දේශපාලන තන්ත්‍රය නඩත්තු කිරීමට රට ගෙවන මිල

October 29, 2026
Publication:
A JVP member asked in parliament what ministers are paid in housing and fuel allowances; the chief government whip answered — a lakh a month for housing, 190,000 for fuel. Ivan works outward from there through the offices created when the cabinet is small, and ends on a transaction where a party that shouted against a deal stopped shouting after five million reached its funds.

දේශපාලන ක්‍රමය තවදුරටත් ඉදිරියට යා නොහැකිව හිරවන තැනකට ගමන් ගනිමින් තිබේ. එහෙත් රටේ දේශපාලකයෝ ප්‍රීතියෙන් මෙරිගෝ රවුන්ඩ් පදින කුඩා ළමුන් පිරිසක් සේ සුපුරුදු පැරණි දේශපාලනයේ යෙදී සිටිති. ඓතිහාසික චක්‍රයක අවසානයේ දකින්නට ලැබෙන විකාරස්වරූප දේවල අර්ථය තේරුම් ගැනීමට ජනතාව ද සමත් වී තිබෙන බවක් පෙනෙන්නට නැත.

ජවිපෙ මන්ත්‍රීවරයෙකු ඇමතිවරුන්ට ගෙවන නිවාස දීමනාව හා ඉන්ධන දීමනාව ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර තිබුණි. ආණ්ඩු පක්ෂ සංවිධායක ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයා ඊට පිළිතුරු දෙමින් ඇමතිවරයෙකුට නිවාස දීමනාව වශයෙන් මසකට රුපියල් ලක්ෂයක් ද, ඉන්ධන දීමනාව වශයෙන් මසකට රුපියල් 190,000ක් ගෙවන බවත් ප්‍රකාශ කර තිබුණි. ඇමතිවරයෙකු නිවාස කුලිය වශයෙන් ගෙවන මිල කුමක් වුවත්, මේ දීමනාව ලබාගත හැකිය.

රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන තරම් වරප්‍රසාද බුක්ති විඳිනුයේ ඇමතිවරුන් පමණක් නොවේ. මන්ත්‍රීවරු ද එවැනි වරප්‍රසාද බුක්ති විඳිති. අවසානයේ දේශපාලන තන්ත්‍රය නඩත්තු කිරීමට වැය කෙරෙන වියදම රටට ඔරොත්තු නොදෙන බරක් බවට පත්ව තිබේ.

දේශපාලන තන්ත්‍රය එනම් ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් පළාත් සභිකයන්, ආණ්ඩුකාරවරුන් හා ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නඩත්තු කිරීමට රටට දරන්නට සිදුවී තිබෙන වියදම කුමක්ද යන්න කිසිවකුත් දන්නේ නැත. විවිධ වියදම් පිළිබඳව ජාතික මට්ටමෙන් කෙරෙන ගණන් බැලීම් ඇතත්, දේශපාලන තන්ත්‍රය නඩත්තු කිරීම සඳහා යන වියදම ගැන පමණක් කවදාවත් ගණනය කෙරෙන්නේ නැත. ප්‍රමුඛ රාජ්‍ය නිලධාරියෙකුගේ මතය අනුව එය දළ ජාතික ආදායමෙන් 25%ක් පමණ විය හැකිය.

එක් ඇමතිවරයෙකු පාවිච්චි කරන වාහන ගණන කොතෙක්දැයි මම චන්ද්‍රිකා කුමාරතුංග පාලන යුගයේදී රාජ්‍ය නිලධාරියෙකුගෙන් අසා සිටි විට එය 10ක් පමණ විය හැකි බව ඔහු දුන් පිළිතුර විය. මේ ගණන ඉහළ යමින් තිබෙනවා මිස, පහළ යන්නේ නැත.

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් ජෝර්ජ් ඕවල්ගේ සත්තු වත්තේ සිටින සුවිශේෂ සත්තු තරම්ම සුවිශේෂය. තමන්ට ලැබිය යුතු වැටුප්, දීමනා හා වරප්‍රසාද තීරණය කිරීමේ අයිතිය ඔවුන් සතුය. තමන්ගේ වැටුප් වැඩි කරගැනීමට ඔවුන්ට අවශ්‍ය වූ විට ඔවුන් කරන්නේ ඉහළ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් ආපස්සට බලපාන ආකාරයට ඉහළ දැමීමය. ඉන්පසු කලක් යන්නට ඉඩහැර තමන් හා ඔවුන් අතර පවතින නොගැලපීම ගෙනහැර දක්වා ආපස්සට බලපාන ආකාරයට ඊට සමානුපාතික ප්‍රමාණයකට තමන්ගේ ද වැටුප් වැඩිකර ගනිති. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් නිර්ණය කිරීමට ආයතන ක්‍රමයක් ඇතත්, ඉහත කී කාණ්ඩ දෙකේ හා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ වැටුප් තීරණය කිරීමේ බලය එම ආයතන ක්‍රමයට නැත.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවුරුදු පහක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු පූර්ණ විශ්‍රාම වැටුපක් ලැබීමේ අයිතිය හිමිය. ඒ අයිතිය තමන් පමණක් බුක්ති විඳීම අසාධාරණ බව තේරුම් ගැනීම නිසාදෝ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එම අයිතිය ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට ද ලබා දුන්නාය. ඊට අතිරේකව ඔවුන්ට ද තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාගත හැකි ක්‍රමයක් ද ඇති කර දුන්නාය. ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය බොහෝ විට සමන්විත වන්නේ පවුලේ සාමාජිකයන්ගෙනි. ඒ අනුව ඇමතිවරුන්ට පමණක් නොව ඇමතිවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද අවුරුදු 05ක සේවා කාලයෙන් පසු විශ්‍රාම වැටුප් ලැබීමේ අයිතිය සේ ම පවුලේ සාමාජිකයන්ට ද තීරුබදු රහිත වාහන ලබාගැනීමේ අයිතිය ද ලැබී තිබේ.

වටිනාකම සඳහා පනවා තිබෙන ඩොලර් 35,000 සීමාවට හා එන්ජින් ධාරිතාව සඳහා පනවා තිබෙන සීමාවන්ට සමහර මන්ත්‍රීවරුන් කැමති නැත. එන්ජින් ධාරිතාව සඳහා පනවා තිබෙන සීමාව ජයගැනීමට ඔවුහු මෙවර උත්සාහ කළහ. ඒ සීමාව ජයගත හැකි නම් පාරේ දුවන වාහනයක් වෙනුවට අහසේ දුවන වාහනයක් ගෙන්වා ගත හැකි බව හා ඒ මගින් වඩා විශාල ආදායමක් ඉපයිය හැකි බව ඔවුහු නිවැරදි ලෙස දැන සිටියහ. අවසානයේ එක් හිමිනමක් ඩොලර් 35,000 සීමාව ජයගත්තේය. වැඩි වටිනාකමක් ඇති මෝටර් රථයක් ඇණවුම් කොට ඩොලර් 35,000ට වැඩියෙන් තිබෙන පංගුවට බදු අය කරන පදනමක් මත එම වාහනය ලබාගැනීමට උන්වහන්සේ අවසර ඉල්ලා සිටියහ. පැවිදි හිමිනමක් විසින් කරනු ලබන ඉල්ලීමකට ඉඩ නොදී සිටීම හොඳ නැති නිසාදෝ බලධාරීහු ඒ ඉල්ලීමට අවසර ලබා දුන්හ. දැන් ඒ අයිතිය අනෙක් මන්ත්‍රීවරුන්ට බුක්ති විඳිය හැකිය. එය මන්ත්‍රීවරුන් සතු අනුල්ලංඝනීය අයිතියක් බවට හරවා ගත හැකිය.

රේගු නීතිය අනුව තීරුබදු රහිත වාහන අන්සතු කිරීම හෝ විකිණීම සපුරා තහනම්ය. එවැනි වරදක් කළ අයෙකු වාහනය වෙනුවෙන් ආණ්ඩුවට ගෙවිය යුතු මුළු බදු මුදල ගෙවනවාට අතිරේකව රේගුව නියම කරන දඩයක් ද ගෙවිය යුතුය. එවැනි වරදක් වෙනුවෙන් ගෙවන්නට සිදුවන මිල ලක්ෂ 200ත් 300ත් අතර විය හැකිය. එහෙත් රටේ නීති සම්පාදකයන් ලෙස ක්‍රියා කරන්නේ මන්ත්‍රීවරුන්ය. ඒ නිසාදෝ මෙම රේගු නීතිය ඔවුන්ට එරෙහිව පමණක් පාවිච්චි කරන්නේ නැත. යම් හෙයකින් එම නීතිය මන්ත්‍රීවරුන්ට එරෙහිව පාවිච්චි කෙරෙන්නේ නම්, මන්ත්‍රීවරුන් අතිවිශාල බහුතර පිරිසකට දඬුවම් විඳින්නට සිදුවනු නොඅනුමානය.

ඇමති මණ්ඩලයේ ප්‍රමාණය විශාල වන තරමට එම විශාල ඇමති මණ්ඩලයට අතිරේකව ඔවුන්ගේ දරු පවුල් ද නඩත්තු කිරීමේ අතිරේක බර උසුලන්නට සිදුවී තිබෙන්නේ ද රටටය. ඔවුන්ට ද තීරුබදු රහිත වාහන ලබාදිය යුතුය. ඔවුන්ට ද වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවිය යුතුය.

අතිවිශාල ඇමති මණ්ඩලයක් පවත්වාගෙන යාම ගැන හැමෝම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දොස් කියති. එහෙත් මෙය පුද්ගලයෙකුගේ වරදක් නොව ක්‍රමයේ වරදකි. මේ ක්‍රමය ඇති කිරීමෙන් පසු කිසිම ජනාධිපතිවරයෙකු කුඩා ඇමති මණ්ඩලයක් පවත්වාගෙන යෑමට සමත් වී නැත. ඇමති මණ්ඩලය කුඩා නම් ඉන් පිටස්තර මොන මොන හෝ තනතුරු ඇති කොට ආණ්ඩු පක්ෂයේ අතිවිශාල බහුතරයකට තනතුරු ලබාදිය යුතුය.

ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ඇමති මණ්ඩලය කුඩා වුවත්, නියෝජ්‍ය ඇමතිවරුන් හා දිස්ත්‍රික් ඇමතිවරුන් වශයෙන් තනතුර දරන්නන්ගේ ප්‍රමාණය ඉතා විශාල විය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සිය පාලන යුගයේ මුල් කාලයේ කුඩා ඇමති මණ්ඩලයක් සමග වැඩ කරන්නට උත්සාහ කළේය. එහෙත් තමන්ට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයත් සමග තනතුරු මන්ත්‍රී අසහනයට බලපෑ එක් ප්‍රධාන හේතුවක් බව තේරුම් ගනිමින් එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට තනතුරු ලබාදෙන පිළිවෙතකට මාරුවූයේය. ජනාධිපතිනි චන්ද්‍රිකා යුගයේදී සේ ම අගමැති රනිල් වික්‍රමසිංහ යුගයේදී ද මේ ධර්මතාව අඩුවැඩි වශයෙන් ක්‍රියාත්මක විය. අප ඒ අතීතය අමතක කොට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පමණක් දොස් කියන තැනකට යෑම වැරදිය. ඔහු කර ඇත්තේ ද සිය පූර්වගාමීන් අනුගමනය කළ පිළිවෙතක් ටිකක් ලොකුවට ක්‍රියාත්මක කිරීම පමණය.

දේශපාලන තන්ත්‍රය නඩත්තු කිරීමට රටක් වශයෙන් අප කරන වියදම පිළිබඳව හරි ගණන් බැලීමක් කළහොත් ලැබෙන චිත්‍රය පුරවැසියන් විශ්මයට පත් කරනු නොඅනුමානය. එහෙත් එය පුද්ගලයන්ගේ වරදක් නොව, ක්‍රමයේ වරදකි. ක්‍රමය සකස් වී ඇත්තේ පහසුවෙන් ජයගත නොහැකි දූෂණයේ විෂම චක්‍රයකට රට ගොදුරු කරගන්නා ආකාරයකටය.

මේ තත්ත්වයට දක්ෂිණාංශික ජේ.ආර්. ජයවර්ධන පමණක් නොව, වාමාංශික කොල්වින් ආර්. ද සිල්වා ද වගකිව යුතුය.

කොල්වින් සෝල්බරි ව්‍යවස්ථාව අහෝසි කොට පාර්ලිමේන්තුවට සර්ව බලධාරි බලයක් ලබා දුන්නේය. සෙනට් සභාව පාර්ලිමේන්තුවේ ඉදිරි ගමනට බාධාවක් ලෙස සලකා එය අහෝසි කළේය. ඊට අතිරේක වශයෙන් ව්‍යවස්ථාදායක වශයෙන් හා නීතිමය වශයෙන් පාර්ලිමේන්තුවට පනවා තිබූ සීමාවන් ද ඉවත් කොට නීතියට යටත් නැති විශාල බලයක් එයට ලබා දුන්නේය.

ඒ බලය මත පිහිටා පාර්ලිමේන්තුවේ නිල කාලය එක් අවුරුද්දකට දීර්ඝ කර ගැනිණ. එම තර්කය මත පිහිටා ජේ.ආර්. ජයවර්ධන ද තමන්ට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් අවුරුදු හයකට දීර්ඝ කර ගත්තේය.

කොල්වින් ආර්. ද සිල්වා පාර්ලිමේන්තුවට ලබාදී තිබූ සර්ව බලධාරි බලය ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුවෙන් මිලදී ගෙන තමන් වෙත (විධායක ජනාධිපති වෙත) ආරෝපණය කරගත්තේය. දැන් පාර්ලිමේන්තුව සර්වබලධාරි නැත. එහෙත් විධායක ජනාධිපති සර්ව බලධාරිය. පාර්ලිමේන්තුව වෙත තිබූ එම බලය තමන් වෙත ලබා ගැනීම පිණිස ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුවට මහජන මුදලින් වන්දි ගෙවන විශේෂ ක්‍රමයක් ඇතිකර දුන්නේය. ඔවුන්ගේ පඩි වැඩි කර දුන්නේය. අවුරුදු පහ සම්පූර්ණවීමෙන් පසු විශ්‍රාම වැටුපක් ලබාගත හැකි ක්‍රමයක් ඇති කර දුන්නේය. නිල කාලය තුළ සෑහෙන ධනයක් ලබාගත හැකි ආකාරයට වාහන බලපත්‍ර දෙකක් ලබා දෙන ක්‍රමයක් ඇතිකර දුන්නේය. විවිධ ආකාරවලින් මුදල් ඉපයිය හැකි මාර්ග ඇතිකර දුන්නේය. ඔහුගේ අනුප්‍රාප්තිකයෝ ජේ.ආර්. ජයවර්ධන ආරම්භ කළ ඒ ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන ගියහ. ඇමතිවරුන්ට පමණක් නොව, ඔවුන්ගේ බිරින්දැලා හා දරුවන්ට ද වැටුප් හා විශ්‍රාම වැටුප් ලබාගත හැකි ක්‍රමයක් ඇතිකර දුන්නේය. ඔවුන්ට ද තීරුබදු රහිත වාහන ලබාගත හැකි ක්‍රමයක් ඇතිකර දුන්නේය.

එසේ කිරීමට ජනාධිපතිවරුන් පොළඹවාලූ ඇත්ත හේතු මොනවාදැයි තේරුම් ගැනීම වැදගත්ය. ජනාධිපති බලවත්ය. එහෙත් පාර්ලිමේන්තුවේ සහාය නැතිව ජනාධිපතිට පැවතිය නොහැකිය. පාර්ලිමේන්තුවේ සහාය සඳහා මන්ත්‍රීවරුන්ට ගෙවිය යුතුය. ඔවුන් තෘප්තිමත් තත්ත්වයක තබාගත හැකි තරම් ගෙවිය යුතුය. අනුපාතික ක්‍රමය නිසා කිසිවකුට කැපී පෙනෙන බහුතර බලයක් ලබාගත නොහැකිය. මන්ත්‍රීවරුන් දහදෙනෙකු එහා මෙහා කිරීමෙන් පාර්ලිමේන්තු ආණ්ඩු පෙරළිය හැකිය. මේ තත්ත්වය වැළකීමට නම් ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා සතුටින් තබාගත යුතුය. කැබිනට් මණ්ඩලය ද සතුටින් තබාගත යුතුය. ඒ සඳහා ද ඔවුන් තෘප්තිමත් තත්ත්වයක තබාගත හැකි තරමට ඔවුන්ට ගෙවිය යුතුය.

සමස්ත ක්‍රමයම සකස් කර ඇත්තේ අනේ‍යාන්‍ය වශයෙන් එකිනෙකා උපයන ආදායම්වල ඵලදායීතාව මත දුවන ක්‍රමයක් ලෙසය. මේ ක්‍රමය රටේ උන්නතිය වෙනුවෙන් උනන්දුවක් දක්වන අපට ගොඩනගා තිබෙන ක්‍රමයක් නොව, රටේ සාරය උරාබීමට උනන්දුවක් දක්වන අයට ගොඩනගා තිබෙන ක්‍රමයකි. මේ ක්‍රමය යටතේ දේශපාලනය විශාල ලෙස මුදල් වියදම් කොට විශාල ලෙස ධනය උපයාගත හැකි ක්‍රමයක් බවට පත්ව තිබේ. මේ ක්‍රමය යටතේ දේශපාලනයේ බලපුළුවන්කාරයන් වීමේ හැකියාව ලැබී ඇත්තේ යහමින් මුදල් විසි කිරීමේ හැකියාවක් ඇති කලු සල්ලිකාරයින්ට හා ඔවුන්ගේ හෙංචයියලාටය. මේ ක්‍රමය යටතේ දේශපාලන පක්ෂ, සාමාජික මුදල්වලින් පමණක් නඩත්තු කළ නොහැකිය. ඒ නිසා දේශපාලන පක්ෂ වැඩි වැඩියෙන් නිර්ලෝභීව මුදල් ලබාගත හැකි කලු සල්ලිකාරයන් මත යැපෙන තත්ත්වයකට යා යුතුය. ආණ්ඩු පිහිටුවීමට නිර්ලෝභීව මුදල් විසි කරන කලු සල්ලිකාරයින්ට එසේ පිහිටුවනු ලබන ආණ්ඩු තමන් කැමති ලෙස නැටවීමේ හැකියාව ලැබෙන්නේය. ඔවුන් ඉල්ලා සිටින හැම දෙයක්ම ඔවුන්ට ලබාදීමට ආණ්ඩුවලට සිදුවේ. ඔවුන් හිලව්වට ඉල්ලන්නේ රටේ සම්පත්ය. ඒවා ඔවුන්ටම ලබාදීමේදී නීති රීති නොසලකා ක්‍රියා කරන්නට බලයට පත්වන ආණ්ඩුවලට සිදුවන්නේය. හැරී ජයවර්ධන බණ්ඩාරනායක පවුල බලා ගත්තේය. රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ව්‍යාපාරයට ද නිර්ලෝභීව ආධාර කළේය. ඒ නිසා රක්ෂණ සංස්ථාව විකුණන විට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පමණක් නොව, අගමැති රනිල් වික්‍රමසිංහ ද එහි නියම වටිනාකමට වඩා හුඟාක් අඩු මිලකට හැරී ජයවර්ධනට ලබාදීමට පොදු එකඟත්වයකින් ක්‍රියා කරන්නට සිදුවිය. එම ගනුදෙනුව යට සැඟවුණු සමහර කාරණා දැනගෙන සිටි රතු පක්ෂයක් ඊට එරෙහිව කෑගැසුවේය. ඔවුන්ට ද මිලියන පහක මුදලක් පක්ෂ අරමුදලට ලැබුණේය. ඒ සමග ඔවුන්ගේ කෑගැසීම ද නැවතුණි.

රටේ හැම ගනුදෙනුවක්ම සිදුවන්නේ මීට සමාන ආකාරයකටය. ඒ නිසා සමස්ත දේශපාලන ක්‍රමය රටේ සාරය උරා බී වැඩෙන පිළිකාවක් බවට පත්වී තිබේ. •