අයවැය ආණ්ඩුවට වඩා එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මකය. දේශපාලන ක්රමයේ නීති සකස් කර ඇත්තේ ජනාධිපතිවරයාට පරම බලය ලැබෙන ආකාරයට හා ජනාධිපතිවරයෙකු ජනාධිපතිවරණයකදී මිස, ඉන් මෙපිට පරාජය කිරීම පහසු නැති ආකාරයටය. දූෂණ භීෂණ චෝදනා මැද හා ඔරොත්තු නොදෙන තරම් ඉහළ යන ජීවන වියදම් චෝදනා මැද ජනාධිපතිවරයා කිසිවකු අතින් ඝාතනයට ලක් නොවී සිටීමට තරම් වාසනාවන්ත වේ නම් සිය ධුර කාලයේ අවසානය තෙක් ධුරයේ රැඳී සිටිනු ඇත. දේශපාලන ක්රමයේ පූර්ණ බිඳ වැටීමක් නිසා ඇතිවිය හැකි අර්බුදයකින් මිස විරුද්ධ පක්ෂය අටවන දේශපාලන උගුල්වලින් ඒ රටාව වෙනස් කළ නොහැකිය.
දේශපාලන ක්‍රමය ඓතිහාසික අර්බුදයකට තල්ලුවී යමින් තිබෙන මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයට සේ ම විරුද්ධ පක්ෂවලට ද හැසිරෙන්නට සිදුවී තිබෙන්නේ ඉතිහාසය විසින් රඟදක්වමින් තිබෙන විකට නාට්‍යයක රඟපාන විකට නළුවන් පිරිසක් ලෙසය. සමාජයට හැසිරෙන්නට සිදුවී තිබෙන්නේ ද ඊට සමාන ආකාරයකටය.
තිබුණු පැරණි ක්‍රමය තුළ වසර 05කට වරක් පාලකයෝ වෙනස් වූහ. විශ්වාසභංග යෝජනාවකින් හෝ මුදල් පනතක් පරාජය කිරීම මගින් මුළු ආණ්ඩු පක්ෂයම ගෙදර යැවීමේ හැකියාව තිබුණි. එහෙත් ජේ.ආර්. ජයවර්ධන දැන් තිබෙන මේ ක්‍රමය ඇති කර තිබෙන්නේ පාලන පක්ෂය අවුරුදු 05කට වරක් වෙනස් වෙන්නට නොව බලයට පත්වන පාලන පක්ෂයකට එක දිගට අවුරුදු 18ක් පාලන බලයේ සිටීමට හැකිවන ආකාරයකටය. එක්සත් ජාතික පක්ෂය 1977 සිට 1994 දක්වා එක දිගට අවුරුදු 17ක් රජ කළේය. ඉන්පසු පොදු පෙරමුණ ද 1994 සිට අද දක්වා එක දිගට රජකර තිබෙන කාලය අවුරුදු 13කි. එක්සත් ජාතික පක්ෂ යුගයේදී පාලක පක්ෂයට එරෙහිව බරපතළ දූෂණ චෝදනා එල්ල විය. පුද්ගලයන් අතුරුදහන්කිරීම් හා මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ල විය. ඉහළ යන ජීවන වියදම පිළිබඳ චෝදනා එල්ල විය. එවැනි චෝදනා බරපතළ ලෙස මතුවන අවස්ථාවලදී මහජන සිත් සසල කිරීමට හෝ පාලක පක්ෂය කෙරෙහි පිළිකුලක් ඇති කිරීමට හේතු වුවද ඒ නිසා පාලක පක්ෂය යහපත් බවට පත්වූයේ වත් පාලක පක්ෂය පාලන බලයෙන් පහවන තත්ත්වයක් ඇතිවූයේවත් නැත. අවුල් වියවුල් මැද පාලක පක්ෂය බලයේ සිටියේය. එහෙත් දේශපාලන ක්‍රමය හසුරුවන මූලික නීති රීති ගැන වැටහීමක් නැති විරුද්ධ පක්ෂය හා විරුද්ධ පක්ෂවලට ආධාර කරන මහජනතාව එළුවාගේ මොකද්ද එක වැටෙන තෙක් බලා සිටි නරියා සේ ආණ්ඩුව වැටෙන තෙක් මහත් බලාපොරොත්තු ඇතිව බලා සිටියේය. දැන් සිදුවෙමින් තිබෙන්නේ ද එයයි.
එජාපයට අයවැය පරාජය කළහැකි වනු ඇත්තේ ජවිපෙ සහාය ලබාගත හැකි නම් පමණය. ජවිපෙට රනිල් වික්‍රමසිංහ සමග අගාධ වෛරයක් තිබුණි. ජවිපෙ තමන්ට ලැබෙන හැම අවස්ථාවකදීම රනිල් වික්‍රමසිංහගෙන් පළිගත්තේය. විධායක ජනාධිපතිට තිබෙන බලතල පාවිච්චි කරමින් රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව විසුරුවා හරින්නට හිටපු ජනාධිපතිනිට බල කළේය. ආණ්ඩුව විසුරුවා හැරීමෙන් පසුව පවත්වන ලද මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානයක් ඇති කරගනිමින් නැවත බලයට පත්වීමට තිබූ හැකියාව ද අහිමි කළේය. ඉන්පසු පසුගිය ජනාධිපතිවරණයේදී ද රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහා ජවිපෙ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළේය. මෙම දේශපාලන වෛරය කෙරෙහි බලපා තිබෙන සාධක මොනවාද යන්න පැහැදිලි නැත. සමහර විට දෙවැනි කැරැල්ල මර්දනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ තිරය පිටුපස ඉඳිමින් රඟපෑ භූමිකාවේ අප්‍රසන්න මතකය ඊට බලපා තිබෙනවා විය හැකිය. කෙසේ හෝ මහජනයාගේ විශ්මයට හේතුවන ලෙස ජවිපෙ නායකයන් දෙපළක් විසින් මේ මෑතකදී අවස්ථා දෙකකදී රනිල්ට වැදගත් චරිත සහතික දෙකක් ලබාදෙන ලදි. එක් චරිත සහතිකයකින් කියවුණේ රනිල් වික්‍රමසිංහ යනු එකම සතයක්වත් හොරකම් කර නැති නායකයකු බවය. එය රනිල් වික්‍රමසිංහට මෙතෙක් ලැබී තිබෙන සියලු සහතික අතුරින් වටිනාම සහතිකයක් විය හැකි වුවත්, දෙපක්ෂය ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව අන්‍යොන්‍ය අවබෝධයකින් ක්‍රියා කරන තැනකට පැමිණ ඇති බවක් ඉන් අදහස්වන්නේ නැත.
ජවි පෙරමුණ ද දැන් ඉන්නේ හිතට එකඟව ස්වාධීනව ක්‍රියා කළ හැකි තැනක නොවේ. ඔවුහු මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීමට කරන ලද කාර්යය භාරය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඊට ගැලපෙන මිලක් ලබා ගත්හ. රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍රයකට වෙළෙඳපොළ වටිනාකමක් ඇති අතර, විදුලි සංදේශ නියාමන කොමිෂමේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා සිය තනතුර අත්හැර යන්නට පෙර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙනුවෙන් සිය නමට ලබා ගත් බලපත්‍රය ඩයලොග් සමාගමට අලෙවි කෙරුණේ රුපියල් ලක්ෂ 4000ක් වැනි මිලකටය. ජවිපෙ ලබා ගත් බලපත්‍රයේ වෙළෙඳපොළ වටිනාකම ද රුපියල් ලක්ෂ 4000ක් ලෙස සලකතොත් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉටු කරන ලද කාර්ය භාරය වෙනුවෙන් එම පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ලබාගෙන ඇති මිල රුපියල් ලක්ෂ 4000ක් ලෙස සැලකිය හැකිය.
පොදු ජනතාව සතු රුපියල් ලක්ෂ 4000ක් වටිනාකමක් ඇති සම්පතක් ඒ මිල රජයට ගෙවීමෙන් තොරව හොර පාරෙන් ලබාගැනීම ද දූෂණයකි. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉටු කර ලද කාර්ය භාරය වෙනුවෙන් ජවිපෙ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ලබා ගත් එකම මිල එය පමණක් නොවේ. ඊට වඩා අඩු වටිනාකමක් ඇති ගනුදෙනු සිය දහස් ගණන් සිදුවිය. ජවිපෙ නිර්දේශ කරන පුද්ගලයන්ට ඇප රහිතව රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි ණය ලබාගත හැකි ව්‍යාපෘතියක් ලංකා බැංකුව යටතේ එකල ක්‍රියාත්මක විය. අවිධිමත් ලෙස ජවිපෙ අනුගාමිකයන් විශාල පිරිසකට විවිධ නිල තනතුරු හා රැකියා ලබා දුන්නේය. ඒ සියල්ල එකට ගත් විට ආණ්ඩුව ජවිපෙට ගෙවා තිබෙන මිල රුපියල් ලක්ෂ 10,000කටත් වැඩිවිය හැකිය.
ඒ ණයගැතිභාවයෙන් වහාම අත්විඳීමේ හැකියාවක් ජවිපෙට නැත. එය ජවිපෙට තීරණාත්මක ලෙස ආණ්ඩුවට විරුද්ධවීමට නොහැකි එක් වැදගත් හේතුවකි. අනෙක් වැදගත් හේතුව වනුයේ ශ්‍රීලනිප සමග සන්ධානගතවී තරග කිරීම නිසා පාර්ලිමේන්තු නියෝජනයේදී ලැබී තිබෙන කෘත්‍රිම බලය අහිමි කරගැනීමට ජවිපෙට තිබෙන නොහැකියාවය. එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ආණ්ඩුව පෙරළුවහොත් ජවිපෙට මැතිවරණයේදී තරග කරන්නට සිදුවන්නේ තනිවය. එවිට ලැබෙන පාර්ලිමේන්තු නියෝජනය අඩකින් පමණ අඩුවිය හැකිය. ආණ්ඩුව පෙරලන තැනකට ගොස් එවැනි විශාල අලාභයක් ඇති කරගන්නට ජවිපෙ සූදානම් නැත. මේ නිසා දැන් ඔවුන්ට සිදුවී ඇත්තේ තමන් ආණ්ඩුවට පක්ෂ නැති බව මහජනතාවට පෙනෙන ලෙස කෑගසන අතර, අනියම් ලෙස ආණ්ඩුව ආරක්ෂා කරන ප්රතිපත්තියක පිහිටා ක්‍රියාකරන්නටය. ජවිපෙ මෙම දෙබිඩි රංගනය මහජනතාවට වඩා හොඳින් දැකගත හැකිවනු ඇත්තේ ඉදිරි අයවැයේදීය.
මෙය තමාට ලැබී තිබෙන අවසාන අවස්ථාව බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දනී. එනිසා සිය පාක්ෂිකයන් සතුටු කිරීම පිණිස වෙනදා නැති සටන්කාමී බවක් ප්‍රදර්ශනය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවී තිබේ. ඉදිරි ජනාධිපතිවරණයෙන් මෙපිට මූලික වෙනසකට ඉඩක් නැති බව රනිල් වික්‍රමසිංහ මහතා නොදන්නේ නැත. එහෙත් පාක්ෂිකයන් විශාල පිරිසක් එතරම් කාලයක් බලා සිටීමට සූදානම් නැති බව ඔහු දනී. ඒ නිසා එවැනි පාක්ෂිකයන් සතුටු කිරීම සඳහා ඉක්මන් පෙරළියක් ගැන සුන්දර සිහින මවන තැනකට යන්නට ඔහුට ද සිදුවී තිබෙන්නේය. ඒ සමග අයවැය තමාට ද තීරණාත්මක බව රනිල් දනී. අයවැයේදී සිදුවන පෙරළියක් ගැන සිහින මවන්නට සිදුවී ඇත්තේ කෙටිකාලීන අපේක්ෂා ඇති පාක්ෂිකයන් පමණක් නොව, මන්ත්‍රීවරුන් ද සතුටු කරන්නටය. වයස නිසා හෝ වෙනත් හේතු නිසා දීර්ඝ කාලයක් බලා සිටීමේ හැකියාවක් නැති මන්ත්‍රීවරුන් පිරිසක් තම පක්ෂයේ සිටින බව රනිල් දනී. එවැනි අය තවදුරටත් ආණ්ඩුවට එකතුවීමේ හැකියාවක් තිබෙන බව ද රනිල් දනී. අයවැයේදී ඵලදායි කිසිවක් කරගත නොහැකි වෙතොත් එවැනි අය මුල් කොටගෙන පක්ෂය තුළ තවත් අර්බුදයක් මතුවිය හැකි බව ද රනිල් දනී. මේ තත්ත්වය ඉදිරියේ රනිල් සිටින්නේ ද අන් සියලු නායකයන් සේ ම ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තා නසී කියන තත්ත්වයකය.
මේ ක්‍රීඩාවේදී ලක්ෂ ගණන් මහජනතාව වැදගත් වනුයේ මැතිවරණයකදී පමණය. ඒ අතරතුරේදී වැදගත් වනුයේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ක්‍රීඩාවය. එහිදී ඔවුන් දශ ලක්ෂ ගණන් වන මහජනයාට වඩා තීරණාත්මකය. මහජන අසහනය ඉහ වහා ගිය තත්ත්වයක් තිබුණ ද, මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ක්‍රීඩාවේදී ඔවුන්ගේ වැඩි පිරිසක් සිටින්නේ මහින්ද සමග නම් තීරණාත්මක ජය ලැබෙනුයේ මහින්දටය. 225 දෙනාගේ ක්‍රීඩාවේදී ඉන් වැඩි පිරිසකගේ සහාය ලබාගැනීමට රනිල් සමත් වෙතොත් අයවැයේදී රාජපක්ෂ ආණ්ඩුව අර්බුදයකට යැවීමට රනිල් සමත් වනු ඇත. එහෙත් ක්‍රීඩාවේ නීති සැකසී ඇත්තේ ජනාධිපතිගේ වාසියට මිස විරුද්ධ පක්ෂ නායකයාගේ වාසියට නොවේ. ඒ නිසා එම තරගයෙන් ද ජයගැනීමේ වැඩි හැකියාවක් තිබෙන්නේ මහින්දටය.
පාලකයා පහසුවෙන් වෙනස් කළ නොහැකි හා පාලකයාට පරම බලය ලබාදෙන ක්‍රමයක් තුළ ඉඳිමින් එය ආරක්ෂා කරමින් ඉක්මන් ආණ්ඩු පෙරළියක් ගැන බොරු සිහින දකිනවාට වඩා මේ දේශපාලන ක්‍රමය ශිෂ්ටසම්පන්න කරගැනීමේ අවශ්‍යතාව අයවැයෙන් පසුව හෝ තේරුම් ගැනීමට මේ සියලු දෙනා සමත් වෙතොත් එය රටට සිදුවිය හැකි භාග්‍යයකි. •