සිය කැමැත්තෙන් විනාශ වන රටක්

October 29, 2026
Publication:
What has happened to Sri Lanka is what happened to the craftsman of Induruwa, who set out to mend one hole and made two. Twenty thousand people were suffering for want of water when the LTTE closed the Mavil Aru sluice; the operation launched to settle the trouble of those twenty thousand, and the fighting that came out of it, have left seventy thousand people displaced.

ශ්‍රී ලංකාවට සිදුවී තිබෙන්නේ ද එකක් කඩතොලු මකාගන්නට ගොස් දෙකක් කඩතොලු හදාගත් ඉඳුරුවෙ ආචාරියාට වූ දේ ය. ශ්‍රී ලංකාව ප්‍රශ්න විසඳා ගන්නට සමත් ජාතියකට වඩා ප්‍රශ්න අනා ගන්නට සමත් ජාතියක් ලෙස සැලකිය හැකි ය.

එල්ටීටීඊය විසින් මාවිල්අරු සොරොව්ව වැසීම නිසා වගා කිරීමට අවශ්‍ය ජලය නැතිකමෙන් විසිදහසක ජනතාවක් පීඩාවට පත්ව සිටියේ ය.

එම විසි දහසේ ප්‍රශ්නය විසඳන්නට දියත් කෙරුණු හමුදා මෙහෙයුම හා ඒ ආශ්‍රයෙන් ඇතිවූ ගැටුම් නිසා මේ වන විට අනාථභාවයට පත්ව සිටින ජනතාවගේ සංඛ්‍යාව හැත්තෑ දහසකි.

ඉඳුරුවේ ආචාරියා එකට දෙකේ අනුපාතිකයකට ප්‍රශ්න අවුල් කරගන්නා විට ශ්‍රී ලංකාව එකට තුනයි දශම හතක අනුපාතිකයට ප්‍රශ්න අවුල් කරගනිමින් සිටින බව ඉන් පෙන්නුම් කරයි. ජනප්‍රවාදයේ මෝඩයකු ලෙස සැලකෙන ඉඳුරුවේ ආචාරියාටත් වඩා ශ්‍රී ලංකාව මෝඩ බව ද ඉන් පෙන්නුම් කරයි.

සිදුවී තිබෙන සිදුවීම් දෙස විචාරාත්මකව බලන විට පෙනී යන්නේ සොරොව් වැසීම එල්ටීටීඊය විසින් අටවන ලද උගුලක් බවය. ඒ උගුලට ආණ්ඩුව මෝඩ ලෙස හසු වූයේ ය. එල්ටීටීඊයේ උපාය මාර්ගය වූ බව පෙනෙන්නේ යුද්ධ හමුදාවේ පූර්ණ අවධානය සොරොව්වේ ආරාවුල වෙත යොමු කරවා උපාය මාර්ගික වැදගත්කමක් ඇති මුතූර් නගරය අල්ලා ගෙන ත්‍රිකුණාමලය වරායට පහර දීමට ය. ඔවුන්ගේ වැඩපිළිවෙළ අසාර්ථක වූයේ අපේ දක්ෂතාව නිසා නො ව රටේ වාසනාව නිසා ය. මුතූර් නගරය ඔවුන් අපේක්ෂා කළ ආකාරයට අල්ලා ගැනීමට සමත් වී නම්, ත්‍රිකුණාමල වරාය පොළොවට සමතලා කිරීමේ හැකියාව ඔවුන්ට ලැබෙන්නට ඉඩ තිබුණි. කොළඹ වරායට එල්ල කරන්නට සැලසුම් කළ ප්‍රහාරය අසාර්ථක වූයේ ද අපේ දක්ෂතාව නිසා නොව රටේ වාසනාව නිසා ය.

එහෙත් වාසනාවෙන් පමණක් රටකට පැවතිය නො හැකි ය. රටක සාර්ථක පැවැත්මට නිසි කළමනාකරණය ද අත්‍යාවශ්‍ය කොන්දේසියකි.

එල්ටීටීඊයේ පැවැත්ම විසින් ඇති කර තිබෙන අභියෝගය ජාතිවාදී ආවේගයන්ගෙන් පමණක් ජයගත නොහැකිය. ලීක්වාන් යූ කියා ඇති පරිදි වාර්ගික ආවේග නිසි ලෙස පාලනය කිරීමට නොදන්නාකම ශ්‍රී ලංකාවේ අසාර්ථකභාවයට බලපා තිබෙන ප්‍රධාන හේතුව වේ. එම වරද නිවැරදි කරගැනීමට රටක් වශයෙන් අප තවමත් සමත් ව නැත.

රටක යහපැවැත්මට සාමය අත්‍යාවශ්‍ය කොන්දේසියකි. රනිල් වික්‍රමසිංහගේ සාම වැඩපිළිවෙළ පරිපූර්ණ තත්ත්වයක නො තිබුණා විය හැකි වුවත් සාමකාමී වටපිටාවක් ඇති කිරීමට ඒ වැඩපිළිවෙළ හේතුවී තිබුණි. සීතල යුද්ධය නිසා මනුෂ්‍ය ඝාතන සිදුවුව ද මහජනයාට මරණ බියෙන් තොරව ජීවත් විය හැකි වටපිටාවක් උදාකිරීමට හැකිවී තිබුණි. කලක් ආරක්ෂක හේතු මත ජනතාව අතරට යෑමෙන් වැළකී සිටි ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවා නිදහසේ රටේ සැරිසැරුවා ය. මිනිස්සු අලුතෙන් අනාථභාවයට පත් නොවූ හ. ඒ වෙනුවට අනාථභාවයට පත්ව සිටි අය නැවත ගම්බිම්වල පදිංචියට ආහ. කඩා වැටී තිබුණු ආර්ථිකය ද යළි ප්‍රාණවත්වෙමින් තිබුණේ ය.

රනිල් වික්‍රමසිංහ පාලනයෙන් පසුව සිදුවිය යුතුව තිබුණේ ඔහුගේ සාම වැඩපිළිවෙළට ආවේණික වැරදි හා අඩුපාඩුකම් තිබුණේ නම් ඒ වැරදි හා අඩුපාඩු නිවැරදි කරගනිමින් තවදුරටත් ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑම ය.

එහෙත් සිදුවූයේ එහි අනෙක් පැත්ත ය. ඒ නිසා දැන් රටක් හැටියට අපි ඉන්නේ අවුලෙන් අවුලට ගිය තත්ත්වයක ය. නැවත මරණ බිය, අනාථභාවය හා අස්ථාවරභාවය රට වෙලාගනිමින් පවතී.

එම තත්ත්වය ඉදිරි ගමනක් ලෙස සැලකිය හැක්කේ කෙසේ ද?