යුද්ධයෙන් කුල්මත්වීම

October 29, 2026
Publication:
The security forces fought a successful and victorious campaign in the first phase, and the victories left not only the forces but the Sinhala people elated and intoxicated. The LTTE agreed formally to come to talks on the Tuesday, from a defeated position. Ivan's warning is about what elation costs: the German ban could reach German credit and the tourist trade, and Europe could come to apply to the government the sort of programme it applied to the LTTE.

ආණ්ඩුවේ ආරක්ෂක හමුදා පළමු අදියරේදී කොටි සංවිධානයට එරෙහිව සාර්ථක හා ජයග්‍රාහී යුද්ධ ව්‍යාපාරයක නිරත විය. එය විසින් ලබා ගන්නා ලද ජයග්‍රහණ ආරක්ෂක හමුදාවන් පමණක් නොව සිංහල ජනතාව ද ප්‍රබෝධමත් කිරීමට හා කුල්මත් කිරීමට හේතුවී තිබුණි.

පරාජිත තත්ත්වයක සිටියදීත් කොටි සංවිධානය සාම සාකච්ඡාවලට ඒමට නිල වශයෙන් එකඟත්වය පළ කළේ පසුගිය අඟහරුවාදා (10දා) ය. නෝර්වේ රාජ්‍ය ජිනීවාවල පැවැත්වෙන සාම සාකච්ඡා පිළිබඳව නිල නිවේදනය පළ කළේ ද එදිනය.

ආධාර කණ්ඩායමේ සම සභාපතිවරුන් සමග කරන ලද සාකච්ඡාවේදී ප්‍රහාරයක් එල්ල වුවහොත් ප්‍රතිප්‍රහාර දීමක් මිස තවදුරටත් කොටි සංවිධානයට එරෙහිව හමුදා මෙහෙයුම් දියත් නොකරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහතික විය.

එහෙත් සාම සාකච්ඡා පැවැත්වීමට ආසන්න අවස්ථාවක රටේ ජනාධිපතිවරයා ආධාර කණ්ඩායමේ සම සභාපතිවරුන්ට දී තිබුණු සහතිකයට පටහැනිව යමින් ආරක්ෂක හමුදා කොටි බලප්‍රදේශය අතික්‍රමණය කර මහා මෙහෙයුමක් පසුගිය බදාදා (11 දා) දියත් කළේය.

කොටි සංවිධානය කළේ ආරක්ෂක හමුදාවන්ට සිය පාලනය යටතේ තිබූ භූමිය අතික්‍රමණය කරන්නට ඉඩදී විශ්මය දනවන ආකාරයෙන් හදිසියේ වටකොට පහරදීමය. ජයග්‍රහණයේ කුල්මත්භාවයෙන් වල්මත්වී සිටි ආරක්ෂක හමුදා යථා තක්සේරුවකින් තොරව කරන ලද අතික්‍රමණයක් මගින් සතුරාගේ පහසු ගොදුරක් බවට පත්විය. එහිදී සිදුවූ ජීවිත විනාශය විශාලය. මරණයට පත්වූ ආරක්ෂක හමුදා සාමාජික සංඛ්‍යාව 133කි. අතුරුදහන්වූවන්ගේ සංඛ්‍යාව 37කි. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 500කට වැඩිය. තුවාල ලැබූවන්ගෙන් ද 280ක් බරපතළ තුවාල ලැබූවන්ගේ ගණයට අයත්ය. ජයග්‍රහණයේ උද්දාමය කෙළවර වූයේ මහා ඛේදවාචයකිනි.

සියල්ල එතනින් අවසන් වූයේ නැත. ඉන් දින පහකට පසුව ලොරි බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී තවත් නාවික සෙබලුන් 103ක් මරණයට පත්වූ අතර සිය ගණනක් බරපතළ තුවාල ලැබූහ.

එතෙක් පරාජිත තත්ත්වයකට පත්ව සිටි කොටි සංවිධානය නැවත ජයග්‍රාහී ව්‍යාපාරයක් ලෙස හිස එසවීය.

සාම සාකච්ඡා පැවැත්වීමට දින නියම කරගෙන තිබියදී ක්‍රියාවට නගන ලද යුද මෙහෙයුමේ අරමුණ කුමක්ද යන්න නොපැහැදිලිය. සාම සාකච්ඡාවලට පෙර අලිමංකඩ අල්ලා ගැනීම එහි අරමුණ වීද? මෙතෙක් ජය ලැබූ ආකාරයට ඉතාමත් සරල හා පහසු ලෙස කෙටි දින ගණනක් තුළ කොටි සංවිධානය කම්මුතු කළ හැකිවනු ඇතැයි ආරක්ෂක ප්‍රධානීන් කල්පනා කළේද? සම සභාපතිවරුන්ට දෙන ලද ප්‍රතිඥාවන්ට පටහැනිව ආරක්ෂක හමුදා මෙහෙයුමක් දියත් කර ඇති බව වසන් කළ නොහැකිය. ඒ මගින් ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඇතිවන හැඟීම රටේ සේ ම ජනාධිපතිවරයාගේ ද යහපතට හේතුවන්නේ නැත.

දැන් ඊළඟට කරන්නේ කුමක්ද? සිදුවූ දේවල් නොසලකා සාම සාකච්ඡාවලට සහභාගි වන්නේද? සාම සාකච්ඡා පැවැත්වෙන්නේ නම්, ආත්ම අභිමානයකින් යුතුව සාකච්ඡාවලට සහභාගිවීමේ හැකියාව දැන් කොටි සංවිධානයට ඇත්තේය. එහෙත් එවැනි අභිමානයකින් එහි යෑමේ හැකියාවක් අපට නැත.

නැතිවූ අභිමානය නැවත දිනාගැනීම සඳහා සාම සාකච්ඡාවලට පෙර තවත් මෙහෙයුමක් කරන තැනකට යන්නේද? එයින් ද ලැබෙන ප්‍රතිඵලය ජයග්‍රාහී නොවූවහොත් සිදුවන්නේ කුමක්ද? එවැනි මෙහෙයුමකින් ලබන ජය පරාජය කුමක් වුවත්, එවැන්නක් සාම සාකච්ඡා කෙරෙහි ඇති කරන බලපෑම කුමක්ද?

මේ තත්ත්වය හේතුවක් කරගනිමින් ආණ්ඩුව සාම සාකච්ඡාවලට යෑමෙන් වැළකී සිටියහොත් ඇතිවන තත්ත්වය කුමක්ද? එය සාම සාකච්ඡාවල කෙළවර විය නොහැකිද?

අනෙක් අතට සිදුවී තිබෙන මේ කිසිවක් නොසලකා දොපර්ශ්වයම සාම සාකච්ඡාවලට සහභාගි වුවත් එහි කතා කරන්න යන්නේ මොනවාද? සුළු වශයෙන් හෝ පොදු එකඟතාවක් ඇතිකර ගැනීමේ හැකියාවක් තිබේද?

ජාත්‍යන්තර ප්‍රජාව කොටි සංවිධානයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කරන තැනකට තල්ලු විය. එහෙත් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ඔවුන්ගේ විශ්වාසයට හෝ ගෞරවයට හේතු නොවීය.

එජාපය සමග ඇති කරගනිමින් තිබෙන සන්ධානය මේ ගමන් මගෙහි වෙනසක් ඇති කිරීමට හේතුවේද?

රටක් වශයෙන් අප මේ මොහොතේ කල්පනාකාරී නොවූවහොත් ජර්මනිය මෙන් ශ්‍රී ලංකාවට ආයුබෝවන් කියන තැනකට අන් රටවල් ද යොමුවීමේ අවදානමක් පවතී.

අපි ජාත්‍යන්තර ප්‍රජාවගේ හිරකරුවකු බවට පත්වීම අවශ්‍ය නැතත්, මුළුමණින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් බැහැර වී පැවතීමේ හැකියාවක් ද අපට නැත.

යුද්ධයේ ජය පරාජය තාවකාලිකය. එම ධර්මතාව ශ්‍රී ලංකා ආණ්ඩුවට පමණක් නොව කොටි සංවිධානයට ද අදාළය. එකිනෙකා මරාගන්නා තැනකට තල්ලු වී සිටින ශ්‍රී ලංකාවේ සිංහල හා දෙමළ යන ජන කණ්ඩායම් දෙක අනාගතයේදීත් ජීවත් විය යුත්තේ මේ රටේය. හිංසාව එවැනි ජන කණ්ඩායම් දෙකක් අතර, ප්‍රශ්න විසඳා ගැනීමට තිබෙන ප්‍රශස්ථ මාර්ගය විය නොහැකිය. හිංසාව සිංහල ජාතිය එක්සේසත් කිරීමට හේතුවී නැතිවා සේම එය දෙමළ ජාතිය එක්සේස්ත් කිරීමට ද හේතුවී නැත. අන්තවාදී ආකල්පවලින් අත් මිදී සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳාගන්නා තැනකට අප යා යුතුය.

ජර්මන් සංඥාව

ජර්මනිය ශ්‍රී ලංකාවට දෙන සියලු ආධාර අත්හිටුවීමට තීරණය කර තිබේ. ජර්මනිය මෙය හදිසියේ ගෙන තිබෙන තීරණයක් නොවේ. දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් පසු ගෙන තිබෙන තීරණයකි. එම තීරණය කෙරෙහි බලපා තිබෙන්නේ වර්ග භේදවාදී ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙක අනුගමනය කරන අන්තවාදී පිළිවෙත්ය. ජර්මනියේ සංවර්ධන සහනකරුවන් අතර ආසියාවේදී පළමු තැන ගෙන තිබුණේ ශ්‍රී ලංකාවය. වාර්ෂිකව ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානවලදී ලැබෙන මුළු ප්‍රමාණයන්ගෙන් 15%ක් ලැබුණේ ජර්මනියෙනි. ජර්මනියෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයන්ගේ වටිනාකම නෝර්වේ රාජ්‍යයෙන් වාර්ෂිකව ලැබෙන ප්‍රමාණය මෙන් තුන් ගුණයක් තරම් විශාල විය. සංචාරක කර්මාන්තයේදී ද දෙවැනි ප්‍රධාන ප්‍රභවය ද වූයේ ජර්මනියයි. ජර්මන් තහනම අපට ලැබෙන ජර්මන් ණය ආධාර කෙරෙහි පමණක් නොව සංචාරක කර්මාන්තය කෙරෙහි ද බලපෑ හැකිය.

මේ තත්ත්වය ආණ්ඩුව බැ?රුම් ලෙස නොසලකතොත්, මෙය වෙනත් රටවලට ද පැතිරී යා හැකිය. කොටි සංවිධානය කෙරෙහි යුරෝපීය රටවල් ක්‍රියාවට නගන ලද වැඩපිළිවෙළට සමාන වැඩපිළිවෙළක් එම රටවල් ශ්‍රී ලංකා ආණ්ඩුව සම්බන්ධයෙන් ද අනුගමනය කළ හැකිය. යුරෝපා සංගමය තුළ ද ශ්‍රී ලංකාව පිළිබඳව ඇත්තේ නොකඩවා වර්ධනය වන කලකිරීමකි. ඇඟලුම් පංගු ක්‍රමය අහිමිවීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය රැකුණේ යුරෝපා සංගමයෙන් ලැබුණු අනුග්‍රහය නිසාය. යුරෝපා සංගමය ඇඟලුම් අපනයනයන් සඳහා ශ්‍රී ලංකාවට නිදහස් වෙළෙඳපොළ තත්ත්වයක් ප්‍රදානය කරන විට ඒ සඳහා අප යුරෝපා සංගමය සමග ගිවිසුමක් ඇති කරගත්තෙමු. එම ගිවිසුමෙන් අප සහතික වූ ප්‍රධාන කාරණය වනුයේ මානව හිමිකම්වලට අදාළ අන්තර්ජාතික ප්‍රඥප්තීන් අප ආරක්ෂා කරන බවය. එම ගිවිසුමට ඇතුළත් ප්‍රඥප්තීන් අතර පළමු ප්‍රඥප්තිය වූයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියයි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් ජිනීවා හි මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කරන පැමිණිලි විභාග කිරීමේ බලය එම කමිටුවට පැවරී තිබුණු අතර, කමිටුව දෙන තීරණයක් පිළිපැදීමට අපි බැඳී සිටින්නෙමු. මානව හිමිකම් විෂයයේදී එය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ලැබී තිබුණු ශක්තිමත් ආරක්ෂාවකි. එහෙත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ලැබී තිබුණු එම අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එක පෑන් පහරකින් අවලංගු කරන ලදි. එය අගවිනිසුරුවරයා ජිනීවාහි මානව හිමිකම් කමිටුව තමන්ට එරෙහිව දී තිබෙන තීන්දු හා දෙන්නට නියමිත තීන්දුවල වලංගුභාවය අහෝසි කිරීම සඳහා ගන්නා ලද සහාසික පියවරක් විය.

ඒ පිළිබඳව විධායකය හා පාර්ලිමේන්තුව නිශ්ශබ්දව බලා සිටියා මිස, ඒ වරද නිවැරදි කිරීම සඳහා කිසිදු පියවරක් ගත්තේ නැත.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ වලංගුභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන නිශ්ශබ්ද පිළිවෙතත් යුරෝපා සංගමයේ විශ්මයට ද කණස්සල්ලට ද හේතුවී තිබේ. වෙන මොනවා නොකළත්, ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා යුරෝපා සංගමය ලබාදී තිබෙන සහන ඉවත් කිරීමට යුරෝපා සංගමය තීරණය කළහොත් ශ්‍රී ලංකාවේ මුළු ඇඟලුම් කර්මාන්තයම කඩා වැටෙන තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය.

රටේ පාලකයින්ට දුර දැකීමේ හැකියාවක් තිබිය යුතුය. අප දන්නේ එවේලේ ඇතිවන දේවලට ප්‍රතික්‍රියා දක්වන්නට පමණක් නම් වෙන්න තිබෙන දේවල් කල්තියා දැකීමේ හැකියාවක් අපට නැතිනම් රටේ අනාගතය යහපත්වීමේ හැකියාවක් නැත.

ජර්මනියෙන් ලැබී තිබෙන සංඥාව අපි බැ?රුම් ලෙස සැලකිය යුතුය. කොටි සංවිධානයට පනවන ලද තහනම මෙන් එය වෙනත් රටවලට පැතිරීමට ඉඩ නොතැබිය යුතුය.

ප්‍රධාන පක්ෂ දෙකේ පොදු එකඟතාවේ කෙළවර කුමක්ද?

පක්ෂ දෙකට එකිනෙකාගේ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස රටේ යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන පොදු එකඟතාවකට ඒමට හැකිවේද? නැතිනම් පොදු එකඟතා වැඩපිළිවෙළ තවත් හාස්‍යජනක විගඩමක් බවට පත්වේද?

පක්ෂ දෙක අතර පොදු එකඟතාවක් ඇති කරගන්නට පෙර පොදු එකඟතා වැඩසටහනක් සඳහා පක්ෂ තුළ පොදු එකඟතාවක් ඇති කර ගත යුතුය. එහෙත් පක්ෂ දෙක අතර, පොදු එකඟතාවක් සඳහා වන වැඩපිළිවෙළක් මිස පක්ෂ දෙක තුළ එවැනි වැඩසටහනක් සඳහා වන පොදු එකඟතාවක් තවමත් ඇති කරගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

පොදු එකඟතා වැඩසටහන එජාප තුළ කණ්ඩායම් දෙකක් අතර සිදුවන බල අරගලයක් බවට හැරී පවතී. පක්ෂ නායකයා තමන්ට කීකරු නැති පිරිස් මට්ටු කිරීමට මෙම වැඩසටහන ආයුධයක් කොටගෙන තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර, අනෙක් අතට රනිල් වික්‍රමසිංහගේ නායකත්වය බාර ගැනීමට සූදානම් නැති පිරිස් රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහා මෙම වැඩසටහන ආයුධයක් කරගෙන තිබෙන බව ද පෙනෙන්නට තිබේ.

එස්.බී. දිසානායක කියන්නේ එජාප ව්‍යවස්ථාව ඒකාධිපති ව්‍යවස්ථාවක් වන බවය. පක්ෂ නායකයා ඉවත් කිරීමට අවශ්‍ය අවස්ථාවක එසේ කිරීමට අවශ්‍ය විධි විධාන පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් නොවන බවත්, ඉදිරි පක්ෂ සම්මේලනය මෙම ඒකාධිපති ව්‍යවස්ථාව පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් බලගැන්වීමට අවස්ථාවක් කර ගන්නා බව ඔහු ප්‍රකාශ කර තිබේ.

මෙය ද පොදු එකඟතාවක් යටතේ වෙනස්කම් ඇති කරගත යුතු ප්‍රධාන විෂය ධාරාවක් ලෙස සැලකිය හැකිය. රටේ බහු පක්ෂ ක්‍රමයක් ඇතත්, එම බහු පක්ෂ ක්‍රමය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොපවතී. පවතින පක්ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් පුහුණු කරන ආයතන ක්‍රමයක් ලෙස ක්‍රියා කරනවා වෙනුවට ඒකාධිපති නායකයන් පුරුදු පුහුණු කරන ආයතන ක්‍රමයක් ලෙස ක්‍රියා කරයි නම් එම තත්ත්වය පෙරළා රටේ ආණ්ඩුකරණය කෙරෙහි විනාශකාරී ලෙස බලපාන බව අමුතුවෙන් කිවයුතු නැත. පක්ෂයට ලැබෙන මුදල් විනිවිදව දැකීමේ හැකියාවක් පාක්ෂිකයින්ට තිබිය යුතුය. අනෙක් අතට පක්ෂයේ ප්‍රතිපත්ති හා වැඩසටහන් කෙරෙහි බලපෑමේ හැකියාවක් පාක්ෂිකයින්ට තිබිය යුතුය. තනතුරුවලට පුද්ගලයින් තෝරා පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට සිදුවිය යුතුය. පක්ෂ නායකයාගේ සිට තනතුරු දරන ඕනෑම පුද්ගලයෙකු ප්‍රජාතන්ත්‍රවාදීව ඉවත් කළ හැකි විධිමත් ක්‍රමයක් පක්ෂවලට තිබිය යුතුය. එහෙත් මේ කිසිවක් ශ්‍රී ලංකාවේ බහු පක්ෂ ක්‍රමය තුළ නොපවතී. ජර්මනියේ නම් ප්‍රජාතන්ත්‍රවාදී නොවන පක්ෂ ව්‍යවස්ථාවක් ඇති පක්ෂයකට පක්ෂයක් ලෙස ලියාපදිංචි විය නොහැකිය. පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී පක්ෂ කටයුතුවලට මැදිහත්වීමේ බලය ඉන්දියානු මැතිවරණ කොමිසම සතුය.

පොදු එකඟතා වැඩසටහනට දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මෙම විෂය ද ඇතුළත් කරගත යුතුය.