අපේ රටේ පවතින කාලකණ්ණි භාවයට හේතුවී තිබෙන්නේ දේශපාලකයන් පමණක්ද? මා හිතන්නේ ඊටත් වඩා සමාජයේ රජකරමින් තිබෙන අවිචාරවත්භාවය ඊට හේතුවී තිබෙන බවය. අපේ රටේ නූගතුන්ටත් වඩා මතවාදී තලයේ ආධිපත්‍යය උසුලන උගතුන් නූගත්ය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස සැලකෙනුයේ තරුණ පරපුරේ උගතුන්ය. රටේ අනාගතය බාරගන්නට සිටින උගත් පරපුර වන්නේ ඔවුන්ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අලුතෙන් තනන ලද ශිෂ්‍ය නේවාසිකාගාරය අයිවර් ජෙනිංග්ස් නමින් නම් කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරියට අවශ්‍ය වූ විට ශිෂ්‍යයෝ ඊට විරුද්ධවෙමින් මහා ගාලගෝට්ටියක් කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ එම ශිෂ්‍ය නේවාසිකාගාරය රංජිතම් ගුණරත්නම්ගේ නමින් නම් කිරීමය.
අයිවර් ජෙනිංග්ස් ඔවුන් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවරයාය. රංජිතම් ගුණරත්නම් එම විශ්වවිද්‍යාලය විසින් බිහි කරන ලද දෙවැනි කැරැල්ලේදී ක්‍රියාකාරී කාර්ය භාරයක් ඉටු කොට මියගිය ශිෂ්‍ය නායකයෙකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇතිව තිබුණු මෙම ආරාවුල පිළිබඳව සුචරිත ගම්ලත් ඉරුදින පුවත්පතට සැර විවේචනයක් ලියා තිබුණි. ඔහු එහි කියා තිබුණු එක් මතයක් වනුයේ අයිවර් ජෙනිංග්ස් කව්ද කියා නොදන්නා මෙම ශිෂ්‍යයන් ඔහු සිංදු කියන අයිවෝ ඩෙනිස් ලෙස සලකා විරුද්ධ වී තිබෙන බවය.
ශිෂ්‍යයන් අයිවර් ජෙනංග්ස් යන නමට විරුද්ධ වන්නට ඇත්තේ ඒ නිසායැයි මම නොසිතමි. අයිවර් ජෙනින්ස් ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහට ඇතුළත් චරිතයකි. ශිෂ්‍යයන් ක්රියාකරන්නට ඇත්තේ පන්ති පහෙන් හිමි කරගත් දැනුම මුල් කොටගෙනය.
ඔවුන්ට ජෙනිංග්ස් ඉංග්‍රීසීන්ට අවශ්‍ය ලෙස රටට ව්‍යවස්ථාව කෙටුම්පත් කර දුන් පරසුද්දෙකි. ඒ නිසා එවැනි ප්රතිගාමී පරසුද්දකුගේ නමින් නේවාසිකාගාරය නම් කිරීමට ඔවුන් විරුද්ධ වූවා විය යුතුය. අනෙක් අතට රංජිතම් ගුණරත්නම් යනු තමන් ඇදහූ දේශපාලන අරමුණක් වෙනුවෙන් ඉබාගාතේ මිනිසුන් ඝාතනය කරන ව්‍යාපාරයකට නායකත්වය දුන් නායකයෙකි. එවැනි අය ජවිපෙ අනුගාමික ශිෂ්‍යයන්ගේ පරමාදර්ශී වීරයෝය.
රට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබියදී 1848න් පසු අපි ඉංග්‍රීසීන්ට එරෙහිව අරගළ කරන තැනකට ගියේ නැත. අපට ඔවුන් ගරු කටයුතු පිරිසක් ලෙස පෙනුණු අතර, අපි ඔවුන්ට පක්ෂපාතව ක්‍රියා කළෙමු. නිදහස ලබා ගත්තේ ද යටහත් පහත් ස්වරූපයකිනි. බ්‍රිතාන්‍ය යටත් විජිත තත්ත්වයෙන් නිදහස් වී දැන් දශක හයක් ගතවී තිබේ. එදා ඉංග්‍රීසීන්ට භය පක්ෂපාතව ක්‍රියා කළ පුරවැසියන්ගේ දූ දරුවන් යටත්විජිත වාදයට එරෙහිව සටන් කරන්නට යන්නේ දැන්ය. ඔවුන්ට අනුව රට කාලකණ්ණි වී තිබෙන්නේ අපේ වරදක් නිසා නොව බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ නිසා ජීවතුන් අතර සිටින සුද්දන් වෙනුවට මියගිය සුද්දන්ට එරෙහිව අරගල කරන තැනකට ඔවුහු යොමුවී සිටිති.
දෘෂ්ටිමය වශයෙන් පවත්නා මෙම අවිචාරවත් භාවය හා හරසුන්භාවය ජවිපෙට පමණක් සීමාවී නැත. සමාජ මතවාදී තලය පුරා අඩු වැඩි වශයෙන් හොල්මන් කරන්නේ එවැනි මතවාදයන්ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජවිපෙ ශිෂ්‍යයන් සිතන ආකාරයේ හා රටට සිටින හොඳ ගණිත මහාචාර්යවරයෙකු වන නලින් ද සිල්වා හා රටට සිටින හොඳම සාහිත්‍යකරුවකු හා කවියෙකු ලෙස සැලකිය හැකි ගුණදාස අමරසේකර සිතන ආකාරයේත් අපූරු සමානකමක් පවතී.
නලින් ද සිල්වා අනුරාධපුරයට එල්ල වූ පහරදීම ගැන ඉරිදා පුවත්පතකට අපූරු විග්‍රහයක් කර තිබුණි. ප්රභාකරන් අධිරාජ්‍යවාදයේ ඒජන්තයෙකි. අනුරාධපුර ප්‍රහාරයට කොටි ගුවන් යානා මුහුදේ සිට පැමිණීම ඔහු විග්රහ කර ඇත්තේ සමහර විට ඒවා ඈත මුහුදේ නවතා තිබෙන බටහිරුන්ගේ නෞකාවල සිට එනවා විය හැකි බවය. එහු එහිදී මියන්මාර් මිලිටරි ආණ්ඩුවට එරෙහිව භික්ෂූන් වහන්සේලා කරන අරගළය පවා විග්රහ කොට ඇත්තේ බටහිරුන් කරවන දෙයක් ලෙසය. ඔහු තවදුරටත් සිය ලිපියෙන් ආණ්ඩුවට කියන්නේ මියන්මාර ආණ්ඩුව ආදර්ශයට ගතයුතු බවය. මියන්මාර ආණ්ඩුව රටේ ස්වෛරීභාවය රැකගනිමින් බටහිර යටත් විජිතවාදයට නොනැමී සිටීම ලංකාණ්ඩුවට ද ආදර්ශයක් බව කියයි.
මෙම මහාචාර්යවරයා පොල්පොට් දකින්නේ ද වැරදි ලෙස වුවත් නිර්භීත අත්හදා බැලීමක යෙදුණු පුද්ගලයෙකු ලෙසය. පොල්පොට්ගේ බටහිර විරෝධී ව්‍යාපාරයේ මුල් ඉලක්ක වූයේ විජාතිකයන්ය. ඉන්පසු විජාතිකයන්ට මිශ්රවූවන්ය. ඊළඟට විජාතික භාෂා කතා කරන අයය. අවසානයේ සන්ග්ලාස් පළඳින අය පවා ඝාතනය කෙරිණ. බටහිර විරෝධී ඔහුගේ අරගළය අවසන් වන විට ස්වදේශිකයන් දශ ලක්ෂ ගණනක් ඝාතනයට ලක්ව තිබුණි.
සිංහල ජාතියට නලින් සිල්වා නමින් ගණිත මහාචාර්යවරයෙකු සිටිනවා සේ දෙමළ ජාතියට ද සී. සුන්දරලිංගම් නමින් ගණිත මහාචාර්යවරයෙකු සිටියේය. ජාතිය එක සමාන නූනත් මෙම මහාචාර්යවරුන් දෙදෙනාගේම ගමන් මග එක සමානය. දෙමළ ජාතිවාදී අන්තවාදයට තර්කානුකූල න්‍යායික ප්‍රවේශයක් ලබා දුන්නේ සුන්දරලිංගම්ය. ඒ අර්ථයෙන් ප්රභාකරන්ගේ පෙකණිවැල කැපූ දේශපාලන වින්නඹු අම්මාගේ කාරිය ඉටු කරන ලද්දේ සුන්දරලිංගම්ය. නලින් සිල්වා ද සිංහල ජාතිවාදී අන්තවාදයට තර්කානුකූල න්‍යායික ප්‍රවේශයක් ලබාදීමට ඇප කැපවීමකින් ක්‍රියා කරන චින්තකයා ලෙස සැලකිය හැකිය. තවමත් සිංහල ප්රභාකරන් කෙනෙකු නිර්මාණය වී නැතත්, එවැනි කෙනෙකු බිහිවූදාට එම ප්‍රතිඵලයේ වින්නඹු අම්මා වීමේ ගෞරවය හිමිවිය යුත්තේ නලින්ටය.
නලින් හා සුන්දරලිංගම් අතර මට පෙනෙන තවත් සමානකමක් මෙසේය. කාරක සභා ක්‍රමයක් පැවති යුගයේ සර්ව සිංහල ඇමති මණ්ඩලයක් ඇතිකර ගන්නා සූත්‍රය ඩී.එස්. සේනානායකට කියා දුන්නේ සුන්දරලිංගම්ය. මුලින් සිංහල නායකයන්ට උඩගෙඩි දුන් සුන්දරලිංගම් තවත් පසුකලකදී සිංහල නායකයන්ගෙන් වෙන්වී දෙමළ ජාතිවාදය පෝෂණය කරන න්‍යායවාදියකු බවට පත්වූයේය. වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස හොඳින් සූත්‍ර ගතවී නොතිබුණු යුගයක නලින් සිල්වා ද දෙමළ ජනයාට වෙනම රාජ්‍යයක් ඇති කරගැනීමට තිබෙන අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් න්‍යායික වශයෙන් වෙනම දෙමළ රාජ්‍යයක් පිළිබඳ මතවාදය පෝෂණය කළේය. ඉන්පසු ඊළඟ වටයේදී සුන්දරලිංගම් සේ ම දෙමළ විරෝධී සිංහල ජාතිවාදය පෝෂණය කරන ප්‍රධාන න්‍යායවාදියා බවට පත්ව සිටී.
සුන්දරලිංගම් අපේක්ෂා කළ ප්රභාකරන්ගේ ලෝකයේ රස බැලීමට සුන්දරලිංගම් කෙනෙකු ජීවත් වූයේ නැත. ඒ තාක් ජීවත්වීමට වාසනාවන්ත වී නම් තමන් වගා කළ න්‍යායවාදය විසින් ඇති කර තිබෙන දේශපාලන බලය විසින් දෙමළ ජනතාවට ඇති කර තිබෙන විනාශයේ තරම රසවිඳීමේ හැකියාව ඔහුට ලැබෙන්නට ඉඩ තිබුණි. එහි පවතින තත්ත්වය ජෝර්ජ් ඕවල් ගොවිපළේ පෙරළියෙන් පෙන්නුම් කර තිබෙන තත්ත්වයට බොහෝ දුරට සමානය. එහි යම් පමණකට හෝ මිනිසුන් ලෙස ජීවත්වීමේ භාග්‍යය ලැබී ඇත්තේ ප්රභාකරන්ගේ ව්‍යාපාරයේ කාර්යධරයන්ට පමණය. මහජනතාවට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ තිරිසනුන් ලෙසය. නලින් ද සිල්වා සිංහල ජාතිය දක්කන්නට උත්සාහ කරන්නේ ද එවැනි තැනකටය.
නලින් රටේ ජනතාවට හා පාලකයන්ට නිර්දේශ කරන ආදර්ශවත් රාජ්‍යය වී ඇත්තේ මියන්මාරයයි. මතවාදී වෙනස්කම් තිබියදීත් ජවි පෙරමුණේ හා ජාතික හෙළ උරුමයේ දේශපාලන ඉලක්කය වී ඇත්තේ ද ශ්‍රී ලංකාව බුරුමයක් බවට පත්කිරීමය. මේ සියලු දෙනා ශ්‍රී ලංකාවේ නොඉපදී වෙනත් රටක ඉපදී දැන් කරන දේශපාලන අරගලය ඒ රටේ කළේ නම්, ඔවුන්ගේ ආදර්ශමත් රාජ්‍යය වනු ඇත්තේ බුරුමය නොව කිලිනොච්චියයි. ඔවුන්ගේ පරමාදර්ශී වීරයා වනු ඇත්තේ ප්රභාකරන්ය.
ඔවුන්ට අනුව මානව අයිතිවාසිකම් යනු බටහිරුන්ගෙන් ණයට ගත් කිසිම වටිනාකමක් නැති මතවාදයකි. අදහස් පළකිරීමේ නිදහස නැතිව තමන් පාලනය කරන ආණ්ඩුව තෝරා ගැනීමේ නිදහස නැතිව, වෘත්තීය අයිතිවාසිකම් සඳහා හෙට්ටු කිරීමේ නිදහස නැතිව, යුක්තිය පසිඳලීම සඳහා විධිමත් ආයතන ක්‍රමයක් නැතිව බුරුමයට හා චීනයට ජීවත්විය හැකි නම් අපට බැරි මොකද? මේ අවසාන විග්රහයේදී ඔවුන් අපට දෙන්න යන ක්‍රමයයි. රට ආඥාදායක පාලනයකට තල්ලු කොට එම ආඥාදායක පාලනයේ මුදුනත් වී රටේ ජනතාව කෙවිටෙන් දැක්කවීම මේ සියලු දෙනාගේ අරමුණ වී තිබෙන බව පෙනේ.
නලින්ට අනුව පොල්පොට් නිවැරදිව දක්කන්නට උත්සාහ කළ නායකයෙකි. මියන්මාරය අප ආදර්ශයට ගත යුතු රාජ්‍යයකි. විමල් වීරවංශගේ ආදර්ශවත් රාජ්‍යය වී ඇත්තේ චීනයයි. ගුණදාස අමරසේකර මේ මෑතකදී ජාතිහිතෛෂී ව්‍යාපාරයේ සම්මේලනයක් අමතා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව බටහිරුන්ගෙන් ඉවත් වී චීනය, රුසියාව හා වෙනිසියුලාව යන රටවල් එකට එකතු වි ගොඩනගමින් තිබෙන ලෝක කඳවුරට එකතු විය යුතු බවය.
ගණන්කාරයෙකු ලෙස හැසිරෙන ඇමරිකාව අත තිබෙන ලෝක ආධිපත්‍යය නැතිවී වඩා යහපත් වෙනත් බලවත් රාජ්‍යයක් හෝ රාජ්‍යයන් සමූහයක් අතට ලෝක ආධිපත්‍යය මාරුවන්නේ නම්, එය ලෝකයේ යහපතට හේතුවනු ඇති බවට සැකයක් නැත. එහෙත් ඒ තැන පුරවන්නට යන්නේ චීනය වැනි බලවතකු මගින් නම් එයින් ලෝකයට සිදුවිය හැකි විනාශය අතිවිශාලය. චීනය ලෝක බලවතකු වන්නේ රටේ විශාලත්වය නිසා හා ජනගහනයේ විශාලත්වය නිසාය. ජනගහනය එකට ගත්විට ජාතික ආදායම විශාලය. එහෙත් තනි තනිව ගත් විට ඒක පුද්ගල ආදායම ඉතා පහත්ය. උගත්කමේ ජාතික අනුපාතය තිබෙන්නේ ද පහළ තැනකය. තිරිසනුන්ට මෙන් කාබී ජීවත්වීමේ නිදහස හැර දියුණු මනුෂ්‍ය වර්ගයා වර්තමානයේ භුක්ති විඳින නිදහසින් අර්ධයක් තරම්වත් නිදහසක් නැති පසුගාමී රාජ්‍යයකි. එහි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇත්තේම නැති රටකි. සමාගම් පැවැත්වීමේ හෝ වෘත්තීය සමිති නිදහස නැති තමන්ගේ ආණ්ඩුවක් පත් කරගැනීමේ අයිතිය මහජනයාට අහිමි රාජ්‍යයකි. ප්රභාකරන්ගේ කිලිනොච්චි රාජ්‍යය, මියන්මාර් රාජ්‍ය හා චීන රාජ්‍යය එකිනෙකට වෙනස් වන්නේ ප්‍රමාණයෙන් මිස ගුණයෙන් නොවේ. ඒ රාජ්‍යයන්ගේ ස්වභාවය බොහෝ දුරට එක සමානය.
අපේ මේ දේශ හිතෛෂී හා දේශප්‍රේමී න්‍යායවාදීන් රට දක්කන්නට යන්නේ එවැනි තැනකට නම් ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටය. •