සාපරාධී අපහාස නීතිය හා ජනමාධ්‍ය

October 29, 2026
Publication:
An attempt to bring back the criminal defamation law has been stopped, and Ivan gives the credit around — to the government ministers who opposed it in cabinet, to the media organisations that spoke with one voice, and to a government that bowed to public opinion instead of insisting. Then the harder question: what an election would and would not change about the presidency.

සාපරාධී අපහාස නීතිය නැවත කරළියට ගැනීමට දරන ලද ප්‍රයත්නයක් වැළකුණි. ඒ සඳහා ඉදිරිපත් කෙරුණු කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගැනුණු අවස්ථාවේදී නැවත එයට පණ දෙනවාට විරෝධය පළ කළ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, ආචාර්ය සරත් අමුණුගම, දිනේෂ් ගුණවර්ධන, ඩිලාන් පෙරේරා වැනි ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ට ද, ඉන්පසු එම ප්‍රයත්නයට එරෙහිව එක හඬින් කතා කළ ජනමාධ්‍ය සංවිධාන ඇතුළු වෙනත් බහුජන සංවිධානවලට හා දේශපාලන පක්ෂවලට ද, එල්ල වූ විවේචන හා විරෝධතා සැලකිල්ලට ගනිමින් හිතුවක්කාරී නොවී මහජන මතයට හිස නමා ක්‍රියා කළ ආණ්ඩුවට ද, අදහස් පළකිරීමේ නිදහස පිළිබඳව උනන්දුවක් දක්වන ජනතාවගේ ගෞරවය හිමිවිය යුතු ය.

නූතන ලෝකයේ ජනමාධ්‍ය සඳහා ආණ්ඩුවේ පාලනයක් පිළිගන්නේ නැත. එහෙත් ජනමාධ්‍යවලට ද විනයක් හා පාලනයක් තිබිය යුතු ය. ඒ පාලනය ආ යුත්තේ ඔවුන් ම අතරිනි. නැතිනම් ජනමාධ්‍ය සඳහා තිබිය යුත්තේ ස්වයං පාලන තත්ත්වයකි. ජනමාධ්‍ය අතින් වරදක් සිදුවූ විට හානිය සිදුවූ පුද්ගලයාට සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කොට සහන සලසා ගැනීමට ආයතන ක්‍රමයක් තිබිය යුතු ය.

අතීතයේදී ජනමාධ්‍ය පාලනයට ආණ්ඩුවේ පාලනය යටතේ ක්‍රියාත්මක වන පුවත්පත් කොමිසමක් තිබුණි. අද ඒ වෙනුවට මුද්‍රිත ජනමාධ්‍ය ආයතන විසින්ම තනා ගත් පුවත්පත් පැමිණිලි කොමිසමක් ඇත්තේ ය. එය ස්වයං පාලන ආයතන ක්‍රමයක් ලෙස සැලකිය හැකි ය. එම පුවත්පත් පැමිණිලි කොමිසම තිබිය දී ආණ්ඩුවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ පුවත්පත් කොමිසම නැවත කරළියට ගැනීමට ආණ්ඩුව දරන ලද උත්සාහයකට එරෙහිව ද ජනමාධ්‍ය නැගී සිටියේ ය. එහිදී ද ආණ්ඩුව ජනමාධ්‍ය සංවිධාන ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලා පුවත්පත් කොමිසම නැවත පත් කිරීමට දරන ලද උත්සාහය ද අත්හැරියේ ය.

එහෙත් ජනමාධ්‍ය ආයතන විසින් පවත්වාගෙන යන ස්වයං පාලන ආයතන ක්‍රමය සාර්ථක තත්ත්වයක පවතින්නේ යැයි කිව නො හැකි ය. පැමිණිලි කොමිසම බලපාන්නේ මුද්‍රිත මාධ්‍යවලට පමණ ය. විද්‍යුත් මාධ්‍ය සඳහා එවැනි ස්වයං පාලන ක්‍රමයක් නැත. එසේම පැමිණිලි කොමිසමේ අධිකාරිය පිළිනොගන්නා මුද්‍රිත ජනමාධ්‍යය ද පවතී. පැමිණිලි කොමිසමේ අධිකාරි බලය පිළිගන්නා ජනමාධ්‍ය පවා විනය පාලනයේ පදනම ලෙස ක්‍රියා කරන ආචාර ධර්ම පද්ධතිය අකුරටම පිළිපදින තත්ත්වයක් නො පවතී. එසේ ම පැමිණිලි කොමිසම දෙනු ලබන තීරණයක් අකුරට ම පිළිපදින තත්ත්වයක් ද නො පවතී.

ජනමාධ්‍ය, ආණ්ඩුවේ පාලනයෙන් ස්වාධීනව තිබීම අත්‍යවශ්‍ය වනවා සේ ම එය අරාජික තත්තවයෙන් ක්‍රියා කරන තැනක සිටීමට ද ඉඩ නොතැබිය යුතුය. ඔවුන් ස්වයං පාලන ක්‍රමයකට එකඟ විය යුතු අතර, එවැනි ක්‍රමයකට අවනතව ක්‍රියා කළ යුතු ය.

දැන් පවතින ජනමාධ්‍ය ආයතන හා ඒ යටතේ ක්‍රියාත්මක වන පැමිණිලි කොමිසම සමහර ජනමාධ්‍යවල දැඩි විවේචනයට හේතුවී තිබේ. මොනම ආයතනයකටවත් ශුද්ධ වූ තැනක් විය නො හැකි ය. ඒවා විවේචනයට හා සාකච්ඡාවට ලක්විය යුතු ය. දැන් තිබෙන පුවත්පත් පැමිණිලි කොමිසම මුද්‍රිත මාධ්‍යවලට පමණක් සීමා නොවන මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍යවලට බලපාන පැමිණිලි කොමිසමක් බවට පුළුල් කළ හැකි ය. ඒ සඳහා මුද්‍රිත ජනමාධ්‍යය ද ඇතුළත් වන ලෙස තිබෙන පුවත්පත් ආයතන ක්‍රමය පුළුල් කළ යුතු ය. ඒ සමග ස්වයං පාලන ක්‍රමයකට ඇතුළත්වීමේ අවස්ථාව සියලු ජනමාධ්‍යවලට අවධාරණය කළ යුතු ය. සියලු ජනමාධ්‍ය තමන්ට අදාළ ආචාර ධර්ම පද්ධතියේ එන මූලධර්ම පිළිගනිමින් එම මූලධර්ම පිළිපදින තැනකට යා යුතු ය.

ජනමාධ්‍යවලට හා ජනමාධ්‍යවේදීන්ට ආණ්ඩුවේ පාලනයක් ප්‍රතික්ෂේප කළ හැක්කේ තමන්ගේ ම සාර්ථක ස්වයං පාලනයක් ඇත් නම් පමණ ය. එම අඩුව කල් නොයවා සම්පූර්ණ කිරීමේ යුතුකමක් හා වගකීමක් සියලු ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට ඇතැයි අපි විශ්වාස කරමු. •

රටේ දේශපාලන චිත්‍රය ඉතාමත් ව්‍යාකූලය. ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනයට තිබූ ජනප්‍රියතාවයේ ශීඝ්‍ර පිරිහීමක් දැකිය හැකිය. නොකඩවා වර්ධනය වන භාණ්ඩ මිල ආණ්ඩුවේ ජනප්‍රියතාව හීන කිරීම කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකය වී තිබේ. දැන් රටේ පවතින විශේෂ වටපිටාව තුළ ජීවන වියදම සාර්ථක ලෙස පාලනය කිරීමේ හැකියාවක් ආණ්ඩුවට තිබිය නොහැකිය. රටේ පවතින අවිනිශ්චිත දේශපාලන වාතාවරණය තුළ රටට ලැබෙන ආදායම් පහළ වැටෙමින් තිබෙන අතර, යුද්ධයට කළ යුතු වියදම් ශීඝ්‍ර ලෙස ඉහළයමින් පවතී.

රටේ පවතින දේශපාලන වටපිටාව විරුද්ධ පක්ෂ බලවේගයන්ට ඉතාමත් වාසිදායක වුවත් ඉක්මන් ආණ්ඩු වෙනසක් ඇති කරන්නේ කෙසේද යන ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් දීමට රනිල් වික්‍රමසිංහ සමත් වී නැත.

මේ තත්ත්වය ඉදිරියේ තමාගේ ආණ්ඩුව විරුද්ධ පක්ෂ බලවේගයන්ට පහසුවෙන් පෙරළා දැමිය නොහැකි තත්ත්වයේ ආණ්ඩුවක් බව චිත්‍රවත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවී තිබෙන අතර, ඉක්මන් ආණ්ඩු පෙරළියක් ඇතිවීම නොවැළැක්විය හැකි බව පෙන්නුම් කිරීමට විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සිදුවී තිබේ. දේශපාලන ක්‍රමය වෙනස් කරගැනීම මගින් රට මුහුණ දී තිබෙන පොදු අර්බුදය ජයගනිමින් අලුත් රීති යටතේ කෙරෙන බල අරගලයකට මාරුවීමට නායක දෙපළම කැමති නැත. තිබෙන ක්‍රමය ආරක්ෂා කර ගනිමින් බලය ආරක්ෂා කරගැනීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අරමුණ වී තිබෙන අතර, තිබෙන දේශපාලන ක්‍රමය ආරක්ෂා කර ගනිමින් බලය අල්ලා ගැනීම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අභිලාෂය වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ සිය මාමා නිර්මාණය කළ දේශපාලන ක්‍රමය ආරක්ෂා කරගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහකොට බලය අල්ලා ගැනීම නම්, ඒ අරමුණ දිනාගැනීම සඳහා තවත් අවුරුදු ගණනක් බලා සිටින්නට ඒ මහතාට සිදුවනු නොවැළැක්විය හැකිය.

පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයට ගැට ගසා තිබෙන සාධක ගණනාවක් පවතී. මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පසුව තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලැබේ. බලපත්‍රය විකිණිය හැකි මිල රුපියල් ලක්ෂ 50කට වැඩිය. දෙවැනි බලපත්‍රය ලැබෙනුයේ අවුරුදු පහ සම්පූර්ණවීමෙන් පසුවය. අනෙක් අතට විශ්‍රාම වැටුප් කෙරෙහි ද අවුරුදු පහේ කාල නියමය බලපායි. එයින් ලැබෙන වාසි අතහැර අවුරුදු පහ සම්පූර්ණවීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණ යකට යන්නට මන්ත්‍රීවරුන් කැමති නැත. ස්වභාවයෙන් ආණ්ඩු අර්බුද සිදුවන්නේ අවුරුදු පහේ කාලසීමාව අවසන් වූ පසුවය. ඊට පෙර ආණ්ඩු පෙරළියක් අවශ්‍ය නම් ඒ සඳහා විශාල මිලක් ගෙවිය යුතුයි. ආණ්ඩු පෙරළියක් සහතික කිරීමට අවශ්‍ය අඩු මන්ත්‍රී සංඛ්‍යාවට එක් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 200කට වැඩි මිලක් ගෙවිය යුතුය. එවැනි පෙරළියකින් පවා ලබාගත හැකි වැඩිම දේ වනු ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් පමණය.

පවතින අනුපාතික ක්‍රමය සකස් වී ඇත්තේ කිසියම් පක්ෂයකට පැහැදිලි බහුතර බලයක් ලබාගත නොහැකි ආකාරයටය. දෙමළ සන්ධානය පාර්ලිමේන්තු මැතිවරණයකදී ආසන 20ත් 22ත් අතර ප්‍රමාණයක් දිනාගනු ඇත්තේය. ලැබෙන ආසන සංඛ්‍යාව 20ක් ලෙස සැලකෙතොත් ඉන්පසු අනෙක් සියලු පක්ෂවලට ඉතිරි වන්නේ ආසන 205කි. ජවිපෙ, මුස්ලිම් කොංග්‍රසය හා වතු කම්කරු කොංග්‍රසය යන පක්ෂ තුන ලබාගන්නා ආසන සංඛ්‍යාව 22ක් ලෙස සලකතොත් ප්‍රධාන පක්ෂ දෙකට සන්ධානගත කුඩා කණ්ඩායම් සමග බෙදාගැනීමට ඉතිරිවන්නේ 183ක් පමණය.

2001 පාර්ලිමේන්තු මැතිවරණය වන විට රට තිබුණේ අද රටේ පවතින තත්ත්වයටත් වඩා නරක තත්ත්වයකය. එල්ටීටීඊය අලිමංකඩ කඳවුර අල්ලා ගැනීමෙන් පසු ටික කලක් යන්නට ඉඩ හැර කටුනායක ගුවන් තොටුපළට එල්ල කරන ලද ප්‍රහාරයෙන් රටේ ආර්ථිකය මුළුමණින් කඩා හැලෙන තත්ත්වයකට පත්ව තිබුණි.

විරුද්ධ පක්ෂයට ඉතාමත් වාසිදායක එවැනි වටපිටාවක් තුළ ආණ්ඩු පක්ෂයේ දැවැන්තයින් ගණනාවක් ද එකතු කරගනිමින් පිහිටුවා ගන්නා ලද එක්සත් ජාතික පෙරමුණට එම මැතිවරණයේදී ලබාගත හැකිවූයේ (මුස්ලිම් කොංග්‍රසය හා වතු කම්කරු සංගමය ලබා ගත් ආසන ද සමග) ආසන 114ක් පමණය. පොදු ජන එක්සත් පෙරමුණ ආසන 77ක් ද, ජනතා විමුක්ති පෙරමුණ ආසන 16 ක් ද දිනා ගන්නා විට දෙමළ සන්ධානය ආසන 15ක් දිනාගැනීමට සමත් විය.

ඉන්පසු රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව විසුරුවා හැර 2004 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජවිපෙ ද ඇතුළත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාගත හැකිවූයේ ආසන 105ක් පමණය. තොණ්ඩමන්ගේ වතු කම්කරු සංගමය සමග එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකිවූයේ ආසන 82ක් පමණය. දෙමළ සන්ධානය ආසන 22ක් ද, ජාතික හෙළ උරුමය ආසන 09ක් ද, මුස්ලිම් කොංග්‍රසය ආසන 05ක් ද, කඳුරට ජනතා පෙරමුණ ආසන 01ක් ද, ඊපීඩීපී පක්ෂය එක් ආසනයක් ද දිනාගැනීමට සමත් විය.

පවතින අනුපාතික ඡන්ද ක්‍රමය තුළ 1970දී සමගි පෙරමුණ හෝ 1977දී එජාපය මෙන් මහ මැතිවරණ ජයග්‍රහණයක් හිමි කරගැනීමේ හැකියාවක් නැත. ඉතාමත් විශිෂ්ට තත්ත්වයකදී පවා ලබාගත හැකි උපරිමය 115කට අඩුය.

පාර්ලිමේන්තු මැතිවරණයක් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන ආධිපත්‍යය සසල කිරීමට හේතුවනු ඇතත්, පරාජය කිරීමට හේතුවන්නේ නැත. පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට සිදුවී, ඒ නිසා පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාප ජය ගත්ත ද ජනාධිපතිගේ ආධිපත්‍යයට අභියෝග කළ හැකි ආකාරයේ ස්ථාවර ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට අවශ්‍ය තරම් බලයක් දිනාගැනීමට හැකිවන්නේ නැත. ඉන්පසු නැවත විධායක ජනාධිපති බලය එක් පක්ෂයකටත්, පාර්ලිමේන්තු බලය තවත් පක්ෂයකටත් හිමිවන ද්වන්ද්ව බලයක් සහිත තත්ත්වයක් නිර්මාණය වේ. එහිදී පාර්ලිමේන්තු ආණ්ඩුවට අනභිභවනීය වන්නේ අවුරුද්දක කාලයක් සඳහා පමණය. ඉන්පසු එම පාර්ලිමේන්තු ආණ්ඩුව විසුරුවා හැරීමේ බලය ජනාධිපති සතුය.

ජේ.ආර්. ජයවර්ධන නිර්මාණය කළ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමකින් තොරව තවදුරටත් ඉදිරියට යාමට රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කරන්නේ නම්, ඔහුගේ බල චින්තනය සැබෑ වනවා නම් සැබෑ වනු ඇත්තේ ඉක්මණින් නොව 2011දීය.

දැන් පවතින අනුපාතික ක්‍රමය ඵලදායී වනු ඇත්තේ විධායක ජනාධිපති ධුරය එක් පක්ෂයක් අත තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තු බලය තම පක්ෂය අතට පත්වන අවස්ථාවකදී එම බල ආයතන දෙකකට ප්‍රංශයේ මෙන් අන්‍යොන්‍ය සහයෝගයෙන් ක්‍රියාකළ හැකි ලෙස දේශපාලන ක්‍රමය වෙනස් කරගනියි නම් පමණය. එහිදී පාර්ලිමේන්තු ආණ්ඩුවක් පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂයට බහුතර බලයක් නැති අවස්ථාවකදී හැර හිතුවක්කාරී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විධායක ජනාධිපතිට තිබෙන බලය ඉවත් කළ යුතුය. ආරක්ෂක අමාත්‍ය ධුරය හැර වෙනත් කැබිනට් ඇමති ධුර දැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය සීමා කළ යුතුය.

විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම්, එය ශිෂ්ටසම්පන්න කිරීමේ අවශ්‍යතාව දැන් දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවෙමින් පවතී. එහෙත් අවාසනාවකට රනිල් වික්‍රමසිංහ මහතා තිබෙන ක්‍රමය වෙනස් කරනවා දකින්නට කැමති නැත. එවැනි වෙනසක් දිනාගැනීම සඳහා කෙරෙන උත්සාහයකට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට ද කැමති නැත. රනිල් වික්‍රමසිංහ මහතා 5 වැනි මහින්ද රජු පිළිබඳව කුරුණෑගලදී කදිම කතාවක් කර තිබුණි. 5 වැනි මහින්ද රජු ගැන කතා කරන අතරතුර 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ද විශේෂ සඳහනක් කර තිබුණි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන බව ඔහු කියා තිබුණි. එම විශේෂ සඳහනින් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට දරන මොනම ක්‍රියාමාර්ගයකටවත් තමන් සහයෝගය නොදෙන බව නොවේද? ජේ.ආර්. ජයවර්ධන 78 ව්‍යවස්ථාව නිර්මාණය කළේ ජේ.ආර්. ජයවර්ධන සඳහාම මිස අනාගතයේ බලයට පත්විය හැකි සිය බෑණා ද සැලකිල්ලට ගනිමින් නොවේ. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යහපත් ලක්ෂණ තිබෙන බව සැබෑවකි. එහෙත් මුළු එකක් වශයෙන් ගත් විට ඒ මගින් ඇති කර තිබෙන දේශපාලන ක්‍රමය රට අවුල් ජාලාවක් බවට පත් කිරීමට හේතුවී තිබේ. තමා බලයට පත්වන තෙක් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ඉඩ නොදෙන පිළිවෙතක් රට විනාශ කිරීමට හේතුවීමෙන් නොනැවතී රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන අනාගතය ද විනාශ කිරීමට හේතුවන මහා සාධකයක් ලෙස ක්‍රියා කිරීමට ද ඉඩ තිබේ.

එක්කෝ රටේ රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයා දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තේරුම් ගනිමින් ඒ අරමුණ වෙනුවෙන් විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එකඟ කරවා ගැනීමට සමත් විය යුතුය. නැතිනම් එවැනි වැඩපිළිවෙළකට ජනාධිපතිවරයා එකඟ කරවා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් විය යුතුය. එවැනි පොදු වැඩපිළිවෙළකින් තොරව දෙපාර්ශ්වයම කල්පනා කරන්නේ වෙන් වෙන්ව බල අරගල ඉදිරියට ගෙනයෑමට නම් අතිවිශාල විනාශයකට රට තල්ලුවී යනු නොඅනුමානය.

කොටි පරාජය කරන තෙක්

කිසිවක් නොදීමේ පිළිවෙත

සම සභාපතිවරුන්ගේ ඉල්ලීම පරිදි නෝර්වේ නියෝජිත යකු කිළිනොච්චියට යන්නට ඉඩ හැරීම ජවිපෙ විරෝධයට හේතුවී තිබේ. කොටි සංවිධානයට එරෙහිව සාර්ථක ලෙස සිදුකෙරෙමින් තිබෙන යුද්ධයට අකුල් හෙළීම සම සභාපතිවරුන්ගේ උපාය මාර්ගය වී තිබේය යන්න ජවිපෙ මතය වී තිබේ.

ජවිපෙ සේ ම හෙළ උරුමය ද මෙම අර්බුදය දෙස බලන ආකාරය බොහෝ දුරට එක සමානය. රටේ ඕනෑම දෙයක් පරදුවට තබා එල්ටීටීඊය අනුකම්පා විරහිතව විනාශ කළ යුතු බව එම පක්ෂ දෙකේ මතය වී තිබේ. එහිදී රටේ ආර්ථිකයේ විවිධ අංශවලට සිදුවන හානිය ඔවුන්ට වැදගත් නැත. ජනතාවට ආර්ථික වශයෙන් මුහුණ දෙන්නට සිදුවන පීඩනය ද ඔවුන්ට වැදගත් නැත. දෙපක්ෂයම සංචාරක ව්‍යාපාරය දකින්නේ රටේ සාරධර්ම හා සංස්කෘතිය විනාශ කරන විනාශකාරී බලවේගයක් ලෙසය. ජවිපෙ පෞද්ගලික අංශය දකින්නේ ද ධනපති ක්‍රමයේ නියමු බලවේගය ලෙසය. ඒ නිසා පෞද්ගලික අංශයේ බිඳ වැටීමක්, ආයෝජකයන් පලායාමක්, කොටස් වෙලෙඳපොළේ බිඳ වැටීම, හුවමාරු අනුපාතිකයේ ඉහළ යාම් වැනි කාරණා ඔවුන්ට පෙනෙන්නේ නරක දේවල් ලෙස නොව, හොඳ දේවල් ලෙසය. ආධාර දෙන කණ්ඩායම ඔවුන් දකින්නේ අධිරාජ්‍යවාදී බලවේගයක් නිසා එවැනි අන්තර්ජාතික සම්බන්ධතා බිඳ වැටීම ඔවුන් දකින්නේ ද නරක දෙයක් ලෙස නොව, හොඳ දෙයක් ලෙසය.

මෙම දෙපිරිසම ජනවාර්ගික ප්‍රශ්නය දකින්නේ ද ජාතිවාදී කෝණයකිනි. ඔවුන්ට අනුව මෙය ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රශ්නයක් මිස, ජනවාර්ගික ප්‍රශ්නයක් රටේ නැත. ඔවුන්ට අනුව මේ ප්‍රශ්නය ජයගත හැකි එකම මග අනුකම්පා විරහිතව එල්ටීටීඊය සමූල ඝාතනය කිරීමෙන් පමණය.

එල්ටීටීඊය ත්‍රස්තවාදී ව්‍යාපාරයක් බව සැබෑ වුවත්, එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධය පවත්වාගෙන යන්නේ දෙමළ විරෝධී යුද්ධයක් ලෙස නම් දෙමළ ජනතාව එය දකිනු ඇත්තේ දෙමළ විරෝධී යුද්ධයක් ලෙස මිස එල්ටීටීඊ විරෝධී යුද්ධයක් ලෙස නොවේ. දෙමළ ජනතාවට සහන සැලසීමට යුද්ධය අවසන් වන තෙක් බලා සිටිය යුතු නැත. සමහර සහන ව්‍යවස්ථා සංශෝධනයකට යාමෙන් තොරව පවා ලබාදිය හැකි අතර, මානව හිමිකම් ප්‍රඥප්තියක් නීතිගත කිරීම මගින් සමාන අයිතිවාසිකම් සහතික කරමින් වර්ගය, ආගම, කුලය යන සාධක මත වෙනස්කම් කිරීමට තිබෙන ඉඩ නැති කළ හැකිය. එවැනි ප්‍රඥප්තියකට අන්තවාදී, වර්ගවාදී, ආගම්වාදී හෝ කුලවාදී සුළු පිරිසකට හැර මධ්‍යස්ථ ජනතාවට විරුද්ධවීමේ හැකියාවක් නැත. මේ තිබෙන දේශපාලන බෙදීම් තිබියදීත් එවැනි ප්‍රඥප්තියක් තුනෙන් දෙකේ අනුමැතියකින් සම්මත කරගැනීමේ හැකියාව ද පවතී.

මීට අතිරේකව දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල පරිපාලන හා අධිකරණ කටයුතුවලදී ද්වි භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවන තත්ත්වයකට යා හැකිය. රජයේ රක්ෂාවලට බඳවා ගැනීමේදී දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබූ අයට සුදුසු පංගුවක් වෙන්කිරීමේ ප්‍රතිපත්තියට යා හැකිය.

දෙමළ ජනතාව සංසුන්ව කරුණු සලකා බලන තැනකට එනු ඇත්තේ සුළු ජාතියක් වීම නිසා පමණක් ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවී තිබෙන මූලික ගැටලු හඳුනාගෙන ඊට පිළියම් යොදන තැනකට යෑමෙන් පමණය. බලය බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීම සඳහා සාකච්ඡා මගින් පොදු එකඟතාවක් ඇති කරගන්නා තැනකට යෑම අවශ්‍ය වුවත්, ඉන් පරිබාහිර දෙමළ ජනතාවට සහන සලසන ප්‍රතිපත්තියක් සඳහා යුද්ධය අවසන් වන තෙක් බලා සිටින ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ නැත.

පවතින දේශපාලන ක්‍රමය තුළ ආණ්ඩු පක්ෂවලට පාර්ලිමේන්තුවේ බහුතර බලය ආරක්ෂා කරගැනීම සඳහා විවිධ පක්ෂ සමග සන්ධානගත ක්‍රියාමාර්ගවලට යොමුවීමට සිදුවී තිබේ. රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව පරාජය කිරීම සඳහා ශ්‍රීලනිප ජවිපෙ සමග සන්ධානයක් ඇති කරගත්තේය. ඒ වෙනුවෙන් ශ්‍රීලනිපයට ජනවාර්ගික අර්බුදයේදී තමන් එතෙක් පවත්වාගෙන ගිය ප්‍රතිපත්තිය අත්හැර ජවිපෙ සතුටට හේතුවන අන්තවාදී ප්‍රතිපත්තියකට මාරුවීමට සිදුවිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එජාපයෙන් එල්ල වී තිබෙන අභියෝග ඉදිරියේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ආරක්ෂා කරගැනීම සඳහා විටෙක ජවිපෙ මතත්, තවත් විටෙක හෙළ උරුමය මතත් රඳා පවතින්නට සිදුවී තිබේ. එම තත්ත්වය ආණ්ඩුව ජාතිවාදී අස්ථානයකට තල්ලු කිරීමට හේතුවී තිබේ. මේ තත්ත්වයේ වෙනසක් ඇති කළ හැකිවනු ඇත්තේ එජාප ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව සමග අවබෝධයෙන් ක්‍රියාකරන තැනකට ඒමෙන් පමණය. එසේ නොවෙතොත් රට තව තව අන්තවාදී තත්ත්වයකට තල්ලු වී යනු නොවැළැක්විය හැකිය. •