රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන එජාප සිය අභ්‍යන්තර ආරාවුල් විසඳා ගන්නා තැනකට පැමිණ තිබීම යහපත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. අභ්‍යන්තර ආරාවුල් විසඳා ගැනීමෙන් පසු එම පක්ෂය ආණ්ඩුව සමග ඇති කරගත් එකඟතා ගිවිසුමට බැ?රුම් අවධානය යොමු කළ යුතු ය.
එම එකඟතා ගිවිසුම අනුව දේශපාලන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමට ප්‍රධාන පක්ෂ දෙක එකඟ වී තිබුණේ ය. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය නැවත ස්ථාපිත කිරීමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමටත්, යහපත් ආණ්ඩුකරණයක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීමටත්, ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීමටත් පොදු එකඟතාවක් ඇති කරගෙන තිබුණේ ය. ඇති කරගත් එම එකඟතාවට අනුකූලව යමින් පූර්ණ ප්රතිසංවිධානයක් ඇති කිරීම සඳහා ක්‍රියා කිරීම ආණ්ඩු පක්ෂයේ සේ ම විරුද්ධ පක්ෂයේ ද යුතුකම හා වගකීම වන්නේ ය.
සමස්ත දේශපාලන ක්‍රමය ම කුණුවූ තත්ත්වයකට පත්ව ඇති බව දෙපක්ෂය ම තේරුම් ගත යුතු ය. විධායක ජනාධිපති ක්‍රමයක් පවත්වාගෙන යන්නේ නම්, විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිවයුතු තත්ත්වයකට ගෙනා යුතු ය. රටේ පාර්ලිමේන්තුව තිබෙන්නේ ද මහජනතාවගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන තත්ත්වයක නොවේ. අධිකරණ ක්‍රමය තිබෙන්නේ ද කුණුවූ තත්ත්වයක ය. විධායකයේ අතකොලුවක් ලෙස ක්‍රියා කරන අධිකරණය දේශපාලන භේදයෙන් තොරව යුක්තිය ඉටු කරන ආයතන ක්‍රමයක් බවට ප්‍රතිසංවිධානය කළ යුතු ය. මැතිවරණ ක්‍රමය පමණක් නො ව, පක්ෂ ක්‍රමය ද මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස ප්‍රතිසංස්කරණය කළ යුතු ය. පක්ෂවල අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදී නිදහස තහවුරු කරන නීති ඇති කළ යුතු ය.
කුණුවී මජර ගලන තත්ත්වයකට පත්ව ඇති ජනවාර්ගික අර්බුදය සියලු දෙනාට පිළිගත හැකි රටේ ජනතාවගේ පමණක් නොව, අසල්වැසි රටවල ද ගෞරවයට හේතුවන සාධාරණ දේශපාලන විසඳුමක් සොයාගත යුතු ය. ජනවාර්ගික අර්බුදය රට තුළ අතිවිශාල ප්රචණ්ඩත්වයක් ඇති කරන සංසිද්ධියක් ලෙස ක්‍රියාකරමින් තිබෙනවා පමණක් නො ව, දෙමළ ජනතාව පමණක් නොව, සමස්ත ජනතාව ද පීඩාවට පත් කරන සමස්ත දේශපාලන ක්‍රමය ම විකෘති කිරීමට හේතුවන පිළිකාවක් ලෙස ක්‍රියාකරමින් තිබෙන බව අප තේරුම් ගත යුතු ය. වෙනම රාජ්‍යයක් ඇතිකර ගැනීමේ දෙමළ නිජබිම් සංකල්පයෙන් අත් මිදී සියලු සුළු ජාතීන්ගේ සමාන අයිතිවාසිකම් තහවුරු කරන දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින තැනකට දෙමළ ජනතාව ද යා යුතුව තිබේ. යුද්ධය විසඳුමකට බල කෙරෙන මාර්ගයක් වශයෙන් මිස, ජනවාර්ගික අර්බුදයට තිබෙන අවසාන විසඳුම ලෙස ආණ්ඩුව නො සැලකිය යුතු ය.
උභය මන්ත්‍රී මණ්ඩලයක් ඇති කිරීමේ අදහස ඉතා වැදගත් ය. බලය බෙදාහරින වැඩපිළිවෙළක දී පළාත් ආණ්ඩු ක්‍රමයකට බර තැබීමෙන් නො නැවතී ගමට ද උපරිම ලෙස බලය ලබාදෙන පැරණි ගම්සභා වැනි ආයතන ක්‍රමයක් ඇතිකර ගැනීමේ වැදගත්කම ගැන ද අවධානය යොමුවිය යුතු ය.
සාමය ඇති කරගැනීමෙන් තොර ව රටට ඉදිරියට යා නො හැකි ය. ප්රචණ්ඩ අරගල හා යුද්ධය මැද දශක තුනකට ආසන්න කාලයක් උතුරු නැගෙනහිර ජනතාවට ජීවත් වන්නට සිදුවී ඇත්තේ තිරිසනුන් ලෙස ය. ඔවුන්ට ආත්ම ගෞරවය ඇති මනුෂ්‍යයන් ලෙස ජීවත් විය හැකි වටපිටාවක් ඇති කරදීම අපි කාගේත් වගකීමකි. වර්ගය, ආගම හා කුලය මත මිනිසුන් බෙදා පාලනය කිරීමේ දුර්දාන්ත ක්‍රමයෙන් අපි නිදහස් විය යුතු ය. භේදයකින් තොරව සියලු ජන කොටස්වලට සමාන අයිතිවාසිකම් සහතික කරන එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ගෞරවයෙන් එකට ජීවත් විය හැකි වටපිටාවක් අපි ඇති කරගත යුතු ය.