දැන් උසාවි වෙනුවට මහජනයා හා පොලිසිය අපරාධකරුවන්ට දඬුවම් දෙන තැනකට තල්ලු වී සිටින බව පෙනේ. දෙල්ගොඩ පස් පුද්ගල ඝාතනයේදී මහජනයා, අපරාධයට වගකිවයුතු බව පෙනෙන පුද්ගලයන්ගේ ගෙවල් දොරවල් කඩා බිඳ දමා ගිනි තබා විනාශ කළේය. ඉන්පසු දෙල්ගොඩ පොලිසිය සමූහ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට ද වෙඩි තබා මරා දැමුවේය.
මහජනයා නීතිය අතට ගැනීම කෙරෙහි නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අක්‍රීයබව හා දූෂිතබව ද බලපා තිබෙනවා විය හැකිය. හෝකන්දර සය පුද්ගල ඝාතනය අතිවිශාල කම්පනයක් ඇති කිරීමට හේතුවූ සිද්ධියක් වුවත්, ඊට වගකිවයුතු අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමක් සිදු නොවීය. මිනිස් ඝාතන වැනි අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව පමණක් නොව, මහා පරිමාණයේ වංචාකරුවන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් රටේ නොපවතී. නමගිය අපරාධකරුවන් හා වංචාකරුවන් නීතිය ක්‍රියාත්මක කරන හා යුක්තිය පසිඳලන ආයතන සමග කල්ලි ගැසී ක්‍රියාකරන අවස්ථා ද සුලබය. එවැනි තත්ත්වයක් යටතේ නීතිය අතට ගැනීමේ වරදක් නැතැයි සිතන තැනකට මහජනතාව තල්ලුවී යමින් සිටිනවා විය හැකිය. උසාවියෙන් දඬුවම් පමුණුවන ක්‍රමයකට ඉඩ නොතබා දෙල්ගොඩ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකුට පොලිසිය වෙඩි තබා මරා දැමුවේය. දෙල්ගොඩ පස් පුද්ගල ඝාතනය මේ දෙදෙනා විසින්ම කරන ලද්දක් ද නැතිනම් ඔවුන්ගේ ඇඟවුමක් මත වෙනත් පිරිසක් කරන ලද්දක් ද යන්න නොපැහැදිලිය. එය වෙනත් පිරිසක් කරන ලද්දක් නම් මෙම වෙඩි තැබීම නිසා ඔවුන් පසුපස හඹායෑමේ හැකියාවක් පොලිසියට නැත. පොලිසිය විසින් අපරාධවලට වගකිවයුතු පුද්ගලයන් වෙඩි තබා මරා දමන ලද ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර ද අවස්ථා ගණනාවකදී අපරාධකරුවන් වෙඩි තබා මරා දමනු ලැබීය. ඒ හැම අවස්ථාවකදීම පොලිසිය නිදහසට ඉදිරිපත් කරන ලද කරුණු එක සමානය. පොලිසිය ඒ අවස්ථාවලදී දෙන ලද අර්ථකථන අධිකරණය ද ප්‍රශ්න කිරීමකින් තොරව භාර ගත්තේය. ඒ මගින් අපරාධකාරී වරදකදී නඩු අසා වරදකරුවෙකුට දඬුවම් පැමිණවීමට අධිකරණයට ලැබී තිබුණු ව්‍යවස්ථාපිත බලය පාවිච්චි කිරීමේ අයිතිය අධිකරණය විසින් පොලිසියට ලබාදී තිබෙන බව පෙනේ.
ග්‍රාමීය සමාජය මුහුණ දී තිබෙන ගැටලු අතර, ඉඩම් ආරාවුල් ප්‍රධාන තැනක් ගනී. ඉඩම් නඩුවක් අවසන්වීමට දශක දෙකක් තරම් කාලයක් ගතවේ. ඒ සඳහා නීතිඥ ගාස්තු වශයෙන් විශාල මුදලක් වැය කිරීමට නඩු කියන්නන්ට සිදුවේ. සමහර ආරාවුල් අවසන් වන්නේ බිහිසුණු මිනීමැරුම්වලිනි. ඉඩම් ආරාවුල් ගම්බද සමාජයේ දුප්පත්කම වර්ධනය කරන සාධකයක් ලෙස ක්‍රියාකරමින් තිබෙනවා සේ ම අපරාධ වර්ධනය කරන සාධකයක් ලෙස ද ක්‍රියා කරයි. ගම්බද සියලු ඉඩම් මැන නිරවුල් කර දෙන ප්‍රතිපත්තියක් මගින් ග්‍රාමීය සමාජය වෙළාගෙන තිබෙන මෙම පිළිකාව සුවකළ හැකි වුවත්, එවැනි රාජ්‍ය ප්‍රතිපත්තියකට නීතිඥ ප්‍රජාව ඉඩ දෙන්නේ නැත. ඉඩම් ආරාවුල් නිරාකරණය කිරීමට සමත මණ්ඩලයක් වැනි ගම් මට්ටමේ සරල ආයතන ක්‍රමයක් ඇති කළ හැකිය. එවැනි ආයතන ක්‍රමයකින් විසඳිය නොහැකි ගැටලු පමණක් අධිකරණයට යැවිය හැකිය. එහෙත් එවැනි ආයතන ක්‍රමයක් ඉඩම් ආරාවුල් නඩුවලින් නීතිඥයන්ට මුදල් ඉපයීමට තිබෙන ඉඩ අහුරණ බැවින් එවැනි ප්‍රතිපත්තියකට මාරුවන්නට නීතිඥයින් ඉඩ දෙන්නේ නැත. ගම්බද සමාජයට යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය ධෛර්යය පෙන්නුම් කිරීමට කිසිම ආණ්ඩුවත් සමත් වී නැත. •