ලෝනා රයිට් හා වෘත්තීය පුහුණුව

October 29, 2026
Publication:
A portrait of Lorna Wright, who stayed to work for the poor when she could have gone to Australia, and an argument built on her work: unemployment should be addressed through the international labour market rather than the domestic one, because creating an industrial job at home costs millions. Ivan ends by asking temples to become vocational training centres rather than political ones.

ලෝනා රයිට් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ගෞරවයට හේතුවිය යුතු කාන්තාවකි. ඇය දුප්පත් ජනයාගේ ජීවිත හා නොවිධිමත් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා මහත් ඇප කැපවීමකින් ක්‍රියාකළ කාන්තාවකි. මව් පාර්ශ්වයෙන් ඇය දොස්තර ආර්.එල්. ස්පිට්ල්ගේ පරපුරට අයත්ය. දක්ෂ ජනමාධ්‍යවේදිනියක් වූ ඇය එහිදී ද සිය ප්‍රධාන විෂයය පථය බවට පත්කර ගන්නේ රටේ දිළිඳු ජනතාව මුහුණ දෙන ඇත්ත ගැටලුය. දුප්පතුන්ගේ ආහාර පෝෂණ ගුණය ඉහළ මට්ටමක තබා ගැනීම පිණිස අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති කියා දෙන්නට ඇය දක්ෂය.

දැන් ඇය ජීවත්වන්නේ මහලු වියේය. දිසාපතිවරයෙකු වූ සිය ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පසුව ඕස්ට්‍රේලියාවට ගොස් සැපවත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව තිබියදී ඇය තවදුරටත් දුප්පතුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙහි රැඳී සිටියාය. දුප්පතුන්ට අදාළ ගැටලු පිළිබඳව ඇය තුළ තිබෙන උද්යෝගය තවමත් තරුණය. ඇය සතියකට වරක්වත් දුරකතනයෙන් මා අමතා කතා කරයි. ඇය එහිදී කතා කරන්නේ තමාගේ විෂයයට අදාළ ප්‍රශ්න ගැනය. ඒ ප්‍රශ්න ගැන මහජනයා දැනුවත් කිරීමේ අවශ්‍යතාව ගැනය.

ඇය පසුගිය සතියේදී මා අමතා කතා කොට බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව විකාශය කළ වැඩසටහනකින් කියවුණ පණිවුඩයක් මට විස්තර කර දුන්නාය. බ්‍රිතාන්‍යයට තවදුරටත් පිටස්තර රටවලින් උගතුන් අවශ්‍ය නැති බවත්, එහෙත් වැඩි වැඩියෙන් කොණ්ඩා කපන බාබර්වරුන්, විදුලි, පයිප්ප වැඩකරුවන්, මේසන් කාර්මිකයන් හා වඩු කාර්මිකයන් වැනි පුහුණු ශිල්පීන් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වී තිබෙන බව එම වැඩසටහනින් ප්‍රකාශ වූ බව ඇය කියා සිටියාය. එවැනි අයට බ්‍රිතාන්‍යයේ පමණක් නො ව, ඕස්ට්‍රේලියාවේ ද විශාල ඉල්ලුමක් තිබෙන බවත්, එවැනි අයට ඒ රටවල ගරු කටයුතු පිළිගැනීමක් ලැබෙනවාට අමතරව ඉතාමත් හොඳ වැටුප් ද ලැබෙන බවත් කියමින් අපේ රටේ දේශපාලන බලධාරීන් ඒ ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි දැයි මගෙන් ප්‍රශ්න කර සිටියාය.

අපේ රටේ උසස් පෙළ හෝ ඊට වැඩි අධ්‍යාපනයක් ලැබූ අයගේ අනුපාතිකය 3%කටත් වඩා අඩුය. පාසල් අධ්‍යාපනයට ඇතුළු වන්නන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අතරමගදී පාසල් අධ්‍යාපනය අත්හරී. පළමු වසරේදී 2%ක් ද, දෙවැනි වසරේදී 3%ක් ද, තුන්වැනි වසරේදී 4%ක් ද, හතරවැනි වසරේ දී 6%ක් ද, පස්වැනි වසරේදී තවත් 6%ක් ද, 6 වැනි වසරේදී 7%ක් ද, 7 වැනි වසරේදී 6%ක් ද, 8 වැනි වසරේදී 8%ක් ද පාසල් අධ්‍යාපනය අත්හරී. ඉන්පසු සාමාන්‍ය පෙළ විභාගයෙන් ද 40%කට නො අඩු පිරිසක් අසමත් වෙයි.

සමාජය වැඩි අවධානයක් යොමු වී ඇත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ඉහළට යන 2%ක් තරම් වන සුළු පිරිස කෙරෙහි මිස, අතරමැද ඇද හැලෙන 98% ගැන නොවේ. වෘත්තීය පුහුණුවක් ලබාදීම ඉලක්ක කරගත යුත්තේ ඔවුන්ය. අනාගතයේ විදේශ රටවල වැඩි ඉඩක් තිබෙන්නේ ද එවැනි අයට මිස මහාචාර්යවරුන්ට, වෛද්‍යවරුන්ට හෝ ඉංජිනේරුවන් වැනි විශේෂඥයින්ට නොවේ. විරැකියාව පිළිබඳ ප්‍රශ්නයේදී ප්‍රමුඛ වැදගත්කමක් ලැබිය යුත්තේ ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළ කෙරෙහි මිස, දේශීය රැකියා වෙළෙඳපොළ කෙරෙහි නොවේ. දේශීය වශයෙන් රැකියා උත්පාදනයට විශාල වියදමක් දැරිය යුතුය. කාර්මික අංශයේ එක් රැකියාවක් උත්පාදනය කිරීම සඳහා රුපියල් මිලියන කිහිපයක් වැය කළ යුතුය. අපට වෘත්තීය පුහුණුවක් ඇති ශ්‍රම බලකායක් ඇත් නම් ඔවුන් දියුණු රටවල ඇති ඉඩ ප්‍රස්ථා සඳහා ඒ රටවලට යැවිය හැකිය. තාමත් රටක් වශයෙන් අපි වැඩි කැමැත්තක් දක්වන්නේ දුප්පත් කාන්තාවක් ගෘහ සේවිකාවක් ලෙස මැද පෙරදිග රටවලට යවන්නටය. වෘත්තීය පුහුණුවක් ඇති ශිල්පියෙකු බටහිර රටකට යැවීමෙන් මැදපෙරදිග යවන කාන්තාවන් 10 දෙනෙකු උපයන ආදායම එක් පුද්ගලයෙකුට ඉපැයිය හැකිය. එහෙත් ජාතික මට්ටමෙන් තාමත් අපි ඒ ගැන බැ?රුම් අවධානයක් යොමු කොට නැති ජාතියකි.

ශිල්පීන් ලෙස ප්‍රගුණ කිරීමට කෙටිකාලීන පුහුණුවක් මිස, දීර්ඝකාලීන පුහුණුවක් අවශ්‍ය වන්නේ නැත. වෘත්තීය පුහුණුවක් සඳහා අතිවිශාල වියදමක් යන්නේ ද නැත. වෘත්තීය පුහුණුව ලබාදෙන ආයතන පද්ධතියක් පෞද්ගලික අංශය ලවා ඇති කරවීම මගින් හා එවැනි ආයතනවලින් විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාගන්නා රැකියා විරහිත පුද්ගලයන් සඳහා යන වියදම ආණ්ඩුවේ වියදමින් ගෙවන ක්‍රමයක් ඇති කිරීම මගින් විදේශ රැකියා වෙළෙඳපොළ සඳහා අවශ්‍ය ශිල්පීන් පුහුණු කරන ශක්තිමත් ආයතන ක්‍රමයක් රටේ ඇති කළ හැකිය. ඒ මගින් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පුහුණු ශ්‍රම බලාකයක් බවට පත් කොට එය රටට ආදායම් උපයා දෙන වැදගත් ධන උල්පතක් බවට පත්කළ හැකිය.

දියුණු රටවල ළමා හා තරුණ පරපුරේ පංගුව අඩුවෙමින් වැඩිහිටි පරපුරේ පංගුව ඉහළ යමින් පවතී. මේ නිසා විශ්‍රාම යන වයස් සීමාව නොකඩවා ඉහළ දැමීමට දියුණු රටවලට සිදුවී තිබේ. ඒ නිසා ඇතිවී තිබෙන ඊළඟ ප්‍රශ්නය වී ඇත්තේ එවැනි රටවල් සංක්‍රමණිකයන් සඳහා පනවා තිබෙන තහංචි ලිහිල් කරමින් වෘත්තීය පුහුණුවක් ඇති අයට ඒ රටවලට ඇතුළුවීමට තිබෙන දොරටු විවෘත වෙමින් තිබීමය.

කැනඩාව ඊළඟ අවුරුදු 17දී දකුණු ආසියාතිකයින් බහුතරයක් සහිත රටක් වන බවට ගණන් බලා තිබේ. එම පරිවර්තනය කල් තියා තේරුම් ගෙන එය ධෛර්යයමත් කරන ආකාරයට එම රට ක්‍රියාකරමින් තිබේ. මෙම තත්ත්වය වෙනත් බොහෝ යුරෝපීය රටවලට ද පොදුය. සංක්‍රමණිකයන් සඳහා දැඩි තහංචි පනවා සිටි ජපානය ද දැන් දැන් සංක්‍රමණිකයන් සඳහා වැඩි වැඩියෙන් සිය දොරටු විවෘත කරමින් සිටී. දියුණු රටවල ඇතිවෙමින් පවතින මෙම හැඩ ගැස්ම තේරුම් ගනිමින් එම රටවලට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් නිපදවීමට අපි සමත් වෙමු නම්, මේ රටේ රැකියා විරහිත උගත් තරුණ තරුණියන්ට දේශීය රැකියා වෙළෙඳපොළ මත අනවශ්‍ය ලෙස යැපීමට අවශ්‍ය වන්නේ නැත.

ඛේදජනක දේ ලෝකයේ ඇතිවන නව වෙනස්කම් තේරුම් ගනිමින් ඊට අනුරූපවීමේ අවශ්‍යතාව පිළිබඳව කිසිම අවබෝධයක් අපේ රටේ දේශපාලකයන්ට නොතිබීමය. ඔවුන්ට වඩා වැදගත් වී ඇත්තේ රට නොව බල තරගයයි. භික්ෂූන් වහන්සේලා ද පන්සල් ආගමික මධ්‍යස්ථාන වනවාට අතිරේකව දේශපාලන මධ්‍යස්ථාන බවට පත්කරනවා වෙනුවට ගලබඩ ඥානිස්සර හිමියන් සිදුකරන්නාක් මෙන් පන්සල ගමේ ආගමික මධ්‍යස්ථානය වනවාට අතිරේකව ගමේ තරුණයන්ට වෘත්තීය පුහුණුව ලබාදෙන පුහුණු මධ්‍යස්ථාන බවට හරවා ගැනීමට සමත් වේ නම්, තරුණ පරපුර හා පන්සල අතර ඇති දුරස්ථ බව නැතිවී ගම්බද තරුණ පරපුරේ විමුක්තිදායකයකු ලෙස ක්‍රියාකිරීමේ හැකියාව පන්සලට ලැබෙනු ඇත්තේය. ජවිපෙ වැනි පක්ෂ ද තේරුමක් නැති පෝස්ටර් ව්‍යාපාර සඳහා කරන වියදම් සීමා කොට ඒ සඳහා යන වියදමෙන් කිසියම් කොටසක් අඩුම වශයෙන් සිය දේශපාලන අනුගාමිකයන්ට හෝ වෘත්තීය පුහුණුවක් ලබාදීම සඳහා වැය කරයි නම් එය වඩා ඵලදායී ක්‍රියාවක් වනු නොඅනුමානය. •