පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයන්ට එම විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවරයා ලෙස සැලකිය හැකි අයිවර් ජෙනිංග්ස් පෙනෙන්නේ පරයකු හා ද්‍රෝහියකු ලෙස ය. ජවිපෙ දෙවැනි කැරැලලේ ශිෂ්‍ය නායකයකු වූ රංජිතම් ගුණරත්නම් පෙනෙන්නේ පරමාදර්ශී වීරයෙකු ලෙස ය.
රටට මානව ප්රාග්ධනය සම්පාදනය කරන ප්‍රධාන ආයතන ක්‍රමයක් ලෙස සැලකිය හැකි විශ්වවිද්‍යාලවල පවත්නා ඛේදජනක තත්ත්වය එයින් මනා ලෙස පෙන්නුම් කරයි.
රටේ පවතින හැම ආයතන ක්‍රමයක් සේ ම, විශ්වවිද්‍යාල තිබෙන්නේ ද අවුලෙන් අවුලට යමින් ගරා හැලෙන තත්ත්වයක ය. ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල නම් ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ එකදු විශ්වවිද්‍යාලයක්වත් ඇතුළත් නැත.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය දැඩි මූල්‍ය හිඟයකට මුහුණ දී තිබෙන්නේ දීර්ඝ කාලයක සිට ය. ශ්‍රම වෙළෙඳපොළේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස විෂය මාලා ප්‍රතිසංස්කරණය වී නැති අතර, එවැනි ප්‍රතිසංස්කරණ ඇති කිරීමට අවශ්‍ය මුදල් ද විශ්වවිද්‍යාලවලට නැත. පළපුරුදු හා දක්ෂ විද්වතුන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගුරුවරුන් ලෙස රඳවා ගැනීමට අසමත් වීම නිසා විශ්වවිද්‍යාල උපාධි අධ්‍යාපනයේ ගුණාත්මක අගයේ ද ශීඝ්‍ර පිරිහීමක් පවතී. අන්තවාදී දේශපාලන අදහස් දරන ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල කෙරෙහි පවත්වාගෙන යන දේශපාලන ආධිපත්‍යය ද විශ්වවිද්‍යාලවල පවත්නා අවුල්සහගත තත්ත්වය තවදුරටත් තීව්ර කිරීමට හේතුවී තිබේ. අසල්වැසි ඉන්දියාව ඇතුළු ලෝකයේ හැම රටකම පාහේ විශ්වවිද්‍යාල විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රකාශිත අධ්‍යාපන කාලසටහන් ක්‍රමයක් අපේ රටේ විශ්වවිද්‍යාලවලට නැත.
රටකට අවශ්‍ය ප්රාග්ධනය විවිධාකාරවලින් සොයාගත හැකි වුවත්, මානව ප්රාග්ධනය එසේ සරල ලෙස සොයා ගත නොහැකි ය. මානව ප්රාග්ධනය නිපදවීමට දීර්ඝ කාලයක් යන අතර, එය සැලසුම් සහගතව අඛණ්ඩව සිදුකළ යුතු ක්‍රියාවකි. මානව ප්රාග්ධනය නිෂ්පාදනය කිරීමෙහි ලා රට මුහුණ දී තිබෙන අර්බුදය රටේ අනාගතය කෙරෙහි බිහිසුණු ලෙස බලපායි. රටට අවශ්‍ය වෘත්තීයවේදීන් විදේශ රටවලින් ගෙන්විය යුතු තත්ත්වයකට ද රට පත්විය හැකි ය.
1 වැනි ශ්‍රේණියට ඇතුළු වන ළමුන් සියයක් අතුරින් උපාධි අධ්‍යාපනයක් ලබන්නේ 2%කටත් අඩු ප්රමාණයකි. උසස් පෙළ විභාගයට පෙනී සිටින 300,000ක් තරම් ශිෂ්‍යයන් අතුරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 44%ක් පමණ සුදුසුකම් ලබයි. එසේ සුදුසුකම් ලබන අය අතුරින් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට හැකියාව ලැබෙන්නේ 14%කට පමණය. සියලු දෙනට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සියලු දෙනා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමට විශ්වවිද්‍යාලවල ඉඩ නැත. අලුත් විශ්වවිද්‍යාල තනන්නට ද සල්ලි නැත. පෞද්ගලික අංශයට තරගකාරී විශ්වවිද්‍යාල ඇති කරන්නට නොදේ. රජයෙන් පාලනය වන විශ්වවිද්‍යාල ක්‍රමයක් හැර පෞද්ගලික අංශය මගින් පවත්වාගෙන යන විශ්වවිද්‍යාල ක්‍රමයක් ඇති කරනවාට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තරයේ විරුද්ධ ය. පසුගිය වසරේ අපොස (උසස් පෙළ) විභාගයෙන් A සාමාර්ථ 3ම ලැබූ සිසුන් 167 දෙනෙකුට විශ්වවිද්‍යාල වරම් අහිමිවී ඇති අතර, සුදුසුකම් තිබියදීත් උපාධි අධ්‍යාපනයක් ලබාගැනීමේ අයිතිය අහිමි වී සිටින 86% දෙනා ද නිහඬ ය. නැතිනම් ඒ 86% දෙනාගේ හඬ පාගාගෙන සිටීමට වරප්රසාදලාභී 14% දෙනා සමත් වී තිබේ.
මෙය කෙතරම් ඛේදජනක තත්ත්වයක් ද? අපේ විශ්වවිද්‍යාල ක්‍රමය රටේ පවතින අවුල්සහගත බවේ ම පිළිබිඹුවක් ලෙස සැලකිය හැකි ය. •