දේ ශ පා ල න බලවේගයන්ගේ ස්ව භා ව ය වෙනස්වෙමින් ඇතත්, රටේ දේශපාලන ගමන් මග කෙරෙහි ඒවා කවර ආකාරයකට බලපාන්නේද යන්න තවමත් පැහැදිලි නැත.
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව සමග පවත්වාගෙන ගිය සන්ධානය අත්හරින තැනකට පැමිණ තිබෙන බව පෙනේ. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව හඬ නගා කෑ ගසන තැනකට යනු ඇතත්, සිය පැවැත්ම පරදුවට තබා සටන් කරන තැනකට යාමේ හැකියාවක් ඊට ඇති බවක් පෙනෙන්නට නැත.
එක්සත් ජාතික පක්ෂයෙන් සැලකිය යුතු පිරිසක් ආණ්ඩුවට එකතු වන තත්ත්වයක් තුළ එම පක්ෂයේ තත්ත්වය තවදුරටත් දුර්වල කිරීමට හේතුවනු ඇතත් ආණ්ඩුවට එම පක්ෂයෙන් එකතු වන පිරිස් නිසා ආණ්ඩුවේ ගමන් මගෙහි යහපත් වෙනසක් ඇති කිරීමට ඒ එකතුවීම හේතුවනු ඇත්ද යන්න පැහැදිලිව කිව නොහැකිය.
ආණ්ඩුවට අලුතෙන් මතුවන පිරිස් නිසා ආණ්ඩු පක්ෂය තුළ අතෘප්තියක් ඇති පිරිස් අතර, පවතින අතෘප්තිය වර්ධනය කිරීමට හේතුවනු ඇතත්, ඒ බලවේග වහාම විරුද්ධ පක්ෂ බලවේගයන්ට එකතුවීමේ හැකියාවක් හෝ සමස්ත දේශපාලන චිත්රයේ වෙනසක් ඇති කිරීමට හේතුවන අනාගත පෙළගැසීමක් ඇතිවීමේ හැකියාවක් නැත.
මංගල-මහින්ද ගැටුම විටෙක සැඟවී ද, තවත් විටෙක කලඑළියේ ද පැවති පැරණි ගැටුමකි. ජනතා විමුක්ති පෙරමුණේ ද ආශිර්වාදය ඇතිව රටේ නායකයා වීමේ සිහිනයක් හැමදාමත් මංගලට තිබුණු අතර, එම වටාපිටාව තුළ මහින්දට ජනාධිපති අපේක්ෂකත්වය ලැබෙන තෙක් මහින්දගේ ඉදිරි ගමනට කකුල් මාට්ටු දමන ප්‍රධාන පුද්ගලයා බවට පත්ව සිටියේ ද මංගලය.
එහෙත් මහින්ද ජනාධිපති අපේක්ෂකයාවීමෙන් පසු තිබුණු පැරණි කෝන්තර අත්හැර මහින්දට ආධාර කරන තැනකට තල්ලුවීමට ඔහුට සිදුවිය. ඒ අවස්ථාවේදී මංගලට සේ ම ජනතා විමුක්ති පෙරමුණට ද තෝරා ගැනීමට අන් විකල්පයක් නොතිබුණි. එහෙත් එහිදී බලයට පත්වන මහින්ද ජනතා විමුක්ති පෙරමුණ මත යැපෙන තැනක තබාගැනීම මංගලගේ උපාය මාර්ගික අපේක්ෂාව වූ බව ද පෙනේ.
ශ්‍රීලනිප තුළ සිටින, කිසියම් දිනක මා මේ රටේ පාලකයා වෙමියි සිතන හා ඒ වෙනුවෙන් වන වැඩපිළිවෙළක් ඇති එකම පුද්ගලයා මංගලය. එස්.බී. දිසානායක එජාපයට එකතුවීමෙන් පසු චන්ද්‍රිකාගේ ඇවෑමෙන් ඒ තැන ගැනීම මංගලගේ අපේක්ෂාව වුවත් ඒ අපේක්ෂාව සඵල වූයේ නැත. රජකම දිනාගැනීමේ හැකියාව ලැබුණේ මහින්දටය. එහෙත් රජවීමේ අදහස මුළුමණින් මංගල අත්හැර නැත.
මංගල දක්ෂ සංවිධායකයකු වුවත් ඉවසීමෙන් බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට මහින්ද බලයට පත්වූ වහාම ඔහු සමග රණ්ඩු කරන ප්‍රතිපත්තියක් ඔහුගේ යහපතට හේතුවිය නොහැකිය. ලලිත්, ගාමිණී වැනි ඉතා බලවත් පිරිසකට පවා ඒ අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වී නම් තනි මංගල කෙනෙකුටම එය කළහැක්කේ කෙසේද?
විධායක ජනාධිපති ක්‍රමය තුළ විධායක ජනාධිපති ධුරයට පත්වන පුද්ගලයාට ඒකාධිපති පාලකයකු ලෙස දොළොස් වසරක් රට පාලනය කිරීමේ හැකියාව ලැබෙන්නේය. එම දොළොස් වසරෙන් පසුව ලබන ජයග්‍රහණයකට මිස අතරමැදි ජයග්‍රහණයකට ඒ ක්‍රමය තුළ කිසිම ඉඩක් නැත.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ඇතිව ඇතිවූ සියලු කැරලි කෝලාහල මැද ධුර කාල දෙකක් රජ කළේය. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඊට අඩු පාර්ලිමේන්තු බලයක් ඇතිව සන්නද්ධ කැරැල්ලකට හා දෝෂාභියෝගයකට මුහුණදෙමින් ඝාතනය කරන තෙක් රජ කළේය. ඉන්පසු චන්ද්‍රිකා ජනාධිපතිනිය පාර්ලිමේන්තුවේ එක වැඩි ඡන්දයක් සහිතව ධුර කාල දෙකක් රජ කළාය. ඇගේ අවසාන යුගයේදී එජාපයට පාර්ලිමේන්තු බලය දිනාගැනීමට හැකි වුවද ඇගේ තත්ත්වය තාවකාලික ලෙස දුර්වල කිරීමට මිස, ඇය බලරහිත කිරීමට එජාපයට හැකිවූයේ නැත. ඒ සියලු දෙනාගෙන් පසු දැන් පැමිණ ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වාරයයි. එල්ටීටීඊය හෝ වෙනත් අයකු විසින් ඝාතනය කළහොත් හැර ඔහුගේ පාලනය ද බාහිර හෝ අභ්‍යන්තර බලවේගයකින් පෙරළිය නොහැකිය. ඕනෑම බලවේගයකට වැඩිම වුවහොත් කළහැකි වනු ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලනයට අවහිර කිරීම හෝ කරදර කිරීම පමණය.
මෙවැනි ගල් ගැසුණු ක්‍රමයක් ස්ථාපිත කිරීම ගැන ඉක්මණින් බලය අල්ලා ගැනීමකට දැන් සිහින දකින සියලු බලවේගයන් වගකිව යුතුය.
එය එක්සත් ජාතික පක්ෂයේ බිහිසුණු නිර්මාණයකි. දෝෂාභියෝගයේ පරාජයත් සමග විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි, නැතිනම් විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු තැනකට ගෙනා යුතුය යන මතය බලවත් ලෙස රට ඉදිරියට ගෙනාවේද එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් වන ලලිත්-ගාමිණී කණ්ඩායමයි. එහෙත් ඉන්පසු එජාපයේ නායකත්වයට ආ රනිල් පෙනී සිටියේ ක්‍රමය ප්‍රතිසංස්කරණය කළයුතුයි කියන මතයේ නොවේ. කිසිදු ප්රතිසංස්කරණයකින් තොරව මාමා ඇති කළ ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙන යායුතුය යන මතයේය. ඉන්පසු විධායක ජනාධිපති ක්රමයේ වෙනසක් වෙනුවෙන් පෙනී සිටි චන්ද්‍රිකා ද විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කොට පෝෂණය කළාය. ඉන්පසු විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව බලවත් ලෙස හඬ නගන්නන් බවට පත්වූයේ ජවි පෙරමුණය. එහෙත් ඔවුන් ද චන්ද්‍රිකා කුමාරතුංග සමග ඇති කරගත් සභාග දේශපාලනයේදී එම වැරදි ක්‍රමය ආරක්ෂා කොට පෝෂණය කළාය.
මේ ක්‍රමය තුළ විධායක ජනාධිපතිට තිබෙන ඒකාධිපති බලය යම් පමණකට හෝ තුලනය කළ හැක්කේ ස්වාධීන අධිකරණයකට පමණය. එහි අනතුරක් ඇති බව තේරුම් ගත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය අධිකරණයේ ගමන් මග ආපසු හරවා අධිකරණය විධායකයේ දේශපාලන අතකොලුවක් බවට පත්කර ගත්තාය. කොළපට රනිල් වික්රමසිංහලාගේ සිට රතුපාට විමල් වීරවංශලා දක්වා වන සියලු දෙනා ඒ වරද ගල් ගැසෙන තත්ත්වයකට පත් කළා මිස වරද නිවැරදි කිරීම සඳහා ක්‍රියා නොකළහ.
මේ ක්රමයේ ඇති අවලස්සන බව ඔවුන්ට පෙනෙන්නේ බලයෙන් පිටස්තරව සිටින විට පමණය. බලයේ සිටින විට ඔවුන් එම බලයේ රස උපරිම ලෙස උරා බිව්වෝය. ඒ මගින් ඒ අවලස්සන ක්‍රමය ශක්තිමක් කොට පෝෂණය කළහ. දැන් ඒ සියලු දෙනා දේශපාලන පරඬැලක් බවට පත්ව සිටින චන්ද්‍රිකාගේ සාරි පොටේ එල්ලී ඉතා ඉක්මණින් බලය ලබාගැනීමට සිහින දකින්නේ නම් ඔවුන් සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ නොව අංගොඩය. ඔවුන් කිසිවකුට මේ රටේ ප්රජාතන්ත්රවාදී නිදහස වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් හෝ අයිතියක් නැත. තමන් විසින්ම තහවුරු කරන ලද ඒකාපාක්ෂික පාලන ක්‍රමයක් තුළ දේශපාලන වශයෙන් අළු දූවිලි බවට පත්වීම ඔවුන්ගේ ඓතිහාසික ඉරණම වනු ද නොවැළැක්විය හැකිය. ඉක්මණින් හෝ ප්‍රමාද වී රටේ නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන දේශපාලන ව්‍යාපාරවල බීජ හටගනු ඇත්තේ ද එම දේශපාලන අළු දූවිලි මත්තේය.
මෙම අවලස්සන ක්‍රමය වෙනස් කිරීමේ අවංක වුවමනාවක් එජාපයට තිබුණේ නම්, ඒ සඳහා බලවත් උත්සාහයක යෙදීමේ මහඟු අවස්ථාවක් එම පක්ෂයට හිමිවිය. චන්ද්‍රිකා විධායක ජනාධිපති ධුරයේ සිටියදී එම පක්ෂයට පාර්ලිමේන්තු බලය ලැබුණු අවස්ථාවේදී අවසාන මොහොතේදී නොව මුලදී විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන තැනකට ගියේ නම් ඊට දෙමළ සංධානයේ හා ජවිපෙ සහාය ලබාගැනීමට හැකියාව තිබුණා සේ ම, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් විශාල පිරිසකගේ ද සහාය ලබාගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් චන්ද්‍රිකාගේ ධුර කාල දෙකෙන් පසුව ඊළඟ අවස්ථාව ලැබෙන්නේ තමාට යැයි කල්පනා කළ රනිල් වික්‍රමසිංහ මහතා එවැනි වැඩපිළිවෙළකට යෑමෙන් වැළකී සිටියේය. එහෙත් ඊළඟ වාරය හිමිකර ගැනීමට අසමත්වීම තුළ දැන් ඒ මහතාට වසර දොළහක් බකන් නිලාගෙන ඉන්නට සිදුවී තිබේ.
මීට අතිරේකව ජවිපෙට ද මේ ක්රමයේ වැදගත් අංග කිහිපයක් හෝ වෙනස් කරවා ගැනීමට මහඟු අවස්ථාවක් ලැබුණි. ඒ පොදු පෙරමුණ පාර්ලිමේන්තුවේ සුළුතරයක් වී බහුතර බලයක් ලබාදීම සඳහා ආණ්ඩුව සමග සන්ධානයක් ඇති කරගත් අවස්ථාවේදී ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන තත්ත්වයකට ගෙන ඒම සඳහා වන සංශෝධනයක් ද 17 වැනි සංශෝධනයට ඇතුළත් කරන ලෙස බලවත් ලෙස ඉල්ලා සිටියේ නම්, ඒ මොහොතේ ආණ්ඩු පක්ෂය ඊට එකඟවන්නට ඉඩ තිබුණි. එහෙත් ජනතා විමුක්තිය පෙරමුණ ද එවැනි තැනකට නොගියේය. ඉන්පසු ජනාධිපතිනිය ලවා එජාපයට බහුතර බලයක් තිබුණු පාර්ලිමේන්තුව හිතුවක්කාරී ලෙස විසුරුවා හරින තැනකට යමින් විධායක ජනාධිපති බලයට අතිරේක ශක්තියක් ලබා දුන්නේය.
විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන තැනකට ගෙන ඒමේ යෝජනාවලියක් සර්වපාක්ෂික යෝජනාවලට ඇතුළත්ය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට වෙනස්ව තමන්ට තිබෙන අසීමිත බලය අතහැර පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයක් ඇති කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් වේ නම් ඔහුගේ සියලු විරුද්ධවාදී නායකයින් දේශපාලන විහිළුකාරයින් බවට පත්කිරීමට ඒ එකම වෙනස පමණක් වුවත්, ප්‍රමාණවත් වනු ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව හඬ නැගූවකි. ඒකාධිපති ක්රමයක එම තනතුර දරන පුද්ගලයා කොතරම් හොඳ හෝ සොඳුරු වුවත්, රටේ යහපතට හේතුවන්නේ නැත. හැමවිටම පාලකයා පාර්ලිමේන්තුවට ද, අධිකරණයට ද වගකියන තත්ත්වයක් තිබිය යුතුය. අධිකරණය පාලකයාගේ අතකොලුවක් ලෙස නොව, ස්වාධීනව ක්‍රියාකරන තැනක තිබිය යුතුය. රටේ දේශපාලන ශිෂ්ටසම්පන්න තැනකට ගෙන ආ හැකිවනු ඇත්තේ එවිටය. •
රටේ දේශපාලන නායකත්වය පිළිබඳ ගැටලුව
සන්ඩේ ටයිම්ස් පුවත්පත හැටවෙනි නිදහස් සමරුව වෙනුවෙන් රටේ සමාජ ආර්ථික හා දේශපාලනය අළලා කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල පසුගිය සතියේ පළකොට තිබුණි. මෙම සමීක්ෂණය කර තිබුණේ ප්‍රධාන වයස් කාණ්ඩ තුනකට අයත් පුද්ගලයින් 519 ක් පදනම් කොටගෙන ය.
සමීක්ෂණයේ දී සොයා බලන ලද කරුණු අතර එක් වැදගත් කරුණක් වනුයේ නිදහසින් පසු බිහි වූ නායකයින් අතරින් රට සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමේ වැඩිම හැකියාවක් තිබුණු නායකයා කව්ද යන ප්රශ්නයයි. ලැබී තිබුණු ප්‍රතිඵල මෙසේ ය.
බහුතරයේ විශ්වාසය හා ගෞරවය දිනාගත් කිසිම නායකයකු බිහි වී නැති බව ප්‍රතිඵල අනුව පෙනී යයි. පළමුවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායකය. පළමු තැන හිමිකරගත් ඔහු පවා ලබාගෙන ඇති කැමැත්තේ අනුපාතිකය 31%කි. ඩී.එස්. සේනානායක වැනි නායකයකු මෙවැනි තත්වයක් දිනාගැනීම කෙරෙහි නිදහස දිනාගත් නායකයා වශයෙන් ඔහුට ලැබී තිබෙන පිළිගැනීම හා සමහර විට රටට අඩුම නපුරක් කළ නායකයා ලෙස සලකා කැමැත්ත ප්‍රකාශ කිරීම වැනි සාධක බලපෑවා විය හැකි ය.
22% ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානය රණසිංහ ප්‍රේමදාස මහතාත් 21% ලබාගනිමින් තෙවැනි ස්ථානය වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් හිමි කරගෙන සිටී.
මෙම නායකයින් දෙදෙනාම සම්ප්‍රදායික ප්‍රභූ පංතියෙන් පිටස්තරව බලයට පැමිණි නායකයන් දෙදෙනා ලෙස සැලකිය හැකි ය. අනෙක් අතට මෙම පක්ෂ දෙකේ පැවති පවුල් ආධිපත්‍යයට පටහැනිව පිටතින් පැමිණි නායකයින් දෙදෙනා ලෙස ද සැලකිය හැකි ය. අහම්බයක් මත ටික කලකට බලයට පැමිණි ඩී.බී. විජේතුංග හැර එ.ජාපය හිමිකරගෙන සිටින පවුල් කණ්ඩායමෙන් බැහැර එම පක්ෂයෙන් බලයට පැමිණි එකම නායකයා රණසිංහ ප්‍රේමදාස මහතා ය. ඔහු ගොවිගම කුලයෙන් පිටස්තරව බලයට පැමිණි එකම නායකයා ලෙසද සැලකිය හැකි ය.
සමහර අවස්ථාවලදීත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද රණසිංහ ප්‍රේමදාස මහතාට සමාන කළ හැකි ය. බණ්ඩාරනායක රත්වත්ත පවුලෙන් බැහැරව ශ්‍රීලනිපයෙන් බලයට පැමිණි එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා ය. අනෙක් අතට අගනුවරින් බැහැරව ඈත පිටිසර ගමකින් බලයට පැමිණි එකම නායකයා ලෙස ද සැලකිය හැකි ය.
මෙම නායකයින් දෙපලගේ ආකර්ශනය කෙරෙහි අන් නායකයින්ට නැති එම විශේෂ සාධකය බලපෑවා විය හැකි ය.
නිදහසින් පසුව බිහි වූ සියලු නායකයින් අතුරින් දැවැන්තම දේශපාලන චරිතය ලෙස සැලකිය හැකි ජේ.ආර්. ජයවර්ධන ට හිමිව ඇත්තේ හතරවැනි තැන ය. ලැබී ඇති කැමැත්තේ අනුපාතිකය 7% කි. රට නවීනත්වයට හා පහසුවෙන් ගැලවිය නොහැකි ඒකාධිපති දේශපාලන ක්රමයක සිරකරනු ලැබූ නායකයා ඔහු ය. ඔහුගේ හොඳ නරක විචාරාත්මකව බැලිය හැකි තැනකට සමාජය පැමිණ තිබෙන බව ඔහු හිමිකරගෙන තිබෙන ප්‍රතිඵලය අනුව පෙනී යයි.
බණ්ඩාරනායක පවුලේ දේශපාලන නායකයින්ට තිබුණු ආකර්ශනය ද වාෂ්ප වෙමින් තිබෙන බව පෙනී යයි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකට ලැබී තිබෙන කැමැත්තේ අනුපාතිකය 5% කි. ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායකට ලැබී තිබෙන කැමැත්තේ අනුපාතිකය 4% කි. දෙදෙනාගේ දුව වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ලැබී තිබෙන කැමැත්තේ අනුපාතිකය 1% කි. පහසුවෙන් විසඳාගත නොහැකි ජාතිවාදි අවුලකට රට තල්ලු කරන ලැබූ පුද්ගලයා බණ්ඩාරනායක ය. ඉන් නොනැවතී ඔහුගේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සිංහල තරුණ පරපුරට ඉංග්‍රීසි භාෂාවට මාරුවීමට තිබුණු හැකියාව සීමා කළේ ය. ඒ වෙනුවෙන් සිංහල තරුණ පරපුරට අද ගෙවන්නට සිදු වී තිබෙන වන්දිය අති විශාලය. සමහර අංශවලින් යකඩ කාන්තාවක් ලෙස සැලකිය හැකි චන්ද්‍රිකා කුමාරතුංග හිමිකරගෙන සිටින ආන්තික තත්ත්වය ද පුදුම උපදවන සුළු ය. ඇය හා මහින්ද අතර තිබෙන පරතරය 21ට 1 කි. ජීවතුන් අතර සිටිය දී හා මෙතරම් ඉක්මනින් ඉතිහාසයේ කුණු බක්කියට එකතු වූ තවත් නායකයකු ගැන සිතිය හැකි ද?
විපක්ෂ නායකයා ලෙස සැලකිය හැකි එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ හිමිකරගෙන සිටින්නේද පහත්ම තත්ත්වයකි. හිමිකරගෙන සිටින කැමැත්තේ අනුපාතිකය 1% කි. සමීක්ෂණය කර තිබෙන්නේ මාමාගේ පුවත්පත වන නිසා සමීක්ෂණය තමාට එරෙහිව අටවන ලද කුමන්ත්‍රණයක් ලෙස ද විග්රහ කළ නොහැකි ය. ඔහු සිටින්නේද චන්ද්‍රිකාගේ බෝට්ටුවේ ය. ඔහුගේ අසාර්ථක භාවය සමාජයේ පොදු පිළිගැනීමට හේතු වූ කරුණක් බව ලබාගෙන තිබෙන ප්‍රතිඵලයට අනුව හොඳින් පෙනී යයි.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරටද තිබුණ පිළිගැන්ම ද වාෂ්ප වී තිබෙන බව පෙනේ. ඔහු හිමි කරගෙන තිබෙන කැමැත්තේ ප්‍රමාණය 1%කි. එය ජවිපෙට තිබෙන පිළිගැනීමේ පරාවර්තනයක් ලෙස සැලකිය හැකිය.
මෙම ප්‍රතිඵල අනුව පෙනීයන එක් වැදගත් කරුණක් වනුයේ සමාජයේ එක්තරා වේගයකින් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවත්නා යථාර්ථය තේරුම් ගනිමින් සිටින බවය. අපේ රටේ දේශපාලන නායකයින්ට ආවේණික බරපතළ සීමා තේරුම් ගනිමින් සිටින බවය. එයින් පෙනෙන්නේ මතුපිටින් පෙනෙන්නට තිබෙන දේවල් ලස්සන නැතත්, අප ජීවත්වන්නේ පරිවර්තනය වීමට ආසන්න දේශපාලන සමාජයක බවය.
අර්බුදයේ කෙළවර කුමක්ද?
දේශපාලන චිත්රයේ පවතින ව්‍යාකූලභාවය නොකඩවා වර්ධනය වෙමින් පවතී. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සේ දැන් දුෂ්ටයාගේ භූමිකාව රඟපාන්නට සිදුවී තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂටය. මංගල සමරවීර හා ශ්‍රීපති සූරියආරච්චි දෙපළ සමග රනිල්, චන්ද්‍රිකා, විමල් වැන්නෝ වීරයාගේ භූමිකාව රඟපාමින් සිටිති.
දේශපාලනයේ පවතින අවුල්සහගත බව දේශපාලන ක්රමයේ පවතින අවුල්සහගත බවේ ම ප්‍රතිබිම්බයක් ලෙස සැලකිය හැකිය. මනා ගැලපීමකින් තොරව ගොඩනගා තිබෙන විධායක ජනාධිපති ක්‍රමය ප්රජාතන්ත්රවාදී සළු පිළි පැළඳගෙන යා හැකි උපරිම දුර වෙත දැන් පැමිණ ඇති බව පෙනේ. රටේ ජනාධිපතිකම ලැබීම වාසනාවක් ලෙස සැලකිය හැකි වුවත්, මහින්ද රාජපක්ෂට ජනාධිපතිකම ලැබී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය ඓතිහාසික අවසානයක් කරා ගමන් ගනිමින් තිබෙන අවස්ථාවකය.
මෙම අවුල්සහගත දේශපාලන ක්රමයේ නිර්මාතෘවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ නොවෙතත්, මහින්ද රාජපක්ෂ මහතාට තවදුරටත් දේශපාලන වශයෙන් පැවතිය හැකිවනු ඇත්තේ මෙම අවුල්සහගත දේශපාලන ක්‍රමය මුළුමණින් වෙනස් කිරීමෙන් හෝ එයට පළඳවා තිබෙන ප්රජාතන්ත්රවාදී සළු පිළි ඉවත් කිරීමෙන් පමණය.