මහින්ද ජවිපෙ දීගය බිඳ වැටෙන්නට ආසන්නය

October 29, 2026
Publication:
The president and the JVP have come to the last of the distance they can travel together. He gave the JVP everything he could give in return for its support at the presidential election and bore with it patiently, and the JVP for its part supported him with a good deal less doctrine than it had shown the former president. But the conditions it now lays down have brought the friendly journey to its end.

ජනාධිපතිවරයාට ජවිපෙ සමඟත්, ජවි පෙරමුණට ජනාධිපතිවරයා සමඟත් යා හැකි දුර අවසාන සීමාවට පැමිණ තිබෙන බව පෙනේ. ජනාධිපතිවරණයේදී ජවිපෙ තමන්ට ලැබුණු සහාය වෙනුවෙන් තමන්ට දිය හැකි හැමදෙයක්ම ජවි පෙරමුණට දෙන අතර උපරිම ඉවසීමකින් යුතුව ක්‍රියාකරන ලද බවද පෙනෙන්නට තිබුණි. ජවිපෙ ද හිටපු ජනාධිපතිනිය සමග ගනුදෙනු කරන ලද ආකාරයට වෙනස්ව කිසියම් දුරකට පිළිගත් ප්‍රතිපත්ති නොසලකා ජනාධිපතිවරයාට ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහෙත් දැන් පැමිණ ඇත්තේ එම සුහද ගමනේ අවසාන කෙළවර වෙතය.

ජවිපෙ පනවා තිබෙන සීමාවන්ට යටත්ව තවදුරටත් එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි තැනකට ජනාධිපතිවරයා පැමිණ ඇත්තේය. අනෙක් අතට ජවිපෙ සිටින්නේද ජනාධිපතිවරයා සමඟ තවදුරටත් එකට ක්‍රියාකළ නොහැකි තැනකය.

ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමග වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට ගියේ නම් තමාගේ වාසියට හේතුවන සංයුතියක් සහිත පාර්ලිමේන්තුවක් ඇති කරගැනීමට ජනාධිපතිවරයා සමත් වන්නට ඉඩ තිබුණි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ සතුටු කිරීම පිණිස ජනාධිපතිවරයා එසේ කිරීමෙන් වැළකී සිටියේය. එහෙත් තමන්ගේ සමහර කටයුතුවලට ජවිපෙ සහාය ලබාගත නොහැකි තත්ත්වයක් තුළ බොහෝ ප්‍රමාද වී හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා හැර ගත හැකි වෙනත් විකල්පයක් නැති තත්ත්වයකට ජනාධිපතිවරයා තල්ලු වී සිටින්නේය.

පාර්ලිමේන්තු මැතිවරණයක් ජනතා විමුක්ති පෙරමුණේ වාසියට හේතුවන්නේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතවී එක්ව තරග කරන ප්‍රතිපත්තියක් මගින් ලබාගත් කෘතිම බලය අත්හරින්නට ජවිපෙට සිදුවනු ඇත්තේය. පාර්ලිමේන්තු මැතිවරණයකින් තමන්ට අහිමි වන ආසන සංඛ්‍යාව විශාල බව ජවිපෙ දනී. පාර්ලිමේන්තු මැතිවරණයකින් ලබන පරාජයක් තමන්ගේ අනාගතය කෙරෙහි විනාශකාරී ලෙස බලපෑ හැකි බවද ජවිපෙ දනී. සම්ප්‍රදායික වමේ පක්ෂවලට හිමිවූ ඉරණම ජවිපෙට ද හිමිවිය හැකිය. මේ තත්ත්වයට ජවිපෙ මුහුණ දෙන්න යන්නේ කෙසේද? මැතිවරණයකට මුහුණ දී සදාකාලික අඟුටුමිටි තත්ත්වයක් හිමිකර ගන්නේද? නැතිනම් අන් මාර්ගයක් තෝරා ගන්නේද? තෝරා ගන්නට යන අන් මාර්ගය කුමක්ද?

තිබෙන මැතිවරණ ක්‍රමය යටතේ ජවි පෙරමුණේ ද සහාය නැතිව කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්පත් කරගැනීමේ හැකියාවක් තම පක්ෂයට නැති බව ජනාධිපතිවරයාද නොදන්නවා විය නොහැකිය. එජාප තිබෙන්නේ ඉතාමත්ම දුර්වල තැනක වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට තිබුණු ජනප්‍රියතාවයේ පිරිහීමක් පවතී. ඒ තත්ත්වය කෙරෙහි ඉහළ යන ජීවන මිල වැනි ප්‍රශ්න ද බලපා තිබේ. මේ අමාරුකම ජයගත හැකිවනු ඇත්තේ තමන්ට වාසිසහගත වන ලෙස මැතිවරණ ක්‍රමයේ හදිසි වෙනසක් ඇති කරගත හැකි නම් පමණය. මැතිවරණ ක්‍රමයේ වෙනසක් සඳහා තුනෙන් දෙකක අනුමැතියක් තිබිය යුතුය. ඡන්ද කොට්ඨාස ක්‍රමයකට බර තබන ක්‍රමයකට ජවි පෙරමුණේ හෝ සුළු ජාතික පක්ෂවලින් සහාය ලබාගත නොහැකිය. මේ මොහොතේ එවැනි ක්‍රමයකට එක්සත් ජාතික පක්ෂයෙන් ද සහාය ලබාගත නොහැකිය. මේ අනුව මැතිවරණ ක්‍රමයේ හදිසි වෙනසක් ඇති කළ හැකිවනු ඇත්තේ ව්‍යවස්ථාව නොසලකා ක්‍රියා කරන දඩබ්බර පිළිවෙතක් ඔස්සේ පමණය. ඒ සඳහා අවශ්‍ය අධිකරණ සහාය ලබාගැනීමට අමාරු නැතත් එවැනි ව්‍යවස්ථා විරෝධී ගමනක් රටේ පවතින දේශපාලන අර්බුදය තව තව උග්‍ර කිරීමට මිස සමනය කිරීමට හේතු නොවනු ඇත.

එජාප තිබෙන්නේ ද අවුල් ජාලාවකට ගිය තත්ත්වයකය. පක්ෂ නායකයා සිටින්නේ පක්ෂය පාලනය කළ නොහැකි තත්ත්වයකය. බලහත්කාරයෙන් පක්ෂ නායකත්වයේ එල්ලී සිටීමේ ප්‍රතිපත්තිය පක්ෂය තුළ ඔහු කෙරෙහි පැවති ගෞරවය බොඳ කිරීමට හේතුවී ඇති අතර, පක්ෂය පාලනය කිරීමට තිබෙන හැකියාවද අහිමි කරගෙන තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය අත්හරින්නට සූදානම් නැත. ඔහුගේ නායකත්වය නොපිළිගන්නා විශාල පිරිසක් පක්ෂය තුළ සිටී. එජාප මෙවැනි අර්බුදකාරී තත්ත්වයක තබාගෙන ආත්ම විශ්වාසයකින් යුතුව මැතිවරණයකට මුහුණදීමේ හැකියාවක් එම පක්ෂයට නැත.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට යම් පමණකට හෝ මුහුණදීමේ හැකියාව ලැබෙනු ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයින් අවබෝධයෙන් හා සමඟියෙන් ක්‍රියාකරන තත්ත්වයකට පැමිණෙන්නේ නම් පමණය. එහෙත් මෙම පක්ෂ දෙකේ නායකයින්ට එවැනි තැනකට ඒමේ හැකියාවක් තිබෙන බවක් පෙනෙන්නට නැත.

ඉදිරි මැතිවරණයේදී ප්‍රභාකරන් අනුගමනය කරන්න යන්නේ කුමන ප්‍රතිපත්තියකට ද යන්න පැහැදිලි නැත. අන් සියලු නායකයින් සේම ප්‍රභාකරන් සිටින්නේ ද අර්බුදයකය. නැගෙනහිර ආධිපත්‍යය බොහෝ දුරට අහිමි වී තිබෙන තත්ත්වයක් ඉදිරියේ ඔහු සිටින්නේ ද ශක්තිමත් තැනක නොව දුර්වල තැනකය. මරාගෙන මැරෙන පහරදීම් සඳහා ඔහුට තිබුණු ශක්තිය මුළුමනින් සිඳී නැතත්, යුද්ධය නතර කෙරෙන අවස්ථාව වන විට ඔහු සිටි ශක්තිමත් තැනට නැවත පැමිණීම අසීරුය.

පවතින අර්බුදයේ වැදගත්ම ලක්ෂණයක් වී ඇත්තේ විකල්ප නායකයින් බිහිකිරීමකින් තොරවම සම්ප්‍රදායික නායකයින් අවලංගුවෙමින් තිබීමය. එය යම් ආකාරයක දේශපාලන අරාජිකත්වයකට යන ගමනක් බව ද පෙනෙන්නට තිබේ.