මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එකවිට සතුරු කඳවුරු ගණනාවකට මැදිවී ආරක්ෂාව සඳහා සටන් කරන තත්ත්වයකට තල්ලු වී සිටින බව පෙනේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හොඳම මිතුරන් ලෙස පෙනී සිටිමින් ආණ්ඩුව අන්තවාදී තැනකට තල්ලු කළ බලවේග ද මේ වන විට ආණ්ඩුව අතින් මෙතෙක් සිදුවූ වැරදිවලට තමන්ට තිබෙන වගකීම අමතක කොට ආණ්ඩුවට එරෙහිව පහර දෙන තැනකට තල්ලු වී සිටින බව පෙනේ.
ජනතාව මහින්ද රාජපක්ෂ මහතා තෝරාගත්තේ ජාතිය ගලවා ගැනීමට පහළ වූ දියසේන කුමාරයා ලෙස සලකාය. ඔවුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පිළිබඳව අතිවිශාල බලාපොරොත්තු ඇති කරගෙන සිටියේය. එල්ටීටීඊය පරාජය කොට දූෂණය හා භීෂණය තුරන් කොට යහපත් හා සමෘද්ධිමත් රටක් ගොඩනගා දීමේ වගකීම ජනතාව බාර දුන්නේ මහින්ද රාජපක්ෂටය. මහජනතාව ඇති කරගෙන තිබූ බලාපොරොත්තු හා ඒවා ඉටු කර තිබෙන ප්‍රමාණයන් අතර මහා පරතරයක් පවතී. තමන් ඇති කරගත් මහා බලාපොරොත්තු සඵල නොවන බව තේරුම් යාම නිසාදෝ දැන් ඒ මහජනතාවම සිය වීරයා අනුකම්පා විරහිතව විවේචනය කරන තැනකට තල්ලුවෙමින් සිටිති. ආරම්භයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාව ඉහළම මට්ටමක පැවතියත් දැන් එය තිබෙන්නේ වේගයෙන් පහළට කඩා වැටෙන තැනකය. මෙතෙක් බලයට පැමිණි කිසිම ආණ්ඩුවක් නොපිරුහුණු තරම් වේගයකින් ආණ්ඩුව පිරිහීමට පත්වෙමින් පවතී.
සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පිරිහෙන විට විරුද්ධ පක්ෂයේ සහ විකල්ප පක්ෂවල ජනප්‍රියතාව ඉහළ යන්නේය. එහෙත් ආණ්ඩුව පිරිහෙන ප්‍රමාණයට සමානුපාතික ප්‍රමාණයකට එජාපයේ ජනප්‍රියතාව ඉහළ යන බවක් පෙනෙන්නට නැත. එජාපයෙන් මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට එකතු වූ විට පක්ෂය පිරිසිදු වූ බව එජාප නායකයා කීවේය. එහෙත් ඒ පිරිස ගිය පසුත් පක්ෂය සමගිසම්පන්න කිරීමට පක්ෂ නායකයා සමත් වී නැත. එක්සත් ජාතික පක්ෂය තුළ කැකෑරෙන අභ්‍යන්තර මතභේද එම පක්ෂය තව තවත් බෙලහීන කිරීමට හේතුවී තිබෙන බව පෙනේ. තුන්වැනි බලවේගය ලෙස පෙනී සිටින ජවිපෙ සිටින්නේ ද එකතැන පල්වෙන තැනකය. ඔවුන්ට තමන්ගේ ලංකා පුවත්පත වසන්නට සිදුවීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ අදහස් මිලදී ගැනීමට පාක්ෂිකයන් පවා සූදානම් නැති බවය. එය මතුපිටින් ලොකුවට පෙනෙන මහා හුඹසක් බවට පත්ව තිබෙන බව ඉන් පෙනේ. වැටුප් ලබන පූර්ණකාලීනයන් විශාලතම පිරිසක් සිටින්නේ ජවිපෙටය. ඔවුන් පාවිච්චි කරමින් විරෝධතා ව්‍යාපාර පැවැත්වීමේ හැකියාවක් ඇතත්, මහජනතාව අතර එම පක්ෂයට තිබුණු පිළිගැනීමේ ශීඝ්‍ර පිරිහීමක් ඇතිවී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
ආණ්ඩුව වැටෙන ප්‍රමාණයට විරුද්ධ පක්ෂය වර්ධනය නොවීමෙන් පෙනී යනුයේ වර්ධනය වෙමින් පවතින දේශපාලන අර්බුදය වෙනදා සාමාන්‍යයෙන් ගමන් කළ දිශාවට වඩා වෙනස් දිශාවකට ගමන් කිරීමේ ඉඩක් ඇති බවය.
මහජනතාව අතර දේශපාලන පක්ෂ කෙරෙහි ඇති විශ්වාසය වේගයෙන් වාෂ්පවෙමින් පවතී. ආණ්ඩුව කෙරෙහි ඇති මහජන විශ්වාසය බිඳ වැටෙමින් පවතිනුයේ විකල්ප පක්ෂයක් හෝ විකල්ප නායකයකු මතුවීමකින් තොරවය.
ආණ්ඩු පාලනය කොතරම් අසාර්ථක වුවත්, ඉදිරි ජනාධිපතිවරණය තෙක් ජනාධිපතිවරයා වෙනස් කිරීමේ හැකියාවක් නැත. අනෙක් අතට පක්ෂය කුමක් වුවත්, තමන්ගේ ධුර කාලය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හේතුවන ක්‍රියාමාර්ගයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකඟවන්නේ නැත. ඒ නිසා පාර්ලිමේන්තු ආණ්ඩුවේ ද වෙනසක් ඇති කිරීමේ ඉඩක් නැත. එහි අවසාන තේරුම වනු ඇත්තේ දැන් ඇතිවී තිබෙන තත්ත්වය යහපත් වෙනසකින් තොරව තවත් අවුරුදු තුනකට වැඩි කාලයක් පවතිනු ඇති බවය. ඉක්මන් ආණ්ඩු වෙනසකට ඉඩක් නැතිකම හා මෙම තත්ත්වයෙන් තවත් අවුරුදු ගණනක් ඉදිරියට යාමට තිබෙන නොහැකියාව අතර ගැටුම අලුත් ආකාරයක දේශපාලන අර්බුදයක් ඇති කිරීමට හේතුවිය හැකිය. එම අර්බුදය මෙම දේශපාලන ක්රමයේ බිඳ වැටීමක් ඇති කිරීම දක්වා ඉදිරියට ගමන් ගැනීමේ හැකියාවක් පවතී.
ගෙයක් වුවත් අබලන් වූ විට ප්‍රතිසංස්කරණය නොකරන්නේ නම් හා ප්‍රතිසංස්කරණය කළ නොහැකි තරමට අබලන් වූ විට එය කඩා ඉවත් කොට ඒ වෙනුවට නව නිවසක් ගොඩ නගන්නේ නම් කිසියම් දිනක ඒ නිවස ගෙහිමියාගේ කැමැත්ත නොසලකා කඩා වැටෙන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. දැන් රට ගමන් කරමින් තිබෙන්නේ ද එවැනි තැනකටය.