රටේ ප්‍රධාන පක්ෂ දෙක ලෙස සැලකිය හැකි ශ්‍රීලනිප හා එජාප පොදු එකඟතාවකින් ක්‍රියාකරන තැනකට යාම වැදගත්ය. එහෙත් ඇති කරගන්නට යන පොදු එකඟතාවයේ අරමුණ මොනවාද යන්න එම පක්ෂ රටට පැහැදිලි කළ යුතුය.
මේ පක්ෂ දෙක නිදහසින් පසු අවුරුදු පණහකට වැඩි කාලයක් මාරුවෙන් මාරුවට රට පාලනය කළහ. රටේ පවතින අසාර්ථකභාවයට මෙම පක්ෂ දෙක ද මූලික වශයෙන් වගකිව යුතුය. මෙම පක්ෂ දෙක රටේ යහපතට හේතුවන විවධ දේවල් කර තිබෙනවා විය හැකි වුවත්, රටේ පවතින අවලස්සන දේශපාලන සංස්කෘතියට මේ පක්ෂ දෙක සමාන ලෙස වගකිව යුතුය.
මේ පක්ෂ දෙක එකට එකතුවන්නේ මෙතෙක් පවත්වාගෙන ගිය කොල්ලකාරී සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියට ගෙනයාමට නම් එවැනි එකතුවක් රටේ විනාශයට මිස යහපතට හේතුවන්නේ නැත. ඔවුන් එකතුවන්නේ මෙතෙක් තමන් විසින් කර තිබෙන වැරදි තේරුම් ගෙන රටේ යහපත් විපර්යාසයකට මුල පිරීමක් කිරීමට නම් එවැනි එකතුවක් රටේ යහපතට හේතුවනු ඇත්තේය.
එහෙත් විප්ලවකාරී විපර්යාසයකට මුලපිරීමක් කළ හැකිවනු ඇත්තේ මෙතෙක් සිදුවී තිබෙන වැරදි පිළිබඳව අවංක ආපසු හැරී බැලීමකට යන්නට අවශ්‍ය නිර්භීතභාවය හා අවංකභාවය ඇති නම් පමණය.
බලය බෙදාහැරීමට යාම වැදගත්ය. එහෙත් බලය බෙදාහැරීමකින් පමණක් සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැත.
සමස්ත ආණ්ඩුකරණ ක්‍රියාවලියේම මූලික වෙනසක් ඇති කළ යුතුය. ඒ සඳහා පක්ෂ ක්‍රමය ද මුළුමණින් වෙනස් විය යුතුය. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවායක් නැති පක්ෂ ක්‍රමයකට යහපත් පාලකයන් ඇති කළ නොහැකිය. පක්ෂ පවුල් බූදල නොවිය යුතු අතර, පක්ෂවල නායකයන්ට ඒකාධිපති ලෙස ක්‍රියාකිරීමට ඉඩ නොතිබිය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව ද උඩයට පෙරළිය යුතුය. ඔවුන්ට සුදුසු වැටුපක් දීම අවශ්‍ය වුවත්, ඔවුන්ට ලබාදෙන ද්‍රව්‍යමය වරප්‍රසාද පිළිබඳව නැවත සලකා බලන තැනකට යා යුතුය. අද දේශපාලනය වස්තුව හරිහම්බ කළ හැකි පහසු මාර්ගයක් බවට පත්වී තිබේ. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුවට එතෙක් තිබූ උත්තරීතරභාවය අහිමි කොට පාර්ලිමේන්තුව විධායකයේ රබර් මුද්‍රාවක් බවට පත්කර ගත්තේය. ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතුටෙන් තැබීම සඳහා ඔවුන්ට ද්‍රව්‍යමය වශයෙන් විශාල කප්පම් ගෙවන ක්‍රමයක් ඇතිකර දුන්නේය. ඒ තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේශපාලන සදාචාරයේ ශීඝ්‍ර පරිහානියක් ඇති කිරීමට හේතුවිය. අද පාර්ලිමේන්තුව හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව මහජනයා අතර ගෞරවයක් නොපවතී. ඔවුන් මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන පිරිසක් බවට පත් කළ යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දේශපාලන ක්‍රමය සඳහා ඇති කරගෙන තිබෙන සමාජ ගිවිසුම ලෙස සලකා ඊට ගරු කරන හා එහි එන විධිවිධාන පිළිපදින තැනකට යා යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවලදී එසේ උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව ඔවුන්ගේ තරාතිරම නොබලා දඬුවම් පැමිණවිය හැකි ක්‍රමයක් ඇති කළ යුතුය.
රටේ අධිකරණ ක්‍රමය තිබෙන්නේ මහජනයාගේ ගෞරවයට නොව පිළිකුලට හේතුවූ තත්ත්වයකය. අධිකරණයේ මුඛ්‍ය අරමුණ විය යුත්තේ පාලක පක්ෂය ආරක්ෂා කිරීම නොව පුරවැසි නිදහස ආරක්ෂා කිරීමය. අධිකරණය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කළ යුතුය. එය ආරක්ෂා කළ යුතුය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන එය ආරක්ෂා නොකරන අධිකරණයක් සැලකිය හැක්කේ රස්තියාදුකාර අධිකරණයක් ලෙසය. මානව හිමිකම් ආරක්ෂා කිරීමේ අවසාන වගකීම පැවරෙන්නේ ද අධිකරණයටය.
දූෂණය මර්දනය කළහැකි වනු ඇත්තේ මුදුනත ආදර්ශවත් නම් පමණය. ඉහළම තනතුරු දරන පුද්ගලයින් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන ආයතන ක්‍රමයක් ඇති කළ යුතුය.
රාජ්‍ය සේවය ද මහජනයාට සේවය සලසන ආයතන ක්‍රමයක් වනවා වෙනුවට මහජනයා පීඩාවට පත් කරන ආයතන ක්‍රමයක් බවට පත්වී තිබේ. ක්ෂණිකව විසඳා ගත හැකි පුංචි ගැටලුවක් විසඳා ගැනීමට පවා මහජනතාවට සමහර ආණ්ඩුවේ කන්තෝරුවකට වාර ගණනාවක් එන්නට සිදුවී තිබේ. රාජ්‍ය ආයතන මහජනයාගේ ගෞරවයට හේතුවන මහජන සේවාවක් කරන කාර්යක්ෂ්ම ආයතන ක්‍රමයක් බවට පත් කළ යුතුය.
රට පිළිගත හැකි යහපත් තත්ත්වයකට ගැනීමට නම් ආයතනික වශයෙන් ඇති කළ යුතුව තිබෙන වෙනස්කම්වල ප්‍රමාණය අතිවිශාලය. ඇති කළ යුතුව තිබෙන වෙනස්කම් මොනවාද? ඒ වෙනස ඇති කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිඵල මොනවාද යන්න සන්සුන්ව සලකා බැලිය යුතුය. ඒ සඳහා මහජන අදහස් පමණක් නොව විශේෂඥ අදහස් ද ලබාගත යුතුය. ප්‍රධාන පක්ෂ දෙක අතර, පමණක් නොව සියලු පක්ෂ එකට එකතු වී ඒ වෙනස්කම් වෙනුවෙන් ක්‍රියා කරන තැනකට ආ යුතුය. සියලු ජනයාගේ ගෞරවයට හේතුවන සාමකාමී නව රටක් ගොඩනගා ගත හැකිවනු ඇත්තේ එවිටය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විනාශවීමට නියමිතව තිබුණු ශ්‍රී ලංකාව බේරාගත් ජන නායකයකු ලෙස ඉතිහාසයට එකතුවීමට හැකිවනු ඇත්තේ එවැනි ක්‍රියාමාර්ගයකට යොමුවිය හැකි නම් පමණය.
බලය තාවකාලිකය. බලයේ සිටින පාලකයා දිස්න ගසන්නේ ද බලයේ සිටින තෙක් පමණය.