හෘදයක් නැතිව හෘදය සාක්ෂිය ගැන ප්‍රශ්න කිරීම (උවිඳු කුරුකුලසූරියට පිළිතුරක්)

October 29, 2026
Publication:
The longest article in this stretch — five thousand words answering a piece that questioned Ivan's conscience and Ravaya's. He takes the charges in order: that Ravaya attacked Mangala Samaraweera and did not print his reply, that it opposes him and suppresses him, that it should ask where new media outlets come from. An executive president cannot be examined while in office, Ivan notes, but he can examine whoever accuses him.

මගේ ද, රාවයේ ද හෘද සාක්ෂිය ප්‍රශ්න කරන අපූරු ලිපියක් උවිඳු කුරුකුලසූරිය ලියා තිබුණි. ඔහු එම ප්‍රශ්න කිරීම කර තිබුණේ මා වඩාත්ම කැමති දාර්ශනිකයා ද උපුටා දක්වමිනි.

ඔහු එම ලිපියෙන් නගන චෝදනා සැකෙවින් මෙසේය.

1. මීට සති කිහිපයකට ඉහත දී රාවය මංගල සමරවීරට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. එහෙත් එම ප්‍රහාරය එල්ල කර තිබූ කලාපයේ මංගල මහින්දගේ චෝදනාවන්ට දුන් පිළිතුර පළ නොකෙරිණ.

2. රාවය මංගලට විරුද්ධය. ඒ නිසා රාවය මංගලගේ අදහස් පළ නොකරයි. මාධ්‍ය නිදහසට තර්ජනයක් පවතින මෙවැනි යුගයක මංගලට එරෙහිවීම සේ ම මංගලගේ අදහස් පළ නොකිරීම ද මාධ්‍ය මර්දනයට කරන අතහිතදීමකි.

3. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අලුතෙන් එකතු වන ජනමාධ්‍යවල අභිප්‍රායන් හෝ පැටිකිරිය සොයා බලන තැනකට නොයා යුතුය. වඩා වැදගත් කොට සැලකිය යුත්තේ එවැනි එකතුවීම් නිසා තොරතුරු දැනගැනීමේ අයිතියට ලැබෙන විවිධත්වයේ පුළුල් බවය. පුවත්පතක අලෙවිය හා ස්ථාවරත්වය ගොඩනගා ගැනීමට හේතුවන තමන් කැමති උපාය මාර්ගයක් පවත්වාගෙන යෑමේ අයිතිය පුවත්පත සතුය.

4. මව්බිම මංගල රජකරවීම සඳහා ඉදිරියට ගෙනා ව්‍යාපෘතියක් ලෙස සලකතොත් රාවය ද කලින් කල එවැනි ව්‍යාපෘති සඳහා පෙනී සිටි පුවත්පතක් ලෙස සලකන්නට සිදුවේ. එය විජය කුමාරතුංග ඝාතනය කිරීමට පෙර කලාපයේ පළ කළ “මම දේශපාලන කුමන්ත්‍රණයක” නම් ලිපියේ සිට විටින් විට ඇතුලත්මුදලි, චන්ද්‍රිකා, රනිල් හා කරු යන අයවලුන් රජකරවීම සඳහා ක්‍රියාකළ පුවත්පතක් ලෙස සැලකිය හැකිය.

උවිඳුගේ මේ චෝදනා ඇතුළත් ලිපිය සැලකිය හැක්කේ ගාම්භීර දාර්ශනික පෙනුමකින් යුතු පෙට්ටියක බහා එවන ලද විස කැවූ උණ්ඩ සහිත, උපරිම හානියක් ඇති කිරීමේ අභිලාෂයෙන් සකස් කොට එවන ලද පාර්සල් බෝම්බයක් ලෙසය. චෝදනාවල ඇති බිහිසුණු ස්වරූපය අනුව සරල පිළිතුරක් වෙනුවට දිය යුතුව තිබෙන්නේ පරිපූර්ණ පිළිතුරකි. ඒ මගින් උවිඳුගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවාට අතිරේකව රාවයේ අභිප්‍රාය ගැනත්, වර්තමාන දේශපාලනය ගැනත් අනාගත අපේක්ෂා ගැනත් පාඨකයින්ට කරුණු විග්‍රහ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

උවිඳු දීර්ඝ කාලයක් රාවයේ වැඩ කළ, කලක් රාවයට ලිවීම නවතා නැවත ලියන ජනමාධ්‍යවේදියෙකු වනවාට අතිරේකව ජනමාධ්‍යවේදීන්ට න්‍යාය ධර්ම උගන්වන හා ඔවුන් පුහුණු කරවන ගුරුවරයෙකි.

මව්බිම පුවත්පතේ හා මංගලගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි ලිපියක් ලියන විට එසේ ලියන්නේ අදහස් පළකිරීමේ නිදහස වෙනුවෙන් පමණක් ඇති කරගත් සැබෑ කැක්කුමකින් ද, නැතිනම් එවැනි කැක්කුමක් ඇතිකර ගැනීමට බලපාන වෙනත් පෞද්ගලික හේතු තිබේ නම් ඒ මොනවාදැයි හෙළිදරව් කිරීම ජනමාධ්‍ය කලාවේ පිළිගත් මූලධර්මයකි. එහෙත් උවිඳු සිය ලිපිය ලියා තිබුණේ ඒ පැත්ත ගැන එක වචනයක්වත් සඳහන් නොවන ආකාරයටය. මව්බිම හා ටිරාන් අලස්ගේ දේශපාලන ව්‍යාපාතියක් වන එම ව්‍යාපෘතිය මෙහෙයවන පුද්ගලයා ලෙස ක්‍රියා කළේ උවිඳුට සමීප පවුලේ ඥාතියෙකි. ඒ පොලීසිය අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින දුෂ්‍යන්ත බස්නායක උවිඳුගේ මස්සිනාය. ඒ මගින් සමස්ත ව්‍යාපෘතියට උවිඳුට ඇති ලේ නෑකම උවිඳු තුළ ඇතිවී තිබෙන “අතිවිශේෂ කැක්කුම” කෙරෙහි වැදගත් සාධකයක් ලෙස බලපා තිබේ.

උවිඳු නගන චෝදනා සවිස්තරාත්මකව සලකා බලන තැනකට දැන් අපට යා හැකිය. රාවයේ සංස්කරණ ප්‍රතිපත්තියේ ස්වභාවය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් මගේ අත්දැකීම් කිහිපයක් මම පළමුවෙන් විස්තර කරමි.

සංස්කරණ ප්‍රතිපත්තිය •

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනයෙන් පසුව ඊළඟ සතියේ පළ කෙරෙන රාවයට ප්‍රේමදාස ජනාධිපති පිළිබඳ විග්‍රහයක් මම ලීවෙමි. එය පළවී දින කිහිපයකට පසුව මනුබන්දු විද්‍යාපති සමග රාවයේ කලා පිටුව සංස්කරණය කළ නිහාල් පීරිස් මා හමුවන්නට පැමිණ කොළ ගොනුවක් මට දුන්නේය. ප්‍රේමදාස ජනාධිපතිවරයා ගැන මා විසින් කරන ලද විග්‍රහයට ඔහු එකඟ නැති බව ප්‍රකාශ කරමින් මාගේ දැනගැනීම සඳහා ඔහු දරන අදහස් ඇතුළත් ලිපියක් ලිව් බව කීවේය. ඔහු විසින් ලියන ලද ප්‍රතිවිවේචනය මා පමණක් නොව රාවයේ පාඨකයින් ද දැනගත යුතු බව පවසා එය ඊළඟ කලාපයේ පළ කළෙමි. •

මාගේ පුතා පුංචි කාලයේදී ඔහු අධ්‍යාපන ලැබූ පාසලේ විදුහල්පති පිළිබඳව රළු විවේචනයක් අඩංගු ප්‍රවෘත්තියක් රාවයේ පළවිය. එය පළ කරන්නට පෙර ඒ ගැන මගෙන් විමසීමක් කළේ නැත. එහෙත් ප්‍රවෘත්තිය පළවන්නට පෙර අහම්බෙන් එය මට දකින්නට ලැබුණි. එය පුතාට ප්‍රශ්න ඇති කිරීමට හේතුවිය හැකි බව පෙනුණ ද එම ප්‍රවෘත්තිය පළවන්නට ඉඩ හැරියෙමි. ප්‍රවෘත්තිය පළවීමෙන් පසු මගේ පුතා එම පාසලේ අධ්‍යාපනය ලබන බව දන්නේ නම්, එවැනි පුවතක් පළකිරීමෙන් ප්‍රශ්න ඇතිවිය හැකි බව තේරුම් ගනිමින් ඒ ගැන මගෙන් විමසීමක් කිරීමේ යුතුකමක් තිබුණා නොවේදැයි මම කර්තෘ මණ්ඩලයෙන් ප්‍රශ්න කළෙමි. එම ප්‍රවෘත්තිය නිසා මගේ පුතාට පාසල අත්හැර යාමට සිදුවිය. •

ලලිත් ගාමිණීගේ දෝෂාභියෝග අරගලය උච්චතම තත්ත්වයක තිබෙන අවස්ථාවක ලලිත්ගේ අතීතය අළලා ඔහු පතුරු ගසන ලිපියක් පියසේන කහඳගම රාවයට ලියා එව්වේය. එය රාවයේ පළ කළෙමි. ලලිත් ඒ ගැන මට සිය අප්‍රසාදය පළ කළේය. එවැනි විවේචනයන්ට මුහුණදීමේ වැදගත්කම කියා ඊට පිළිතුරක් ලියන ලෙස ලලිත්ගෙන් ඉල්ලා සිටියෙමි. ලලිත් පිළිතුරක් ලීවේය. එය පළවූ පසු කහඳගමගේ වඩා සැර ප්‍රති පිළිතුරක් ලියා එවීය. එය ද පළ කළෙමි. එහෙත් ලලිත් ඊට පිළිතුරු දෙන්නට ගියේ නැත. වාදය කහඳගමගේ ජයග්‍රහණයෙන් කෙළවර විය. ඒ නිසා ලලිත් හා මා අතර පැවති මිත්‍රත්වය බිඳ වැටුණේ ද නැත. •

ජනාධිපති විජේතුංග පාලන බලයේ සිටි කාලයේදී කළුතර ලංකා බැංකුවේ සේවකයෙකු මා හමුවන්නට පැමිණ දුක්ගැනවිල්ලක් මට කීවේය. එම බැංකුවේම වැඩ කරන වෙනත් පුද්ගලයෙකු තරහට දෙන ලද බොරු තොරතුරක් මත පදනම් වී රාවයේ පළවූ ප්‍රවෘත්තියක් නිසා තමාට දඬුවම් මාරුවක් ලැබී තිබෙන බවත්, එල්ල කර තිබෙන චෝදනාවේ නින්දාසහගත ස්වරූපය නිසා එය තමා මැරෙන තෙක්ම තමා කරපිට තබාගෙන ජීවත්වන්නට සිදුවනු අති බව කියා සිටියේය. ප්‍රවෘත්තියේ පළ කර තිබුණේ ඔහු බැංකුවට එන කාන්තාවන්ට නොහොබිනා ලෙස විහිළු කරන බවය. ඔහු තම දුක්ගැනවිල්ල කියන අතර, වේදනාව දරාගත නොහැකිව පුංචි ළමයකු මෙන් හැඬුවේය. ඔහුට වරදක් සිදුවී ඇත්නම් යුක්තිය ඉටුකර දෙන බව මම කීවෙමි. ඔහු ගිය පසු ප්‍රවෘත්තිය ලියන ලද පුද්ගලයා කැඳවා ඒ ගැන කරුණු විමසීමක් කළෙමි. ප්‍රවෘත්තිය ලැබුණේ බැංකුවේ වැඩ කරන සමසමාජ නාගරික මන්ත්‍රීවරයෙකුගෙන් බවත්, ඔහු වමේ නාගරික මන්ත්‍රීවරයකු වන නිසා ඔහු කෙරෙහි විශ්වාසය තබා ප්‍රවෘත්තිය පළ කරන ලද බවත් ඔහු කියා සිටියේය. නාගරික මන්ත්‍රීවරයා ඔහුට තමාගේ නමසහිත කාඩ්පත ද ලබාදී තිබුණි. මා දන්නා බැංකු සේවකයකුට කතා කොට චෝදනාලාභී බැංකු සේවකයා පිළිබඳ විස්තර ලබාගත්තෙමි. ඔහු දේශපාලන වශයෙන් යූඑන්පීකාරයෙකු වුවත් ඉතාමත් අහිංසක පුද්ගලයෙකු බව කීවේය. ඉන්පසු මා අදාළ නාගරික මන්ත්‍රීවරයාට දුරකතනයෙන් කතා කොට තමන් කැමති නැති පුද්ගලයෙකුගෙන් පළිගැනීමට රාවය වැරදි ලෙස යොදා ගැනීම ගැන ඔහුට දොස් කියා ඒ මගින් අනෙක් බැංකු සේවකයාට සිදුවූ වරද නිවැරදි කිරීම සඳහා තොරතුරු ලැබුණු මාර්ගය බැංකු පාලන අධිකාරියට හෙළිදරව් කරන බව කියා සිටියෙමි. ඉන්පසු බැංකුවේ කළමනාකාරිණියට දුරකතනයෙන් කතා කොට සියලු විස්තර ඇයට කියා මෙම ප්‍රවෘත්තිය නිසා දඬුවම් මාරුවක් ලබාදෙන ලද බැංකු සේවකයාගේ දඬුවම් මාරුව අහෝසි කරන ලෙස ඉල්ලා සිටියෙමි. ඇය මට ස්තුති කොට එසේ කරන බව කියා සිටියාය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ නිකරුණේ දඬුවම් කරන ලද පුද්ගලයාට දෙන ලද දඬුවම අහෝසි වී නාගරික මන්ත්‍රී ධුරයක් හෙබවූ බැංකු සේවකයා දඬුවම් මාරුවකට ලක්වීමය. තොරතුරු ලබා ගත් මූලාශ්‍රය හෙළිදරව් කිරීම පිළිගත් ආචාර ධර්මවලට පටහැනි වුවත්, සිදුවූ වරද නිවැරදි කිරීමට මට එසේ කිරීමට සිදුවිය. •

හෝටල්කරුවන්ගේ සංගමයක පාලනය යටතේ පැවති බේරුවල ළමා නිවාසයක ජීවත් වන කුඩා ළමුන් පිරිසක් විදේශ සංචාරකයන් අතින් අපචාරයට ලක්වී ඇති බවට රාවයේ පළවූ මුල් පුවතක් හේතු කොටගෙන එම ළමා නිවස වටලා එම ළමුන් වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට පොලීසියට සිදුවිය. කුඩා ළමුන් හත්දෙනෙකු දූෂණයට ලක්වී ඇති බව හා ඉන් තිදෙනෙකුටම සමාජ රෝග ඇති බව වෛද්‍ය පරීක්ෂණවලදී සනාථ විය. මෙම වැටලීමෙන් පසු වෙනත් පුවත්පත් එම සිද්ධිය වාර්තා කිරීමේදී මෙම ළමුන් අලුත්ගම රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිය වෙත බාර දුන් විට ඔවුන් පරීක්ෂා කර බලා මේ ළමයින් දූෂණයට ලක්වී නැති බවට පොලිසියට වාර්තා කර තිබුණු බවත්, ඒ ගැන සැක කොට පොලිසිය ළමුන් නාගොඩ රෝහලට බාරදී පරීක්ෂා කිරීමෙන් පසු ළමුන් හත්දෙනෙකු දූෂණයට ලක්වී ඇති බව අනාවරණය වූ බවත් වාර්තා කර තිබුණි. පුවත්පත්වල පළවූ වාර්තා විශ්වාසයට ගෙන එම ළමා නිවාසය ගැන ලියන විමර්ශනයකදී අලුත්ගම රෝහලේ වෛද්‍යවරියගේ ක්‍රියාකලාපය මම ද දෝෂ දර්ශනයට ලක් කළෙමි. ඉන් බොහෝ කලකට පසු එම වෛද්‍යවරිය මා වෙත, කියවන ඕනෑම කෙනෙකු තුළ විශ්මයක් හා කණගාටුවක් ඇති කරවන ආකාරයේ ලිපියක් එවා තිබුණි. එයින් ඇය කියා තිබුණේ පුවත්පත්වල ඇය පිළිබඳව පළවූ වාර්තා බොරු බවය. තමා සමග අමනාපයෙන් පසු වූ පොලිස් නිලධාරියෙකු තමා නින්දාවට ලක් කිරීම සඳහා මෙම බොරු ප්‍රවෘත්තිය පුවත්පත්වලට ලබාදී තිබුණු බව හා පුවත්පත් ද කරුණු සොයා බැලීමකින් තොරව එය පළකර තිබුණු බව ඇය කියා තිබුණි. මේ ප්‍රවෘත්තිය නිසා තමාට රෝහලේ වැඩ කළ නොහැකි තත්ත්වයක් ඇතිවූ බවත්, අවසානයේ ජීවත් වන නිවස පවා වෙනස් කරන්නට සිදුවූ බවත්, සියදිවි නසා ගනිම්දෝයි කියා සිතන තත්ත්වයකට පත්ව සිටි බවත්, එල්ල වූ චෝදනාව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පරීක්ෂණ දෙකක් කළ බවත්, එම පරීක්ෂණ දෙකෙන්ම තමා නිදහස් කර ඇති බවත්, අදාළ වාර්තා සමග මට පෙන්වාදෙමින් ඒ වරද නිවැරදි කරන ලෙස මගෙන් ඉල්ලා තිබුණි. මම වහාම ඒ ගැන වාර්තාවක් ලියා මගේ බලවත් කණගාටුව ඇය වෙත ප්‍රකාශ කර සිටියෙමි. එය පළවීමෙන් පසු ඇය මට තවත් ලිපියක් එව්වාය. එහි ලියා තිබුණ දේ මතක ඇති සැටියෙන් කෙටියෙන් මෙසේය. ““මා පිළිබඳව පුවත්පත්වල පළ කරන ලද වැරදි ප්‍රවෘත්තිය මගේ ජීවිතය කාලකණ්ණි කිරීමට හේතුවී තිබුණා. මාගේ නිර්දෝෂීත්වය සනාථ කිරීමෙන් පසුත් රාවය හැර කිසිම පුවත්පතක් ඒ වරද නිවැරදි කළේ නැත. එක පුවත්පතක් හෝ ඒ වරද නිවැරදි කිරීම නිසා මට මගේ ජීවිතයට නව ආලෝකයක් ලැබී තිබෙනවා. අඩු වශයෙන් ඒ ගැන ප්‍රශ්න කරන අවස්ථාවකදී ඒ නිවැරදි කිරීම පෙන්වීමේ හැකියාව දැන් මට ලැබී තිබෙනවා. ඔබට ස්තුතියි. •

පෞද්ගලික අංශය වෙළෙඳ දැන්වීම් ලබාදීමේදී සමාජ යුක්තිය සඳහා සටන් කරන පුවත්පත් නොසලකා ක්‍රිියා කිරීම විවේචනයට ලක් කරමින් මම පෞද්ගලික අංශයේ තෝරාගත් පුද්ගලයන් ගණනාවකට මගේ නමින් දීර්ඝ ලිපියක් ලියා යැව්වෙමි. පුද්ගලයින් දෙදෙනෙක් මට පිළිතුරු එවූහ. තමන් අනුගමනය කළ ප්‍රතිපත්තිය වැරදි බව පිළිගනිමින් රාවයට සමාජ උන්නතිය පිණිස කරන කාර්ය භාරය සලකා මින් මතු වෙළෙඳ දැන්වීම් ලබාදීම සඳහා ක්‍රියා කරන බව එහි සඳහන් විය. එසේ ලියන ලද එක් පුද්ගලයකු වූයේ සෙලින්කෝ අධිපති ලලිත් කොතලාවලය. ඉන්පසු හැම මසකම ඔහුගෙන් දැන්වීම් දෙකක් පමණ අපට ලැබුණේය. කිසියම් දිනක නාමධාරී උගතුන් කණ්ඩායමක් මා සොයාගෙන ආවේය. ආචාර්ය ගාමිණී කොරයාට ලලිත් කොතලාවල අතින් සිදුවී ඇති බලවත් අසාධාරණයක් ඔවුන් මට දැනුම් දුන්නේය. මට ඒ ගැන ලිවීමේ හැකියාවක් නැති බවත්, දුෂ්කර තත්ත්වයක සිටින අවස්ථාවක ඔහු මට වෙළෙඳ දැන්වීම් ලබාදෙන ලද බවත් ඉන් ලැබෙන ආදායම රාවය පවත්වාගෙන යාමට ආධාර වී තිබෙන බවත් කීවෙමි. එහෙත් ඒ සියලු දෙනා එකහඬින් කීවේ අනෙකුත් සියලු පුවත්පත් වෙළෙඳ දැන්වීම් නිසා එම කතාව පළකිරීම ප්‍රතික්ෂේප කරන බවත්, මා වැනි අයකු පවා වෙළෙඳ දැන්වීම් නිසා එවැනි වරදක් රටට කීමෙන් වැළකී සිටින්නේ නම් එය ඉතාමත් බරපතළ තත්ත්වයක් බවත් ය. අවසානයේ රාවයට සිදුවන අලාභය නොසලකා කතාව රටට කීමට තීරණය කළෙමි. කතාව පළ කරන්නට පෙර ලලිත් කොතලාවලට ද කතා කළෙමි. කතාව පළකිරීමෙන් ආචාර්ය ගාමිණී කොරයාට සිදුවූ විශේෂ සෙතක් නැත. රාවයට එම ආයතනයෙන් ලැබෙන සියලු දැන්වීම් අහිමි විය. කතාව නොසඟවා පළකිරීමේ වැදගත්කම කියා දුන් නාමධාරී උගතුන් ද රාවයට විකල්ප දැන්වීම් මාර්ගයක්වත් සොයා දුන්නේ ද නැත.

හේමසිරි මගේ මිත්‍රයෙකි. ඔහු තමන්ට හැකි හැම අවස්ථාවකදීම රාවයට ආධාර උපකාර කළේය. ඒ බව රාවයේ කාර්ය මණ්ඩලය ද දැන සිටියේය. හේමසිරි ගැන එක වරක් නොව අවස්ථා ගණනාවකදීම රාවයේ විවේචන පළවිය. විජය උඳුපිටිය ද මගේ මිත්‍රයෙකි. ඔහු සමාජ දේශපාලන ප්‍රශ්න පිළිබඳ මනා සංවේදීභාවයකින් යුතු පුද්ගලයෙකි. රාවය ආර්ථික වශයෙන් දුෂ්කර තත්ත්වයක සිටින අවස්ථාවක ආත්මාර්ථයෙන් තොරව රාවයට ආධාර කළ පුද්ගලයෙකි. මුරුසි දිවයිනේ ඇඟලුම් කර්මාන්තශාලාවලට ශ්‍රී ලංකාවෙන් සේවිකාවන් යැවීමේ ඒකාධිකාරය තිබෙන්නේ ඔහුටය. ශ්‍රී ලංකාවේ ඇඟලුම් සේවිකාවන්ට වැඩිම වැටුප් ලැබෙන රට වන්නේ ද මුරුසියයි. ජෝර්දානයේ, සෞදි අරාබියේ හෝ මැලේසියාවේ ලැබෙන වැටුප රුපියල් 14,000කට වැඩි නැත. එහෙත් මුරුසියේ රුපියල් 20,000කට වැඩි වැටුපක් ලැබිය හැකිය. රටේ පරිසරය ද ශ්‍රී ලංකාවට සමානය. ඔහු පිටරට යවන සේවකයන් සඳහා අය කෙරෙන සේවා ගාස්තු ද වෙනත් රටවල ඇඟලුම් කර්මාන්තශාලා සඳහා අය කෙරෙන සේවා ගාස්තුවට වඩා අඩුය. මුරුසියේ ශ්‍රී ලාංකිකයින් සේවය කරන කර්මාන්තශාලාවක සේවක ආරාවුලක් ඇතිවී රටේ සියලු පුවත්පත් එය ආවරණය කළේය. රාවය ද එය ආවරණය කළේය. සියලු පුවත්පත් ඒජන්සිකරුවාට චෝදනා කරන පිළිවෙතක් අනුගමනය කළේය. පුවත්පත් කතා කළ දේවල ඇත්තක් තිබුණ ද එහිදී සැලකිල්ලට ගැනුණේ සමස්ත චිත්‍රය නොව තෝරාගත් එක කොටසක් පමණය. ප්‍රශ්නය අවසන් වූයේ ශ්‍රී ලාංකිකයන්ට මුරුසියට යාමට තිබෙන ඉඩ සීමාවීමෙනි. වැඩ වර්ජනයේ යෙදී ආපසු මෙහි පැමිණියවුන්ගෙන් කිසියම් විශාල පිරිසකට නැවත මුරුසියට යාමට අවශ්‍ය වී ඇතත්, ඒ රට ඔවුන් භාරගන්නේ නැත. ඇඟලුම් කර්මාන්තයේදී සාපේක්ෂ වශයෙන් වඩා හොඳ වැටුප් ලබාගත හැකි රටක් ශ්‍රී ලංකාවට අහිමිවෙමින් තිබේ. දැන් ඒ රට ඇඟලුම් සේවකයන් සඳහා බර තබා ඇත්තේ ශ්‍රී ලංකාවට නොව, බංගලිදේශයටය. මේ ආරාවුලේදී රාවය ප්‍රමුඛ භූමිකාවක් රඟපෑවේ නැතත්, පෙරහැරට එකතු වී ක්‍රියා කළේය. වෙනත් පත්තර සේ ම රාවය ද මිලදී නොගන්නා ලෙස සිය බිරිඳ තමාට කී බව විජේ මට කීවේය.

මංගල ගැන

සංස්කරණ ප්‍රතිපත්තිය

දීර්ඝ බව නොසලකා මේ සියල්ල කියන්නට අවශ්‍ය වූයේ රාවයේ සංස්කරණ ප්‍රතිපත්තිය පිළිබඳව සාධාරණ තක්සේරුවක් ඇති කරගැනීමට අවශ්‍ය පසුබිම් දැනුම පාඨකයින්ට ලබාදීම අවශ්‍ය නිසාය. වැරදි හා අඩුපාඩුකම් තිබියදීත් සාපේක්ෂ වශයෙන් ශ්‍රී ලංකාවේ කිසිම පුවත්පතක නැති තරම් නිදහස් හා සාධාරණ සංස්කරණ ප්‍රතිපත්තියක් රාවයේ ඇති බව මම විශ්වාස කරමි.

දැන් අපට විවෘත මනසකින් මංගල පිළිබඳ ප්‍රශ්නය සලකා බැලිය හැකිය. මංගලගේ හා ශ්‍රීපතිගේ අදහස් පළ නොකරන ප්‍රතිපත්තියක් රාවය අනුගමනය කළේ නැත.

රාවය කර්තෘ මණ්ඩලය තුළ විවිධ දේශපාලන මත දරන්නෝ සිටිති. ඔවුන් කර්තෘගේ රූකඩ නොවන අතර, තමන් කැමති මතය ද මතුකරලීමට උනන්දුවකින් ක්‍රියා කරන බවක් ද පෙනේ.

මංගලගේ කැරැල්ල ඇතිවීමෙන් පසු පැවති පළමු කර්තෘ මණ්ඩල සාකච්ඡාවේදී මංගලගේ හෝ ශ්‍රීපතිගේ සම්මුඛ සාකච්ඡාවක් පළ කරන ලෙස මම ඉල්ලා සිටියෙමි. තිලක් කෝදාගොඩට මව්බිම සමග සම්බන්ධයක් තිබුණ නිසා එම සම්මුඛ සාකච්ඡාව පැවැත්වීමේ වගකීම පවරා දෙන ලද්දේ ඔහුටය. රාවයේ කර්තෘ මණ්ඩලය මංගල විරෝධී කර්තෘ මණ්ඩලයක් ලෙස ද සැලකිය නොහැකිය. මංගලගේ කැරැල්ල ගැන මා දරන අදහස් කුමක් වුවත්, එම කැරැල්ල ආශ්වාදයෙන් සලකන අය ද කර්තෘ මණ්ඩලය තුළ සිටිති. මංගලගේ කැරැල්ල හා ඊට ආවේණික සීමිතකම් විග්‍රහ කරමින් මා විසින් ලියන ලද ලිපිය පළවූ කාලයේම එම කැරැල්ලට පක්ෂපාතව කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලියන ලිපියක් ද රාවයේ පළවිය. මාගේ ලිපිය පළවීමෙන් පසු සති දෙකක කාලයක් මම ශ්‍රී ලංකාවේ නොසිටියෙමි. මා කැනඩාවට යන්නට පෙර කැරැල්ලට පක්ෂපාතව ලාල් විජේනායක විසින් ලියන ලද ලිපියක් මට ලැබී තිබුණු අතර, එය මම නියෝජ්‍ය කර්තෘට දී, එය පළ කරන ලෙස ඉල්ලා සිටියෙමි. එහෙත් ලාල්ගේ ලිපිය පළවී නැති බව මම ආපසු ආවිට දැන ගත්තෙමි. ඒ ගැන මම කර්තෘ මණ්ඩල සාමාජිකයන් සමග ද කතා කළෙමි. මංගල මහින්දට ලියන පිළිතුරු ලිපිය හිතාමතා පළ නොකළ බවට උවිඳු නගන චෝදනාව මුළුමණින් සත්‍යයෙන් තොරය. රාවය පළවනුයේ සතියට එක දිනක් පමණය. වෙනත් පත්තරවලට මෙන් නොව, මංගල රාවයට කතා නොකරයි. එය පළවූයේ මංගලට සමීප පුවත්පත් කිහිපයක පමණය. සමහර විට මංගල එය වෙනත් පුවත්පත්වලට නොදී තමන් විශ්වාස කරන පුවත්පත්වලට පමණක් දුන්නා විය හැකිය. වෙනත් පුවත්පතක පළවූ පසු එවැන්නක් පසුව තවත් පුවත්පතක පළ කෙරෙන්නේ නැත. මංගල හා ශ්‍රීපතිගේ හඬ සාධාරණ ලෙස මහජනතාවට අසන්නට නොලැබුණේ යැයි කියන කතාව මා පිළිගන්නේ නැත. ඔවුන් කියන දේවල් විවිධ මාර්ගවලින් මුළු රටටම ප්‍රමාණවත් ලෙස අසන්නට ලැබුණි. ඒ හඬ කාටවත් යටපත් කරන්නට පුළුවන් වූයේ නැත.

මංගලගේ කැරැල්ල අරභයා උවිඳු රාවයට නිර්දේශ කරන ප්‍රතිපත්තිය කුමක්ද? ඔහු කියන්නේ “මාධ්‍ය නිදහස තර්ජනයකට ලක්ව පවතින මෙවැනි යුගයක” මංගලගේ අදහස් පළ නොකිරීම පමණක් නොව, මංගලට එරෙහිවීම ද රාවය වැනි පුවත්පතකට නුසුදුසු බවය. ඔහු කියන ආකාරයට රාවය මාධ්‍ය නිදහස ගැන උනන්දුවක් දක්වන පුවත්පතක් නම් මංගලගේ අදහස් පළ කිරීමෙන් නොනැවතී ඔහුගේ කැරැල්ලට පක්ෂව ද ක්‍රියාකළ යුතුය.

මංගලගේ අදහස් දැනගැනීමට පාඨකයාට ඉඩදිය යුතු බවට සැකයක් නැත. එහෙත් මංගලගේ කැරැල්ලට අප පක්ෂ විය යුත්තේ ඊට යහපත් ඉදිරි දර්ශනයක් ඇත්නම් පමණය.

අපි දේශපාලන බොරුවළවල්වලට වැටී අත්දැකීම් ලැබූ අය වෙමු. අපි දේවල් වඩා හොඳින් දැකීමට ඉගෙන ගෙන ඇත්තේ එම අත්දැකීම් ආශ්‍රයෙනි. අපට අපේ අත්දැකීම් අනුව පෙනෙන හරි දේ මහජනයාට නොකියා ඔවුන්ට දේශපාලන බොරු වළවල්වලට වැටීමට ඉඩ හැරීම නිවැරදිද?

මංගලගේ මතය මහජයාට දැනගන්නට ඉඩදීම වැදගත්ය. ඒ සමග ඒ ගැනම මට ඊට වෙනස් මතයක් ඇතොත් මා ඒ ගැන මහජනයාට කතා නොකළ යුත්තේ ඇයි? මහජනයා දැනගත යුත්තේ මංගලගේ මතය පමණක්ද?

මංගලගෙන් ප්‍රකාශ වූ මතය අනුව රාජපක්ෂ පාලනය පෙරළා දැමීම කිරි කජු කනවා වැනි පහසු කාරියකි. විරුද්ධ පක්ෂය හා ආණ්ඩු පක්ෂය අතර වෙනස 6කි. ඒ අඩු හයදෙනා එකතු කරගත් විට මහින්ද පරාජය කළ හැකිය.

ඒ ගැන මාගේ මතය වූයේ මංගලගේ නැගීටිම නිසි තක්සේරුවකින් තොරව කරන ලද දඩිබිඩි නැගිටීමක් බවය. විරුද්ධ පක්ෂය හා ආණ්ඩු පක්ෂය අතර වෙනස විශාල නොවූවත් විරුද්ධ පක්ෂයේ සියලු දෙනා එකට එකතු කිරීම සරල හෝ පහසු දෙයක් නොවන බවය. ඒ සියලුදෙනා එකට ඒකරාශී කරගත්ත ද විධායක ජනාධිපති ක්‍රමය තුළ ජනාධිපති මරණයට පත් නොවන්නේ නම් ජනාධිපතිවරණයකදී හැර අතරමැදි අවස්ථාවකදී ඔහු පරාජය කිරීමට ඉඩක් නැති බවය. අනෙක් අතට විධායක ජනාධිපති ක්‍රමය ධුර කාලය සඳහා වන ඒකාධිපති ක්‍රමයක් නම් ක්‍රමය වෙනස් කරන අරගලයකින් තොරව පුද්ගලයා මාරු කරන ක්‍රමයකින් රටට කිසිම සෙතක් නොවන බවය.

මංගලගේ කැරැල්ල නිසි තක්සේරුවකින් තොරව මෝඩ චූන් එකකින් කරන ලද දඩිබිඩි කැරැල්ලක් බව හා එය පරාජයෙන් අවසන් වනු ඇති බවට මා කියන ලද අනාවැකිය බොරුවීද?

මට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය පිළිබඳ විවේචනයක් තිබේ. එම තනතුර ඩැහැගෙන ඊළඟ ඒකාධිපති පාලකයා වීමට මාන බලන මංගල සමරවීර ගැන ඊට වැඩි විවේචනයක් මට ඇති බව ද කිව යුතුය.

මට පෙනෙන ආකාරයට ශ්‍රීලනිප හා ජවිපෙ අතර සන්ධානයක් ඇතිවීමත් සමග ශ්‍රී ලංකාව මුහුණ දී තිබූ දේශපාලන අර්බුදය අලුත් අදියරයකට ගමන් ගත්තේය. අර්බුදයේ අලුත් අදියරයේ නිර්මාපකයා මංගලය.

රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව විධායක බලය යොදා විසුරුවා හරින තත්ත්වයක් ඇති කිරීමට මුල් වූයේ මංගලය. ඉන්පසු පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවාසියට හේතුවන සන්ධානයක් ජවිපෙ සමග ඇති කරගැනීමට අවශ්‍ය පෙළඹවීම කරන ලද්දේ ද මංගලය. ඒ සියල්ලෙහි අරමුණ වූයේ රට අතිවිශාල අර්බුදයකට තල්ලු කර හෝ තමා රජවීමය. අවාසනාවකට මංගලගේ දේශපාලන සැලැස්මෙන් අසාර්ථක වූයේ තමා රජවන කොටස පමණය. සීයට අනූවක්ම හරි ගොස් සියයට දහයක් පමණක් වැරදුණේ කෙසේදැයි තේරුම් ගැනීමට මංගල අපොහොසත් විය. සියයට අනූවක් සාර්ථකවීමෙන් ලබන ලද මෝඩ චූන් එකෙන් මත්වී ඉතිරි සියයට දහය ජයගැනීම සඳහා දඩි බිඩි විප්ලවයට මුල පිරීය. ඉන් දැනටමත් ලැබී තිබෙන ප්‍රතිඵලය ඉතාමත් අවාසනාවන්තය.

විධායක ජනාධි පතිවරයෙකුට දූෂණ චෝදනා එල්ල කරන විට එසේ චෝදනා කරන තැනැත්තාගේ අත් පිරිසිදු තත්ත්වයක තිබීම අත්‍යවශ්‍යය. තනතුරේ සිටින තෙක් විධායක ජනාධිපතිවරයා පරීක්ෂාවට ලක් කළ නොහැකිය. එහෙත් විධායක ජනාධිපතිට අවශ්‍ය නම් තමන්ට චෝදනා කරන පුද්ගලයා පරීක්ෂාවට ලක් කළ හැකිය.

රාජපක්ෂ සහෝදර සමාගමේ දූෂණ ගැන කතා කරන මංගලගේ අත්දෙක පිරිසිදුද? තමන්ගේ පාලනය යටතේ පැවති ආයතනවල පිරිසිදු පාලනයක් පවත්වාගෙන යාමට මංගල සමත්වී ද?

මා සිතන අන්දමට මේ රටේ යහපත් වෙනස්කම් දිනාගැනීමට හේතුවන අවංක දේශපාලන අරගලයක් ආරම්භ වනු ඇත්තේ පවතින ක්‍රමය ආරක්ෂා කරගනිමින් රජු පමණක් වෙනස් කිරීමට කරන බොරු අරගල වෙනුවෙන් පෙනී සිටින දේශපාලන නායකයින්ට තිබෙන මහජන පිළිගැනීම වාෂ්පවූදාටය. දැන් රට තල්ලුවී යමින් සිටින්නේ ද ඒ දිශාවටමය.

මව්බිම මර්දනයේදී දක්වන ලද නිහඬතාව ගැන ද උවිඳු ප්‍රශ්න කර තිබුණි.

ඒ දක්වන ලද නිහඬතාව ගැන සාධක දෙකක් බලපෑවේය.

ජාතික හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ පරීක්ෂණයක් පිළිබඳව 2005 වසරේදී පමණ අපි වාර්තා කළෙමු. ඇමති ඩග්ලස් දේවානන්ද ඝාතනය කිරීමට පැමිණි මරාගෙන මැරෙන කත අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය ළඟ තිබූ ජාතික හැඳුනුම්පත පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයේදී කොටි සංවිධානයට අවශ්‍ය හැඳුනුම්පත් නිකුත් කෙරෙන වැඩපිළිවෙළක් ජාතික හැඳුනුම්පත් කාර්යාංශය තුළ ක්‍රියාත්මක වන බව ද සොයාගත හැකිවිය. කොටි සංවිධානයට නිකුත් කර ඇති හැඳුනුම්පත් 14ක් පිළිබඳව කරන ලද පරීක්ෂණයේදී ඒ හැම හැඳුනුම්පතක්ම හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියාගේ පෞද්ගලික අනුදැනුම ඇතිව නිකුත් කර තිබෙන බව සනාථ විය. සිීඅයිඩීයට හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වුවත්, එයට අධිකරණයෙන් අවසර නොලැබුණි. හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියා ජනාධිපතිනිය විසින් පත් කෙරුණු පුද්ගලයෙක් විය. ඔහු ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු වූ අතර, ජනාධිපතිනිය සමග සමීප සම්බන්ධයක් තිබූ පුද්ගලයෙකු ද විය. ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට ඉඩ නොලැබීම කෙරෙහි ඒ සාධකය බලපෑවේය.

මෙම පරීක්ෂණයේ කොණක ටිරාන් අලස් ද සිටියේය. එය හැඳුනුම්පත් ලබාදීමේ සිද්ධියකට අදාළව නොව, එල්ටීටීඊයේ පිරිසකට ජංගම දුරකතන සම්බන්ධකම් ලබාදීමේ සිද්ධීන් කිහිපයකට අදාළවය. මෙය එකම පරීක්ෂණයකට අදාළ අතුරු සිද්ධියක් විය.

මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වී ටික දිනකට පසුව මා හොඳින් දන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි යෙකු මට කීවේ ටිරාන් අලස්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම්දීම් කිහිපයක්ම කර ඇතත්, රාජ්‍ය බලයට තිබෙන සම්බන්ධය හේතු කොටගෙන ඔහු එම දැනුම්දීම්වලට කිසිම ප්‍රතිචාරයක් නොදක්වන බවත් ය. ටිරාන් අලස් වැනි පුද්ගලයෙකුට ගුවන් තොටුපළ භාරදීම ගැන ද ඔහු විවේචනය කළේය. කොටි සංවිධානය කළු සල්ලි සුදු කිරීමට පාවිච්චි කෙරෙන එක් පුද්ගලයෙක් ඔහු වන බව ද ඔහු කියා සිටියේය.

මේ කතාව මට අසන්නට ලැබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා මංගල සමරවීර අතර භේද ඇතිවූ පසුව නොව, ඊට බොහෝ පෙරය. ඒ වන විට “මව්බිම” නමින් පුවත්පතක් පවා නොතිබුණේය. අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවේ නිලධාරියා කියන ලද කතාව හුදු සැකයක් මත කියන ලද කතාවක් ද නැතිනම් පරීක්ෂණවලින් සොයාගත් සත්‍ය තොරතුරු මත කියන ලද කතාවක් ද යන්න මම නොදනිමි. උවිඳුගේ ප්‍රශ්න කිරීම නොවේ නම් මේ සිද්ධිය මම ලියන්නේ ද නැත. සැකයේ ඇත්ත නැත්ත කුමක් වුවත්, මහින්ද රාජපක්ෂ හා මංගල සමරවීර භේදය ඇතිවන්නට පෙර සිට එල්ටීටීඊ සංවිධානය පිළිබඳව ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැකයට ලක්ව සිටි පුද්ගලයෙක් බව ඉන් පෙනී යයි. එල්ටීටීඊය සිය අරගලයේදී පුද්ගලයෙකුට මිලක් ඇත්නම් ඒ පුද්ගලයා අවශ්‍ය පුද්ගලයෙකු නම් ඒ පුද්ගලයාට නිර්ලෝභී ලෙස අවශ්‍ය මිල ගෙවන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යයි. සමහර යුද හමුදා කඳවුරු අල්ලා ගැනීමේදී යුද ශක්තියට අමතරව පගාව ද වැදගත් සාධකයක් ලෙස ක්‍රියාකර තිබෙන බව ද පෙනෙන්නට තිබේ. තමන්ට අවශ්‍ය හැඳුනුම්පත් ලබාගැනීමේදී ද ආයතන ප්‍රධානියාට ඉහළ මිලක් ගෙවීම මගින් ඒ අරමුණ ඉටු කරගන්නට හැකිවූ බව ද පෙනී යයි. හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියා පිළිබඳ පරීක්ෂණයේදී කිසිම සාධාරණ හේතුවක් නැතිව ඔහු අමාරුවේ දැමීමට අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට අවශ්‍ය වී යැයි කියන හැඟීමක් මට ඇතිවූයේ නැත. ටිරාන් අලස්ට එල්ටීටීඊ සම්බන්ධකම් තිබූ බව දේශපාලන ලෝකයට ද රහසක් නොවීය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයෙන් ටික දිනකට පසුව ටිරාන් අලස් පිළිබඳව මට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි යෙකුගෙන් අසන්නට ලැබුණු මෙම කතාව නිසා ටිරාන් අලස් මුල්වී ආරම්භ කෙරුණු මව්බිම පුවත්පත දෙස ආරම්භයේ සිට මා බලන ලද්දේ සැකයෙනි. මව්බිම පුවත්පතේ ප්‍රචාරක කටයුතු සඳහා කෝටි ගණනින් සල්ලි වීසි කෙරුණු ආකාරය ද මා තුළ තිබූ එම සැකය වර්ධනය කිරීමට හේතුවිය.

රිවිර හා නේෂන් පුවත්පත් ව්‍යාපාරය ආරම්භ වූයේ ද සමාන කාලවකවානුකය. මෙම පුවත්පත් ආයතනයේ හිමිකරුවා රිචඩ් පීරිස් සමාගමේ නව හිමිකරුවාය. ඔහු ටිරාන් අලස්ට වඩා ලොකු සල්ලිකාරයෙකු වුවත්, මව්බිම කරළියට ගැනීම සඳහා ටිරාන් අලස් දරන ලද ප්‍රචාරක වියදම ඔහු දරන ලද වියදමට වඩා දහගුණයකින් පමණ විශාලය. සමහරවිට ඒ සඳහා දරන්නට ඇති වියදම රුපියල් ලක්ෂ 500ත් 1000ත් අතර විය හැකිය. ශ්‍රී ලංකාවේ පුවත්පතක් කරළියට ගැනීම සඳහා කරන ලද විශාලතම ප්‍රචාරක වියදම ද එය විය හැකිය.

අභ්‍යන්තර මාර්ගවලින් ලැබුණු තොරතුරු අනුව එක් පුවත්පතක නිෂ්පාදන වියදම රුපියල් 400කට ආසන්න විය. මම එය රුපියල් 200ක් ලෙස වාර්තා කළේ ඒ ලැබුණු තොරතුරේ අතිශයෝක්තියක් ඇතොත් එය සමනය කිරීම සඳහාය. පුවත්පත නොකඩවා වෙළෙඳපොළට නිකුත් කරනු ලැබුවත් වෙනත් පුවත්පත් ආයතන මෙන් මසකට වරක් විකුණූ පුවත්පත් සඳහා මුදල් එකතු කිරීමක් සිදු නොවන බව මට දැනගන්නට ලැබුණේ රාවයේ බෙදාහැරීමේ අංශයෙනි. එය මා විශ්මයට පත් කළ අලුත් අත්දැකීමක් විය. පුවත්පතක් අලාභයට දුවනවා යන්නෙහි තේරුම නිෂ්පාදන වියදම හා ආදායම අතර පරතරයක් පවත්නා බවය. එහිදී අය කරගත හැකි ආදායම් අත්හැරීමක් සිදුවන්නේ නැත. එහෙත් මෙහි සිදුවී ඇත්තේ අලෙවි ආදායම මුළුමණින් නොසලකා ක්‍රියා කරන ප්‍රතිපත්තියකි. වසරකට වරක් හෝ හයමසකට වරක් අලෙවි වූ පුවත්පත්වල මුදල් එකතු කරන සම්ප්‍රදායක් පුවත්පත් කර්මාන්තයේ නොපවතී. සාමාන්‍යයෙන් හැම මාසයකම මුදල් එකතු කළ යුතුය. නැතිනම් පත්තර ඒජන්සිකරුවන්ගෙන් මුදල් ලබාගැනීම ඉතා දුෂ්කරය.

පුවත්පත්කරුවන් පුවත්පත් අලෙවි කරන ඒජන්සිකරුවන්ට ගෙවන සම්මත කොමිස් මුදලක් ඇත්තේය. එය සාමාන්‍යයෙන් අලෙවි මිලෙන් 20%කි. ඒත් මව්බිම වෙළෙඳුන්ට ගෙවීමට එකඟ වු කොමිස් මුදල 50%කි. පුවත්පත නිෂ්පාදන වියදම රුපියල් 200ක් ලෙස සලකතොත්, අලෙවි මිල රුපියල් 25කි. වෙළෙන්දාට ගෙවන කොමිස් මුදල රු. 12.50කි. වැය කරන සෑම රුපියල් 200ක් සඳහාම ආපසු ලැබීම රුපියල් 12.50කි.

උවිඳු මව්බිමේ වෙළෙඳ ප්‍රතිපත්තිය සාධාරණය කිරීම සඳහා නගන තර්කවල කිසිම වටිනාකමක් නැත. යුරෝපා රටවල නොමිලේ දෙන පුවත්පත් සේ ම මුදලට විකිණෙන පුවත්පත් ද ඇත්තේය. නොමිලේ දෙන පුවත්පත්වල නිෂ්පාදන වියදම පියවා ගන්නේ වෙළෙඳ දැන්වීම්වලිනි. ඒවා වෙළෙඳ තොරතුරුවලට බර තබන පුවත්පත් වේ. මුදලට විකුණන පුවත්පත් වෙළෙඳ නියෝජිතයන්ට ගෙවන වට්ටම්වල සම්මත රාමුවක් පවතී. ඒ සම්මත වට්ටම ඉක්මවා ක්‍රියාකළ නොහැකිය. නිදහස් වෙළෙඳපොළ පරිසරයක වුවත්, වෙළෙඳාමට අදාළ නීති රීති පවතී. පුවත්පත් ක්ෂේත්‍රයට සිදුවන කඩා වැදීම් සොයා බැලීම සඳහා රාජකීය කොමිසමක් පත් කිරීමට හැට ගණන්වලදී එංගලන්ත පාර්ලිමේන්තුවට සිදුවිය.

තමන්ට අයිති නැති වෙනත් කෙනෙකුට අයිතිව තිබූ මව්බිම යන නම පැහැර ගත් ආකාරය ද මීට පෙර විස්තර කර ඇත්තෙමි. මෙය මංගලගේ පළමු පුවත්පත් ආයතනය නොව දෙවැනි පුවත්පත් ආයතනයයි. පළමු අත්හදා බැලීමේදී ද අතිවිශාල මුදල් කන්දරාවක් විසි කෙරිණ. පුවත්පතට අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවාගෙන ඔවුන්ට වැටුප් ගෙවමින් කිසිම පුවත්පතක් පළ නොකර පුවත්පත් ආයතනය පවත්වාගෙන ගිය කාලසීමාව මාස 13කි. කාර්ය මණ්ඩලයේ මාසික වැටුප් වියදම පමණක් රුපියල් ලක්ෂ හතකට අඩු නොවීය. පුවත්පත පළ කෙරුණේ 14 වැනි මාසයේදීය. එය පළ කෙරුණේ ද මාස 13ක් පමණය. පුවත්පත් ආයතනය වසා දමන විට සේවකයින්ට ගෙවන මාසික වැටුපෙන් අර්ථසාධක අරමුදල සඳහා ඔවුන්ගෙන් අයකරගත යුතු පංගුව කපාගෙන තිබුණ ද, එම මුදල් අර්ථසාධක අරමුදලට ගෙවා නොතිබුණි.

එම පළමු ව්‍යාපෘතියට ආවේණික කැපී පෙනෙන අශිෂ්ට ලක්ෂණ දෙකක් තිබුණි. පුවත්පත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික අරමුදලෙන් කිසියම් කොටසක් ණය පදනමක් මත ලබාගෙන තිබුණේ මහජන බැංකුවෙනි. එහෙත් ඒ ණය මුදල් ලබාගෙන තිබුණේ රාජ්‍ය බලය මත ආරක්ෂණ තැන්පත් කිරීමකින් තොරවය. අද දක්වා ඒ ලබාගත් ණය මුදල්වලින් එකම සතයක්වත් ආපසු ගෙවා නැත. දෙවැනි අශිෂ්ට දේ වනුයේ ආණ්ඩුවේ මුද්‍රණාලයේ දෙවැනියා (නියෝජ්‍ය මුද්‍රණාලයාධිපති) මාසිකව ගෙවන දීමනාවක් මත මෙම ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන සිටීමය. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම වැනි ඉතා වැදගත් රාජ්‍යයේ රහස්‍ය මුද්‍රණ කටයුතු සිදු කෙරෙන තැන වනුයේ ආණ්ඩුවේ මුද්‍රණාලයයි. මුද්‍රණාලයේ දෙවැන්නා තමන්ගෙන් දීමනා ලබන තැනට පත්කර ගැනීම මගින් ඒ ඕනෑම රහස්‍ය කටයුත්තකට ඇඟිලි ගැසීමේ බලය මංගල තමන් වෙත ලබාගෙන තිබුණේය.

මව්බිමේ ගිණුම් අත්හිටවූ අවස්ථාවේදී මව්බිමේ ජනමාධ්‍යවේදියෙක් දුරකතනයෙන් මට කතා කොට ඒ ගැන ප්‍රකාශයක් ලබාදෙන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. මා දන්නා තත්ත්වය එම ජනමාධ්‍යවේදියාට පැහැදිලි කරදීමට මට සිදුවිය. මංගල ජනාධිපති සමග ආරාවුලක් ඇතිකර ගන්නට පෙර ද ටිරාන් අලස් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවේ පරීක්ෂණයක් පැවති බව මම ඔහුට කීවේ ඒ ගැන සඳහන් කිරීමකින් තොරව හුදු හෙළා දකින ප්‍රකාශයක් පමණක් මට කළ නොහැකි බව ප්‍රකාශ කරමිනි. අනෙක් අතට එවැනි සඳහනක් සමග කරන හෙළා දකින ප්‍රකාශයක් මේ මොහොතේ මව්බිමේ යහපතට හේතු නොවන බව කියන්නට ද මට සිදුවිය.

මංගල ජනාධිපතිට එරෙහිව අභියෝග කරන තැනකට ගිය විට මංගලගේ හඬ පතුරුවාලීමට තිබුණු මව්බිම පුවත්පත මර්දනය කිරීමේ වුවමනාවක් ජනාධිපතිවරයාට ඇතිවූවා විය හැකිය. ඒ සඳහා සුදුසු ක්‍රමයක් ගැන කල්පනා කරමින් සිටින අවස්ථාවක ටිරාන් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන් කලකට පෙර ආරම්භ කර ඇති පරීක්ෂණය ගැන දැනගන්නට ලැබී එය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය අනුග්‍රහය දුන්නා විය හැකිය. එහෙත් එම පරීක්ෂණයට පදනම් වී ඇති කාරණා මව්බිම මර්දනය කිරීම සඳහා ම ගෙතූ කතාවක් ලෙස සැලකිය නොහැකිය.

ආයුධ සන්නද්ධ අරගලයක් වෙනුවෙන් පුහුණුව ලබා ක්‍රියා කරන සිංහල තරුණ පිරිසක් සමග ජනමාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව දැන ගත්විට ඊට පසුදින හිමිදිරි උදයේ මා සුනන්ද දේශප්‍රියට දුරකතනයෙන් කතා කොට කීවේ ජනමාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටින මෙම පුද්ගලයා ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක ක්‍රියාකාරී සාමාජිකයකු වේ නම් ඔහු ජනමාධ්‍යවේදියෙකු ලෙස සැලකිය නොහැකි නිසා ඔහු ජනමාධ්‍යවේදියෙකු ලෙස සලකා ඔහු වෙනුවෙන් උද්ඝෝෂණ කරන තැනකට නොආයුතු බවය. සම්පත් ලක්මාල් ඝාතනයේදී ද මගේ මතය වූයේ ඔහු බුද්ධි අංශ සහ වෙනත් සංවිධාන සමග වැඩ කළ අතරමැදියකු බවට පිළිගැනීමට තරම් සාධාරණ හේතු තිබුණු නිසා ඔහු ජනමාධ්‍යවේදියකු ලෙස සලකා ක්‍රියාකිරීම වැරදි බවය. ඔහුගේ ඝාතනය මා අනුමත කරන බව ඉන් අදහස් කරන්නේ නැත. එහෙත් ඔහුගේ ඝාතනය අදහස් පළකිරීමේ නිදහස මර්දනය කිරීමේ අරමුණින් කරන ලද ඝාතනයක් ලෙස සැලකීම වැරදිය.

විජය කුමාරතුංග

දැන් මට උවිඳු රාවයේ දේශපාලන ව්‍යාපෘතීන්ට අදාළව ඉදිරිපත් කර තිබෙන ප්‍රශ්නාවලියට පිළිතුරු දිය හැකිය. උවිඳු කියන්නේ මව්බිම මංගල රජකරවීම සඳහා ඉදිරියට ගෙනා ව්‍යාපෘතියක් ලෙස විග්‍රහ කරන්නේ නම් රාවය ද ලලිත් ඇතුලත්මුදලිගේ සිට කරු ජයසූරිය දක්වා විවිධ නායකයින් රජකරවීම සඳහා විටින් විට ක්‍රියාවට නගන ලද ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකි බවය.

ඔහු අවසාන ප්‍රහාරය සඳහා එක් උණ්ඩයක් වෙනුවට එක විට උණ්ඩ ගණනාවක් පාවිච්චි කරයි. එහෙත් ඔහු වචන හසුරුවා ඇති ආකාරයට ඒ සියලු උණ්ඩ අතරින් මාරක උණ්ඩය ලෙස ඔහු විශ්වාසය තබා ඇත්තේ එක් උණ්ඩයක් කෙරෙහි පමණය. එනම් විජය කුමාරතුංග උණ්ඩය කෙරෙහිය. අනෙක් උණ්ඩ තුවාල කිරීම හා සද්ද ඇති කිරීම සඳහාය.

ඔහු ඉතිහාසය හාරා අවුස්සන්නට මට බල කරයි. ඉතිහාසයට මා කැමතිය. එය මාගේ ප්‍රියතම විෂයයන්ගෙන් එකකි. එහෙත් ඉතිහාසය යනු ඓතිහාසික සත්‍යයන්ගේ එකතුවක් නොවේ. එය අඩක් අව්‍යාජ වන විට අඩක් ව්‍යාජය. ඉතිහාසය හාරා අවුස්සන විට එක් ඓතිහාසික යුගයකදී වීරයින් ලෙස සැලකෙන අය තවත් ඓතිහාසික යුගයකදී ද්‍රෝහීන් බවට පත්වන අවස්ථා ද පවතී. කලක් ස්ටාලින් සැලකුණේ ඔක්තෝබර් විප්ලවයේ ලෙනින්ට පමණක් දෙවැනි වූ වීරයා ලෙසය. එහෙත් කෘෂොප්ගේ හෙළිදරව් කිරීමෙන් පසු ක්‍රෙම්ලින් චතුරශ්‍රයේ විශේෂ කුටියක තැන්පත් කර තිබූ ඔහුගේ මමිය එතැනින් එළියට ගෙන වඩා නොවැදගත් තැනක තැන්පත් කෙරිණ. එහෙත් ඉංග්‍රීසීන් ක්‍රොම්වෙල්ගේ මමිය ඉරා දමන ලද ආකාරයට ස්ටාලින්ගේ මමිය ඉරා දැම්මේ නැත.

ඔලිවර් ක්‍රොම්වෙල්ගේ කතාව වඩා අනුවේදනීයය. එංගලන්තයේ ධනේශ්වර විප්ලවයේ වීරයා ලෙස සැලකුණේ ක්‍රොම්වෙල්ය. ඔහු ගොවි පවුලකින් පැවත ආ පුද්ගලයෙකි. යුද හමුදාවේ පහළම තැනකින් ආරම්භ කොට ඉහළම තැනට ආ පුද්ගලයෙකි. ඒ සමග ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද විය. පාර්ලිමේන්තුව හා රජු අතර පැවති ගැටුමේදී පාර්ලිමේන්තුව කෙරෙහි පැවති රජුගේ ආධිපත්‍යය කපා දමන ලද පුද්ගලයා ඔහුය. ඔහුට රජවීමේ හැකියාවක් තිබුණ ද එසේ නොකොට ආරක්ෂක සාමි (ඛදරා ඡරදඑැජඑදර) සාමි ලෙස 1653 සිට 1658 දක්වා එංගලන්තය, ස්කොට් ලන්තය හා අයර්ලන්තය පාලනය කළේය. ඉතිහාසඥයකු වූ තෝමස් කාලයිල් (ඔයදප්ි Carlyle) ඔහු විග්‍රහ කර ඇත්තේ හොඳ හා නරක අතර ඇති අරගලය විසින් බිහිකරන ලද වීරයෙකු ලෙසය. ඔහුගේ මරණයෙන් අවුරුදු තුනකට පසුව වෙස්ට්මිනිස්ටර් ඇබේ තැන්පත් කොට තිබූ ඔහුගේ මමිය ඉවතට ගෙන බෙල්ලට දම්වැල් දමා සංකේතාත්මකව එල්ලන ලදුව හිස් කබල හැර ශරීරයේ සෙසු කොටස් කසළ වලකට දමනු ලැබීය.

රිචඩ් සොයිසා ඉතිහාසයට එකතු වී සිටියේ ද ප්‍රේමදාස ආණ්ඩුව අතින් ඝාතනයට ලක්වූ අහිංසක කලාකරුවකු හා මාධ්‍යවේදියෙකු වශයෙනි. එම කතාවේ ඇත්ත හාරා අවුස්සා දැනගැනීමෙන් පසු ඔහු දෙවැනි කැරැල්ලට කිසිම සම්බන්ධයක් නැති අහිංසක ජනමාධ්‍යවේදියෙකු නොව විජේවීර ඝාතනයෙනුත් පසු තවදුරටත් කැරැල්ල ඉදිරියට ගෙනයෑමට විශේෂ කාර්ය භාරයක් ඉටු කළ පුද්ගලයෙකු බව ලියන්නට මට සිදුවිය. එය දෙබරයකට ගල් ගැහුවා වැනිය. ගාමිණී වීරකෝන් ඒ ගැන “දි අයිලන්ඩ්” පුවත්පතට ලියන කතු වැකියකින් ඒ ගැන කෙරෙන විවාදය ආරම්භ විය. බැටී වීරකෝන්, අමරදාස ප්‍රනාන්දු, ගාමිණී වියන්ගොඩ වැනි සැලකිය යුතු පිරිසක් අදහස් පළ කළේය. මාගේ ගෞරවයට හේතුවූ පුද්ගලයෙකු වන අමරදාස ප්‍රනාන්දු අදහස් පළ කර තිබුණේ මා කෙරෙහි ඇති කරගත් කෝපයකින් හා වෛරයකින් යුතුවය. තම පවුලේ සමීපයෙකු ජවිපෙ ත්‍රස්ත්‍රවාදී ගොඩට එකතු කරනවා දකින්නට ඇති බලවත් අකමැත්ත එයින් ප්‍රකාශ වී තිබුණි. රිචඩ් සොයිසා ඝාතනය යුක්තිසහගත යැයි මම නොකීවෙමි. ඔහු එම කැරැල්ලට කිසිම සම්බන්ධයක් නැති අහිංසකයකු ලෙස සැලකීම වැරදි බව මගේ මතය විය.

විජය කුමාරතුංග ගැන මට කියන්නට ඇති කතාව ද තරමක් ඊට සමානය. “වම දේශපාලන කුමන්ත්‍රණයක” යන තේමාව යටතේ පළවූ එම කවරයේ කතාව පළකර තිබුණේ විජය හෝ වමේ නායකයින් ජවිපෙ ලවා ඝාතනය කරවන්නට නොව, ඒ අවස්ථාවේ රටේ ගොඩනැගී තිබුණු අර්බුදයේ එක් පැතිකඩක් හෙළි කරන්නටය.

විජය ඝාතනය කරන්නට සති කිහිපයකට පෙර පොල්හේන්ගොඩ නිවසේදී මට විජය හමුවිය. එම හමුවට ශ්‍රියන්ත වල්පොළ මගේ ඡායාරූප ශිල්පියා ලෙස සහභාගි විය. එම දීර්ඝ සාකච්ඡාව තුළ ආවේගයෙන් හා කෝපයෙන් කතා කරගත් අවස්ථා ද තිබුණි. ඒ අවස්ථාවේදී ඉන්දියාව සිය වැඩපිළිවෙළ ක්‍රියාවට නගමින් සිටියේය. ඉන්දියානු මැදිහත්වීමකට තරයේ විරුද්ධ වීම නිසා ඉන්දියාව බණ්ඩාරනායක මැතිනිය හෝ ශ්‍රීලනිපය විශ්වාස නොකළේය. ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී ජයසූරිය වැනි අය කෙරෙන් එල්ලවෙමින් තිබූ විරෝධය නිසා ඉන්දියාවට ආණ්ඩුව පිළිබඳව ද පූර්ණ විශ්වාසයක් නොතිබුණි. පූර්ණ විශ්වාසයක් ඇති කරගෙන තිබුණේ විජය කුමාරතුංග ඇතුළු වමේ පක්ෂ කෙරෙහි පමණය.

තම මැදිහත්වීම ආණ්ඩුව භාර නොගන්නේ නම්, බලහත්කාරයෙන් හෝ ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේ සැලැස්මක් ඉන්දියාවට තිබුණි. අවශ්‍යම වෙතොත් රටේ ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය හා තමන්ට විරුද්ධ විපක්ෂ නායකයින් අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ද ඉන්දියාවට තිබුණි. අවශ්‍ය වෙතොත් ක්ෂණික මෙහෙයුමක් සඳහා වන පරිපූර්ණ සැලැස්මක් ඉන්දියාවට තිබුණේය. පැරෂුට්වලින් සෙබළුන් ගොඩ බස්සන්නට පිට්ටනි ද තෝරාගෙන තිබුණි. මෙම විෂයට අදාළ වැදගත් තොරතුරු රැසක් එම්.ආර්. නාරායන් ස්වාමි හා රාජේන් කාඩියන් විසින් ලියා තිබේ. ඩික්සිත් සිය පොතෙන් පළමු කී ලේඛකයන් මෙන් ඍජු ලෙස කතා කර නැතත්, ඊෂොප්ගේ භාෂාවෙන් කතා කර තිබේ.

ඉන්දියාව ඒ මොහොතේදී තමන්ට පක්ෂපාතව ක්‍රියා කළ පුද්ගලයින්ට සංවිධානවලට මුදලින් ආධාර කළේය. විජයගේ පක්ෂයේ තෝරාගත් පිරිසකට සන්නද්ධ පුහුණුවක් ලබාදීමේ ක්‍රියාවලියට ශිවරාම්ගේ ද සම්බන්ධයක් තිබුණු අතර, ශිවරාම් එකල නැවතුම් ගෙන සිටියේ ද විජය සමගය. ඉන්දියානු තානාපති කාර්යාලයෙන් චන්ද්‍රිකාට ලැබුණු මුදල් තොගයක් පිළිබඳ විස්තර මා අසා දැන තිබුණේ ද ශිවරාම්ගෙනි.

එදා රටේ පැවති සංකීර්ණ පරිසරය තුළ දේශපාලන ඉලක්ක ඇතිව ක්‍රියා කළ දේශපාලන ප්‍රවණතා ගණනාවක් තිබුණේය. එහිදී සම්ප්‍රදායික වම ඉන්දියාව සමග වඩාත්ම සමීපව ක්‍රියා කළ ව්‍යාපාරය විය.

““වම දේශපාලන කුමන්ත්‍රණයක” යන තේමාව යටතේ පළවූ කවරයේ කතාවට තේමාව වූයේ එයයි. ඊට ඇතුළත් කරුණු බොරු නොවීය.

මා ඉන්දියානු විරෝධියෙක් නොව ඉන්දියාවට ඇලුම් කරන පුද්ගලයෙකි. එහෙත් එම විශේෂ මොහොතේදී අවශ්‍ය වෙතොත්, ශ්‍රී ලංකාවේ බලය අල්ලා ගෙන හෝ සිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේ සැලැස්මක් ඉන්දියාවට තිබුණි. එම විශේෂ මොහොතේදී ඉන්දියාවේ වැඩිම විශ්වාසයක් දිනාගත් පක්ෂය බවට පත්ව තිබුණේද වමේ පක්ෂය.

ලලිත්, චන්ද්‍රිකා,

රනිල්, කරු

ලලිත් රජකරවීමේ අදහසක් මට තිබුණේ කියන කතාව විකාරයකි. මම දෝෂාභියෝගයේදී ඔහුට ආධාර කළෙමි. මා චන්ද්‍රිකාට ආධාර කළේ ද ඒ කාලයේදීමය. මා ලලිත්ට වඩා චන්ද්‍රිකාට උදව් කරන බව ද ලලිත් දැන සිටියේය. මාගේ විශ්වාසය වී තිබුණේ තට්ටු මාරු ක්‍රමයක් පවතින රටේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් සහිත වමට බර හා දකුණට බර නව නායකයින් දෙදෙනෙකු රටට සිටිය යුතු බවය. ලලිත් දකුණට බර නායකයා ලෙස තෝරා ගන්නා විට වමට බර නායිකාව ලෙස මා තෝරා ගත්තේ චන්ද්‍රිකාය. මේ තෝරා ගැනීම් මනෝරාජික විය හැකි වුවත්, ඒ යට ආත්මාර්ථකාමී අභිලාෂ නොවීය.

වැරදි හා අඩුපාඩුකම් තිබිය හැකි වුවත්, රාවය මෙතෙක් කරන ලද අරගලය විවිධ පුද්ගලයන් රජකරවීම සඳහා කරන ලද අරගලයක් ලෙස විග්‍රහ කළ හැක්කේ අගතිය සිය හෘදය සාක්ෂිය කරගත් පුද්ගලයෙකුට පමණය. රාවයේ ධාවක බලය ලෙස ක්‍රියා කළේ උවිඳු කියන අනන් මනන් කතා නොව දේශපාලන ක්‍රමය ශිෂ්ටසම්පන්න කරගැනීම සඳහාත්, යුක්තිසහගත සමාජයක් ගොඩනගා ගැනීම සඳහාත් කරන ලද අරගලයන්ය. එය විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතිසංස්කරණය කරවා ගැනීම නිදහස් සාධාරණ මැතිවරණ ක්‍රමයක් දිනාගැනීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට හේතුවී තිබූ පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය හා සාපරාධී අපහාස නීතිය බලරහිත කරගැනීම අධිකරණය ස්වාධීන කරගැනීම හා උසස් තනතුරුවලට හිතුවක්කාරී ලෙස පුද්ගලයින් පත් කරන්නට විධායක ජනාධිපතිට ලැබී තිබෙන බලය අහෝසි කොට ඒ වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇති කරගැනීම යනාදී අරමුණු ඒ අරගලය තුළ විය. සමාජ යුක්තිය වෙනුවෙන් නඩු කියන්නට පමණක් මෙම දුප්පත් ආයතනය වැය කර තිබෙන මුළු වියදම රුපියල් මිලියන ගණනක් විය හැකිය. සමාජ සංවේදී මනසක් හා හෘද සාක්ෂියක් තිබීම එවැනි මගක් තෝරා ගැනීම කෙරෙහි බලපෑ ප්‍රධාන හේතුවයි. •