Publication:
Proroguing parliament with an election days away has raised suspicion, and Ivan says the opposition's objection misses its own history: the UNP built this system, the SLFP promised to change it and drank from it instead, and the JVP stopped fighting it and became a shareholder. Objecting to the autocratic features of an autocracy you helped create, he writes, is the joke.

මැතිවරණයක් කට ළඟ තබාගෙන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සැසි වාරය කල් තැබීමේ සිද්ධිය දේශපාලන තලය තුළ කුතුහලයක් හා සැකයක් ඇති කිරීමට හේතු වී තිබේ. ආණ්ඩුවේ ප්‍රකාශකයන් කිහිප දෙනෙකු ම ප්‍රකාශ කර තිබෙනුයේ නැගෙනහිර ඡන්දය හා පාර්ලිමේන්තු සැසි වාරය කල් තැබීම අතර කිසිම සම්බන්ධයක් නැති බව ය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ මැයි මාසයේ පාර්ලිමේන්තුව අඛණ්ඩව රැස්විය යුතු බවට කතානායකගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායකයන් තීරණය කර තිබිය දී ජනාධිපතිවරයාට සැසි වාරය කල් තැබීමට අවශ්‍ය වූයේ නැගෙනහිර මැතිවරණයේ දී සිදු කරන දූෂණ හා භීෂණ ක්‍රියා ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීම වැළකීමේ අරමුණෙන් බව ය. මෙය ඒකාධිපතිත්වයක් කරා යන ගමනක පැහැදිලි ආරම්භයක් බවට ද රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි.

විමල් වීරවංශ මහතාගෙන් පසු ජවිපෙ නොනිල ප්‍රකාශකයා බවට පත්ව සිටින අනුර කුමාර දිසානායක මහතා කියන්නේ ද, රනිල් වික්‍රමසිංහ කියන කතාවට සමාන කතාවකි. ආණ්ඩුවේ දූෂණ ක්‍රියා පිළිබඳව සිය පක්ෂය බැ?රුම් ලෙස ප්‍රශ්න කරන්නට සැලසුම් කර තිබූ අවස්ථාවක ජනාධිපතිවරයා සැසි වාරය කල් තබන ලද බව කියන ඔහු මෙම පියවර පූර්ණ ඒකාධිපතිත්වයක් කරා යන ගමනක පැහැදිලි ආරම්භයක් බව ද කියා සිටී.

මැතිවරණයක් කට ළඟ තබාගෙන හදිසියේ පාර්ලිමේන්තු සැසි වාරය කල් තැබීම යහපත් ක්‍රියාවක් ලෙස සැලකිය නො හැකි ය. එහෙත් මෙම ක්‍රියාව හා නැගෙනහිර මැතිවරණය අතර පැහැදිලි සම්බන්ධයක් තිබේ ද යන්න හරිහැටි කිව හැකිවනු ඇත්තේ නැගෙනහිර මැතිවරණයේ යථා තත්ත්වය ප්‍රකාශවීමෙන් පසුව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සැසිවාර කල් තැබීමේ බලය ජනාධිපති සතු ය. සැසි වාරය කල් තැබීමේ අරමුණ කුමක් වුව ද, එය සැකයක් ඇති කිරීමට හේතුවන බව ද කිව යුතු ය.

රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක යන මහතුන් ඒකාධිපතිත්වයක් කරා යන ගමනක් ගැන චෝදනා කරන විට, ඔවුන් සියලු දෙනාගේ ආශිර්වාදය හා අනුග්‍රහය මැද පවත්වාගෙන යන විධායක ජනාධිපති ක්‍රමය අර්ධ ඒකාධිපති ක්‍රමයක් බව ඔවුන් අමතක කරන්නේ කෙසේ ද? මෙම ක්‍රමය තුළ එක පුද්ගලයෙකු අත සියලු බලතල කේන්ද්‍ර ගත කොට තිබෙන අතර, පාලකයා රටේ නීතියට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් නැත. මේ බිහිසුණු ක්‍රමය එක්සත් ජාතික පක්ෂයේ නිර්මාණයකි. තමන් බලයට පැමිණි දාක මේ ක්‍රමය වෙනස් කරන බවට වහසි බස් කී ශ්‍රීලනිපය ද බලයට පත්වීමෙන් පසු ක්‍රමය වෙනස් කරනවා වෙනුවට ඒ ක්‍රමය වැළඳ ගනිමින් ක්‍රමයේ රස උරා බිව්වේ ය. ජවිපෙ ද මේ ක්‍රමයට එරෙහිව හඬ නැගූ යුගයක් තිබුණි. පසුව ක්‍රමයට එරෙහිව කරන අරගලය අතහැර ක්‍රමයේ කොටස්කරුවකු බවට පත්වෙමින් ක්‍රමයෙන් ගලා යන මජර බොන තත්ත්වයකට පත්වූහ.

මෙතෙක් බලයට පැමිණි සියලු ජනාධිපතිවරුන් හැසිරී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් ලෙස නොව, ඒකාධිපති නායකයන් ලෙස ය. ආණ්ඩු ක්‍රමය නිර්වචනය කොට තිබෙන්නේ අර්ධ ඒකාධිපති රාජ්‍ය නායකයකු සඳහා මිස, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකයකු සඳහා නොවේ. රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකයකු නම්, ආණ්ඩු ක්‍රමයේ මූලික වෙනසක් ඇතිකර ගන්නා දිසාවකට රට යොමුවිය යුතු ය. එහෙත් තමන්ට එවැනි ඉදිරි දර්ශනයක් ඇති බව එජාප හෝ ජවිපෙ පෙන්නුම් කර නැත. ඒකාධිපති ක්‍රමයක් ඇති කොටගෙන එම ක්‍රමයේ ඇති ඒකාධිපති ලක්ෂණවලට පමණක් විරුද්ධ වීම තරම් විහිළුවක් තවත් තිබිය හැකි ද?