ඉන්දියාව පැත්තකට වී නිශ්ශබ්දව බලා සිටින පිළිවෙතින් අත්මිදී ක්‍රියාකාරී ලෙස කිසියම් භූමිකාවක් රඟපාන තැනකට යමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ගමනින් පෙන්නුම් කෙරෙන යථාර්ථය එයයි.
බලය බෙදාහැරෙන වැඩපිළිවෙළක් මගින් ජනවාර්ගික අර්බුදය සාමකාමී ලෙස විසඳාගන්නා ලෙස විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා ප්‍රධාන විරුද්ධ පක්ෂය සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන තැනකට යායුතු බව ද ඔහු කියා සිටියේය.
ඉන්දු ලංකා ගිවිසුමේ සාර්ථක අසාර්ථකභාවය කුමක් වුවත් එම ගිවිසුම තවමත් වලංගු බව අපි අමතක නොකළ යුතුය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ද භූ දේශපාලන යථාර්ථය නොසලකා ක්‍රියාකරන තැනකට තල්ලු වූයේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ කටයුතු කෙරෙහි ඍජු ලෙස බලපාන තත්ත්වයකට ඉන්දියාව යොමුවීමය. ඒ අතීතය දෙරටටම ප්‍රියජනක නැත. දෙරටටම ඒ වෙනුවෙන් අතිවිශාල වන්දියක් ගෙවන්නට සිදුවූයේය.
ඉන්දියාව කලාපීය බලවතා වනවා සේම ශ්‍රී ලංකාවේ ආසන්නතම අසල්වැසියාද වේ. ඉන්දියාවට සංවේදී කාරණා ගැන අවබෝධයකින් තොරව ඉන්දියාව සමඟ එකට ජීවත්විය නොහැකිය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය ඉන්දියාවට සංවේදී ප්රශ්නයකි. ඒ සමඟ ශ්‍රී ලංකාව ඉන්දියානු විරෝධී බලවේගයන්ගේ නිජබිමක් වනවා දකින්නට ද ඉන්දියාව කැමති නැත. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉන්දියාවේ කැමැත්ත අකමැත්ත නොසලකා ඉන්දියානු විරෝධී කඳවුර සමඟ සමීප සහයෝගයෙන් ක්‍රියා කරන තැනකට තල්ලු වූයේය. අවසානයේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ කටයුතුවලට ඇඟිලි ගසන තැනකට ආවේය. එහෙත් ඉන්දියාව ශ්‍රී ලංකාවට අත පොවන තත්ත්වයකින් ක්‍රියාකරන විට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන බලාපොරොත්තු තබාගෙන සිටි කිසිවෙක් ශ්‍රී ලංකාවට ආධාර කළේ නැත. අවසානයේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තනිවී ඉන්දියාව ඉල්ලා සිටින ඕනෑම දෙයක් කරන තැනකට තල්ලු වූයේය.
එම සිද්ධීන්ට අදාළව අතීතයෙන් ඉගෙන ගත යුතු පාඩම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉගෙන ගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත.
ඉන්දියාවේ කණස්සල්ලට හේතුවී තිබෙන්නේ ජනවාර්ගික අර්බුදය ගැන කටයුතු කෙරෙමින් තිබෙන ආකාරය පමණක් නොවේ. චීනය සමඟ පවත්වාගෙන යන සමීප බව ද ඉන්දියාවේ කණස්සල්ලට හේතුවී තිබේ.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ අතවැසියකුගේ තත්ත්වයට පත්විය යුතු නැතත්, ඉන්දියාව මුළුමනින් නොසලකා ක්‍රියා කිරීමේ හැකියාවක් ද ශ්‍රී ලංකාවට නැත. අවශ්‍යයෙන්ම රැකගත යුතු සමබරතාව රැකගැනීමට අපොහොසත් වුවහොත් එය ශ්‍රී ලංකාව කෙරෙහි නරක ලෙස බලපෑ හැකිය. චීනය අනාගත ලෝක බලවතා වනු ඇතැයි සලකා චීනය සමඟ සමීප සහයෝගයෙකින් ක්‍රියාකිරීම සෝවියට් දේශය ඇතුළු චීනය අවට තිබෙන රටවල්වලට වාසිදායක විය හැකි වුවත්, ඉන්දියාවේ කටේ ජීවත් වන ශ්‍රී ලංකාවට එවැනි ප්‍රතිපත්තියක් වාසිදායක වන්නේ නැත.
ඝණ අන්ධකාරයක ජීවත් වන දේශපාලන පක්ෂ ජනවාර්ගික ප්රශ්නය විසඳා ගැනීමේදී විරුද්ධ පක්ෂය සමඟ සමීප සහයෝගයකින් ක්‍රියාකිරීමේ අවශ්‍යතාව විදේශ ලේකම්වරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවධාරණය කළේය. එම පණිවුඩය ඔහු විරුද්ධ පක්ෂ නායකයා වෙතද රැගෙන ගියේය.
විදේශ ලේකම්වරයාගේ ඉල්ලීම එසේ වුවත්, ආණ්ඩුව හා විරුද්ධ පක්ෂය සිටින්නේ අන්‍යොන්‍ය සහයෝගයකින් ක්‍රියාකළ හැකි තැනක නොවේ. මහින්ද අනාගන්නවා දැකීම රනිල්ගේ අභිලාෂය වන අතර, රනිල් අනාගන්නවා දැකීම මහින්දගේ අභිලාෂය වී තිබේ. එහෙත් එය මෙම නායකයින් දෙපළගේම වරදක් නොව ඉතිහාසය විසින් නියම කර තිබෙන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
සියලුදෙනාම සිටින්නේ ඝණ අන්ධකාරයේය. රාජ්‍ය තිබෙන්නේ අසමත් තත්ත්වයකය. ආණ්ඩු පක්ෂය සේ ම විරුද්ධ පක්ෂය සිටින්නේද අසමත් තත්ත්වයකය. ජවිපෙ වැනි පක්ෂ තිබෙන්නේ ද අසමත් තත්ත්වයකය. අවසාන විග්රහයේදී ප්රභාකරන්ගේ ව්‍යාපාරය තිබෙන්නේ ද අසමත් තත්ත්වයකය. ඝණ අන්ධකාරයේ ජීවත් වන ඒ කිසිවකුට කලාමැදිරි එළියක් තරම් පුංචි ආලෝකයක්වත් රටට ලබාදීමේ හැකියාවක් නැත. ඒ සියලු දෙනා විකාරරූපී දේශපාලන රංගනයක නිරත කවටයින් පිරිසක් බවට පත්ව සිටිති.
සාමාන්‍ය පිළිවෙත අනුව නම් ආණ්ඩුවක් පිරිහෙන විට විරුද්ධ පක්ෂය ජනප්‍රිය වේ. එහෙත් දැන් උදාවී ඇත්තේ සියලු දෙනා පිරිහෙනවා මිස කිසිවකුත් ඉස්මතු නොවන තත්ත්වයකි.
කුමක් කළයුතු දැයි ආණ්ඩුව නොදනී. ජවිපෙද නොදනී. එජාපයද නොදනී. ප්රභාකරන්ද නොදනී. ශ්‍රී ලංකා සමාජය ද ඇතුළු ඒ සියලු දෙනා ඉන්නේ ඝණ අන්ධකාරයකය. කිසිවක්ම කළ නොහැකි ලෙස හිරවූ තත්ත්වයකය.
එජාප මන්ත්‍රීවරුන් තුළ සිය පක්ෂය ගැන ඉහවහා ගිය අතෘප්තියක් පවති. ඒ සමග ආණ්ඩුවට එකතුවන්නට කැමැත්තක් ඇතත්, ඒ සඳහාද ආත්ම විශ්වාසයක් ඔවුන්ට නැත. එක්සත් ජාතික පක්ෂය තුළ ඉන්නට කැමැත්තක් නැතිවා සේම ආණ්ඩුවට එකතු වන්නට ද විශ්වාසයක් නැත. මෙම සුවිශේෂ ලක්ෂණය ආණ්ඩු පක්ෂයට ද පොදුය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ද නොකඩවා වර්ධනය වන අතෘප්තියක් පවති. විරුද්ධ පක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට එකතු කරගෙන ඉක්මනින් මැතිවරණයකට යෑමේ අවශ්‍යතාවක් ජනාධිපතිවරයාට ඇතත්, ඒ සඳහා අවශ්‍ය තීන්දු ගැනීමේ ශක්තියක්ද ජනාධිපතිවරයාට නැත.
ජවි පෙරමුණේ ග්‍රහණය අවම කරගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබේ. එහෙත් මැතිවරණයකින් ලැබෙන ප්‍රතිඵල ගැන ද පූර්ණ විශ්වාසයක් නැත.
ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් කරා යන ගමන ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් පරිපූර්ණ තත්ත්වයකට ගෙනාවාය. ඇය තමන්ට තිබූ විධායක බලය ප්‍රයෝජනයට ගනිමින් එජාපයට බහුතර බලයක් තිබූ පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. ඇගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව ශක්තිමත් ලෙස නැගී සිටීමට අවශ්‍ය පිටකොන්දක් තමන්ට ඇති බව පෙන්නුම් කිරීමට එජාප නායකයා අසමත් විය. එම තත්ත්වය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එම පක්ෂය ලබන පරාජය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑවේය. ජවි පෙරමුණ සමග එකතු වී එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාප පරාජය කිරීමට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සමත් වුවත් එම ජයග්රහණයෙන් පසු එක අඩියක්වත් ඉදිරියට යාමට ඇය සමත් වූයේ නැත. ජවිපෙ ඇය හිර කරගෙන සිටි අතර, අවසානයේදී ජවිපෙ සමග කර්කෂක ලෙස අරගල කරන තැනකට යාමට ඇයට සිදුවිය. ජවිපෙට ඔවුන්ට නොතිබුණු කෘතිම බලයක් ලැබී තිබුණේ ද ඇය නිසාය.
2006 වසර වන තෙක් බලයේ ඉඳිමින් තවදුරටත් බලයේ රැඳී සිටීමට අවශ්‍ය සටකපට වැඩපිළිවෙළක් ඉදිරියට ගැනීම ඇගේ අභිලාෂය වී තිබුණත්, අධිකරණයේ සිටි ඇගේ රැකවල් දූතයා ඇයට ද්‍රෝහීවීම නිසා කලින් ඇති කරගෙන තිබුණු සියලු සැලසුම් අතහැර බලය අත්හැර යාමට ඇයට සිදුවිය.
ඉන්පසු පැවති ජනාධිපතිවරණයෙන් ජයගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වුවත්, තවමත් එක අඩියක්වත් ඉදිරියට යෑමට ජනාධිපතිවරයා සමත් වී නැත. ඓතිහාසික අර්ථයෙන් ගත්විට මහින්ද රාජපක්ෂ මහතා බලයට එන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය පරිපූර්ණ වශයෙන් අසමත් තත්ත්වයට පත්වෙමින් තිබු අවස්ථාවකය. රාජ්‍යයේ අසමත්භාවය පහළින් හෝ ඉහළින් කෙරෙන විප්ලවයකින්ම ජයගත යුතුය. පහළින් කෙරෙන විප්ලවයකට අවකාශ නොතිබුණි. එහෙත් ඉහළින් කෙරෙන විප්ලවයකට අවකාශයක් තිබුණද එම අවකාශය ප්‍රයෝජනයට ගැනීමට ජනාධිපතිවරයා අසමත් විය. එම තත්ත්වය කෙරෙහි දර්ශනයෙහි දුගීභාවය සේම ජවිපෙ ඇති කර තිබුණු මිථ්‍යාවන් ද බලපෑවේය.
අසමත් තත්ත්වයකට පත්ව තිබෙන රාජ්‍ය පූර්ණ විපර්යාසයකට ලක්කිරීමකින් තොරව ජනවාර්ගික ප්රශ්නය තබා රජයේ සේවකයන්ගේ වැටුප් ප්රශ්නය, විදුලිබල ප්රශ්නය වැනි සරල ප්‍රශ්න පවා විසඳීමේ හැකියාවක් නැත.
එක්කෝ රාජ්‍ය මුළුමනින් ඇද වැටෙන්නට පෙර පැරණි රාජ්‍ය මුළුමනින් ඉවත් කොට නව රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කළ යුතුය. නැතිනම් රාජ්‍ය බිඳ වැටෙන්නට ඉඩ හැර ඉන්පසු පැරණි රාජ්‍යයේ සියලු සුන් බුන් ඉවත් කොට එය අලුතෙන් ගොඩනගා ගත යුතුය.