පාර්ලිමේන්තුව හා අධිකරණය

October 29, 2026
Publication:
The chief government whip told parliament he had criticised a Supreme Court decision and that no newspaper carried it — because journalists fear being jailed for writing about judgments. Ivan traces what parliament did and did not do when the court restrained it, jailed a petitioner and imprisoned a member, and says the duty to criticise the courts is parliament's as much as the press's.

ආණ්ඩු පක්ෂයේ සංවිධායක ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අධිකරණයට හා ජනමාධ්‍යවලට අදාළව මහජන අවධානයට යොමුවිය යුතු ප්‍රකාශයක් කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂාව අඩු කිරීම පිළිබඳවත් නිල නිවාසය අහිමි කිරීම පිළිබඳවත් විරෝධය දක්වා තමන් ප්‍රකාශයක් කළ බවත්, ඒ සමග තමාට අදාළ නඩු තීන්දුවක් හා වෙනත් නඩු තීන්දු ගණනාවකට අදාළව වැරදි පෙන්වා දුන් බවත්, එහෙත් කිසිදු ජනමාධ්‍යයක් තමාගේ එම ප්‍රකාශය පළ නොකළ බවත් ඔහු ප්‍රකාශ කළේ ය. ජනමාධ්‍ය තමන්ගේ ප්‍රකාශය වාර්තා නො කිරීමට බලපෑ හේතු සොයා බැලීමේ දී අධිකරණ තීන්දු ගැන ලියා හිරේ යාමට සිදුවිය හැකි බවට ජනමාධ්‍යවේදීන් අතර පවතින බිය බලපා තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ජනමාධ්‍ය අළලා කරන ලද විග්‍රහය නිවැරදි ය. ජනමාධ්‍යවේදීන් අධිකරණ විෂයයේ දී සිදුවන වැරදි ගැන කතා කිරීමෙන් වැළකී සිටින්නේ අධිකරණය විවේචනයට ලක් නොවිය යුතු ශුද්ධ වූ ආයතනයක් ලෙස සලකා නො ව, එසේ කළහොත් අධිකරණය, අධිකරණ අපහාස සම්ප්‍රදාය යටතේ තමන්ට දඬුවම් කරනු ඇතැයි යන බිය නිසා ය. ඒ බිය ජනමාධ්‍ය තුළ වර්ධනය කිරීමට පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය ද බලපෑ බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය. අධිකරණයේ සිදුවන වැරදි ගැන පමණක් නො ව, අධිකරණය විසින් දෙනු ලබන අසාධාරණ තීන්දු සාකච්ඡාවට ලක් කිරීමේ පරම අයිතියක් පාර්ලිමේන්තුවට තිබුණ ද ඒවා සාකච්ඡාවට ලක් නො කළ යුතුය යන වැරදි සම්ප්‍රදායක් පාර්ලිමේන්තුව පවත්වාගෙන ගියේ ය. ඒ මගින් පාර්ලිමේන්තුව දැනුවත්ව හෝ නො දැනුවත්ව අධිකරණයේ සිදුවන බරපතළ වැරදිවලට උඩගෙඩි දෙන සම්ප්‍රදායක් පවත්වාගෙන ගොස් ඇත.

අගවිනිසුරුට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයේ දී අධිකරණය පාර්ලිමේන්තුවට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන තරම් අන්තවාදී තැනකට ගමන් කළේ ය. පාර්ලිමේන්තුව එම තහනම් නියෝගය භාර ගැනීම ප්‍රතික්ෂේප කළා මිස, පිළිගත් නීතියට හා සම්ප්‍රදායන්ට එරෙහිව ක්‍රියා කළ විනිසුරුවරුන්ට එරෙහිව ක්‍රියා කරන තැනකට ගියේ නැත. ඉන්පසු අධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ පුරවැසියකු හිරේට යැව්වේ ය. ඒ බිහිසුණු ක්‍රියාව ඉදිරියේ ද පාර්ලිමේන්තුව නිශ්ශබ්දව බලා සිටියේ ය. ඉන්පසු අධිකරණය තවත් පියවරක් ඉදිරියට තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සිරදඬුවම් දුන්නේ ය. එහිදී ද පාර්ලිමේන්තුව ගොළුවත රැක්කා මිස තමන්ගේ පාර්ලිමේන්තු සගයන් සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙතේ ඇති හරි වැරදි සොයා බලන තැනකට ගියේ නැත. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාරවරයෙකු විශ්‍රාම කාලයට පෙර සිය කැමැත්තෙන් විශ්‍රාම ගියේ ය. රටේ ගෞරවයට හේතුවූ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් පිරිසක් ඇතුළු ප්‍රමුඛ පුරවැසියන් පිරිසක් එම විනිසුරුවරයා විශ්‍රාම කාලයට පෙර විශ්‍රාම යාමට හේතු සොයා බලන ලෙස වගකිවයුත්තන්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිය ද එහිදීත් පාර්ලිමේන්තුව කළේ අහක බලාගෙන සිටීම ය.

ජනමාධ්‍යවේදීන් අධිකරණයේ සිදුවන වැරදි කතා කිරීමට බිය නො විය යුතු ය. අධිකරණය විසින් දෙනු ලබන තීන්දු නො බියව විචාරයට ලක් කළ යුතු ය. එහෙත් ඒ යුතුකම ඉටුකළ යුත්තේ ජනමාධ්‍යවේදීන් පමණක් නො වේ. පාර්ලිමේන්තුව ද සිය යුතුකම් හා වගකීම් ඉටු කළ යුතු ය. අධිකරණයේ වැරදි සිදුවන විට නිශ්ශබ්දව නො සිට ඒවා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් කළ යුතු ය. •