අසාර්ථක නායකයකු පිළිබඳ හැඳින්වීමක්

October 29, 2026
Publication:
Had Ranil Wickremesinghe given up the leadership after the presidential defeat, both the party and his own standing would have risen. Instead he has used the leader's autocratic power to hold on, and Ivan calls him the weakest and laziest leader the UNP has produced — a man who stopped holding meetings and protests, built no second rank, and divided anyone inside the party who stood out.

පසුගිය ජනාධිපතිවරණයෙන් ලද පරාජයෙන් පසුව එජාප නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂ නායකත්වය අතහැරියේ නම් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වන්නට ඉඩ තිබුණා සේ ම, රනිල් වික්‍රමසිංහට තිබුණු මහජන ගෞරවය ද ඉහළ යන්නට ඉඩ තිබුණි. පක්ෂ නායකයා වශයෙන් ඔහු තමන්ට තිබුණු ඒකාධිපති බලය ප්‍රයෝජනයට ගනිමින් පක්ෂ නායකත්වයේ එල්ලී සිටීම නිසා දැන් එම පක්ෂය ඔහුගේම නිර්මාණයක් ලෙස සැලකිය හැකි කොළඹ නගර සභා පාලනය ඇද වැටී තිබෙන හාස්‍යජනක තත්ත්වයට සමාන තත්ත්වයකට ඇද වැටී තිබේ.

පක්ෂය තුළ තමන්ට පිළිගැනීමක් ලබාගැනීම සඳහා තමන් අප්‍රේල්වලදී රජවන බවට දෛවඥයින් අනාවැකියක් පළකර තිබෙන බව ඔහු ප්‍රකාශ කරයි. ඔහුගේ මාමා විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කළේ එම තනතුරට පත්වන්නාට එක දිගට ධුර කාල දෙකක් (වසර 12ක්) එම තනතුරේ රැඳී සිටිය හැකි ආකාරයටය. ඒ අර්ථයෙන් එය අවුරුදු 12කට ඒකාධිපති බලය ලැබෙන පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. මහජන බලය වැදගත් වනුයේ පළමු ධුර කාලය සඳහා පමණය. දෙවැනි ධුර කාලය රාජ්‍ය බලයෙන් ජයගත හැකිය. ධුර කාල දෙක අතරමැද ජනාධිපතිවරයා මරණයට පත්වීමෙන් හෝ මරා දැමීමෙන් හැර බලයෙන් පහ කළ හැකි ක්‍රමයක් නැත. දෝෂාභියෝගයකින් ජනාධිපති බලයෙන් පහකළ නොහැකිය. පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීමකින් ද ජනාධිපති අස්ථාවර කළ නොහැකිය.

මෙම ඒකාධිපති ක්‍රමයට එරෙහිව නැගී සිටිමින් ක්‍රමය වෙනස් කරගැනීම සඳහා ලලිත්- ගාමිණී දෙපොළ බලවත් හඬක් නැගීය. එහෙත් මාමා ඇති කළ ක්‍රමය වෙනස් කරනවා දකින්නට රනිල් කැමති නොවීය. චන්ද්‍රිකාගේ ධුර කාල දෙක අවසන්වීමෙන් පසු ධුරයට පත්වීමේ ඊළඟ අවස්ථාව තමන්ට ලැබී වසර 12ක පූර්ණ ඒකාධිපති පාලනයන් පිළිබඳව ඔහු සුන්දර සිහින දැකීය. අවසානයේදී දකුණේ සිංහල ජනතාව පමණක් නොව උතුරේ ප්‍රභාකරන් ද ඔහුට එරෙහිවීම නිසා ඔහු ඇති කරගෙන තිබුණු සිහිනය බොඳවී මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති පදවියට පත්විය. දැන් ඔහු තව අවුරුදු 12ක් බලා සිටිය යුතුය. රනිල් වික්‍රමසිංහ මෙතෙක් එක්සත් ජාතික පක්ෂය බිහිකර තිබෙන දුර්වලම හා කම්මැලිම නායකයා ලෙස සැලකිය හැකිය. ඔහුගේ නායකත්වයේ ශෛලිය ජේ.ආර්. මාමාගේ ශෛලියට මුළුමණින් වෙනස්ය. ජේ.ආර්. එක්සත් ජාතික පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ නායකත්වය හිමිකර ගන්නා විට පොදු පෙරමුණු ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණි. ඔහුගේ පක්ෂයට සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පමණය. ඔහු ඒ සුළු පිරිස එකට එකතු කරගෙන පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් විරුද්ධ පක්ෂයක භූමිකාව රඟපෑවේය. සිය විරුද්ධ පක්ෂ දේශපාලනය පාර්ලිමේන්තුවට සීමා නොකොට ක්‍රියාකාරී ලෙස ඉන් පිටතට ද ගෙන ගියේය. ඒ යුගය විරෝධතා රැස්වීම්, පෙළපාලි හා සත්‍යග්‍රහවලින් පිරුණු යුගයක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත්ම බලකොටු ලෙස සැලකිය හැකි රත්නපුරය, අත්තනගල්ල වැනි ඡන්ද කොට්ඨාස අතික්‍රමණය කරමින් ඔහු මහා සත්‍යග්‍රහ ව්‍යාපාර පැවැත්වීය. ඔහු සිය පාක්ෂිකයින් බලය ලැබෙන තෙක් නිකම්ම බලා නොසිටින ක්‍රියාකාරී බලකායක් බවට පත් කළේය.

ඔහුගේ කාලය දක්වාම එජාප හැඳින්වූයේ මාමා බෑණා පක්ෂයක් වශයෙනි. ඔහු ඒ මුහුණුවර වෙනස් කළේය. පක්ෂයට තිබූ කොළඹ හතේ පෙනුම ද වෙනස් කොට එය පොදු මහජනතාවගේ පක්ෂයක් බවට පත් කළේය.

එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනා මෙම සටන්කාමී සම්ප්‍රදායන් රනිල් වික්‍රමසිංහ කණපිට හැරැව්වේය. පක්ෂය හා පාක්ෂිකයින් බලය ලැබෙන තෙක් නිකම්ම බලාගෙන සිටින කම්මැලියන්ගේ පක්ෂයක් බවට හැරවීය. විරුද්ධ පක්ෂ නායකයා වශයෙන් ජේ.ආර්. ජයවර්ධනට සිටියේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පමණක් වුවත්, රනිල් වික්‍රමසිංහට මන්ත්‍රීවරුන් 94 දෙනෙක් සිටියහ. එහෙත් එම 94 දෙනාගේ ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් විපක්ෂයක භූමිකාව රඟපෑමට ඔහු අසමත් විය. ඔහු තමාට ආවේණික කම්මැලිකම සිය මන්ත්‍රීවරුන්ට ද පක්ෂ සාමාජිකයන්ට ද බෝ කළේය. නිරන්තරයෙන් රැස්වීම් පවත්වන, විරෝධතා ව්‍යාපාර පවත්වන සම්ප්‍රදාය අත්හැර පක්ෂ බලය ලැබෙන තෙක් නිකම්ම කට අයාගෙන බලා සිටින පක්ෂයක් බවට පත් කළේය. ජේ.ආර්. ජයවර්ධන මෙන් ඔහු දෙවැනි පෙළේ නායකයින් බිහි නොකළේය. වගකීම් විධිමත් ලෙස බෙදාහැරීමෙන් වැළකී සිටියේය. තමාගේ නායකත්වයට තර්ජනයක් ඇතිවීම වැළකීම සඳහා පක්ෂය තුළ කැපී පෙනෙන තත්ත්වයක් හිමිකරගෙන සිටින අය එකිනෙකාට එරෙහිව භේද කළේය. පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කොට ඒකාධිපති බලතල ෙෙ ගත්තේය. ප්‍රතිපත්තියේ පහරදීම්වලට හා පළිගැනීම්වලට ලක්වන පාක්ෂිකයින් ආරක්ෂා නොකළේය. නවීන ලෝකයට ගැලපෙන ලෙස පක්ෂය වෙනස් නොකළේය.

කොටින්ම එක්සත් ජාතික පක්ෂය සිය ඉතිහාසය කළ බිහිකළ දුර්වලම නායකයා ලෙස සැලකිය හැක්කේ ඔහුය. ඔහු රටේ තිබෙන විශාලම දේශපාලන පක්ෂය කිසිම අරමුණකින් තොර ඉබාගාතේ යන පක්ෂයක් බවට පත් කළේය. •