ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ගැටුමක් ඇති කරගන්නා තැනකට තල්ලු වී යමින් සිටින බව පෙනේ. විවිධ සීමාසහිතකම් තිබුණ ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක රටවල් නියෝජනය කරන ජගත් සංවිධානය වේ. ශ්‍රී ලංකාව ද එහි සාමාජික රටකි. එහි එක් සාමාජික රටක් වශයෙන් අපි එම සංවිධානයේ විවිධ ජාත්‍යන්තර ප්රඥප්තීන්ට අත්සන් තබා තිබෙන අතර, තවදුරටත් සාමාජික රටක් වශයෙන් එහි රැඳී සිටීමට නම් ඇති කරගෙන තිබෙන ජාත්‍යන්තර ප්රඥප්තීන්ට ගරු කිරීමේ වගකීම අප රට සතු ය. ඇති කරගෙන තිබෙන විවිධ ජාත්‍යන්තර ප්රඥප්තීන්ට අනුව එම ප්රඥප්තීන්ට පටහැනිව කරුණු සිදුවන අවස්ථාවල දී මැදිහත්ව ක්‍රියාකිරීමේ බලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තිබෙන අතර, එවැනි අවස්ථාවල දී සංයමයකින් ඒවාට මුහුණ දීමට අප උත්සාහ කළ යුතු ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සන්නද්ධ ගැටුම් තුළ ළමුන් පිළිබඳ විශේෂ නියෝජිත ඇලන් රොක් කරුණා පාර්ශ්වයට හා යුද්ධ හමුදාවට අදාළව කරන ලද ප්‍රකාශයක් මහත් විවාදයට හේතුවී තිබෙන අතර, ඔහුට කෝපයෙන් ප්‍රතිචාර දක්වන තැනකට යෑම රටේ ගෞරවයට හේතුවන්නේ නැත.
ළමුන් බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා ගැනීම පිළිබඳව ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඒ වරද එල්ටීටීඊයට අතිරේකව කරුණා පාර්ශ්වය විසින් ද කරන බවට පිළිගත හැකි සාක්ෂි තමන්ට තිබෙන බවත්, එහි දී ආණ්ඩුවේ හමුදා කරුණා පාර්ශ්වයට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කර තිබෙන බවත් ය.
ළමුන් හමුදා සේවයට යොදා ගැනීම සන්නද්ධ අරගලයක් ඇති ඕනෑම රටක නිල නොවන හමුදා පවත්වාගෙන යන ජනප්‍රිය ප්රතිපත්තියකි. යුද්ධයට අවශ්‍ය මිනිසුන් ලබාගත හැකි පහසු ම ක්‍රමය වන්නේ එයයි. එය එල්ටීටීඊය විසින් පවත්වාගෙන යන ජනප්‍රිය ක්‍රමයක් වන අතර, එල්ටීටීඊයට එරෙහිව සටන් කරන නිල නොවන හමුදා ද ඒ ක්‍රමය යොදා ගන්නේ නම් එය පුදුමයට හේතුවන කරුණක් වන්නේ නැත. ජේවීපීය ද 86-87 කැරැල්ලේදී ළමුන් යොදා ගත්තේ ය. ලෙනින්ගේ බොල්ෂෙවික් පක්ෂය සේ ම, මාඕ සේතුගේ කොමියුනිස්ට් පක්ෂය යුද්ධ ව්‍යාපාර සඳහා ළමුන් යොදා ගත්තේ ය.
කෝපයෙන් ප්‍රතිචාර දක්වනවාට වඩා ඇලන් රොක් යුද්ද හමුදාව සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා සත්‍යයක් දැයි සොයා බලා එවැනි වරදක් සිදුවී ඇත්නම් ඒ වරද නිවැරදි කිරීම රටේ ගෞරවයට හේතු වේ.
යාපනේ පවතින මානුෂික අර්බුදය හා රටේ පවතින මානව හිමිකම් තත්ත්වය කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ල වී තිබෙන කණස්සල්ල පුදුමයට හේතුවිය යුතු තත්ත්වයක් ලෙස සැලකිය නො හැකි ය. එය සන්නද්ධ ගැටුමක් පවතින ඕනෑම රටක සාමාන්‍යයෙන් ඇතිවිය හැකි තත්ත්වයකි. සියලු පිළිගත් මූලධර්ම අකුරට ම පිළිපදිමින් යුද්ධ කිරීමේ හැකියාවක් දෙපාර්ශ්වයට ම නැත. එහෙත් ඒ නිසා සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යුක්තිසහගත වන්නේ නැත. මෙවැනි ගැටුමක දී සිදුවන එවැනි වැරදි අවම තත්ත්වයකට ගැනීම දෙපාර්ශ්වයේ ම වගකීමකි.
රටේ ඇතිවී තිබෙන අර්බුදයට වගකිවයුත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තර ප්‍රජාව වැනි පිටස්තරයින් නොව අපම ය. රටේ පවතින අර්බුද අභ්‍යන්තරික වශයෙන් සාර්ථක ලෙස කළමනාකරණය කිරීමට අසමත් වූ විට ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් හා මැදිහත්වීම් ඇතිවේ. එම තත්ත්වය අවම කරගත හැකිවනු ඇත්තේ අපේ රටේ පවතින අර්බුද අප විසින් ම විසඳා ගන්නා තැනකට යාමෙන් පමණ ය.
ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන, බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්ගේ විශේෂ නියෝජිතයාටවත් නැවත සාකච්ඡා ආරම්භ කරන තැනකට මෙම දෙපාර්ශ්වය ම ගෙන ඒමට හැකි වේ නම්, යුද්ධයක් නැවත ඇතිවීමේ අවදානම ජයගැනීමට රටට හැකි වන්නේ ය. ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය ම අන්තවාදී ආකල්පවලින් අත් මිදී සාමකාමී ලෙස ප්‍රශ්න විසඳා ගන්නා තැනකට ආ යුතු ය.