ළදරු වලිප්පුව

October 29, 2026
Publication:
Mangala Samaraweera is the one strategist in Sri Lankan politics with a game plan of his own, and Ivan credits him with the road map that brought down Ranil Wickremesinghe's government — a plan that survived being published. But the courts that would have to hold a president to account do not exist here, and Samaraweera helped make sure of it; so the revolt against Mahinda Rajapaksa, Ivan argues, is a convulsion rather than a strategy.

මංගලගේ දේශපාලන

මංගල සමරවීර වර්තමාන දේශපාලනඥයින් අතර සිටින තමන් සඳහා වන තමන්ගේම ගේම් ප්ලෑනක් තිබෙන උපායවේදී දේශපාලනඥයා ලෙස සැලකිය හැකිය. රනිල් වික්‍රමසිංහගේ එජා පෙරමුණු පාර්ලිමේන්තු ආණ්ඩුව අස්ථාවර කොට පරාජය කිරීමේ මාර්ග සැලැස්මේ නිර්මාතෘවරයා මංගලය. එම මාර්ග සැලැස්ම රටට හෙළිදරව්වීමෙන් පසුත්, එම සැලැස්ම සාර්ථක ලෙස ක්‍රියාවට නංවා එම ආණ්ඩුව පරාජය කිරීමට ඔහු සමත් විය.

ඔහු ඇඳුම් මෝස්තර නිර්මාණයේදී පමණක් නොව, දේශපාලන නූල් සූත්තරවලදී ද දක්ෂයකු බව ඒ මගින් ඔප්පු කළේය. ඔහු එම මෙහෙයුමේ පළමු අදියරේදී පරස්පර විරෝධී බලවේග දෙකක් (චන්ද්‍රිකා හා ජනතා විමුක්ති පෙරමුණ) එකට ඒකරාශී කරන්නට සමත් වූ අතර, පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප හා ජවිපෙ පමණක් නොව, එල්ටීටීඊයේ සහාය ලබා ගන්නට ද සමත් විය.

ගේම් ප්ලෑන

ඔහුට ජවිපෙ සහාය ඇතිව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පරාජය කරන්නට අවශ්‍ය වූයේ චන්ද්‍රිකාගේ දෙවැනි ධුර කාලයෙන් පසු ඒ තැන තමන්ට හිමිකර ගන්නට මිස, මහින්ද රාජපක්ෂ කෙනෙකු රජකරවන්නට නොවේ. ඒ අරමුණ සඳහා ජවිපෙ සමග සන්ධානයක් ඇතිකර ගැනීමට චන්ද්‍රිකා එකඟ කරගැනීමට ඔහු සමත් වූයේය. එම එකඟතාවෙන් පසු චන්ද්‍රිකා ලවා රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව විසුරුවා හැරීමට ද ඔහු සමත් වුයේය. එම මැතිවරණයේදී එජා පෙරමුණ පරාජය කරන අතර, ජවිපෙ වාසිදායක බලතුලනයක් ලබාදීමට ද සමත් විය.

ජවිපෙ සහාය නැතිව පොදු පෙරමුණු ආණ්ඩුවට පැවතිය නොහැකි තත්ත්වයක් ඇති කිරීම ඔහුගේ එක් උපාය මාර්ගික අරමුණක් විය. ජවිපෙ පිළිබඳ අචල විශ්වාසයක් ඔහු තුළ තිබුණි. තමාගේ රජවීමේ අරමුණ ජයගැනීම සඳහා ජවිපෙ සහාය අත්‍යවශ්‍ය කොන්දේසියක් බව ඔහු දැන සිටියේය. ශ්‍රීලනිප ජවිපෙ නමැති ගිරයට හසුවූ පුවක් ගෙඩියක් බවට පත් කිරීම, ඒ අරමුණ සඳහා පක්ෂ දෙකේම සහාය ලබාගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වන බව ද ඔහු දැන සිටියේය. ජවිපෙට දෙවැනි කැරැල්ලේ සිටම මංගල සමග සමීප සම්බන්ධයක් තිබුණි. එම විශ්වාසය පළුදු නොවී අද දක්වාම පවත්වාගෙන ආ විශ්වාසයක් විය.

ශ්‍රීලනිපයේ අනාගතය ජවිපෙට බාරදී ජවිපෙ සහාය ඇතිව රජවීම මංගලගේ අරමුණ වන විට මංගලට රජවන්නට ඉඩදී රටේ බලය ලබාගැනීම ජවිපෙ උපාය මාර්ගික අරමුණ විය. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පරාජය කොට ඒ සමග ගොඩ නැගෙන නව සන්ධාන ආණ්ඩුවේ අගමැති ධුරය කදිරගාමර්ට ලබාදී චන්ද්‍රිකාගේ දෙවැනි ධුර කාලය අවසන්වීමෙන් පසු ශ්‍රීලනිප ජවිපෙ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වීම මංගලගේ අපේක්ෂාව වී තිබුණි.

සිහිනය බොඳවීම

එහෙත් මහින්ද රාජපක්ෂ මංගලගේ දේශපාලන සිහිනය අදියර දෙකකදී බොරු කිරීමට සමත් විය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඇතිවූ සන්ධාන ආණ්ඩුවේ අගමැති ධුරය කදිරගාමර්ට ලබාදීම මංගලගේ හා ජවිපෙ පොදු අපේක්ෂාව වී තිබුණ ද, ඔවුන්ගෙන් එල්ල වන විරෝධය නොසලකා එම තනතුර තමන් වෙත හිමිකර ගැනීමට මහින්ද රාජපක්ෂ සමත් විය. ඉන්පසු ජවිපෙ හා චන්ද්‍රිකා සන්ධානය බිඳ වැටීම නිසා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධවීමට ජවිපෙට නොහැකි විය. මහින්ද රාජපක්ෂ ජනාධිපති කිරීමේ වුවමනාවක් චන්ද්‍රිකාට නොතිබුණ ද, මහින්ද රාජපක්ෂ කෙරෙහි එල්ලවෙමින් තිබුණු පීඩනය නිසා ක්‍රමය වෙනස් කරන තෙක් තාවකාලිකව ජනාධිපති අපේක්ෂකයා නමැති බෝඩ් ලෑල්ල මහින්ද වෙත ලබාදීමට චන්ද්‍රිකාට සිදුවිය. එහෙත් චන්ද්‍රිකාගේ විශ්වාසවන්තම සගයකු වූ අගවිනිසුරු හරහට සිටීම නිසා ධුර කාලය අවසන්වීමට පෙර නැවත තමන්ට රජකම ලැබෙන ආකාරයට ක්‍රමය වෙනස් කරගැනීම සඳහා තමාට තිබූ සැලැස්ම අත්හරින්නට චන්ද්‍රිකාට සිදුවිය.

මංගල සමරවීර රනිල් වික්‍රමසිංහ සමග ඇති කරගෙන තිබූ වෛරසහගත ගැටුම් හේතු කොටගෙන චන්ද්‍රිකාට මෙන් රනිල්ට සහාය දීමේ පිළිවෙතක් අනුගමනය කිරීමේ හැකියාවක් මංගලට නොතිබුණේය. ඒ නිසා මහින්ද රජකරවන වැඩපිළිවෙළක් තුළ තමා රජවන වැඩපිළිවෙළක් ඉදිරියට ගැනීමට මංගලට සිදුවිය. මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වී සිටි තත්ත්වයක් තුළ ජේවීපීයට ද පැරණි අමනාපකම් තාවකාලිකව අමතක කොට මහින්දට ආධාර කරනවා හැර තෝරා ගන්නට අන් විකල්පයක් නොතිබුණි. මහින්ද ජවිපෙ දේශපාලන සිරකරුවකු බවට පත් කොට මහින්දගේ නායකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුවේ අගමැති වී සුදුසු අවස්ථාවකදී ඊළඟට රජවීම මංගලගේ අභිලාෂය වී තිබුණි. තම පක්ෂයේ අත්අඩංගුවේ පසුවන ජනාධිපතිවරයෙකු ඇති කොට ඊළඟ වටයේදී මංගල රජ කරවන ක්‍රියාමාර්ගයක් තුළ රටේ බලය ලබාගැනීම ජේවීපී උපාය මාර්ගය විය.

මහින්ද රාජපක්ෂ ද බලයට පත්වීමේ අරමුණ සඳහා මංගල ජේවීපී සන්ධානයේ උපරිම සහාය ලබා ගත්තේය. එහෙත් බලයට පත්වීමෙන් පසු මහින්ද මංගලට ලොකුම ලොකු අමාත්‍යාංශ තුනක් දුන්නා විනා මංගල අපේක්ෂා කළ අගමැතිකම දුන්නේ නැත. මංගල මහින්ද රාජපක්ෂ ජනාධිපති කෙරෙහි වෛරයක් ඇති කරගත් පළමු අවස්ථාව එය විය. එහෙත් ඔහු එම වෛරය එළිපිට ප්‍රකාශ නොකර සඟවා ගෙන සිටියේය. මංගලට තවදුරටත් ඉවසාගෙන සිටිය නොහැකි තත්ත්වයක් ඇතිවූයේ ජනාධිපතිවරයා ජවිපෙ කෙරෙහි පැවති රඳා පැවැත්ම අහෝසි වන ආකාරයට එජාපයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට කැඳවා ගැනීමේ ක්‍රියාමාර්ගයේදීය.

මංගලට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ ඊළඟ බලවත්ම චරිතය ලෙස රඟපෑමට හැකිවනුයේ ජනාධිපතිවරයා ජවිපෙ මත යැපෙන තත්ත්වයකින් ක්‍රියා කරන තාක් පමණය. ඒ තත්ත්වය අහෝසිවීමත් සමග තමා තනිවී, තමාගේ අනාගත දේශපාලන සිහින බොඳවන බව මංගල දැන සිටියේය. ඒ තත්ත්වය ඉදිරියේ ජනාධිපතිවරයා සමග ප්‍රසිද්ධියේ ගැටෙන තැනකට මංගල තල්ලු විය.

තේ කෝප්පයක කුණාටුවක්

මංගල දක්ෂ දේශපාලන නූල් සූත්තරකාරයෙකු විය හැකි වුවත්, විධායක ජනාධිපති ක්‍රමය ගැන මනා අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කොට ඇත්තේ මොනම අභ්‍යන්තර කැරැල්ලකටවත් කිසිම ඉඩක් නැති ආකාරයකටය. මෙය ලලිත් ඇතුළත්මුදලි ද වරද්දා ගත් තැනක් විය. තමාට එරෙහිව නැගී සිටින ඕනෑම පුද්ගලයෙකු ඔහු දරන තනතුරුවලින් වහාම ඉවත් කිරීමේ බලය සේ ම, තවදුරටත් අවශ්‍ය වෙතොත් ඔහු හෝ ඔවුන් මන්ත්‍රී ධුරවලින් නෙරපා හැරීමේ බලය ද විධායක ජනාධිපති සතුය. තමාට රටේ ප්‍රධාන විධායකයා වනවාට අතිරේකව ආණ්ඩු පක්ෂයේ විධායක නායකයා ද වේ. ඒ නිසා ඇමති ධුරවලින් පහකිරීමේ බලය සේ ම, පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ බලය ද ඔහු සතුය. විධායක ජනාධිපතිවරයා මන්ත්‍රීවරයෙකු පක්ෂ සාමාජිකත්වයෙන් පහ කොට ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන අවස්ථාවකදී එය වැළකිය හැක්කේ අධිකරණයට පමණය. එහෙත් එවැනි අවස්ථාවකදී අධිකරණයෙන් යුක්තිය අපේක්ෂා කළ හැක්කේ විධායක ජනාධිපතිට ගැති නැති ස්වාධීන අධිකරණයක් රටේ තිබේ නම් පමණය. එහෙත් එවැනි අධිකරණ ක්‍රමයක් අපේ රටේ නැත. ඇත්තේ විධායක ජනාධිපතිට ගැති අධිකරණ ක්‍රමයකි. එම වැරදි ක්‍රමය ඇති කිරීමට මංගල ද දායක විය. චන්ද්‍රිකා ඇති කළ එම වැරදි ක්‍රමය තහවුරු කිරීමට එජාප හා ජවිපෙ ද දායක විය.

මහින්ද රාජපක්ෂ කෙරෙහි කලකිරී සිටින පිරිස්වල සහාය ගැනීම එජාපය, ජවිපෙ හා දෙමළ සන්ධානය එකට ඒකරාශී කරන වැඩපිළිවෙළක් මගින්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමේ හැකියාවක් නැත. විශ්වාසභංග යෝජනාවක් ජයගැනීමට අවශ්‍ය තරම් සංඛ්‍යාවක් ඇතොත්, එසේ කිරීමේ හැකියාවක් ඇතත්, ඒ නිසා පරාජය වනු ඇත්තේ පාර්ලිමේන්තු ආණ්ඩුව මිස ජනාධිපතිවරයා නොවේ. එවැනි වැඩපිළිවෙළක් මගින් ජනාධිපතිවරයෙකුගේ පාර්ලිමේන්තු ආණ්ඩුවක් පරාජය කිරීම පවා අසීරුය. විශ්වාසභංග යෝජනාවක් සඳහා කල්දීමක් කළ යුතුය. ඒ අතරතුර කාලයේදී පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් දැමීමේ බලය ජනාධිපති සතුය. පාර්ලිමේන්තුව නැවත කැඳවීමෙන් පසු ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය කොට පවත්වන මැතිවරණයකින් විරුද්ධ පක්ෂ ආණ්ඩුවක් බලයට පත්වන අවස්ථාවකදී පවා එම ආණ්ඩුවේ ගමන් මග අවහිර කොට වසරක් සම්පූර්ණවීමෙන් පසු නැවත එම පාර්ලිමේන්තු ආණ්ඩුව විසුරුවා හැරීමේ බලය විධායක ජනාධිපති සතුය.

ධුර කාලය තුළ ජනාධිපතිවරයෙකු බලයෙන් පහ කළ හැක්කේ දෝෂාභියෝගයකින් පමණය. එහෙත් දෝෂාභියෝගයක් සඳහා ඇති විධිවිධාන අනුව දෝෂාභියෝගයකින් පවා ජනාධිපතිවරයෙකු පහකළ නොහැකිය. දෝෂාභියෝගයක් ආරම්භ කිරීම සඳහා තුනෙන් දෙකක අනුමැතියක් තිබිය යුතුය. කතානායකගේ අනුමැතිය තිබේ නම් මන්ත්‍රී සංඛ්‍යාවෙන් අඩකට අඩු නොවන පිරිසක් අත්සන් කර තිබෙන අවස්ථාවකදී වුවත් දෝෂාභියෝගයක් ආරම්භ කිරීමේ හැකියාවක් ඇතත්, එය වැඩිදුර ඉදිරියට ගෙනයා හැකිවනු ඇත්තේ තුනෙන් දෙකක අනුමැතියට අතිරේකව අධිකරණ අනුමැතිය ද ලැබේ නම් පමණය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව ලලිත්, ගාමිණී ඉදිරියට ගෙනා දෝෂාභියෝගයේදී ආරම්භක වටයේදී කතානායකවරයාගේ පවා සහාය ලබාගැනීමට ඔවුන් සමත්ව තිබුණ ද, එය තර්කානුකූල අවසානයක් කරා ඉදිරියට ගෙනයෑමට ඔවුන් සමත් වූයේ නැත. දෝෂාභියෝගයට අත්සන් කළ අයගෙන් ද වැඩි පිරිසක් නැවත ප්‍රේමදාස ජනාධිපතිවරයාට එකතු විය. ඔහු පාර්ලිමේන්තුව කල් තබන්නට පෙර ආණ්ඩු පක්ෂයේ බහුතර කැමැත්ත තමන්ට ඇති බව ඔප්පු කළේය.

මේ මොහොතේ කාලයේ සාධකයේ වාසිය ඇත්තේ ජනාධිපතිවරයාටය. ලලිත් ගාමිණීගේ මූලිකත්වයෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරියට ගෙනා අවස්ථාව වන විට ප්‍රේමදාස ජනාධිපතිවරයා සිටියේ මහජනතාව අතර ජනප්‍රිය තත්ත්වයක නොවේ. මහජනතාව අතර ජනප්‍රිය තත්ත්වයක් නොතිබියදීත් දෝෂාභියෝගය පුස්සක් බවට පත් කිරීමට ඔහු සමත් විය. එසේම ජනාධිපතිනි චන්ද්‍රිකාගේ පාර්ලිමේන්තු ආණ්ඩුවට එරෙහිව ජයගත් විශ්වාසභංග යෝජනාව ඉදිරියට ගෙනාවේද ඇය බලයට පත්වී බොහෝ කලක් ගෙවී දෙවැනි ධුර කාලයෙනුත් වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී ඇගේ ජනප්‍රියත්වය බිඳ වැටී තිබුණු අවස්ථාවකය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තවමත් අලුත්ය. ඔහු තවමත් පිරිහුණු තත්ත්වයකට ඇද වැටී නැත.

මංගල සමරවීර දක්ෂ දේශපාලන නූල් සූත්තරකාරයෙකු විය හැකි වුවත්, කැරැල්ලක් සඳහා ඔහු කර තිබෙන ගණන් බැලීම ළඳ බොළඳය. එවැනි ළඳ බොළඳ කැරැල්ලකින් තනතුර පමණක් නොව ජංගිය පවා අහිමි විය හැකිය.

කළ පව් පලදීම

ඇතිවී තිබෙන මෙම අර්බුදය තුළ ස්වභාව ධර්මයේ ධර්මතාවන්ට අදාළව උගත හැකි වැදගත් පාඩම් ගණනාවක් ද වේ. ලලිත් ඇතුලත්මුදලි නූතන ශ්‍රී ලංකාව බිහිකළ දක්ෂම දේශපාලනඥයෙකි. ඔහුට සිය අවසාන කාලයේදී සටන් කරන්නට සිදුවූයේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවය. එහෙත් අවාසනාවට මෙන් මෙම විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කිරීමට ඔහු ද දායක වී තිබුණේය. ඔහු ජේ.ආර්. ජයවර්ධන සමග එකට එකතු වී මෙම ක්‍රමය නිර්මාණය කරන අවස්ථාවේදී ඔහු එම ක්‍රමය දකින්නට ඇත්තේ ප්‍රතිපාක්ෂිකයින්ට එරෙහිව ඇති කරන ඒකාධිපති ක්‍රමයක් වශයෙන් මිස තමන් වැනි අයට ද එරෙහිව යන ඒකාධිපති ක්‍රමයක් වශයෙන් නොවේ. එහෙත් අවසානයේදී ඔහු ක්‍රමයේ ඇති දුෂ්ට බව තේරුම් ගත්තේ එය තමන්ට ද එරෙහිව ක්‍රියාත්මක වන ඒකාධිපති ක්‍රමයක් බවට පත්වූ පසුය. අවසානයේදී ඔහු ද ඔහුගේ දායකත්වයෙන් නිර්මාණය වූ එම දුෂ්ට ක්‍රමයේ රුදුරු ගොදුරක් බවට පත්විය.

චන්ද්‍රිකා ද මේ ක්‍රමය තුළ උපරිම ලෙස රස උරා බිව් පාලිකාවකි. ඇය සිය ආරක්ෂාව සඳහා අධිකරණය විධායකයේ දේශපාලන අතකොලුවක් බවට පත්කර ගත්තාය. අවසානයේදී ඇගේ දේශපාලන මිනීවළ හාරන්නා බවට පත්වූයේ ද එම දේශපාලන අතකොලුවමය. දැන් චන්ද්‍රිකා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් නොකිරීම ගැන අඬා වැළපෙනවා නොඅනුමානය.

රනිල් වික්‍රමසිංහ ද විධායක ජනාධිපති ක්‍රමයට ප්‍රේම කළේය. චන්ද්‍රිකාගේ ධුර කාල දෙකෙන් පසුව නොවැරදීම රජකම තමන්ට ලැබෙනු ඇතැයි කල්පනා කළ ඔහු විධායක ජනාධිපති ක්‍රමයේ තටු කපන කිසිම යෝජනාවලියකට පක්ෂ නොවූයේය. දැන් ඒ ආත්මාර්ථකාමීත්වය වෙනුවෙන් විශාල වන්දියක් ගෙවන්නට ඔහුට ද සිදුවී ඇත්තේය. අඩුම වශයෙන් අවුරුදු හයක් හා වැඩිම වශයෙන් අවුරුදු 12ක් ඔහු විරුද්ධ පක්ෂයේ පොල් ගෑ යුතුය.

මංගල සමරවීර විධායක ජනාධිපති ක්‍රමය සවිබල කිරීමට යකා නැටූ පුද්ගලයෙකි. දැන් ඔහුට වන්දි ගෙවන්නට සිදුවී තිබෙන්නේ ඒ වෙනුවෙනි.

විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි බව කියමින් ජවිපෙ ද චන්ද්‍රිකාගේ දෙවැනි ධුර කාලයේදී විධායක ජනාධිපති ක්‍රමයට විටමින් දුන්නේය. අත්තනෝමතික බලතල පාවිච්චි කිරීමට උඩගෙඩි දුන්නේය. දැන් ඒ වෙනුවෙන් ඔවුන්ට ද විශාල වන්දියක් ගෙවන්නට සිදුවනු නොවැළැක්විය හැකිය.

මේ අර්බුදයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද උගත හැකි වැදගත් පාඩමක් තිබේ. මේ ක්‍රමය යටතේ ජනාධිපති ධුරය හොබවන පුද්ගලයා වැදගත් වන්නේ ද බලවත් වන්නේ ද ධුරයේ සිටින තාක් කල් පමණය. ඉන්පසු තනතුර අහිමි වූ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කතා කරන්නට හෝ ගරු සරු දක්වන්නට කිසිවකුත් ඉතිරි වන්නේ නැත.

මෙය ඉතාමත් බලවත් අශෝභන ඒකාධිපති ක්‍රමයකි. මෙම ක්‍රමය යටතේ ධුරය දරන පුද්ගලයාට ලැබෙන අතිවිශාල බලය නිසා එම පුද්ගලයා වැරදි කිරීමට පොළඹවයි. සමහර ජනාධිපතිවරු මහා පරිමාණයෙන් හොරකම් කරන්නට පමණක් නොව, මිනී මරන්නට පවා බිය නොවූහ.

මෙම අශෝභන ක්‍රමය ජනාධිපතිවරයාට අවශ්‍ය නම් වෙනස් කළ හැකිය. විධායක ජනාධිපති ක්‍රමයම තවදුරටත් පවත්වාගෙන යෑම අවශ්‍ය නම් එය අධිකරණයේ සුපරීක්ෂාවට යටත් පාර්ලිමේන්තුවට වග කියන විධායක ජනාධිපති ක්‍රමයක් බවට වෙනස් කළ හැකිය. විධායක ජනාධිපති ක්‍රමයකට යහපත් පැවැත්ම සඳහා ස්වාධීන අධිකරණයක් තිබීම අත්‍යාවශ්‍ය කොන්දේසියකි. ජනාධිපතිවරයෙකු බරපතළ වැරදි කරන අවස්ථාවකදී තනතුරෙන් ඉවත් කළ හැකි ක්‍රමයක් ද තිබිය යුතුය. ඒ සඳහා පවතින දෝෂාභියෝග ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයක් බවට පත් කළ හැකිය. පවතින විධායක ජනාධිපති ක්‍රමය ශිෂ්ටසම්පන්න කිරීමෙන් පමණක් වුවත් විධායක ජනාධිපති ක්‍රමය ජනහිතකාමී දේශපාලන ක්‍රමයක් බවට පත් කළ හැකිය. එවැනි ප්‍රතිසංස්කරණයකින් පමණක් වුවත්, විරුද්ධවාදීන් සියලුදෙනා (මංගල, චන්ද්‍රිකා, රනිල් හා ජේවීපී) දේශපාලන විහිළුකාරයින් පිරිසක් බවට පත් කළ හැකිය. මැදමුලන රාජපක්ෂ නාමය ඒකාධිපති ජනාධිපති ක්‍රමයක් වෙනස් කළ වීර නාමයක් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත්තේ එවිටය. •